ඉංදිය සිනමා නිර්මාණකරුවකු වන ප්‍රභූ සොලමන්ස් ගේ නිර්මාණ තුළ ඇති සුවිශේෂත්වය නම් ජනාකීර්ණ නාගරිකත්වය වෙනුවට ඔහු සිය ප්‍රෙක්ෂකාගාරය වෙත ගෙන එන්නේ ග්‍රාමීයත්වය සහ සොබාදහම ය. එම ග්‍රාමීය සමාජයන්හි සහ සොබාදමට වැසී ගිය බොහෝ සිදුවීම් ද මානව හැගීම් ද ඔහු සිය නිර්මාණ මගින් නිරූපණය කරන්නට වෑයම් කරයි. එම නිර්මාණවල ඇති චරිත සිදුවීම් මෙන් ම චරිතවල හැගීම් මාත්‍රයන් ද යථාර්ථවාදි ලක්ෂණ ප්‍රකට කරන සුලුය. ඔහු විසින් මෙවර සිදු කර ඇති නව නිර්මාණය වන සෙම්බිද එම ලක්ෂණයන් ගෙන් සමන්විත සිනමා නිර්මාණයක් ය.
ප්‍රබල දේශපාලන පක්ෂයක නායකයකුගේ පුතෙක් සහ ඔහුගේ මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වන සෙම්බි නම් වූ දස හැවිරිදි දැරියත් ඇයගේ මිත්තණියත් වටා ගෙතෙන මෙම කතාව තුළ දී ඔවුන් දෙපළට සිදුව ඇති අසාධාරණයට සාධාරණක් ඉටුකර දීමට වෙහෙසෙන විවිධ තරාතිරම් වල මිනිසුන් කණ්ඩායමක වෙහෙසකර උත්සහය මෙම නිර්මාණය තුළින් නිරූපණය වෙයි.
සමූහ ළමා දූෂණයන් අප රටේ ද වරින් වර අසන්නට දකින්නට ලැබෙන බව අප සියල්ලො ම දන්නා කරුණකි. අනෙක් අතට කවර හො වරදක් සිදු කළ ද ආදන් සේ එම වරදින් ලිස්සා යන්නට දේශපාලන බලවතුන්ගේ දරුවන්ට ඉඩ කඩ තනා දෙන සිදුරු වූ නීති පද්ධතියක් සහිත රටක අප ජීවත් වන්නේ ය යන කරුණ ද අපට අරුමයක් නොවෙයි. මේ යථාර්ථයන් මනාව දැන අත්විදින අත්දකින කළ මෙම සිනමා තේමාව සාමන්‍ය තේමාවකැයි අයෙකුට හැගෙන්නට ඉඩ ඇත ද සිනමා නිර්මාණය නරඹන්නාට එය එසේ නොවෙයි. එයට හේතුව සෙම්බි යනු විදෙස් රටක දැරියක් ද ඇගේ මිත්තණිය ගෝත්‍රික කාන්තාවක් ද යන්න අමතක වන තරමට ම නිර්මාණය ආරම්භයේ දි ම සිනමා කරුවා ප්‍රබල සිදුවීම් මගින් ප්‍රේක්ෂකයාගේ මනස තුළ එම ප්‍රධාන චරිත ද්විත්වය පිළිබද ආදරය ජනනය කරවීමය. ඉන් පසු සමස්ථ කතාව පුරාවට ම සෙම්බි තමාගේ ම දැරියක් සේ සලකා සිනමා නිර්මාණය නරඹන්නට හැගුම්බර බලපෑමක් ඇති කෙරෙයි.
දස හැවිරිදි සෙම්බි සහ ඇගේ මිත්තණිය වෙන වීරයි අයත් වන්නේ ගෝත්‍රික ජන කණ්ඩායමක ට ය. කොඩෙයිකනාල් කදුකරයේ ඇති දේ ලබාගනිමින් සරල දිවියක් ගෙවන ඔවුන් දෙදෙනා සාමකාමීය. සෙම්බිගේ ආශාව දිනෙක වෛද්‍යවරියක් වීමය. ඇගේ මවුපියන් අහිමි ය. එහෙත් ඇගේ වෙදැදුරු සිහින සැබෑ කරන්නට ඇගේ මිත්තණිය වෙහෙසෙයි. එහෙත් ලිංගික උමතුවෙන් පෙළෙන ධනයෙන් හා බලයෙන් ඔලුව උදුම්මා ගත් තරුණයන් තිදෙනා ඔවුන්ගේ සාමකාමී දිවිය සහ සුබ සිහින විනාශ කර දමන්නට පැමිණෙන කුනාටුවක් වැනි ය. එයින් අසරණ වන්නේ සෙම්බි සහ ඇගේ මිත්තණිය යි. නීතිය එවිට සිට ගත යුත්තේ අගතියට පත් වූ පාර්ශ්වය පසෙකින් වුව ද දූෂිත පොලිස් නිලධාරියා පවා සෙම්බිගේ මිත්තණියට බල කරන්නේ ඔවුනට සිදුවූ අසාධාරණය අමතක කර නඩු නොදා සිටින්නට ය. එහෙත් වීරායි එයට අවනත නොවෙයි. ඇය පොලිස් නිලධාරියට ද පහර දී සෙම්බිද රැගෙන සිය අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නට පලා යයි.
ඇයට අන්බුගේ බස් රථය මුණ ගැසෙන්නේ එම අතර වාරයේ ය. සිනමා නිර්මාණයෙන් අර්ධයක් පමණ ගෙවෙන්නෙ අන්බු නම් අයෙකුගේ බස් රථය තුළය. සිනමා කරුවාගේ කතා කීමේ රසය හේතුවෙන් ම එම අර්ධය පුරාවට ම සෙම්බි, ඇගේ මිත්තණිය, අන්බු ඇතුළු බස් රථයේ සිටින විවිධ මගීන් ද සමගින් ප්‍රෙක්ෂකයා ද එම බස් රථයේ ම අසුනක වාඩි වී යන ආකාරයක් දැනෙයි.
එම බස් රථයේ විවිධ තරාතිරමේ මිනිසුන් සහ ගැහැනුන් පසුවෙයි. මෙම කතාව හරහා නිර්මාණකරුවා සමාජ ගත කරන්නට උත්සහ ගන්නා වැදගත් කරුණක් එහිදී විවෘත වෙයි. එනම් විවිද සමාජ තරාතිරම් වල පුද්ගලයන් තුළ ඇති සමාජ සවිඥානකත්වය සහ පොදු සමාජ කරුණු අබිමුවේ ඔවුන්ගේ හැසිරීම් සොබාවයන් කෙසේ ද යන්න නිරූපණයයි.
සිනමා නිර්මාණයේ දෙවන භාගය තුළ වීරායිගේ චරිතය මදක් යටපත් ව තිබීම නම් සිනමාකරුවා අතින් සිදුවූ දුර්වල ලක්ෂණකැයි සිතෙයි. ඔහු දෙවන භාගයේ නව චරිත රැසක් ආගමනය කරන්නට වෙහෙසීමේදී එය එසේ සිදුව ඇත. කෙසේ වුව ද දෙවන භාගය ගලා යන්නේ කුතුහලය තීව්‍ර කරමින් ය. එය පාඨකයාගේ රසය වඩාත් වර්ධනය කරන්නකි.
සත්‍යවාදී හැගීම් අවදි කර සිනමා චරිතයක් යථාර්ථවාදී කිරීම ද එම චරිතයල හැගීම් ප්‍රෙක්ෂකාගාරයට දැනෙන්නට ඉඩ සැලසීමද අසීරු කාර්යයකි. එහෙත් සෙම්බි නිර්මාණකරුවා එම අසීරු කාර්ය ජය ගනියි. විශේෂයෙන් ම පසුබිම් දර්ශන, පසුබිම් සංගීතය ගායනය යනාදිය මනාව සුසංයෝජනය වීම ම එම කාර්ය තව තවත් පහසු කර ඇත. වේශ නිරූපණ ශිල්පියාගේ උත්සහයන් අගය කළ යුත්තේ ද එම පසුබිමේ තබා ය.සෙම්බි හා වීරායි ගේ චරිත නිරූපණය කරන්නවුන් මෙන් ම සමස්ථ නිර්මාණය ම සිය කරමතින් සාර්ථකත්වයට ගෙන යන්නට සියලු රංගධරයන් සමත්ව ඇත.