යුද්ධයේ පොදු ඛේදවාචකය ගැන කියන ‘’ඉර මැදියම’’ (242 වන ලිපිය)

යුද්ධයේ පොදු ඛේදවාචකය ගැන කියන ‘’ඉර මැදියම’’ (242 වන ලිපිය)

යුද්ධයට සම්බන්ධ වූ නො වූ සියල්ලෝ ම යුද්ධයෙන් පීඩා වින්දෝ ය. යුද්ධයේ සැබෑ යථාර්ථය එය ම ය. අප අද ජීවත්වන පශ්චාත් යුධ සමය තුළ වුව ද තවමත් යුද්ධය හේතුවෙන් ජීවිතයේ විඳවීම් අහිමිවීම් වෙනුවෙන් හඬා වැටෙනවුන් හමු වන්නේ ඒ යථාර්ථය නිසා ය.

1996 යනු ලෝක කුසලානය දිනූ වසරය. ජය ඝෝෂා නගමින් වීදි බැස ප්‍රීතිය සැමරූ වසර ය. එහෙත් ඒ මහා සමාජයේ මතකයකි. ඒ මහා සමාජය තුළ වෙසෙන එක් එක් මිනිසුන් තුළ කුටුම්භ තුළ කුඩා මතක අංශු රාශියක් පිළිබඳ අපට මුන ගැසෙන්නේ "ඉර මැදියම' හි දී ය.

චමරී යනු; එල් ටී ටී ඊ සංවිධානය විසින් අත්තඩංගුවට ගත් ගුවන් නියමුවකුගේ තරුණ බිරිඳක් ය. ඇය තුළ සිය සැමියා ජීවතුන් අතර පවතී යැයි විශාල විස්වාසයක් ඇත. ඇය සිය සැමියා සෙවීම උදෙසා සමන් නම් මාධ්‍යවේදියකු සමග උතුරට යන්නේ ඔහුගේ සබඳතා මගින් සැමියා ගැන තොරතුරු සෙවිමටය.

දුමින්ද යනු; රජයේ හමුදා සොල්දාදුවෙකි. ඔහු මිතුරන් සමග නිවාඩු ලබා නිවසට යන අතර වාරයේ දී අනුරාධපුරයේ ඇති ගණිකා නිවසකට යයි. එහිදී අනපේක්ෂිතව ම ඔහුට ඔහුගේ නැගණිය ගණිකා වෘත්තියෙහි යෙදෙනු දක්නට ලැබෙයි.

අර්ෆත් යනු; කුඩා මුස්ලිම් දරුවෙකි. ඔහුටත් ඔහුගේ පවුලටත් සිය නිවෙස් ගම් බිම් බඩු බාහිරාදී සියල්ල ම අතැර යන්නට එල් ටී ටී ඊ සංවිධානය බලපෑම් කරයි. අවසානයේ ඔවුන් ඇඳිවත රැගෙන රජයේ පාලන කලාපයට පැමිණෙයි.

මේ චරිත තුන මගින් සමාජ පන්ති තුනක් නිරූපිතය. චමරී මධ්‍යම පන්තික සමාජයේ නිරූපිතයකි. ඇයට සෘජුව යුද්ධය සමඟ සබඳතා නැත. එහෙත් ඇය යුද්ධයෙන් පීඩා විඳියි. දුමින්ද නිර්ධන පාන්තික නියෝජනයකි. ඔහුට යුද්ධය වෙනුවෙන් සේවය සැපයීමෙන් මුදල් ලැබිය හැකි වුව ද ඔහුගේ කුටුම්බය දෙදරීමට වක්‍රව බලපාන්නේ ඒ යුද්ධය ම ය. අර්ෆත් මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයකි. කිසිවක් නොදන්නා ඔහුගේ ළමා ලෝකය ඔහුට අහිමි කරන්නේ යුද්ධය ම ය.

මේ තිදෙනාගේ ම ජීවිතවල ඛේදවාචකය ඉර මැදියම හරහා සිනමාත්මකව ඉදිරිපත් වෙයි. එක් පසෙකින් මේ සිනමා නිර්මාණය තුළින් සමස්ථ සමාජයේ ම නිරුවතට දැඩි පහරක් එල්ල කෙරෙන්නේ දේශපාලනික ස්වරූපයකින් ය. චමරි සැමියා සොයා යන ගමන උදෙසා සිය ස්ත්‍රීත්වය භාවිත කරන්නට දරන වෑයමත්, රට රකින සෙබලුන් ගණිකා නිවසට ඇදීමත් ගණිකාවන් සමග යහන් ගතවුව ද ඒ වෘත්තියට සිය කුටුම්බ වාසියෙකු ඇද වැටීම තුළ ඇතිවෙන කම්පනයත් එකී ගණිකා නිවාසය උත්තුංග සංස්කෘතියක් යැයි සැලකෙන අනුරාධපුර පුදබිම ආශ්‍රිතව පැවතීමත් අර්ෆත් පසුපසින් ඇතැර එන බල්ලා නැවත නැවතත් පැමිණෙන ස්වරූපය දැක්වීමත් ආදී සාංකේතීය සිදුවීම් මගින් සැබැවින් ම මෙවන් යුගය සැබෑ සමාජය නිරූපණය කරන්නට උත්සහ ගනියි.

කෙසේ වුව ද කිසිදු සබඳතාවක් නැති මේ තිදෙනා ම පීඩාවට පත් කරන යුද්ධය ම එක් මොහොතක මේ තිදෙනා මුණ ගස්වයි නිර්මාණය අවසන් වන්නේ ඒ මොහොතේ ය. එමගින් යුද්ධය අවසානයේ සියල්ලට ම අත්කර දෙන්නේ පොදු ඛේදවාචකයක් යැයි පැහැදිලිව එමගින් පෙන්වා දෙයි. පශ්චාත් යුධ කාල සීමාවක වුව ද ඔබ ඉර මැදියම නැරඹිය යුතුයැයි මම යෝජනා කරන්නේ මේ සිනමා පටය මනුෂ්‍ය ජීවිතවල අංශුමාත්‍රයන් නිරූපණය කරන බැවින් ය. 

Top