හැම ගැහැනියක් ඇතුළෙම පුංචි දරුවෙක් ජීවත් වෙනවා - Freedom at midnight (432)

හැම ගැහැනියක් ඇතුළෙම පුංචි දරුවෙක් ජීවත් වෙනවා - Freedom at midnight  (432)

මලයාලියෝ හිත් අල්ලන්නේම සරල තැන්වලින්. හැබැයි ඒ සරලකම අස්සෙන්ම සංකීර්ණ කාරණා ගොඩක් අපි ඉස්සරහ ගෙනත් තියනවා.

චන්ද්‍රා සහ දාස් ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහපත් වුන යුවළක්. විවාහ ජීවිතේට වසර අටයි. වයස අවුරුදු 6 ක දියණියකගේ දෙමාපියන්. ඒත් හිටි ගමන් චන්ද්‍රාගෙන් දාස් ට ලැබෙන්නේ නොහිතන විදිහේ ප්‍රශ්නයක්. තමන්ගේ ලිංගික ජීවිතයේ නිදහස ඔහුගෙන් ඉල්ලා සිටීමක්.

"තමුසේ එහෙම කරන් නෑ .."

ඒ දාස් චන්ද්‍ර ගැන තිබ්බ විශ්වාසය නෙවේ. චන්ද්‍රා දාස් වෙනුවෙන් ගොඩ නංවලා තිබ්බ විශ්වාසය. පිරිමියෙක් ආදරේ අයිතියක් වුන ගමන් ඒ අයිතිය පැත්තක තියන් ජීවිතේ එක්ක ඇවිදන් යනවා. ඒත් ගැහැනියක් ඒ ආදරේ අයිතියක් වුන ගමන් ඒ ආදරේ ජීවිතේ කර ගන්නවා.

විවාහය අස්සේ බහුතරයක් පිරිමි ජීවිතේ ඒකාකාරීත්වයෙන් මිදෙන්න එක එක ෆැන්ටසි අස්සේ අතරමං වෙනවා. පලායන්න ගොඩ නගන හේතු අස්සේ තමන්ගේ බිරිඳ මඟ හැර ගන්නවා. එහෙමත් නැත්නම් බිරිඳගෙන් සඟවන් රහස් ජීවිතයක බැදෙනවා. නමුත් ගැටලුව මතු වන්නේ ඒ අප්‍රසිද්ධ කලාප නොසිතන මොහොතක හෙලිදරව් වූවොත්.

චැට් බොක්ස් අස්සේ පිට ගෑනුන්ගේ හිත් හදන බහුතරයක් පිරිමි, විවාහ ජීවිතයේ ටික කලකින් පස්සේ තමන්ගේ බිරිඳගේ හැඟීම් නොසලකා හරිනවා. විවාහය කියන නෛතික බැඳීම් අස්සේ ජීවන රටාව හුදු ලියවිල්ලකට සීමා කරනවා. ඊටත් පසුව බිරිඳ යන සම්ප්‍රදායික කාර්‍යභාරය ඇය මත පවරනවා.

" හැම ගැහැනියක් අස්සෙම පොඩි ළමයෙක් ජීවත් වෙනවා. එයා සැලකිල්ල, ආදරය, කරුණාව, හුරතලයයි හැමදේම බලාපොරොත්තු වෙනවා."

චිත්‍රපටයේ එක තැනක චන්ද්‍රා දාස්ගෙන් ඉල්ලීමක් කරනවා.. ඒ වැස්ස වෙලාවක බයික් එකේ පොඩි රවුමක් යමුද කියලා. ගැහැනු ගොඩක් වෙලාවට නිදහස, ආදරය හොයන්නේ බොහොම ලාමක පුංචි දේවල් තුළින්. මොන තරම් දේ ලැබුනත් අර පුංචි පුංචි මඟහැරීම් හදවතේ ලොකු හිඩැසක් විදිහට ඉතුරු වෙනවා.

" -ඔයා එහෙම ගියොත් කවුද මගේ රෙදි මැදලා දෙන්නේ ?

- උණ හදගත්තොත් කවුද ඔයාව බලා ගන්නේ

ඒ අවස්ථා දෙකකදී දාස්ගෙන් පිටවන වචන කිහිපයක්. විවාහයක දී සැමියාගේ සියලු කාර්‍යන් ඉටු කිරීම බිරිඳකගේ හුදෙක් වගකීමක් පමණක් බව දාස් මතක් කරනවා. එතුළින් එම විවාහ ජීවිතය හුදෙක් බැඳීමක් නොව ගනුදෙනුවක් බවට ඔහු විසින් පත් කරනවා.නමුත් තමුන්ගේ බිරිඳට හදිසි අසනීපයක් හෝ ඇති වුවහොත් එහිදී තමන්ගෙන් ඉටු විය යුතු වගකීමක් නැති බව ඔහු සිතනවා.

ඊටත් පසුව චිත්‍රපටයේ අවසානය.

" දාස් මට ඔයාට කියන්න දෙයක් තියනවා.

- ආහ්හ් අර පයිප්ප බාස්ට කතා කරන්න ඕනි දේ නේද. මං කතා කරන්නම් "

චිත්‍රපටයේ ප්‍රබලම තැන විදිහට මං දකින්නේ ඒ අවසානය. මොනයම් ආකාරයකට පැහැදිලි කර දුන්නත් දාස් කවරදාවත් තේරුම් ගන්න ස්වාමිපුරුෂයෙක් හෝ තම වැරදි සාදා ගැනීමට පොඩි හෝ උත්සාහයක් නොදරන්නෙක් බව පැහැදිලි වනවා.

ඒ අවස්ථාවේදී චන්ද්‍රාගේ මුහුණේ ප්‍රකාශිත හැඟීම් මත ඒ විවාහයේ ඉදිරි පැවැත්ම පිළිබඳව තීරණයක් ඇය විසින් ගෙන ඇති බව පැහැදිලි වනවා.

ඇය වෙනුවෙන් ඉල්ලා සිටි නිදහස ඔහුටත් ලබාදී සහ ඇයට අවශ්‍ය නිදහස් වීම බොහෝ විට එතැනින් එහාට නෛතිකවම ලබා දෙනු ඇතැයි අනුමානයක් ප්‍රේක්ෂකයා තුළ අවසානයේදී ඉතිරි කරනු ලබනවා.

ඊට අමතරව මලයාලියන්ගේ ස්වාභාවිකත්වය තුළින් සිත් ඇල්ලීමේ කලාව ඉතාමත් නොඅඩුව මේ කෙටි චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙනවා.වැස්ස,කොළ පැහැති පරිසරය , කේරල නිවාස ආකෘතිය වැනි දේවල් හරහා රසික හදවත් තුළ තවත් සුමිහිරි ආකර්ෂණයක් ඇති කිරීමට හැකි වී තිබෙනවා.

ඉතින් තවමත් නරඹා නොමැතිනම් පැය භාගයක් තුළදී ලබා දීමට උත්සාහ දරා ඇති මේ ප්‍රබල පණිවිඩය නරඹන්න.

Top