සුළං රොද බන්ධනය කළ දිරිය කොලුවකුගේ සැබෑ කතාන්දරය (289)

සුළං රොද බන්ධනය කළ දිරිය කොලුවකුගේ සැබෑ කතාන්දරය (289)

"ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඉමිපාටාඩෝ මඤ්ඤොක්කා වගේ. පට ගාලා කුණුවෙනවා." 

මෙහෙම කියන්නෙ විලියම්ගේ තාත්තා. විලියම්ගේ තාත්තා ගොවියෙක්. මේ ගොවියාට වෙලා තියෙන්නෙ මලාවි රාජ්‍යයේ ආණ්ඩුවෙන් බැට කන්න. කිසිම සහනයක් නෑ. අඩුම තරමේ ගොවියෝ ගැන හොයලා බලන්නෙවත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජයේ අසරණ ගොවියන්ටත් වෙලා තියෙන්නෙ මෙන්න මේක. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පොහොර ටික, වතුර ටික නැතුව ගොවියා මාධ්‍ය කැමරා ඉදිරියේ අදෝනා දෙමින් වස කන්න වෙලා තියෙන බව කියන දර්ශන අපි දැකලා තියෙනවා. අප්‍රිකානු මහද්වීපයේ මලාවි රාජ්‍යයේ ඉන්න අසරණ ගොවියන්ට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ "ප්‍රජාව" කෙසේ වෙතත් තන්ත්‍රවාදයේ සැබෑ දායාද නම් ලැබෙන්නෙ නෑ. කලට වැසි වර්ෂා නොලැබුනු කල පාසල් යන වයසේ ඉන්න දුප්පත් විලියම්ටත් විලියම්ගේ කුටුම්භයටත් සිද්ධ වෙනවා හාමත් වෙන්න. විලියම්ගේ පවුලට විතරක් නෙමෙයි විලියම් වාසය කරන මුළු ගමට ම එනවා විශාල සාගතයක්. විලියම් සහ මේ පවුලට මලාවි රජයෙන් අත්කරදී ඇති විශාලතම අසාධාරණය වෙන්නෙ විදුලි ප්‍රශ්නය. මේ නිසා විලියම්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. නිදහස් අධ්‍යාපනය අහිමි වු විට දරිද්‍රතාවයේ අන්තයට ගිය කල පාසල් ගාස්තු ගෙවා ගත නොහී පාසලෙන් දොට්ට ඇද දමන්නට යන සිදුවීම දක්වාම මේ රාජ්‍යයේ ඇති දෙකයි පනහේ දේශපාලනය පිළිබඳව සිතාගත හැකියි. විලියම් කුප්පි ලාම්පුවේ තෙල් නැති විට පාඩම් කරන්නෙ කෙසේද? අවසානයේ අධ්‍යාපනය අඩාල වු තැන හේනට යන්නට සිදු වෙයි. 

අනෙක් අතට දුම්කොල සමාගම් මඟින් මේ ගම්මානයට කරනා පාරිසරික හානිය. සොච්චමකට ගස් විකිණිම හරහා අනාගතයට ඉතුරු වනුයේ මුඩු බිම්ම පමණි. ගම්මුලාදෑනියා පුනා පුනා මේ ගම් දනව්වෙ ගම්වැසියන්ට කියනුයේ වතු සමාගම්කරුවන්ගේ සුරාකෑමට හසුනොවන ලෙසයි. මුදල් අංක එකට තබා මසුරුකමට සුන්දර ගම්මානයේ සුළං පොද වපුරන ගස් ටික විකුණා දමයි. ⁣

"පෙරළපං පොළොව. පෙරළපං පොළොව." 

විලියම්ගේ පියා කෑ මොර දෙයි. 

අප සරුසාර ජීවිත ලබා ගැනීම සඳහා, ගොඩනැගීම සඳහා නොයෙක් ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා. කරනවා. ඉගෙනීම, ගොවිතැන, වෙළෙඳාම ආදි ඒ සියලු කටයුතු සඳහා ඕනෑකම, වෑයම , වීර්යාරම්භය, සිත රැඳවීම කළොත් පමණයි අපට එයින් දිනුමක්, ඵලයක්, වැඩක් සිදුකර ගත හැක්කේ, සමහර විට බාධාවලින් කරදරවලින් පිරුණු ලෝකයේ උත්සාහ කළත් ඒ බාධා නිසා ප්‍රතිඵල අඩුව යන වෙලාවල්, වැරැදි යන වෙලාවල් තිබෙන්නට පුළුවන්. එහෙම නම් උත්සාහ නොකර වීර්යයෙන් තොරව ජයග්‍රහනයක් ලබා ගන්නවා කියන එක විහිළුවක්, ප්‍රතිඵලය වැරදුනත් උත්සාහ කිරීම ගෞරවයක්, නම්බුවක්. 

උත්සාහ කරල වැරදුනත් ඒකෙ ඇති වරද මොකක්ද? වරදක් නෑ. ලෝකයා කියන්නෙ “මිනිහ නම් දන්න දහිරිය දැම්ම. ඒත් හරිගියේ නෑ. මොනවා කරන්නද කියලයි. මේක මිනිස් කමට ගෞරවයක්. නම්බුවක් එහෙම නෙවෙයි, උත්සාහ නොකොට කුසීතකමට පිරිහුණොත් එතනදී අපේ මිනිස්කමට ලැබෙන්නේ නිගාවක්. විලියම්ගේ තාත්තා ගිනි කූටක පොළොවේ වැහි වළාවක සේයාවක් නැති කොට පාත්ති දාන්න පොළව පෙරළුවා කියලා වැඩක් වෙන්නෙ නෑ. පුංචි විලියම්ට ඇහුම් කන්න දෙන්න තාත්තා සූදානම් නෑ. විලියම් සුළංමෝළක් හදනකොට තාත්තා ඒක දකින්නෙ සෙල්ලම් බඩුවක් විදියට. තාත්තා ගොවියෙක් බව ඇත්ත.හැබැයි හොඳ සවන්දෙන්නෙක් නෙමෙයි. 

ඉගෙනීමෙහි යෙදෙන ශිෂ්‍යයා ඉගෙනීමට අදාළ උත්සාහය උනන්දුව යෙදවුවොත් පමණක් ඉන් නිසි නියම ඵල ලබන්න පුළුවන්. කියවීම, ලිවීම, සාකච්ඡාව, චින්තනය, පර්යේෂණය යන විවිධාංශවලට යොදන උත්සාහය, උනන්දුව විශාරද රට පිළිගත් උගතුන් වීමට බුද්ධිමතුන් වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ මිස කම්මැලියෙක් කුසීතයෙක් විශාරද පඩිවරයෙකුගේ, උගතෙකුගේ තත්වයට පත්වු බවක් අපට අහන්නටවත් ලැබෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ අනික් හැම අංශයක් ගැන බැලුවොත් එහි ජයහ්‍රහණය සාරවත් බව ගොඩනගා ගත හැක්කේ වීර්යාරම්භය පදනම් කර ගෙනයි. කෘෂිකර්මයෙන් රැකෙන්නෙකුට යැපෙන්නෙකුට විර්ය කොතරම් අවශ්‍යද? කලට වේලාවට වැපිරීම, ආරක්ෂාව, නඩත්තුව, අස්වනු නෙලීම, සුරක්ෂිත කිරීම ආදි දේවලට ඉතාමත් සාර්ථක උත්සාහයක්, උනන්දුවක් තිබිය යුතුයි. නැතිනම් ඒවා පාළුවීම, නිසරුවීම, නොයෙක් උවදුරුවලට අසුවීම නිසැකයි. විලියම්ගේ තාත්තා ගොවියෙක් වුනාට පොළොව ඉරිතැළුණු පොළොවෙ උදැල්ලෙන් පස පෙරළුවට වැඩක් නෑ. පසට නැවුම් බවක් එන්න වතුර නැත්නම්. විලියම්ලගේ ළිදේ වතුර ටික මේ කුඹුරට හරවන්න ක්‍රමයක් හදන්න තමා මේ උත්සාහය. විලියම් ට මහලොකු දැනුමක් නෑ. අපිට මහලොකු වැඩක් වුනාට විලියම් කළේ පොඩි දෙයයි. තාර්කිකව සිතීම සහ ස්ථානෝචිත ප්‍රඥාව.අපේ අධ්‍යාපන ක්‍රමයේ නැත්තෙත් ඕක. creative thinking එකයි, Critical Thinking එක මොට කරලා තියෙන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙන්මයි. 


මිනිසා සවිඥානිකව විය යුතුයි. මේ හැම එකක්ම මිනිසා මුහුණ දිය යුතු ප්‍රශ්නයි. ඒවාට බිය විය යුතු නැහැ. ධෛර්යයෙන් ඒවාට මුහුණදිය යුතුයි. ජයග්‍රහණය ලබා ගත හැක්කේ එවිටය. විලියම්ගේ නුවණ නැතිකොට මුළු ගමක්ම වගේ එදා සාගතයෙන් මියයන්නට තිබුනා. කොච්චර උපාධි ගැහුවත් වැඩක් නෑ. ඒ විද්‍යාර්ථයා ප්‍රායෝගික වැඩ ලෝකයේ හැසිරෙන්න දන්නෙ නැත්නම්. "The Boy Who Harnessed the Wind" චිත්‍රපටයේ ඉන්න විලියම් වගේ හිතන පතන බුද්ධිමත් උත්සාහවන්ත දරුවෙක් අපේ අධ්‍යාපන ලෝකයෙන් බිහිකරගන්නට ඇයි තවමත් ප්‍රමාද කියලා බලන්න මේ විශිෂ්ට චිත්‍රපටය බලන්න ම වෙනවා.

Top