ජීවිතය සහ මරණය සමඟ "ද බැලඩි ඔෆ් නරයාමා" (548)

ජීවිතය සහ මරණය සමඟ "ද බැලඩි ඔෆ් නරයාමා" (548)

ජීවිතය යනු අරුම පුදුම දෙයකි. එය සමහරවිට තේරුම් ගත නොහැකි මහා වියවුල් එකකි. නිරන්තරයෙන් කිසි කරදරයකින් තොරව ගලා බසින්නේයැයි සළකනු ලබන ජීවිත කතාවක වුව ද සැඟවුණ බොහෝ අතුරු කතාවන් එමට ය. විශේෂයෙන් ජපන් සිනමාවට කේන්ද්‍ර වන ජීවිතය පිළිබඳ ඇති අසාරබව සහ පැවැත්ම පිළිබඳ මෙකී අවුල පහදාලන සිනමාකෘතින් බොහෝ සේ තිබෙයි. ජපන් සිනමාව තුළ මෙකී චිත්‍රපට වෘතාන්ත රටාවෙන් නැතහොත් පර්යේෂණයන්ගෙන් යුතුව නිර්මාණය වන චිත්‍රපටවලින් නම් කෙළවරක් නොමැත. එසේ වූ ජපන් භාෂිත සිනමාපටයක් වන "බැලඩි ඔෆ් නරයාමා" චිත්‍රපටය තූළින් ද නිරූපණය කරන්නේ ජීවිතයේ ඇති පැවැත්ම පිළිබඳවයි. ජීවිතය සහ සොබාදහම අතර ඇති සංයෝජනය විවරණය කිරීමට "ද බැලඩි ඔෆ් නරයාමා" අධ්‍යක්ෂ ඉමාමාරු යත්න දරති. 

චිත්‍රපටයේ කතාව 19 වන සියවසේ ජපානයේ පිහිටියා වු ඈත ගම්බද පරිසරයක ඇසුරින් ගලාගෙන යයි. මේ ගම්මානය මැදි වී ඇත්තේ උස්ව පිහිටි කඳු වළල්ලකිනි. නිම්නයක සිරිය ගනී. ගම්මානය වටා වන ලැහැබකින් සමන්විත ය. මෙම ගම්මානයේ වැසියෝ ගොවිතැන් කරමින් ජීවත් වෙති. නමුත් ඔවුන්ගේ අශ්ලීල ගති බොහෝ ය. ඒ ඔවුන් ඇතිකරගත් සභ්‍යත්වය යැයි කිව හැකිය. ගැහැණු නිකෘෂ්ට ලෙසින් හැසිරෙති. මහ දවල් වනමැද සංසර්ගයේ යෙදෙති. රාත්‍රි කාලයේ ද එසේම ය. අනෙකුන් සංසර්ගයේ යෙදෙන විට එකෙක් එය සොරෙන් බලා ස්වයංවින්දනයේ යෙදෙති. එය යථාර්ථය පිටපත් කරන්නකි. ලිංගිකත්වයේ ආශාව හඹායයි. මෙම ගම්මානයේ මිනිසුන් කුරිරු ය. කෑදර ය. සංකීර්ණ ය. ආහාර වෙනුවෙන් සටන් වදිති. තරඟ කරති. ඔට්ටු දමති. අප සමාජයත් මෙයාකාරයෙන් නොවේද? යම්කිසි ආකාරයකට "පවුල" යන ආයතනික සංස්ථාව තුළ සංවිධානගතව ඇත්තේ ලිංගිකත්වය මත ය. වෙනස් විදියේ ලිංගික අදහසක් ගෙන ඒමට "ද බැලඩි ඔෆ් නරයාමා" චිත්‍රපටය උත්සාහ දරනවා. විටෙක චිත්‍රපටය තුළ ලිංගිකත්වය අධි අශ්ලීලකරණයට ලක් වෙයි. 

මේ ගම්මානයේ වෙසෙන පුද්ගලයෙකුට වයස අවුරුදු 70 සම්පූර්ණ වූ පසු, ඔහු හෝ ඇය කුසගින්නෙන් මිය යාම සඳහා නරයාමා කඳුකරයකට යා යුතු අතර එය උබාසුට් නමින් හැඳින්වෙන පුරුද්දකි. ඔරින් නම් වයස අවුරැදු 69 වියේ පසුවන මවක් නරයාමා කන්ද වෙත රැගෙන යන්නට පෙර ඈ පවුල සමඟ ගෙවන අවසන් දින කිහිපය සිනමාපටයට යටිපෙළ තේමාව බවට පත් වෙයි. සිනමාපටයේ දෙවන භාගයේ තුළ පෙන්වන්නේ ජීවිතය නමැති බර දරා⁣ උසුලාගෙන යන ආකාරයත්, එම බර සැහැල්ලු කර ගැනීමට ජීවිතය තරණය කරන ආකාරයත් ය. මහලු මව නරයාමා කන්ද තෙක් පිට මත හයාගෙන යන වැඩිමල් පුත්‍රයාගේ ඇති කැපවීම, ධෛර්ය, සෙනෙහස මොනවට කියාපායි. නරයාමා කඳු භූමිය හිස් ය. තැන තැන ජීවිතය පරිත්‍යාග කළ වුන්ගේ ඇටකටු ගොඩවල් ය. අනිත්‍යය සිහි වෙයි. එම භූමිය තුළ මරණය යන්න සාමාන්‍ය දෙයකි. 

අප මේ ලෝකේ ගත කරන ජීවිත දෙකක් තිබෙයි. ඉන් පළමුවැන්න භෞතික ජීවිතයයි. අනෙක ආධ්‍යාත්මික ජීවිතයයි. අපි සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම රැඳි තිබෙනුයේ භෞතික ජීවිතය මත ය. නිදසුනක් ලෙස ආහාර ගැනීම, ජීවත් වීමට සාදා ගන්නා නිවස, ආහාර සොයාගැනීමට කරන අරගලය වැනි දෑය. නමුත් අවසාන ඵලය වන්නේ වර්ගයා බෝ කර ගැනීම ය. නමුත් ආධ්‍යාත්මික ජීවිතයට ළංවීමට අපට අපහසු ය. 

ජපන් ජන ජීවිතය කෙසේද යන්න පෙන්වයි. රූපමය වශයෙන් සේම සංස්කරණ ජේදන හරහා විවිධ අරුත් ගන්වයි. මිනිස් සබඳතා සමඟ කුරුල්ලන්ගේ කුජනය, සර්පයන්ගේ හැසිරීම, දියෙහි වෙසෙන මැඬියන්ගේ සමීප රූප ජේදනය වෙයි.


සිනමාපටය ආරම්භ කරනුයේ සමාජයේ ඇති පරම අවශ්‍යතාවයන් නිරූපණය කිරීමෙනි. නමුත් චිත්‍රපටය අවසන් වන්නේ ආධ්‍යාත්මික දෙයක් සොයමින් යන 69 වයස් පිරුණු මහළු මවගේ සිදුවීමෙන්. "ද බැලඩි ඔෆ් නරයාමා" සිනමාපටය දොහෝරාවකට අපව ආරාමයකට කැන්දා ගෙන එයි. සිනමාපටය දැඩි රළු ස්වභාවයකින් යුතුව හැසිරෙයි. රළු ස්වරයෙන් යුතුව ප්‍රේක්ෂකයා වෙත මේ දුක්ඛිත කතාන්දරය පවසයි. දිවියේ කළකිරුණු ස්වභාවය සැඳැ සමය තුළ අහවර කරගන්නට හුදෙකලා වු නරයාමා කන්දට ⁣සිහින් දීර්ඝ බැම්මක් දිගේ පියමනියි. එක පසෙකින් සොබාදහම සමඟ දිය වී ගිය මළ සිරුරු තුළින් දිවියේ ඇති අනිත්‍යය බව පසක් කර දෙයි. දිවිය සමබර ව යා යුතු ය. මිනිස් සබඳතා හිම මෙන් වෙඬරු මෙන් දිය වී වැගිරී යන අයුරු ඉමමාරු චිත්‍රපට භාෂාව හරහා ම පෙන්වයි. ප්‍රේක්ෂකයාට ආනන්දයේ සිට ප්‍රඥාව කරා යන මාවත කරා විවර කර දෙයි.

Top