ස්ත්‍රිය ආරක්ෂා කිරීමට මැදිහත් වන - IPC 376 (676)

ස්ත්‍රිය ආරක්ෂා කිරීමට මැදිහත් වන - IPC 376 (676)

අප අද ජීවත්වන සමාජය නව්‍යකරණය වූ දියුණු සමාජයකැයි අප නිරන්තරව අදහස් දක්වයි. එහෙත් දියුණුවීම තීරණය වන්නේ තාක්ෂණික හෝ භෞතික දියුණුවක් තුළින් පමණක් ම ද යන්න පිළිබඳ අප සැළකිලිමත් විය යුතුය. අනෙකාගේ අයිතීන්වලට හානි නොවන පරිද්දෙන් එකිනෙකාට ගරුකරමින් ජීවත් විය හැකි, ස්ථර පදනමින් (පොහොසත් - දුප්පත්, ප්‍රභලයා - දුබලයා, පුරුෂයා - ස්ත්‍රිය යනාදි වශයෙන්...) කවර හෝ අනිසි බලපෑමක් අනෙකාට ඇති නොකරන සමාජයක් නම් එය දියුණු යැයි සම්මත කොට ගත හැකිය. එහෙත් සමාජය එවැනි ද?

තාක්ෂණය හා (නො) දියුණු සමාජය

තාක්ෂණික අතින් දියුණු වීම යහපත්ය. එහෙත් දියුණු තාක්ෂණ භාවිත කරන්නෝ දියුණු මනසක් සහිත වූවන් විය යුතුය. නොදියුණු මානසිකත්වයක් ඇති අය අතට දියුණු තාක්ෂණය අත්පත් වීම හානිදායක ය. දියුණු සන්නිවේදන තාක්ෂණික මෙවලම් වන ජංගම දුරකථන, සූක්ෂම කැමරා ආදිය සමාජයේ දියුණුව උදෙසා ද භාවිත කළ හැකිය. එහෙත් එය නොදියුණු ගෝත්‍රික මනසක් හා බැඳුණු කළ අත්වන්නේ සමාජ අගතියකි. පසුගිය කාලසීමාවන් පුරාවට ම එවන් අගතීන් පිළිබඳ අප හොඳින් දැක ඇත්තෙමු. ඒ අගතිදායක ක්‍රියා හා බැඳුණු ප්‍රධානම සංසිද්ධි නම් ලිංගික සූරාකෑම් ය. රහසිගතව වීඩියෝ කළ වීඩියෝ පට පෙන්වා අදාල අයගෙන් කප්පම් ගැනීමේ සිට ලිංගික සංතර්පන ලැබීම්, අන්තර්ජාලයට මුදා හැර ස්වකීය අසහනයන් තෘප්තකර ගැනීම් දිගින් දිගට අප දැක ඇත්තෙමු. 

නූතන සමාජය හා ලිංගික සූරාකෑම්

පෙර දැක්වූ සේ ම අප ජීවත් වන සමාජයේ ලිංගික සූරා කෑම් බහුලය. රැකියා ස්ථානවල ද, අධ්‍යාපන මධ්‍යස්තානවල ද , ආගමික සිද්ධස්තානවල ද එකී මෙකී නොකී බොහෝ තැන්හි එවැනි සූරා කෑම් අපි අසා දැක ඇත්තෙමු. එවැනි සෑම තැනකම ප්‍රභල පාර්ශවයක් විසින් දුබල පාර්ශවය පීඩාවට පත්කර ලිංගික අඩන්තේට්ටමට ලක්කරයි. කන්‍යාවන් ගේ කන්‍යාභාවය අහිමිකර සාද දමන තක්කඩි බලවතුන් අප රටේ ද සිටින වග අතීත සිදුවීම් මගින් සාක්ෂ දරයි. එවැනි තත්ත්වයන් පාලනයට හා එවැනි තක්කඩින්ගෙන් සමාජය මුදවා ගැනීමට උත්සහ කරන ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව හඳුනාගත හැකිය. වරින් වර නව්‍ය අංගෝපාංග හඳුන්වා දී ආයතනික ව්‍යුහයන් පුලුල් කරමින් පොලිසිය සිය කාර්ය භාරය යම් පමණකින් හෝ ක්‍රියාවට නගයි. 

ඉන්ස්පැක්ටර් යාමිනී සහ භාවානි

යාමිනී යනු පොලිස් පරික්ෂකවරියකි. ඇය තාක්ෂණය භාවිත කරමින් කාන්තාවන්ට යම් අපරාධයක් සිදුවන්නට යන්නේ නම් ඒවා වීඩියෝ කර සැනෙන් පොලිසියට එවා ආරක්ෂා වීමට ක්‍රමවේදයන් සකසා ස්ත්‍රීන් දැනුවත් කරයි. යාමිනීගේ දේශනයක් අහඹුවෙන් දකින් භවානි නම් රූමත් යුවතිය, එම අදහස් දැක්වීම මතකයේ තබා ගනියි. අවාසනාව නම් ඒ වන විටත් භවානි සහභාගි වූ රැකියා සම්මුඛ පරික්ෂණයේ දී ඇගේ ආයතන ප්‍රධානියා පවසා ඇත්තේ ඇයට රැකියාව ලබා දිය හැක්කේෙ ඔහු හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග සම්භෝගයේ යෙදුනොත් පමණක් බව පවසා තිබීමය. යාමිනීගේ තාක්ෂණික උපදෙස් විස්වාස කරන භවානි මේ තිදෙනා කොටු කරන්නට සිය මාල පෙන්ඩනයේ සූක්ෂම කැමරාවක් සවිකර ගෙන ඔවුන් හමුවට යයි. තාක්ෂණය යහපත් ලෙස භාවිත කර වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකරදීම ඇගේ අවශ්‍යතාවයි. ඇගේ ආයතන ප්‍රධානියා ද ඔහුගේ ව්‍යාපාරික මිතුරා ද ඔවුන් දෙදෙනාගේ මිතුරෙක් වන ආගමික සාමිවරයා ද එම සම්මුඛ පරික්ෂණයට සහභාගිවූ යුවතියන් තෝරන්නේ සුදුසුකම් මතින් නොව සී සී ටී වී කැමරා මගින් පෙනෙන ඔවුන්ගේ අඟපසඟ දෙස හොරෙන් බලා ය. එසේම භවානිව රැගෙන යන හෝටල් කාමරයේ ඇති නාන කාමරයේ ද ඔවුන් සූක්ෂම කැමරාවක් සවි කරන්නේ ඇගේ ශරීරයෙන් සන්තර්පණය වීමට පෙර ද ඇගේ නිරුවත බැලීමේ අටියෙන් ය. එවැනි අවස්තා දියුණු තාක්ෂණය ගෝත්‍රිකයන් වෙත යෑමේ ප්‍රතිඵලය. ඒවා සමාජ විනාසයට හේතු ය. එහෙත් ඒ බව නොදත් භවානි නානා කාමරයට ගොස් යාමිනීට පණිවිඩය දීමට සූදානම් වන විට එය කැමරාවෙන් දකින පෙර කී තිදෙනා ඇයව මරා දමයි. භවානි වැනිව මිය ගිය අය කොතෙක් නම් ඇත්ද?

මේ සිදුවීම දක්නට ලැබෙන්නේ රාම්කුමාර්ගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත වූ 2019 වසරේ තිරගත වීම ඇරඹූ පැය දෙකකුත් විනාඩි දහනමයක් පුරා දිවෙන IPC 376 නම් දමිළ සිනමා නිර්මාණයේ ය‍

සිනමා කරුවාගේ අභියෝගය හා එය ජය ගැනීම

මෙම නිර්මාණය තුළින් නිර්මාණකරුවට ගෙනහැර දැක්වීමට අවශ්‍ය ව ඇත්තේ ලිංගික අපයෝජනය, සූරාකෑම පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් එවැනි අවස්තාවල නිහඬව මුනිවත රැක සියල්ල ඉවසා දරා ගන්නා ගැහැනියට එසේ නොකොට නැගිට ඊට එරෙහිව පෙරට එන්නට යම් බලපෑමක් ඇති කිරීමත් ය. එහෙත් එවැනි සමාජමය පණිවිඩක් අරමුණුව සිනමා නිර්මාණයක් නිර්මාණය කිරීමේ දී එය ප්‍රේක්ෂකාගාරයට කෙසේ නම් සම්මුඛ කළ යුතු ද? හුදු එම කරුණු වාර්තාකාරිව ප්‍රකාශය වීම වලකා එයට සිනමාත්මක භාවයක් ළඟාකරන්නට සිය නිර්මාණය කවර ආකාරය ඉදිරිපත් කළ යුතු ද යන්න මෙහි නිර්මාණකරුවාගේ අභියෝගය යැයි සැලකිය හැකිය. 

එය ජයගැනීමට නිර්මාණකරුවා භාවිත උපක්‍රමය වන්නේ කතාව තුළින් අද්භූත රසයක් ජනනය වන පරිදි පිටපත නිමවීමය. පසුගිය කාල වකවානුව තුළ එවන් ඉංදියානු සිනමා නිර්මාණ හා ටෙලිකතා (යූටර්න්, භූමිකා, ලිප්ට්, කුඩියෙදමායිතෙ... වැනි) විශාල වශයෙන් බිහිවන ආකරයක් අප දැක ඇත. එනම් සමාජමය පණිවිඩ මුදාහැරීමට ඒවා සිත්ගන්නා ලෙස පාඨකාගාරයට ගෙන එන්නේ හොල්මන් අවතාර වැනි අද්භූත බලවේග ආදිය යි. ඒවා බොහෝ විට සාර්ථක වන්නේ කොතරම් තාක්ෂණික දියුණු සමාජයක තුළ වුව ද අවිඥානික ව මිනිසා අවරෝධනය කොටගෙන ඇති මෙම විශ්වාසයන් සංස්පර්ශය කිරීමට එවැනි නිර්මාණකරුවන් සමත්වීම නිසා ය. IPC 376 දී ද භවානිගේ අවතාරය ප්‍රෙක්ෂකාගාරයට මුදා හැරෙන්නේ එසේ ය. 

IMDb දර්ශකයේ 6.2/10 ක් සලකුණු කරගෙන ඇති IPC 376 සිනමා නිර්මාණයේ සාර්ථකත්වය ගැන යම් ඉඟියක් ඉන් ගත හැකිය. එහෙත් එහි ඇති පුරුදු දමිල සිනමා සටන් ජවනිකා වල ඇති නීරසභාවයත් තාක්ෂණික සැකසුම් වල ඇති (හොල්මන නිරූපණය වන ආකාරය වැනි තත්ත්ව) දුර්වලතාවයත් යම් පමණක ට සිනමා රසය පාඨකයාගෙන් ගිලිහීයාමට හේතුව ඇත. කෙසේ වෙතත් සමාජ ගැටලුවක් නිර්මාණශීලී ස්වරූපයකින් පාඨකාගාරය වෙත ගෙන ඒමට IPC 376 සිනමා නිර්මාණය දක්වන ලද උත්සහය අගය කළ හැකි ය. 

Top