ආගම් යනු විමුක්තිය උදෙසා නිර්මාණයව ඇති සමාජ ව්‍යුහයන් ය. මේ බොහෝ ආගම්වල අවසාන අරමුණ ලෞකික විමුක්තියක් නොව ඉන් ඔබ්බේ වන පාරලෞකික විමුක්තියකි. එහෙත් එම ආගම් අදහන ජනතාව කෙසේ වුව ද එම ආගම්වල ශාස්තෘන් අනුව යන ආගමික මද්‍යස්‍තානවල වෙසෙන්නන් සියයට සියයක් එම ආගම්වල මුඛ්‍ය පරමාර්ථය සාධනය කරගනු උදෙසා කැපවන්නේ ද යන්න ගැටලුවකි. අවට සමාජය දෙස විමංසනාක්ෂිය යොමු කරන කළ එවැනි සිදුවීම් බොහෝමයක් විවිධාගමික නිල දරුවන් ඇසුරෙන් හඳුනා ගත හැකිය. ක්‍රිස්තියානි ආගමික නිකායක පූජකයෙක් වන මැතිව් පීරිස් සම්බන්ධ සිදුවීම ද එවන් අවස්තාවකට සාක්ෂයක් ය.
1970 දශකයේ දී කොළඹ කිංසි වීදියේ සෙන් පෝල් අපෝස්තලු දෙව්මැදුර ආශ්‍රිත කරගෙන එහි ජීවත් වූ ප්‍රධාන ඇංග්ලිකානු දේවගැතිවරයා වූයේ මැතිව් පීරිස් දෙව්ගැතිවරයා ය. විවාහකයෙක් වූ ඔහුට දරුවන් දෙදෙනෙක් සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඉයුනින් පීරිස් ය. දරුවන් විදේශගතව සිට ඇත. වරක් අහඹුවෙන් මෙන් දේවස්තානයට එන තරුණ යුවලක් වන රසල් ඉන්ග්‍රම් හා ඩැල්රින් ඉන්ග්‍රම් යන දෙදෙනා මුනගැසෙන මෙම වියපත් දෙව්ගැතිවරයා එම තරුණ ස්ත්‍රිය වන ඩැල්‍රින් හට ආසක්ත වෙයි. මේ වන විටත් සමාජයේ විවිධ ක්‍රියාකාරී කටයුතු මගින් ඉහළ සමාජ බලයක් ලබාගෙන සිටි බැවින් දේවගැතිවරයා පහසුවෙන් එම යුවළ තම නිවසේ නතරකර ගනිමින් ඔවුන් දෙදෙනාට රැකියා සපයා ඔවුන්ගේ ජීවිත පාලනය සියතට ගනියි. ඩැල්රින් සමග ලිංගික ඇසුරක් අරඹා පසුව ඇගේ සැමියා වන රසල් ගේ ශරීර සීනි මට්ටම පහත වැටෙනසේ ඉන්සියුලින් ශරීරගත කරවා ඔහු ඉතා සූක්ෂම ලෙස මරා දමන අතර ඉන් ටික කලකට පසුව සිය බිරිඳ ද ඒ අයුරින් ම මරා දමන්නට මේ දේවගැතිවරයා සමත් වෙයි. මේ සත්‍ය සිදුවීමකි.
මේ සත්‍ය සිදුවීම පදනම් කරගනිමින් චන්ද්‍ර රත්නම් විසින් නිර්මාණය කරන ලද අකෝඩින් ටු මැතිව් සිනමා පටය තුළින් එය යළිත් කලාත්මක ස්වරූපයකින් සමාජගතව ඇත. එහිදී යම් යම් හේතූන් මත සත්‍ය කතාවේ යම් යම් වෙනස්කම් සිදුකරන්නට සිදුව ඇත. උදාහරණයක් ලෙස රසල් ගේ නම රැන්ඩි ලෙස ද ඩැලරින් ගේ නම ඩැෆ්නි ලෙස ද භාවිතව ඇත. නමුත් කතා සාරයෙහි විශේෂ වෙනසක් සිදුකර නැත. එබැවින් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වන නිර්මාණයක පැවතිය හැකි සාධනීය ලක්ෂණ එහි දැකගත හැකිය. එහෙත් සිනමා නිර්මාණයේ ගලායාම අවසන් වන මොහොතින් පසු ව සත්‍ය කතාවේ හිඳින මැතිව් පීරිස් හට සිදුවන කිසිවක් නිර්මාණය තුළ නොදැක්වෙයි.
චිත්‍රපටය අවසන් වන්නේ මැතිව් පිරිස් මරණ දණ්ඩනයට නියමවන ආකාරයෙන් ය. සැබෑ කතාවේ මැතිව් පීරිස් ද මරණ දන්ඩනයට නියම වෙයි. නමුත් පසුකලෙක ඒ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වෙයි. ඊටත් පසුව කලකින් ඔහු නිදහස් ව පැමිණ ඩැල්රින් හා විවාහ ව වසර කීපයකින් මිය ගිය බවක් පිලිබඳව වාර්තා හමුවෙයි. ඒ කිසිවක් සිනමා නිර්මාණය තුළ නිරූපණය නොවෙයි. සත්‍ය කතාව අමතක කර සිනමා කල්පිතයක් සේ විඳීමේදී නිර්මාණය සාර්තක වන්නේ සාහසික මිනීමරුවකුට දණ්ඩනය ලබාදීමෙන් කතාව අවසන් වූවා ය යන ප්‍රහර්ෂය ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන එමිනි. එහෙත් සැබෑ කතාවට අනුව එය එසේ වීද? මිනීමරුවකු ලෙස මරණ දණ්ඩනයට නියම වූ ඔහු යළිත් නිදහස්ව එම සමාජයට ම එක්ව ඇත්තේ කෙසේ ද? එය සාධාරණ ද? යන ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු වන්නේ නැත. එක් පසෙකින් එය විශාල පරාසයක් සොයා යන පර්‍යේෂණමය කියැවීමක් නිසා එවන් කරුණක් සිනමා කෘතියට නො ගෙන සිදුවීම වාර්තාකාරී ලෙස ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා උත්සහ ගනු ලැබුවා විය හැකිය.
එහෙත් මේ නිර්මාණයේ කතා පුවත තුළින් රූපණය වන සමාජ තේමාව වඩාත් ප්‍රභලව සමාජය විසින් ග්‍රහණය කරගත යුතු යැයි අපි යෝජනා කරමු. එනම් මෙම සාහසික මිනීමැරුම කරනු ලැබුවේ සාමාන්‍ය පුද්ගලයෙකු නොව ආගමික නිකායක දේවගැතිවරයෙකි. එය ඛේදවාචකයකි. එනම් මිනිසුන්ගේ ආත්ම දමනය හෝ විමුක්තිය යැයි පවසාගනු ලබන කවර හෝ යමක් වෙනුවෙන් මිනිසාට මග පෙන්වීම කරනු ලබන අයෙකු විසින් එම සිවිල් බලය ම භාවිත කර මෙවන් දෑ සිදුකිරීම සමාජය විශාල ම හානියකි. එවන් අයට සමාජයට පේන සේ දඬුවම් ලැබීම රත්නම් ගේ සිනමාපටයේ මැතිව් දඬුවම් ලැබීම හා සමානය. එහෙත් සිදුවීම සමාජයට අමතක වෙන විට වරදකරු යළි සමාජයට ම නිරුපද්‍රිතව පැමිණීම සත්‍ය කතාවේ මැතිව් නිදහස ලබා පැමිණීම හා සමානය. මේවාට හේතුවන්නේ මෙවන් පුද්ගලයන් හට ලැබෙන දේශපාලනික හෝ වෙනත් සිවිල්මය වරප්‍රසාද ආදියයි. එය සිනමා පටයේ පසුකියවීමක් ලෙස සමාජ ගත වී නම් එය විශිෂ්ට වනු ඇත.
ඒ කරුණ පැවසූ විට මෙය හැත්තෑව දශකයේ ඉපැරණි සිදුවීමකැයි සිතා ඔබ එය අත්හරින්නට ඉඩ ඇත. එහෙත් ඒ යුගයේ සිට අද දක්වා ද විටින් විට විවිධ ආගමික මධ්‍යස්තාන ඇසුරෙන් ද ආගමික නිලධරුවන් අතින් ද මෙවැනි අගතීන් සමාජයට සිදුව ඇති හෙයින් ඒ පිළිබඳ සමාජය තුළ බුද්ධිමත් කතිකාවක් ගොඩ නැගිය යුතුය. චන්ද්‍ර රත්නම් ගේ අකෝඩියන් ටු මැතිව් අපට ඒ සඳහා කවුලුවක් විවර කර දෙනු ලැබෙයි.