"බොන්ඩ්'ට එරෙහිව බොන්ඩ්?" (687)

"බොන්ඩ්'ට එරෙහිව බොන්ඩ්?" (687)

සුදු පැහැති පසුබිමක් සහිත කුඩා වෘත්තයක් මත දකුණේ සිට වමට ඇදෙන ජේත්තුකාරයකු ඇසුරු සැනින් ප්‍රේක්ෂකයා දෙසට හැරී වෙඩි තබයි. ඒ සමඟ තිරයේ පැහැය රක්ත වර්ණයෙන් නැහැවෙයි. මේ සුවිශේෂි චිත්‍රපටයක අනන්‍යතා දර්ශනයකි. මේ ජේත්තුකාරයා වෙනකෙකු නොව ජේම්ස් බොන්ඩ් හෙවත් 007 නම් අන්වර්ථ නාමයෙන් හදුන්වාදෙනු ලබන බ්‍රිතාන්‍ය මහ රැජිණ වෙනුවෙන් සේවය කරනු ලබන සුප්‍රකට රහස් පරීක්ෂකවරයා ය. කිසිවිටකත් තම මෙහෙයුම අසාර්ථක නොකරන මේ රහස් පරීක්ෂකවරයා විසිපස්වන වරටත් සිනමා තිරයට සම්ප්‍රාප්ත වන්නේ කල් යල් බලාය. ඒ "නෝ ටයිම් ටු ඩයි" චිත්‍රපටය සමඟිනි.

කෙරී ජොජි ෆුකුනාගා නමැති ජපන් සම්භවයක් සහිත ඇමරිකානු සිනමා අධ්‍යක්ෂවරයා විසින් තනන ලද ‘නෝ ටයිම් ටු ඩයි’ නමැති ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය විශේෂත්වයක් ගන්නේ එය බොන්ඩ් චිත්‍රපට මාලාවෙහි විසිපස්වැනි චිත්‍රපටය ලෙසත්, ඩැනියෙල් ක්‍රේග්ගේ බොන්ඩ් ලෙස අවසන් රංගනය ලෙස සනිටුහන් කරන නිසාම නොවේ. එය නිර්මාණයක් වශයෙන්ද වෙනත් බොහෝ බොන්ඩ් චිත්‍රපටවලින් පැහැදිලි ලෙස වෙනස් වන්නක් ද වන නිසාය. මන්ද මෙවර ජෙම්ස් බොන්ඩ්ට පැටලෙන්නට සිදු වන්නේ තම ආදරවන්තියගේ වැළලුණු අඳුරු අතීතයක් සමඟය. එය මතුපිටින් පෙනෙනවාට වඩා කිසියම් බැරෑරුම් අරුතක් ඇති කාරණයකි. ‘නෝ ටයිම් ටු ඩයි’හි මෙවර මා දකින්නේ විශේෂයෙන් බටහිර සමාජයත්, අඩුවැඩි වශයෙන් මේ මොහොතේ සමස්ත ලෝකයාම වර්තමානයේ මුහුණ දී සිටින ගැඹුරු අර්බුදයක්, ජේම්ස් බොන්ඩ් සිනමා රීතියේ සීමාවන් තුළ සිටිමින් නිරූපණය කරන්නට උත්සාහ ගන්නා, අවධානයට ලක්විය යුතු, ජනප්‍රිය සංස්කෘතියේ නිර්මාණයක් වශයෙනි. 

සුපුරුදු පරිදි මෙවර ද බොන්ඩ් සතුරන් ලුහුබැඳ යන්නේ අප කවදාවත් ඇහැට දැක නැති තරමේ අලුත්ම තාක්ෂණයේ අවි ආයුධ, මෙවලම්වලින් සන්නද්ධව ය. බොහෝ විට බොන්ඩ් ගමන් කරන මෝටර් රිය පවා අප කිසිසේත් බලා‍පොරොත්තු නොවන ආකාරයේ වික්‍රමයන් පෑ හැකි, නයිට් රයිඩර් පන්නයේ මෝටර් රථයකි. වැඩි හරියක් ප්‍රේක්ෂකයන් බොන්ඩ් චිත්‍රපට නරඹන්නට යන්නේ විශේෂයෙන්ම මෙම නව පන්නයේ ‘ගැජට්මැටික්වලින්' ජේම්ස් බොන්ඩ් මැජික් පෙන්වන අන්දම දැකබලා ගන්නට ය. "නෝ ටයිම් ටු ඩයි" චිත්‍රපටය තුළ ද මෙවර ද එසේ එයාකාරයෙන්ම තාක්‍ෂණික මෙවලම් විසින් බොන්ඩ්ට පිහිට පතයි. 

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලින් සැමවිට ම සාකච්ඡාවන්නේ ‘ආරක්ෂාව‘ පිළිබඳ ගැටලුවයි. ජේම්ස් බොන්ඩ් යනු සුපිරි ගණයේ ඒජන්තවරයෙකි. බොන්ඩ් සේවය කරන්නේ බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහරැජිණට වගකිව යුතු, ආරක්ෂාව පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන M16 නැමැති රහස් ඔත්තු අංශයේය. මෙතෙක් කාලයක් අප දැක පුරුදු බොන්ඩ් චිත්‍රපටවල මුල් හරියේදීම නරඹන්නන් ත්‍රාසයෙන් මුසපත් කරන ආරම්භක ලුහුබැඳීමේ ජවනිකාවකින් පසු බොන්ඩ්ගේ කුටප්‍රාප්තිය සමඟ චිත්‍රපටයේ නාමාවලිය තිරයෙහි සටහන් වෙද්දී, බිලී අයිලීෂ් විසින් ගයනු ලබන මනමෝහනීය තේමා ගීතය පසුබිමේ අප දකින්නේ චිත්‍රපටය කතාන්තරය හා බැඳුණු සංකේත පිළිබඳ රූපාවලියකි. නමුත් පෙර චිත්‍රපටවල මෙන් ඇඟකිළිපොළා යන අන්දමේ ලුහුබැඳීමේ ජවනිකාවක් නම් මෙවර දක්නට ලැබුණේ නැත.( මෙතෙක් බොන්ඩ් චිත්‍රපටයක හොඳම ලුහුබැඳීමේ ජවනිකාව දුටුවේ 'ස්කයිෆෝල්' චිත්‍රපටයයේ ය.)

ඩැනියෙල් ක්‍රේග් නිරූපණය කළ චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපටය ලෙස සැළකිය හැක්කේ "ස්කයිෆෝල්"ය. ඔහුගේ අනෙකුත් බොන්ඩ් චිත්‍රපටවලට සාපෙක්ෂව "නෝ ටයිම් ටු ඩයි" චිත්‍රපටය පිළිබඳ මා තුළ ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. 

සැමදා මෙන් බොන්ඩ් චිත්‍රපටයකින් බලාපොරොත්තු විය හැකි සටන් ජවනිකා නම් බහුල ය. දුෂ්ටයාගේ කුලී හේවායන් සමඟ කරට කර සටන් වදින බොන්ඩ්ගේ අද්විතීය බව, සටන්කාමියකුගේ ලක්ෂණ නැවත වරක් විදහා පෑවේ ය. පොදු සතුරා වන සෆීන්ගේ භූමිකාව හොබවන රමී මලෙක් වෙනුවෙන් චිත්‍රපටය තුළ ලබා දී තිබු තිර කාලය ප්‍රමාණවත් මඳ ගතියක් දක්නට ලැබෙන බව හොඳින්ම පැහැදිලිය. ඔහුගේ චරිතය සංවර්ධනය (Character Development) එක එතරම්ම සාර්ථක නැත. වේශ නිරූපණය අනුව දුෂ්ටයකු ලෙස වෙස් ගැන්වීමෙන් පමණක් සාර්ථක ය. එය මනරම් රූප පද්ධතියකින් හැඩ වී අත්තේ අපුරු ආකාරයට. Visually stunning බවින් පොහොසත් ක්‍රියාදාම සිනමාලංකාරයක් ලෙසින් "නෝ ටයිම් ටු ඩයි" හැඳින්වීම වරදක් නැත. සුපුරුදු සංගීතවේදී තෝමස් නිවිමන් වෙනුවට මෙහි සංගීත නිර්මාණය පැවරී ඇත්තේ හොලිවුඩයේ මහා සංගීතවේදී හාන්ස් සීමර් වෙතයි. පසුබිම් සංගීතය චිත්‍රපටය තුළට ප්‍රාණවත් බව ලබා දී ඇත. බොන්ඩ් චිත්‍රපට ඉතිහාසය තුළ අද්විතීයම බොන්ඩ් නළුවා බව ඩැනියෙල් ක්‍රේග් නැවත වරක් සනාථ කළ අවස්ථාවක් ලෙසටයි " නෝ ටයිම් ටු ඩයි" චිත්‍රපටය හදුනාගත හැක්කේ. "නෝ ටයිම් ටු ඩයි" චිත්‍රපටය නිමාව දකිද්දි කාලාන්තරයක් යනතුරුම ඩැනියෙල් ක්‍රේග්ගෙන් පසුව මීළගට බොන්ඩ් චරිතයට සාධාරණය ඉටු කළ හැකි ඊට සරිලන, ප්‍රතිභාවක් සහ ප්‍රතිරූපණය කරන බොන්ඩ් නළුවකු දැකගන්නට නොලැබේවි

Top