කාලසරන්නී - 02 කොටස

post-title

" හායි මැඩම් , මේ මං "

පැමිණ සිටින්නිය කීවේ සිනාසෙමිනි. ඇය හඳුනාගත් විගස මායාගේ ඇස් ද සතුටින් දිලුණි.

" ආ උඹද , මොකද මේ මහ රෑ මැද ? පාරවත් වැරදුණාද අද කෙල්ලට ? මං ඒත් බැලුව හොල්මනක්වත්ද කියල .."

" අම්මෝ ප්‍රොෆෙසර් දැන් හොල්මන්වලටත් බයද..? මං දන් නෑනෙ ඒක.. අපරාදෙ බය කරන්න තිබුණෙ ටිකක්.."

" අනේ මේහ්, මං බයවෙයි උඹට. ඉතිම් ඉතිම් මොකද මේ පැත්තෙ කියපන්කො. අනික මේ මහ රෑ..? "

" අද රෑ වුණා බන් ලැබ් එකෙන් එනකොට. මේ දවස්වල අර ස්කූල් ඇස්ට්‍රො නයිට් කෑම්පින් ප්‍රෝග්‍රෑම් එකක් ඕර්ගනයිස් කරන නිසා වැඩ වැඩි ටිකක්. ගෙදර යනගමන් උඹව හම්බවෙන්න ඕන වුණේ උඹට දෙයක් පෙන්නන්න තියෙනව බන්. ඒකයි ... වැඩකද මේ වෙලාවෙ ? 

" නෑ බන්... මහලොකු වැඩක් නෑ... යමුකො ගේ ඇතුළට"

"පෙන්නන්න උස්සන් ආවෙ ශුවර් එකට අද ඊයේ හම්බවුණ ගිෆ්ට් එකක් වෙන්න ඇති ... නැත්තම් මේක පෙන්නන්න මේ රෑ දුවන් එන්නෙ නෑනෙ. ඇති යාන්තම් උඹට හරි හරිගියා... ඕල් ද බෙස්ට් ඈ.."

 " අනේ ද කියන්නෙ. අපිට හම්බෙන ගිෆ්ට්. ඉඳල හිටල සුපර් මාකට් එකකින් බෝනස් එකක් කියල චොකලට් කෑල්ලක් සබන් කැටයක් හම්බුණොත් ඇරෙන්න අපිට හම්බෙන ගිෆ්ට්..."

එයට නම් දෙදෙනාටම හඬ නගා සිනා නොවී සිටිය නොහැකි විය. පැමිණ සිටියේ නිශා නම් වූ මායාගේ හොඳම යෙහෙළියයි. වසර දෙකකට පෙර ජාතික තාරකා පර්‍යේෂණ ආයතනයේ එකම ව්‍යාපෘතියක සේවය කරමින් සිටියදී මුණ ගැසුණ මේ යෙහෙළියෝ එම ව්‍යාපෘතිය අවසන් වූ පසුවද සිය මිතුරුදම අත් හැර නැත. හුදෙකලා ජීවිත ගෙවන මේ දෙදෙනාම අනෙකාට සැලකුවේ යහලුකමකට එහා ගිය  සහෝදරත්වයෙනි.

ගෙට ගොඩවූ නිශා සිය අත් බෑගය ගෙන යමක් පිටතට ගන්නා අතරතුර ශීතකරණය වෙත ගිය මායා එයින් ගත් ශීත කළ කෝපි බඳුනක් හා වීදුරු දෙකක්ද  රැගෙන මේසය උඩින් තබා නිශා අසලට ආවේ ඈ මෙතරම් අගය කරන වස්තුව කුමක්දැයි බැලීමටය .

" මායා මෙන්න මේ පාර්සලේ අද උදේ සිකියුරිටි රූම් එකෙන් කවුරු හරි තියලා ගිහින්... S.O. ඉඳලත් නෑ ඒ වෙලාවෙ එතන. කවුරුවත් දැකල නෑ මේක ගෙනාපු කෙනා. මේක මගේ නමට ආපු එකක් නිසා S.O. මට ගෙනත් දුන්නා මේක කෝකටත් කියලා. මං එවෙලෙම දිග ඇරල බැලුවා. ඇතුළෙ තිබුණෙ මෙන්න මේ කොළකෑලි ටික විතරයි බං... මෙලෝ තේරුමක් නෑ මේ වගෙ. උඹ ම බලපන්කො.."

නිශා සිය  අත් බෑගයෙන් ගත් පාර්සලයක් වැනි යමක් තුළ තිබූ කොළ කෑලි කිහිපයක් මේසය මතට හැළුවාය.

" CCTV චෙක් කරේ නැද්ද ඉතින් ? "

" බැලුව බන්. මොකෙක්වත් නෑ ඒවගෙත්. හැබැයි ෆ්‍රන්ට් ගේට් එකේ ගහල තියෙන කැම් එකෙන් කවර් වෙන්නෙ එක පැත්තක් විතරයි බන්. අනික් පැත්තෙන් එන අය කොහොමත් පේන්නෙ නෑ ඒකට... සමහරව්ට ඒ පැත්තෙන් එන්න ඇත්තෙ ආපු කෙනා.."

මායා මේසය මතට නෙත් හෙලුවාය. අක්‍රමවත් හැඩැති රළු දාර සහිත අඳුරු සුදු පැහැ කඩදාසි කැබලි 10 ක් එහි තිබිණි.පෝස්ට් කාඩ් ප්‍රමාණයට ආසන්න වූ ඉන් එකක පමණක් කලු පැහැයෙන් යමක් කුරුටු ගා තිබූ අතර අනෙක් සියලු කොළ හිස් විය. ඇය කුරුටු ගා තිබූ කොළය අතට ගත්තාය. දැක පුරුදු බවක් හැඟුණද මේ කවර භාෂාවක්ද  කියා ඇයටද හඳුනාගත නොහැකි විය.

"මේ මොන අපබ්‍රංසයක්ද මේ..?? කාගෙහරි ලණුවක් වෙන්න බැරිද නිශා මේක ?.." 

"අනේ මන්දන් නෑ බං. "

"මේ කොළ ඉරල තියෙන්නෙ එකම කොළයකින්. මේ වගෙ දාර වල රටාව බලල මේ ටික පිළිවෙලකට හදන්න ට්‍රයි එකක් දෙමුද. මං හිතනවා කොටුවක් වගේ හැඩයක් ලැබෙයි කියලා..."    

මඳ වේලාවක් විමසිල්ලෙන් කොළ කැබලි නිරීක්ෂණය කළ මායා පැවසුවේ ඇත්තකි. ඇය ගළපමින් ඒවා නිවැරදි පිළිවෙලට සැකසුවාය. කොළ කැබලි දහයෙන් නවයක්ම එක්කර අංශකයක් හෝ එහා මෙහා නොවූ නියම දිග පළලින් යුත් සමචතුරස්‍රයක් මේසය මත නිර්මාණය කිරීමට ඇයට සුළු මොහොතකින් හැකියාව ලැබිණි.

කුරුටු ගා තිබූ කොළය පමණක් එයට අයත් නොවීය. එය වෙනම පසෙකින් තැබූ ඇය මඳක් එයින් මෑත් වූයේ රැගෙන ආ කෝපි , වීදුරු දෙකට වත් කරන්නටය. ඉන් එකක් නිශාට පිළිගැන්වූ ඇය නැවටත් කල්පනා කරන්නට විණි.

" කෙල්ලෙ, මේක තව රසවත් වීගෙනයි එන්නෙ.. මට තව දේවල් ටිකක් මතක් වුණා...මේක තව හාරලා බලන්න වටින නිධානයක් බන්... ඒක නෙමෙයි , දැන් දොළහටත් කිට්ටුයි. උඹට හෙට නිවාඩු නේද ??  දැන් මේ මහ රෑ යන්න එපා තනියම. අද මෙහෙ ඉඳපන්... පුරුදු නැති තැනක් නෙමෙයි නෙ.."

" ඉන්න එක නම් අවුලක් නෑ බන්. මට මේක විසඳල දෙනවනම් හෙට උදේ වෙනකොට.." 

ඇය කීවේ සිනාසෙමිනි. කොතරම් සිනා වුවද ඇගේ මුහුණෙන් පෙනුණේ විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවයි..

                                                    *     *     *      *       *      *      *

මායා පරිගණක තිරය දෙස ඇස් දල්වාගෙන බලා සිටී. ඒ ඈ බලාපොරොත්තු වන පණිවිඩය දැන්  දැන් ලැබෙතැයි යන සිතුවිල්ලෙනි. ඈ අසලම අසුනකට වී සිටි නිශා නම් සිටියේ  නිදි කිරමිනි.

ඊජිප්ත්තුවේ කයිරෝහි පාරාවෝ කෞතුකාගාරයේ පුරාණ ලේඛන හා රූපාක්ෂර පිළිබඳ ප්‍රවිණයෙකු වන ඇගේ මිතුරෙකුගෙන් " ටූටන්කාමන්ගේ යොමුව " නමින් හැඳින්වෙන පුරාණාක්ෂර කියවීමේ කේතන පිටපතෙහි ඡායාරූප කිහිපයක් මායා ඉල්ලා සිටියේ මීට සුලු මොහොතකට පෙරය.

" ඒයි, නිදිද ?.."

" නෑ පිස්සුද..මං මේ බලන් ඉන්නෙ.."

නිදිමතේම පිළිතුරු දෙන නිශා දුටු මායාට සිනහ නොවී සිටින්නට බැරි විය.

" නිදාගනින් බන් ගිහින්. අන්න කාමරේ රෙඩි. මං මේ වැඩේ පොඩ්ඩක් බලල තව ටිකකින් එන්නම්. මරු ගෝලයා.." 

මායා කීවේ සිනාවෙමිනි.

 

                                                                   * * * * * * * *

පුරාණාක්ෂර ගලපමින් කුරුටු කඩදාසිය කියැවූ මායා සිටියේ අතිශය විශ්මයට පත්වය.

ඊටත් වඩා වැදගත්ම කරුණ වූයේ මෙහි උඩින්ම සඳහන් වන්නේ තමාගේ නම වීමය. නිශාට ලැබුණ පාර්සලයක තමාගේ නම සඳහන් වන්නේ කෙසේද..?

14'0 - 15'9

00045 : 71111

නැවතුම් අංගනය , LEO

NiNRU NiBOLE.

( 9-1)

මේ ඇය පරිවර්තනය කළ සමස්තයයි.

"මේ මොන කුණුහරුපයක් ද ?" ඇය සිතුවා නොව ඇයට ඉබේටම සිතුණාය. මොළය අවුල් වීගෙන එන බවක් ඇයට දැනුණ අතර නිදිමත ඒ හැඟීම තව වැඩි කළේය..

මොකක්? "Tickets to Another World" ?

...... ඇගේ දෑස් විස්මයෙන් විසල් වී ගියේ ය...

ලබන සතියට

 

Top