තමන් සමඟ සටන් කරන්න පුරුදු වෙන්න. මිය යෑමට නොවේ ජීවත් වීමට !! (422)

තමන් සමඟ සටන් කරන්න පුරුදු වෙන්න. මිය යෑමට නොවේ ජීවත් වීමට !! (422)

Chhichhore  සිනමා පටය පිළිබද කියැවීමක්

 Sushant singh Rajput ඉන්දියානු සිනමාවේ සදා නොමැකෙන නමක් සඳහන් කළ , හින්දි සිනමා රසිකයන්ගේ නොමඳ ආදරයට ලක් වුණු තරුණ කඩවසම් නළුවා 2020 ජූනි මස 14 වැනි දින සියදිවි හානිකර ගැනීමක් නිසාවෙනි රිදී තිරයේ ප්‍රබල හිඩැසක් ඇති කරමින් අප අතරින් සමුගන්නවා.

Dil Bechara , MS Dhoni, Chhichhore , Kedarnath , Raabta , PK වැනි චිත්‍රපට ගණනාවකට ඔහු රංගනයෙන් දායකත්වය සපයනවා.

දරාගෙන ජීවත් වීම මිය යෑමට වඩා අපහසු වෙනවා. බිඳ වැටීම්, ප්‍රතික්ෂේප වීම්, පැරදීම් එක්ක මිනිස්සු ජීවිතය තුළින් පලා යෑමට උත්සාහ දරනවා. පලා යෑම ජීවිතයේ පහසුතම මාර්ගය ලෙස ඔවුන් දකිනවා. එහෙමත් නැත්නම් සමාජය විසින් ඒ තත්වයට බහුතර හිත් සකස් කොට තිබෙනවා.

මේ වන විට සමාජයේ තරුණ පරම්පරාව තුළ සියදිවි නසා ගැනීම් සාමාන්‍යයකරණය වී තිබෙනවා. ජීවන අත්දැකීම්, අත්විඳිම් සමඟ දිගින් දිගටම ගැටීම ඔවුන් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

Sushant singh රංගනයෙන් දායකත්වය දැක්වූ, Depression සමඟින් නැවත වතාවක් කරළියට පැමිණි චිත්‍රපටයක් ලෙස chhichhore සිනමා පටය සඳහන් කරන්න පුළුවන්. 

රාඝව් ඉන්ජිනේරු දෙමාපියන් යුවලකගේ එකම දරුවා. අධ්‍යාපනය තුළ පමණක් රැදෙන ඊට එහා බාහිර ලෝකය ගැන සැලකීමක් නොදක්වත දරුවෙක්. තමන්ගේ මව මෙන්ම පියා ඉහළම සාමාර්ථ ලබාගෙන් ඉන්ජිනේරු පීඨයට ඇතුළත් වූ දෙපළක් නිසා තමාද ඒ තැනට අනිවාර්යයෙන්ම යා යුතු යැයි සිතා වෙහෙස වන්නෙක්. නමුත් සිදුවන්නේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ඔහුට අහිමි වීම. ඒ නිසා ඇතිවන කම්පනය නිසා සියදිවි නසා ගැනීමට උත්සාහ දැරීම නිසා නොමැරී බේරෙන දරුවෙක්.

ඊටත් පසුව දිගහැරෙන්නේ තමන්ගේ පියාගේ ජීවිත කතාව රාඝව් වෙනුවෙන් ඉදිරිපත් කිරීමක්.

H4 මුළු ඉන්ජිනේරු පීඨයෙන්ම ප්‍රතික්ෂේප වන නේවාසිකාගාරයක්. මුලින්ම "නිකමෝ" යන ලේබලය සමඟින් ජීවත් වන පිරිසක්. පසුකාලීනව ආදරණීයම ශක්තිමත් පවුලක්.

අන්නි. රාඝව්ගේ පියා. මෙතෙක් කාලයක් වෙනස් කරන්න බැරි වුණු විශ්වවිද්‍යාල ජීවිතය වෙනස් කිරීමට උත්සාහ දරන සටන් කරුවා. අන්නිගේ පෙම්වතිය එහෙමත් නැත්නම් රාඝව්ගේ මව මායා. ඉන්ජිනේරු පීඨයකට කලාතුරකින් වගේ පැමිණෙන රූමතියක්.

සෙක්සා. කාර්ඩ් එකට හේතුව නමේ ම තියෙනවා. එතකොට මමී හැමවෙලාවකම අඬාගෙන අම්මව හොයන කෙනා. ඩෙරෙක් හොස්ටල් එකේ හැමෝගෙම තාත්තා. ඇසිඩ් ඇඟ පුරාම දුවන එකම දේ කුණුහරුප !! එතකොට බේබද්දා . කාමරේ නෝට්ස් වලටත් වඩා තියෙන්නේ බෝතල්. ඉතින් ඒ නිකමෝ හයදෙනා එකතුවෙලා තමන්ගේ නේවාසිකාගාරයට වැටුණු " නිකමෝ" නම කොහොම ගලවයිද ?

 Chhichhore ආදරය, මිත්‍රත්වය , සහෝදරත්වයේ ,සහයෝගය , විදීම් විදවීම් එක්ක හරි ලස්සනට මානව හැඟීම් ස්පර්ශ කරමින් ගලන් යන සිනමාපටයක්.

චිත්‍රපටයේ රාඝව් තුළින් අද බොහොමයක් දරුවන් අත්විඳින ශෝකජනක ඉරණම පෙන්නුම් කරනවා. තරඟකාරීත්වය , සාපේක්ෂතාවය වැනි සංකල්ප අස්සේ දරුවෙක් කුඩා කාලයේ පටන්ම හිර කරනවා. වත්මන් තරඟකාරී අධ්‍යාපන ක්‍රමය වගේම ඒ සඳහා සමහර දෙමාපියන් සිතන පතන ආකාරය පවා හේතු වී තිබෙනවා. දරුවා කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවන බව ඔවුන් අමතක කරනවා. ඒ නිසා අර තරඟකාරීත්වය අස්සේ අර පුංචි දරුවා හිර වෙනවා. දරුවෙක්ට තමන්ගේ ළමා කාලය අහිමි වෙනවා. ජීවිතය කියන්නේ අධ්‍යාපනය පමණයි කියන දේ සිතීමට ඔවුන් පෙළඹෙනවා.

ජයග්‍රහණ පමණක් ඔවුන් සැමවිටම අපේක්ෂා කරනවා. පරාජයන් දරා ගැනීමේ නොහැකියාව මත ඔවුන් ජීවිත පවා අත් හරිනවා. ඉතින් දරුවෙක් සමබර මිනිසෙක් කිරීමේ වගකීම වැඩිහිටියන් සතු වෙනවා.

එලෙසම දෙමාපියන් තුළ පවතින අධික කාර්‍යබහුලත්වය නිසා දරුවෙක්ට නිසි ඇහුම්කන්දෙන්නෙක් අහිමි කරනවා. ඔවුන් තුළ පවතින පීඩනය ප්‍රකාශ කර ගැනීමට තරම් විශ්වාසවත්ත පුද්ගලයෙක් ඔවුනට නැති වෙනවා. ඉතින් තරුණ දෙමාපියනි දරුවෙක්ට හොඳ මාර්ගෝපදේශකයෙක් වගේම හොඳ ඇහුම්කන්දෙන්නෙක්ද වීමේ වගකීම ඔබ සතු වනවා.

ඊටත් පසුව ඒ මායා - අන්නි විවාහ ජීවිතයේ බිඳ වැටීම. දික්කසාදයට හේතුවක්වත් හරියම නොදන්න යුවලක්. අවුරුදු ගණනාවක ප්‍රේම සම්බන්ධයක් තුළින් වූවත් විවාහ ජීවිතය තුළදී අනෝන්‍යය අවබෝධය අහිමි කර ගත් යුවලක්.

දරුවෙක් තමන්ගේ කුඩා අවධියේ පටන් වැඩිය යුත්තේ තමන්ගේ මව - පියා දෙපාර්ශවයේම රැකවරණය මැද. බොහෝ විට පියෙක්ට වඩා දරුවෙක් තේරුම් ගැනීමේ හැකියාව මවක් සතු වෙනවා. රාඝව්ගේ සියදිවි නසාගැනීමේ තීරණයට වක්‍රාකාරයෙන් මායා - අන්නි දික්කසාදයත් හේතු වී තිබෙන බව පෙන්නුම් කරනවා.

ඉතින් විශාදය , ඊටත් පසුව සිය දිවි නසාගැනීම එය හුදෙක් ඒක පුද්ගල තීරණයක් හෝ හේතු සාධකයක් නොවනවා.එය හුදෙක් සමාජය විසින්ම කෙනෙක් පත් කරනු ලබන තත්වයක් වනවා.

මිනිස්සුන්ගේ දරා ගැනීම් විවිධාකර මට්ටම් වල පවතිනවා.ඒ නිසා ඒ සෑම සියල්ලන් සමඟම ගනුදෙනු කිරිමේදී ඔවුන්ගේ ප්‍රමාණය, දරා ගැනීමේ ධාරිතාව සලකා කටයුතු කල යුතුම වනවා. සෑම සියලු ජීවිතයකම වගකීම මනුෂ්‍යන් ලෙස අප සියල්ලෝම සතු වනවා.

ඉතින් මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳව අවබෝධයෙන් මෙන්ම අවධානයෙන්ද කටයුතු කළ යුතු වනවා.

එසේම පෞද්ගලික වශයෙන් අපද ජීවිතයේ අභියෝග වලට නොසැලී මුහුණ දිය යුතු වනවා. බිඳවැටීම් ,පරාජ වීම් නුඹේ ශක්තිය බවට පත් කර ගත යුතු වනවා..එතුලින් පාඩම් උගත යුතු වනවා.

මක්නිසාද යත් කාලයක් ජීවිතයේ බොහෝ පරාජයන් ලබපු බොහෝ පුද්ගලයන් දිනෙක ජයග්‍රහකයන් ලෙස නැවත වතාවක් උපදිනවා. අදටත් එවැනි උදාහරණ ජීවමානව පවතිනවා. 

ඉතින් තමන් සමඟම සටන් කරන්න. මිය යන්න නොවේ. ජීවත් වෙන්න !!

Top