රන්රෝස, Shiddat සහ ප්‍රේමය අත්කර ගැන්මට ඇති ඕනෑකම (637)

රන්රෝස, Shiddat සහ ප්‍රේමය අත්කර ගැන්මට ඇති ඕනෑකම (637)

රත්තරන් වලින් රෝසමලක් හදලා තමන් ආදරේ කරන කෙනාට දුන්නොත් ඒ කෙනා ව හිමිවෙනවා කියන ජනයා අතර ප්‍රචලිත කතාව ෂාමිට් කියන සොල්දාදුවාගේ හිතේ තදින් ම රැඳිලා තිබුණා. යුද්ධයට ගිය එක වතාවක ෂාමිට් ට රෝග තත්වයක් නිසා ආපසු හැරිලා එන්න වෙනවා. ඒ වෙලාවෙ එයාගේ අණදෙන නිලධාරියාගේ පුංචි දියණියත් ෂාමිට් එක්ක එවන්න අණදෙන නිලධාරියා තීරණය කරනවා. ෂාමිට්ගේ වගකීම වුණේ දැරිය නිවසට ගෙන ගොස් ඇරලීම. මේ ගමනට දවස් ගානක් ගතවෙනවා. මේ දැරියගේ නම සුසේන්. ඉතින් අතරමඟ ගමනෙදි ෂාමිට් එයා අහල තිබුණ මේ රන්රෝස මලේ කතාව සුසේන්ටත් කියනවා. 

‘‘කාටද කියන්න පුළුවන් සුසී, කවුරු හරි හාදයෙක් ඇවිල්ල ඔයාටත් එහෙම රත්රන් රෝස මලක් දෙන්න හොඳටම ඉඩ තියෙනවා.‘‘

ෂාමිට් පුංචි සුසේන්ට එහෙම කියනවා. ගමන අවසන් කරලා සුසේන්ව ඇරලපු ෂාමිට් සමුගන්නවා. ඒත් ෂාමිට්ගේ හිතේ පුංචි සුසේන් ගැන ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය දවසින් දවස ඔඩු දුවනවා. ෂාමිට් තමන් ගෙ ආදරය සුසේන්ට ප්‍රකාශ කරන්න ඇයව හොයනවා. ඒ නිකම්ම නෙවෙයි. වීදිවල රන්කරුවන් ඉවත දාන දුහුවිල්ලෙ තියෙන රන්සුනු එකතු කරලා අමාරුවෙන් රන් රෝස මලක් හදාගෙන. ඒ විදියට රන්සුනු වලින් රන් රෝස මලක් හදා ගන්නකොට ෂාමිට් වියපත් වෙලා. ඒ මල දීලා ආදරය ප්‍රකාශ කරන්න එයාට සුසේන්ව මුණ ගැහෙන්න කලින් ෂාමිට් මිය යනවා. ඒ අර රන් රෝස මල කොට්ටය යට තියාගෙන ම. ආදරය සඵල නොවුණත්, ෂාමිට් ගේ ආදරය වෙනුවෙන් එයා ගත්තු උත්සහයන් ඒක දකින අයගේ හදවතට ආදරය ගැන ලොකු හැඟීමක් දනවනවා. 

මේ කතාව ලියුවේ ‘‘කොන්ස්ටන්ටයින් පවුතොවුස්කි‘‘. ඒ එයාගේ ‘‘ද ගෝල්ඩන් රෝස් ‘‘ කියන කතාවෙදි. 

ගෞතම් එයාගේ විවාහා මංගල්ලෙදි ලස්සන කතාවක් කරනවා. ඒකෙ තියෙන්නෙ එයාගේ සීයාට අහිකුණ්ඨික ගැහැනු කෙනෙක් මුද්දක් දුන්න කතාවක් ගැන පරණ සිද්ධියක්. ඒ කාන්තාව සීයාට කියලා තියෙනවා ඒ සාමාන්‍ය මුද්ද පෙනුමෙන් සාමාන්‍ය වුණාට ඒක ආත්මීය මාලිමාවක් කියලා. ඒ නිසා ඒ මුද්ද අතේ තියෙන ඕනම පිරිමියෙක් ට එයා සිහින මවන ගැහැණු ළමයාව මේ ලෝකෙ කොහේදි හරි තැනකදි මුණ ගැහෙනවා කියලා. ඉතින් ඒ මුද්ද නිසා සියාට ආච්චිවත් තාත්තාට අම්මාවත් විතරක් නෙවෙයි ගෞතම් ට එයාගේ ආදරණීය බිරිඳ වුණ ඊරාවත් මුණ ගැහුණ බව එයා කියනවා. මේ වෙලාවේ මේක අහගෙන ඉන්නවා ජග්ගි. ජග්ගි කියන්නෙ හරි ම විනෝදකාමී කොල්ලෙක්. එයාගේ හිතට මේ කතාව වදිනවා. කොහේ කොතැනක කොහොම උන්නත් තමන් ආදරය කරන කෙනාව තමන්ගේ දෛවය විසින් තමන්ට මුනගස්වනවා කියන කතාව එයාගේ හිතේ පැලපැදියං වෙනවා. 

ජග්ගිගේ හිත යන කාර්තිකා ව ජග්ගිට හමුවෙන්නෙ ඔය අතරේ. කාර්තිකා එන්නෙ ලන්ඩන් ඉඳලා. ඒ පිහිනුම් තරඟයකට සම්බන්ධ වෙන්න. ඒ වෙද්දි කාර්තිකා විවාහ ගිවිසගෙන හිටියෙ. එයාගේ විවාහයට හරියට ම මාස තුනක් වගේ කෙටිකාලයක් තිබුණෙ. ඒත් ජග්ගි සහ කාර්තිකා අතර සම්බන්ධයක් හැදෙනවා. ඒක ආදරය කියලා ජග්ගි පිළිගත්තාට කාර්තිකාට ඒක එහෙම පිළිගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ නිසා කාර්තිකා තරඟය ඉවරකරලා ආයෙ ම ලන්ඩන්වලට යන්න හදනකොට ජග්ගි ඇගෙන් ආයාචනා කරනවා වෙන කෙනෙක් විවාහ කරගන්න එපා මාව විවාහ කරගන්න කියලා. ඒත් ඒ වෙලාවේ වැඩි දුර නොහිතා කාර්තිකා කියනවා මේ මාස තුන ඇතුළත කාර්තිකාව හොයාගෙන ජග්ගි ලන්ඩන් ආවොත් එයාව විවාහ කරගන්නවා කියලා. 

ගෞතම්ගේ කතාව විස්වාස කරලා හිතේ තියාගෙන හිටපු නිසාම ජග්ගි තදින් ම ඇදහුවා දෛවය විසින් තමන් ආදරය කරන කෙනාව මේ ලෝකෙ කොහේ හිටියත් තමන්ට ම මුණ ගස්වනවා, හිමිකර දෙනවා කියලා. ඒ නිසා ම ජග්ගි ලන්ඩන් යන්න උත්සහ කරත් ඔහුට වීසා ගන්න බැරිවෙනවා. නමුත් අර විස්වාසය නිසා ම ජග්ගි රහසින් දේශසීමා තරණය කරලා ලන්ඩන් යනවා. අවාසනාව කියන්නෙ ජග්ගි ප්‍රංශයෙදි නීතියට අහුවෙනවා. ඒත් ජග්ගිව බාරගන්න රාජතාන්ත්‍රික නිලධාරියා වෙන්නේ ගෞතම්. ඒ වෙද්දි ගෞතම් සහ ඊරා අතර මතගැටුමක් නිසා ඒ දෙන්නා තාවකාලිකව වෙන්වෙලා. ඒත් එහෙම තියෙද්දිත් අර එක් වීම ගැන කතාව ජග්ගි විස්වාස කරනවා. මේ අතරේ ගෞතම් අර ආත්මීය මාලිමා මුද්ද ජග්ගිට දෙනවා. ඒ විතරක් නෙවෙයි රහසිගතව ජග්ගිව ලන්ඩන් යවන්න උත්සහ ගන්නවා. ඒත්... ජග්ගිට කවදාවත් ඒ මුද්ද අතේ තිබුණත් තමන්ගේ ආදරණීය සහකාරිය ලබාගන්න බැරිවෙනවා. ෂාමිට්ට වුණ දේ ම ජග්ගිට වෙනවා. ඒත් ජග්ගිගේ මේ ආදරය දැකලා ගෞතම් -ඊරා දෙන්නා ආයෙ ම එක් වෙනවා. ආදරේ කෙනෙක්‍ට හිමි වෙද්දි තව කෙනෙක්ට අහිමි වෙනවා. 

මේ අමුතු තාලේ කතාව පවුතොවුස්කිගේ රන්රෝස වගේ කියලා මට හිතෙනවා. ආදරය හිමි වුණත් අහිමි වුණත් ජග්ගි ඒ ආදරය ලබා ගන්න ජීවිතේ ගොඩක් අමාරු දේවල් වලට මුහුණ දෙනවා. ඔහු ඒ සටන අතෑරලා දාන්නෙ නැහැ. ජග්ගිගේ ඒ උත්සහය ගැන එකතැනකදි ගෞතම් මෙහෙම කියනවා. 

‘‘ආදරය කෙනෙක්ට දිය සුළියක් තමන් ව ම ගිල්වන. සැඩ සුළගක්, කුණාටුවක්, ගිනිජාලාවක්. තවත් කෙනෙක්ට ආදරය කියන්නෙ තමන්ව වෙරළට අරන් යන යාත්‍රාවක්. නිහඩතාවයක්. කවියක්. සීතල සුළං දහරක් වගේ ඒක. සමහරු ආදරය නිසා මුලු ලෝකය එක්කම සටන් කරනවා. සමහරු ඇතුළාන්තයෙන් තමන් එක්ක ම සටන් කරනවා. සමහරු තමන්ගේ ආදරය ලබා ගන්න ලෝකයේ දිග ම මාර්ගවල යන්න ගන්නවා. හරියට ම ජග්ගි වගේ. ඒත් සමහරුන්ට අඩි හතරක් දුරින් තියෙන ආදරය ලබාගන්න යන්න බැරි තරම් ඒක දුරයි වගේ දැනෙනවා... ඒත් ආදරය ලබා ගන්න එක දෙයයි අවශ්‍ය. ඒ ඕනකම‘‘

ජග්ගිලා කාර්තිකාලා ගෞතම්ලා ඊරාලා අපිට අපේ ජීවිතවල අපමණක් මුණ ගැහෙනවා. සමහර වෙලාවට ආදරය ගැන පිල්ම් එක ඇතුළෙ දෙන සරලයි වගේ පේන ඒත් ගැඹුරු දෘෂ්ටිය අපි අපේ ජීවිතවල දි අඩුවැඩි වශයෙන් ගලපාගෙන තියෙනවා. ඒ හින්දා ම Kunal Deshmukhගේ මේ Shiddat මූවි එක අපිට තදින් දැනෙනවා. 

රන්රෝස මලක් නැතිවුණත් - ආත්මීය මාලිමා මුද්දක් නැති වුනත් ආදරය කරන කෙනාව ලබා ගන්න අපි හැමෝම ගාව ඕනකම කියන දේ තියෙනවා. ඒත් එහෙම ඕනකම නිසා උත්සහ කරද්දි අපි පරදින්නත් පුලුවන් දිනන්නත් පුලුවන්. ඒ මොන ප්‍රතිඵලය ලබන්නත් උත්සහ කරන්න ඕන.ඒක තමයි ආදරය ගැන කියන්න පුලුවන් පැහැලිම සහ අර්ථවත් ම අදහස.

Top