අමතක වීම හා මැගහැරීම යනු වෙනස් සංකල්ප දෙකක් ම ය. එක්ව (නො) යන රේල්පීලි අටවන ගමන (234 වන ලිපිය)

post-title

හාත්පස අඳුර වසාගෙන ඇත. තමාගේ ජීවිතය ද ඒ අඳුරේ ම කොහේ හෝ සැඟවී ඇත. හැන්දෑවේ වූ සිදුවීම පිළිබඳ ඔහුට යළි සිහිවිය. ජීවිතේ කියන්නේ මහ පුදුමයක් නොවේ ද? සමහර දේ දැනෙනවා ඒත් ගළපන්න තේරෙන්නෑ. කියන්න තේරෙන්නෑ. විඳීම් පමණයි. ඒත් සුන්දරයි.

"සූරී ඔයා අවදියෙන් ද ... ඔයාට මතක ද දන්නෑ මම ඊයේ කාරණාවක් කීවා "

"මොකක්ද නිර්මලී, මට ගොඩක් දේවල් දැන් ඉක්මනට අමතක වෙනවා."

"අර නුවර වෙදමහත්තයෙක් ගැන කීවේ. හෙට උදේ යමු අපි එහේ. අපිට හැමදාම මෙහේ ඉන්න බෑ නේ. යසවතී අක්කා උනත් හරියට කරදර වෙනවා."

"වෙද මහත්තයෙක් කීවේ ..."

"නෑ එයා ඊට වඩා ගොඩක් දේවල් දන්න කෙනෙක්. මම හිතන්නේ හිත ගොඩක් දියුණු කරපු කෙනෙක්. පුතා දන්නවා එයා ගැන. එයා ම තමයි කීවේ ."

"හ්ම්ම්... අනේ බලන්න කෝ... ඔයා මට ඒක කීව ද කිසිම මතකයක් නෑ. ඔයාලා සංවිධානය කළා ද ගමන. මම සිංහල වෙදකමට ගොඩක් කැමති. හ්ම්ම්... නුවර කොහෙද ඔය... "

"ඒක නම් මට හරියට ම මතක නෑ "

"හා.. හා.. කමක්නෑ. මමත් දන්න අය ඉන්නවා. හ්ම්ම් බලමු. උදේ ම යනව ද"

"නෑ. එයා ටිකක් වයසයි. පොඩ්ඩක් දවල්වෙලා යමු."

"හා එහෙම කරමු."

වහා ඔහුගේ ඒ බියකරු අතීතය වෙත හිත සැණින් පියඹා ගියේ ය. නිර්මලී මේ කිසිවක් නොදනී. දැන් ඒවා කියන්න පුළුවන් කමක් ද නැත. තමාට අහිමි තිබූ පණ නල යළි විශ්වකර්මයෙන් බේරා දුන්නේ ඩිංගිරාල නොවේද? තමා කොතරම් අකෘතඥ මිනිහෙක් ද ? පසුගිය කාලයෙහි හැසිරුණේ හිත්පිත් නැති යන්ත්‍රයක් මෙනි.

ධර්මසිරි නොවන්නට නිර්මලී තමාට මුණ නොගැසෙනු ඇත. ඒත් මේ කිසිවක් ඇයට නොකීවේ ඉන් කසාදයට බලපෑමක් වේ යැයි සිතු නිසා ය. තමා අනාථයෙකු පමණක් වී ඈ විවාහ කරගත්තේ ඔහුගේ කීමට ය.

ධර්මසිරි අකාලයේ මිය යාමත් සමග තමා බෙහෙවින් ම වෙනස් වූ සැටි ටිකින් ටික මතකයට නැගේ. කොටි විසින් ප්‍රේමදාස ජනපති මරාදැමීමට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට හසු ව ඔහු මිය නොගියේ නම් තමා මීට වඩා වෙනස් වන්නට ද ඉඩ තිබුණි යැයි සිතුණු වාර අනන්ත ය.

සත්තකින් ම මිනිසුන් බොහෝ දේ අමතක නොකරයි. ඒත් යෙදෙන වැඩ අනුව මග හැරේ. අමතක වීම හා මැගහැරීම යනු වෙනස් සංකල්ප දෙකක් ම ය. සිය ආදරණීයයන් නිතර සිහි වේ. යන්න හිතේ. ඒත් ඊට ඉඩක් නැත. මග හැරීම යනු එය නොවේද? ඔහු තමා සමග සංවාදයක යෙදුණේය.

"අනේ! ඩිංගිරාල මාමා ජීවතුන් අතර සිටී ද ? "  ඔහු බැලීමේ බලවත් ආසාවක් යටිහිතේ පැසවන්නට විය.

** ** **

"රශ්මික ඔහොම පොඩ්ඩක් නවත්තන්න"

"ඇයි අප්පච්චි ..."

"නෑ මට හොදට හුරුයි මේ තැන ඒකයි."

"ඔව්නේ ඉතින්... අම්මා මට කියලා තියෙනවා අප්පච්චි කලින් හිටියේ මෙහේ කියලා "

"හ්ම්ම්... ඒත් මේ කොච්චර කාලෙකින් ද කොල්ලා කාලේ හිටියේ .ඊට පස්සෙ එක තැනක උන්නයැ. "

"හා යමු යමු. දැන් ගොඩක් වෙනස්. ගොඩනැගිලි හදලා. හිතාගන්නබෑ ."

ඔහු සිතුවිල්ලේ ම ඔලුව අසුනට බර කළේ ය. දෑස් පියාගෙන කල්පනාවෙ නිමග්න විය. මාස ගණනාවක් පුරා අඳුරු කාමරයක ගෙවූ සොදුරු අඳුරු අතීතය කෙතරම් අපූරුයි ද? වෙහෙසකර සමයක් වුව ද එහි අපූරු වින්දනයක් ගැබ් ව තිබූ සැටි. ඒ බේත් වලින් හමා ආ අමුතු සුවඳ සිතින් ආඝ්‍රාණය කරන්නට විය.

"බ්‍රාස්... ඩග් .. ඩග්... " කාරය නැවතිණි.

"අහෝ! මෙය සිහිනයක් ද ? " මේ ඒ තැන ම ය. සියල්ල වෙනස් වුව ද ඒ පරිසරය වෙනස් නොවුණේ මන්ද... ඔහු විස්මයෙන් ඇළලී ගියේ ය.

"එන්න අප්පච්චි. අපි ආවා වෙදමහත්තයලගෙ ගෙදර ..."

ඔහු හිනාව නතර කර ගත්තේ ආයාසයෙන් ය. තමා දෙවැනි උපත ලැබූ තිඹිරි ගෙය කෙසේ අමතක කරන්න ද නව පණ ලැබූවෙකු සේ වහා කාරයෙන් බැස්සේ ය.

ඒ වෙද මහතා විය යුතු ය. ඒත් ගෙය නම් වෙනස් වී ඇත. කදිම ඉස්තෝප්පුව එලෙස ම තනා ඇත. මිටි බුලත් වංගෙඩියට මිට මොලවා ගත් කුඩා අත් මෝල් ගහෙන් කොටන දර්ශනය සිත් ගනී. ඒ ඔහුගේ ප්‍රාණය යි. එය නම් තමාට හුරුපුරුදු පැරැණි වංගෙඩිය ම ය. ඔහුට ආවේගය වාවගනු බැරි විය. සියල්ල අමතක විය. දිවගොස් ඔහු ඉදිරියේ දණගසා වැන්දේ ය.

"වෙද මාමේ, වෙද මාමේ, මට සමාවෙන්න ..."

නොසිතූ ලෙස වූ දෙයින් ඩිංගිරාල ගැස්සී ගියේ ය. එහෙත් විස්මිත ඔහුගේ දෙනෙත මේ අපූරු මිනිහා වහා ම ඇඳින ගත්තේ ය.

"සූරී ... සූරී ... අනේ මගේ... රත්තරං කොල්ලා... මොකක්ද බං කොලුවෝ උඹට උණේ..." වෙද මහතා කතා කළේ, හදවතින්ම ය.

ඔහු කෙතරම් මේ තරුණයාට ඇලුම් කළේ ද යත් ජීවිතේ ගැන පවා නොහිතා වෙද කම් කරන්නට විය. යාං තං බේරී තිබු පණකෙන්ද ගසා බසා දමා ගොඩදාගත් සැටි ගැන සිහි විය. සිදුවූ දෙයින් කම්පිත ව සියල්ලෝ ගල්ගැසී උන්හ. වාඩිවෙන්න කියන්න කෙනෙක් ද සිටියේ නැත.

"මං උඹ ව කොච්චර හෙව්ව ද? ධර්මසිරි නැති උනාට පස්සෙ උඹ ගැන මං කාගෙන් අහන්න ද ? මම ගොඩක් උත්සාහ කළා ඒක හොයන්න. මම හොයාගත්ත. ඒත් මට උඹ හොයාගන්න බැරි උනා දරුවෝ..."

..............................................................................

මොකක්ද ඒ...තවත් අභිරහසක් වගෙ...එන්න මා එක්ක

ලබන සතියට

Top