යථාර්ථය පිටපත් කිරීමේ සෙලියුලයිඩි චාරිකාව හෙවත් "Baraka" සමඟ ජීවිතය විනිවිදිමු"(212 වන ලිපිය)

යථාර්ථය පිටපත් කිරීමේ සෙලියුලයිඩි චාරිකාව හෙවත් "Baraka" සමඟ ජීවිතය විනිවිදිමු"(212 වන ලිපිය)

'BARAKA' වාර්තා චිත්‍රපටය නරඹන්නට ප්‍රබල උත්තේජනයක් සපයන්නේ සමීප මිතුරෙකු සේම, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන තරිඳු රාමනායක ය. ඔහුගෙන් ප්‍රියතම චිත්‍රපට පිළිබඳ විමසා බැලූ කල ඉහළින්ම රෙකමදරු කළ සිනමාපටය " බරකා" වාර්තා චිත්‍රපටය(Documentary) විය. විගසින්ම යු ටියුබි සබැඳියෙන් බාගත කරගත් 'බරකා' වාර්තා චිත්‍රපටය නරඹා අවසන් වු පසු විස්මයාවහ දනවන සුළු සිනමා අත්දැකීමකට මනස බදුන් විය. එසේම අප ලෝකය දිහා බැලිය යුතු ආකාරය පිළිබඳ පුළුල්ව, ආනන්දයෙන් ප්‍රඥාව කරා අප ගෙන ගිය රෑපකාලංකාරයක් ලෙසිනුයි "බරකා" වාර්තා චිත්‍රපටය හදට සමීප වූයේ. ආන්ද්‍රේ තර්කොවිස්කිගේ සිනමා න්‍යායට අනුව 'බරකා' වාර්තා චිත්‍රපටය හැඳින්විය හැක්කේ කාලයෙන් නෙළිමක්(Sculpting in time) බවයි. මන්දයත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා පැයයි විනාඩි තිහක් වැනි කෙටි කාලයක් තුළ පෘථිවියේ මුළු දේශපාලනික, ආර්ථික, ආගමික,පාරිසරික,ඓතිහාසිකමය වපසරිය එක මිටකට පෙන්වීමට ගත් උත්සාහය නිසාම එසේ පැවසීම යුක්තිසහගතය ය. වාර්තා චිත්‍රපටයේ මුලිකාංග සතර, "බරකා" සිනමාකෘතිය සමඟ සමිබන්ධ කළහොත්, 

  1. වාර්තා කිරීම, අනාවරණය කිරීම, සංරක්ෂණය කිරීම
  2. පොළඹවාලීම

3.විශ්ලේෂණය කිරිම හෝ ප්‍රශ්න කිරීම 

4.අදහස් පළ කිරීම

යථෝක්ත මුලිකාංග "බරකා" වාර්තා චිත්‍රපටය තුළ පිහිටා ඇත. "බරකා" වාර්තා චිත්‍රපටය පෘථිවි තලයේ ඇති ජීවන වපසරියන් පිළිබඳ අලුත් ජනසමාජයක් සහ නව පරමිපරාවක් වෙත හඳුන්වා දෙන්නට අනාගතයට ඉතිරි කරන මහාඅනර්ඝ නිර්මාණයකි. ශ්‍රව්‍යය හා දෘශ්‍ය මානවවංශ ලේඛනයකි. සත්‍ය ජීවන අඩවි වෙත කැමරාව දල්වන " බරකා" චිත්‍රපටය පැයකුත් විනාඩි තිස්හතක් පුරාවටම පෘථිවියේ සාරය කැටිකරයි. 

සිනමාපටයෙහි පළමු රූපරාමු පෙළ ආරමිභ වනුයේ රිලවුන් පිරිසක්, අධික සීතලෙන් බේරීමට උණු වතුර පිරි පොකුණුවල ලැගගෙන සිටින අවස්ථාවකිනි. සත්ත්ව සංහතියේ මානව පරිණාමය ආරම්භයේ දී, මානවයා තම දිවිය රැකගන්නට සහ ජීවිතය ඉදිරියට ගෙන යාමට ගත් උත්සාහය පිළිබඳ ඉන් නිරූපණය කරයි. අනතුරුව දේශදේශාන්තරවල පිහිටි විවිධ ආගමිවල දෛනික ක්‍රියාකාරී ස්වරූපයන් සහ සංස්කෘතීන් කැමරා කාචයට හසු වෙයි. 

"බරකා" වාර්තා චිත්‍රපටය තුළින් ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායන් බිහි වීම ගෝත්‍රිකයන්ගේ චාරිත්‍රයන් හා සම්ප්‍රදායන් තුළින් ජන විවිධත්වය නිරූපනය කරයි. ගෝත්‍රික සමාජය ක්‍රමයෙන් විතැන්ව ග්‍රාමීයකරණය වීම සහ අනතුරුව විසල් නාගරීක ජනාවාසබවට පත්වීම නිරූපණය වෙයි, මිනිස්සු ඒකාකාරී වීම, රැකියා වෙනුවෙන් කරන තරඟකාරිත්වය චිත්‍රපටයේ ඉදිරි දර්ශනයන් තුළට ගෙන යයි. මේ සියලු දේ අවසානය වන්නේ මරණයෙන්. එය චිත්‍රපටය අවසානයේ ඉන්දියානුවන්ගේ බරණැස් නුවර ගංගා නමි නදිය අසල මළ සිරුරු ආදාහනය කිරීමේ දර්ශනවලින් සියළු දේ අනිත්‍ය බව පසක් කර දෙයි. මෙහි ජනතාවගේ සියළු අවනඩු, කරදර,ගැටලු කාම්බෝජයේ විසල් ගල් පිළිමවලට, ඉන්දුනීසියාවේ බොරෝ බුදුරේ විහාරයේ බුද්ධ ප්‍රතිමාවලට, ඊජිප්තුවේ පාරාවන්ගේ පිළිරූවලට ද නොතේරේ. ප්‍රතිමාව සහ දැවෙන මළ සිරුරු අනියත විසල් බවෙහි සංකේත ය. 

මෙහි අපුරු රූපකාලංකාර සංචාරය තුළ ජන විවිධත්වය සමඟ බැඳුණ අභිචාර විධි ද, පරිසර සෞන්දරය සමඟ බැඳුණු නෙක නෙක වෛවර්ණ රටාද නිරූපණය චමත්කාර ය. අග්නිදිග ආසියානු කලාපයේ කාර්මීකරණයට නතු වූ යාන්ත්‍රික මිනිසාගේ ඒකාකාරී ක්‍රියාකාරකමි සමඟ රූප ගළපයි. වැඩ ලෝකය තුළ දිවියේ ඇති දැඩි තරඟකාරීබව පෙන්වන්නට වස්තූන් සහ මිනිස් ක්‍රියාකාරකමි රූප අති වේගවත්ව ධාවනය කරයි. අතිශය දුර රූපයකින් නගරයක ක්‍රියාකරිත්වය කුඹි ගුලක් ඇවිස්සුන්නාක් මෙන් රූප ජේදනය කරයි. 

කාර්යබහුලත්වය විසින් නතුකරගත් තෙරපෙන මිනිස් පොදි සමඟ අභිජනන කුකුළු පැටවුන්ගේ සත්තාව සමඟ රූප ජේදනය කිරීම මඟින් තෙවන අරුතක් මතු කරයි. සියුම් උපහාසය දනවයි. මක්කම වඳින ඉස්ලාමි බැතිමතුන්, නේපාලයේ ලාමාවරුන්, ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි බැතිමතුන්ගේ අපමණ භක්තිය දක්වන නිරූපණ තුළින් අධ්‍යක්ෂවරයා මතුකරන්නට උත්සාහ දරන්නෙ මිනිසා ආගම කෙරෙහි ඇති දැඩි ලබ්ධිමය ස්වරූපයයි. විටෙක ආගම් පිළිබඳව උපහාසයට ලක්කරනවාදෝයි සිතෙයි. ජීවිතය, ජීවිතය ලෙස ම තෝරා ගැනීමෙහි ධාරිතාව යථා ලොව සජීවි දර්ශන හා සජීවි දිවිය "බරකා" තුළ දැකිය හැකි ය. 

මොන්ටාජ් රීතිය⁣හෙවත් සමෝධානය යොදාගෙන එකිනෙකට නොගැලපෙන රූප දෙකක් ගැටීමට සැලැස්වීමෙන් තුන්වන අරුතක් නිෂ්පාදනය කරන මේ අපුරු ශිල්ප ක්‍රමය හරහා චිත්‍රපටය තුළ විවිධ අර්ථ පුනර්නිෂ්පාදනය කරයි. කැමරා කෝණ ඉතාමත් නිවැරදි ය. හුදෙකලා වු ඊජිප්තු නටබුන් අතරින් නොනවත්වාම දිවා රෑ ගෙවෙන බව හඟවයි. කාලය වේගයෙන් වියැකී යයි. චිත්‍රපටය තුළ පසුබිම් සංගීතය තුළින් ලබාදෙනුයේ ප්‍රබල භාව කම්පනයකි. රූපය සමඟ ගැටෙන සංගීතය විටෙක ආධ්‍යාත්මික සුවයක් අත්කර දෙයි. රූපයට වඩා සංගීතයේ ඇති ප්‍රබලත්වය මොනවට විදහා පාන කදිම නිදර්ශනයකි.

 "Baraka" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා Ron Frickeය. සිනමාපටය පුරාවටම 70mm කැමරාවක් භාවිතාකොට රූප රචනාව සිදු කරන්නේ ද Ron Frickeය. ඩොලර් මිලයන දෙකක සිනමා නිෂ්පාදන පිරිවැය දරන්නේ Mark Magidsoය. තිර රචනය Constantine Nicholas සහ Genevieve Nicholas යන දෙපළයි. සප්ත ස්වරය නිර්මාණය Michael Stearns ගෙනි. සෞන්දර්ය පසුබිමක විවිධ මානුෂිය අරගල සහ මිනිස් ස්වභාවයන් ක්‍රියා කරන ආකාරය සිනමාපටය තුළ සියුම් ආකාරයෙන් පිළිබිඹු වන අතර, මෙම නිසාම ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද "බරකා" සමිභවනාවට පාත්‍ර වීම අරුමයක් නොවෙයි. 

Top