ජ්‍යෙෂ්ඨයින් විසින් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමානුෂික ආකාරයෙන් සැලකීම අනුමත කරන්න බැහැ - නීති ශිෂ්‍යා අලෝකා සිංහබාහු (268 වන ලිපිය)

post-title

අප්‍රතිහත ධෛර්යය, කැපවීම, ආත්ම විශ්වාසය මත තම හීනය කරා ගොස් නොබෝ දිනකින් නීතිඥවරියක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙහි දිවුරුම් දෙමින් සමාජ යහපත උදෙසා කැපවීමට බලා සිටින ඇය ආලෝකා සිංහබාහුය. කුරුණෑගල මලියදේව බාලිකාවෙන් උසස්පෙළට පෙනී සිට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව අද වන විට නීති වෘත්තියෙහි ආධුනික කාල සීමාව පසුකරමින් සිටි. ඉතින්, තාරුණ්‍යයෙහි සිතුම් පැතුම් සමගින් ජීවත් වන ඇගෙන් වචන.lk හි අපි නීතිය සහ සමාජ දේහය පිළිබදව ඇයගේ කියැවීම කෙසේද යන්න පිළිබදව කරන ලද සංවාදයක දිගහැරුමකි මෙය.

Q - ආලෝකා, මේ දවස් වල කොයි විදියටද ඔබේ ජීවිතය ගත වෙන්නේ ?

A - මේ දවස්වල මගේ නීති විද්‍යාල අවසන් වසර විභාගය සමත් වෙලා නීතිඥවරියක් වෙන්න කලින් තියෙන ආධුනික කාල සීමාව පසුකරමින් ඉන්නවා. ඉතාමත් මෑතකදී නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙන්න සූදානමින් තමයි ඉන්නෙ. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. සමහර වෙලාවට ශිෂ්‍යයෙකු ලෙසත්, සමහර වෙලාවට වෘත්තිකයෙකු ලෙසත් වැඩ කරගෙන යනවා. ඒ වගේම තමයි කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක නුහුරු සමාජ අත්දැකීමකට අපිට මුහුණ දෙන්නට සිදු වුණානේ. ඉන් ටිකෙන් ටික මිදෙමින් සාමාන්‍ය ජීවන රටාවට අනුගත වෙමින් මේ දවස්වල ජීවිතය ගෙවනවා.

Q - ඔබ නීති පීඨයට ඇතුළත් වෙලා අද වන විට නීති වෘත්තියෙහි නියැළීමට මූලික පදනම සකස් කරමින් සිටිනවා. අනාගතයේ කවදා හෝ දවසක නීතිඥවරියක් වෙයි කියලා ඔබ සිතුවාද?

A - නීතිඥවරියක් වෙනවයි කියලා පුංචි කාලෙදි කොහොමත්ම එවැනි හැගීමක් තිබුණේ නැහැ. නමුත් හත වසර වෙද්දි කොහෙන් හෝ මගේ හිතට නීතිඥවරියක් වීමේ ආශාව ආවා. නමුත් ඒ වන විට කිසිම අවස්ථාවකදී පවුලේ හිතවතෙක් හෝ නීතිඥවරියක් ලෙසින් මට මුණ ගැසී නැහැ. නමුත් කුමන හෝ හේතුවක් නිසා මම සිතින් සිතුවා නීතිඥවරියක් විය යුතුයි කියලා. මම හිතන්නේ ඒ දෙය නීතිඥවරියන් අදින ඇදුම නිසා වෙන්න ඇති. මම මගේ ආශාව කිසිම කෙනෙකුට කීවෙ නැහැ. මම සාමාන්‍ය පෙළ දක්වා එද්දී මම දැඩි විශ්වාසයක සහ දැඩි අධිෂ්ඨානයක සිටියා මම උසස් පෙළ කලා විෂය ධාරාවෙන් පෙනී සිට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙලා නීතිඥවරියක් ලෙස සේවය කරනවාය කියලා. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් අරගෙන උසස් පෙළ කලා විෂය ධාරාව කරද්දි ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නය තමයි ඇයි කලා විෂය ධාරාව තෝරා ගත්තේ කියලා. නමුත් එවිටත් මම කිසිම කෙනෙකුට කීවෙ නැහැ මට අවශ්‍ය වෙන්නේ නීතිඥවරියක් වෙන්නට කියලා. මම උසස් පෙළ සමත්ව වෙලා නීති පීඨයට තේරුණායින් පස්සේ මගෙන් ප්‍රශ්න අහපු අය තේරුම් ගත්තා ඇයි මම කලා විෂය ධාරාව කළේ කියලා. උසස් පෙළ ලියලා ප්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර මට විශ්වාසයක් තිබුණා මම නීති පීඨයට තේරේවි කියලා. අද වන විට ඒ සිහිනය සැබෑ වෙලා මගෙ හීනයට තටු ලැබිලා. දැන් ඉතින් පියාඹන්න තමයි තියෙන්නේ.

Q - ඔබගේ පාසල් අධ්‍යාපනයේ සිට ඒ ආපු ගමන් මග පිළිබදව කතා කළොත් ?

A - මම කැමතියි ඒ ප්‍රශ්නයට මගේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට කතා කරන්න. මම සිතනවා මට ප්‍රාථමික අධ්‍යාපනය ඉතාමත් හොදට ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර පාසල් ගුරුතුමියගේ තිබෙන දක්ෂතාවය හා ළමයින් පාලනය කිරීමේ මනා හැකියාව මත මට ඉහළ ප්‍රගතියක් දක්වන්නට හැකි වුණා. අධ්‍යාපන කටයුතු වලදීත්, නර්තනය වැනි සෞන්දර්යාත්මක කටයුතු වලදීත් පෙර පාසල් කාලය තුළදීම ක්‍රියාකාරී චරිතයක් ලෙස ඉස්මතු වීමට අවකාශය ලැබුණා. මම පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවේ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලෙන්. මම හිතනවා මගේ මව හැරුණම මගේ හදවතට දැනුණු මගේ පළමුවෙනි පාසල් මෑණියන් ලෙස මම හදුන්වන්නේ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලයි. මම හිතනවා අවුරුදු 11ක් පුරාවට මං අද ඉන්න තැන ගොඩ නගන්න වික්‍රමශීලා ජාතික පාසලේ ගුරුමෑණිවරු පියවරු දැඩි පරිශ්‍රමයක් ගත්තා. ඔවුන් මාව සෑම විටම විශ්වාස කළා. ඒ විශ්වාසයට මමත් පෙරළා මගේ උපරිම ධෛර්යයයෙන් සහ කැපවීමෙන් කටයුතු කළා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම මේ පාසලෙන් ඉවත් වෙනවා. මගේ පාසලට දෙන්න පුලුවන් උපරිම කීර්ති නාමය ඒ කාල සීමාව තුළදී ලබා දුන්නා. විශේෂයෙන්ම සමස්ත ලංකා තරග වලට සහභාගී වෙද්දී අපේ පාසල දන්නේ නැතිව තිබුණු අවස්ථාවකදී වුණත් මොකක්ද? පාසල කියලා අහපුවම ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල කීවාම හැමෝම හදුනා ගන්න තත්ත්වයකට පත් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ගිරිඋල්ල කලාපයේ සියලුම පාසල් අතරින් 2011 වර්ෂයේ දී ඒ සාමාර්ථ 9 ක් තිබුණු එකම ශිෂ්‍යාව වීමට හැකි වුණා. ඒ නිසා පාසලෙන් ඉවත් වෙද්දි පාසලට දෙන්න පුලුවන් උපරිම කීර්ති නාමය ලබා දුන්නා කියලා මම හිතනවා.

මගේ දෙවන පාසල් මෑණියන් ලෙස මම සලකන්නේ ලංකාවේ තියෙන ඉතාමත් කීර්තිමත් බාලිකා පාසලක් වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය. මට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට යන්න ආශාව ඇති වුණේ පහ වසර ශිෂ්‍යත්වයේ දී. නමුත් මම ශිෂ්‍යත්වය සමත් වුණේ නැහැ. විභාගය සමත් වෙන්න පවා ලකුණු කිහිපයක් මදි වුණා. ඒ අවස්ථාවේ දී ඒ හීනය බොද වෙලා ගියත් සාමාන්‍ය පෙළ ඒ 9ක් අරගෙන මෙම පාසලට ඇතුළත් වෙන්න අවස්ථාව හිමි වුණා. ඒ අවස්ථාව ගිලිහෙන්නට නොදි මගේ මවගේ කැමැත්ත සහ ආශාව, කැපවීම නිසාම මම මලියදේව බාලිකාවට ඇතුළත් වෙනවා. 2014 වර්ෂයේදි උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ පෙනී සිට ඉහළම සාමාර්ථය දක්වන්න මට හැකියාව ලැබෙනවා. ඉතිං එක පාසලක් විවෘත වෙනවා කියලා කියන්නේ සිරකරුවන් අඩු වෙනවා කියලා කියනවනේ. ඒ ආකාරයට බැලුවම ඇත්තටම පාසලකින් කෙනෙකුගේ ජීවිතයට ගන්න පුලුවන් දේ උපරිමයි. ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයට ගියා හෝ නොගියා, විභාගයක් සමත් වූවා හෝ නැතත් එම පුද්ගලයා ජීවන ගමන තුළදී ගොඩ නගා ගන්නේ පාසලෙන් ලබා දෙන අත්දැකීම්, පරිකල්පන ශක්තිය, ආකල්ප වැනි දේයි. කෙසේ වුවත් මෙම පාසල් දෙක මගේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න මහා ස්ථම්භයන් ලෙස මගේ පසුපස සිටියා. ඒ පාසල් දෙක වෙනුවෙන් උපරිමය කරන්න මම අදත් සැදී පැහැදී ඉන්නවා.

Q - ඔබ වෘත්තියෙන් නීතිඥවරියක් වන නිසාම නීති වෘත්තිය තුළ සමාජ යහපත වෙනුවෙන් ඔබගේ කාර්යභාරය මොනවගේද ?

A -  සාමාන්‍යයෙන් හොද සමාජයක් තුළ හොද විනයක් තිබෙනවා. එම විනය ගොඩ නැගෙන්නේ හොද නීතියක් තුළයි. සමාජය තුළ විනයක් නෑ කියලා කියන්නේ අනෙකාගේ අයිතිවාසිකම් වලට පහර වැදෙන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩියි. ඒ දෙය වළක්වන්නයි නීතිය රටක ස්ථාපිත වෙලා තියෙන්නේ. නීතිඥවරියක් හෝ නීතිඥවරයෙකුට පැවරෙන ප්‍රධාන වගකීම තමයි සමාජ යහපත වෙනුවෙන් තම වෘත්තිය යොදා ගැනීම. අධිකරණ ක්‍රියාවලිය තුල තමයි නීතිඥවරියක් හෝ නීතිඥවරයෙක් දක්නට ලැබෙන්නේ. නමුත් එය මෙම වෘත්තියේ තිබෙන එක් භූමිකාවක් පමණයි. සේවාදායකයෙක් අප ඉදිරියට පැමිණෙන්නේ විශාල ප්‍රශ්නයක් ඇතිව. එම අවස්ථාවේ දී සේවාදායකයාගේ මනස සංකීර්ණ වූ වියවුල් මනසක්. එම අවස්ථාවේ දී අපට සිදු වෙනවා එම පුද්ගලයාගේ එම පුද්ගලයාගේ භෞතික තත්ත්වය හා මානසික තත්ත්වය අනුව කටයුතු කරන්න. එම පුද්ගලයාගේ භෞතික, ආර්ථික, සමාජ, පවුල් පරිසරය මොකක්ද? මානසික තත්ත්වය යහපත්ද? අවුල්වුණු මනසක්ද? මේ සෑම දෙයක්ම හදුනා ගන්න වෙනවා. වඩාත් වැදගත් වන්නේ එම පුද්ගලයා අප ඉදිරියට ගෙනෙන ප්‍රශ්නයයි. ඔහු ඉන් විදවමින් මිය යන එක වළක්වන එක තමයි ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ. ඉඩම් ආරවුල් සහිත පුද්ගලයෙකුට තියෙන්නේ ඉච්ජාභංගත්වය, දැඩි කම්පනය සහිත මනසක්. එවැනි පුද්ගලයෙකුගේ මානසිකත්වය ගොඩ නැගීමට නීතිඥවරියක් හෝ නීතිඥවරයෙකු සමග කතාබහ මනෝ විද්‍යාත්මකව අතිශය වැදගත්. අපි අධිකරණයෙන් පිටතට ඇවිත් සේවාලාභියා සමග ගනුදෙණු කරද්දී ඔවුන්ගේ උපරිම යහපත වෙනුවෙන් අප කටයුතු කළ යුතුයි. එය අපේ ආචාරධර්ම පද්ධතිය තුළත් තිබෙන දෙයක්.

Q - විශ්ව විද්‍යාල නවක වදය යන කාරණය අද්‍යතනය වන විට සමාජ සංස්කෘතිය තුළ මෙන්ම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළද බහුලවම කතා වෙන ප්‍රස්තුතයක්. එහිදී ඔබගේ හැදෑරීම සමග මෙම කාරණාව ඔබ දකින්නේ කොහොමද ?

A -  විශ්ව විද්‍යාලයට පළමු වසර එහෙමත් නැත්නම් නවකයින් පැමිණෙන්නේ කිසිසේත්ම විශ්ව විද්‍යාල පද්ධතියට අනුගත වීමක් නොමැතිව. ලංකාවේ නන් දෙසින් පැමිණෙන ළමයින් විශ්ව විද්‍යාලයක් තුළ සිටිනවා. මේ නිසාම එකිනෙකාගේ සිතුම් පැතුම් අතර ඝට්ටනයන් ඇති වෙනවා. විවිධ ජන කොට්ඨාශයන් රාශියක් එකට එකතු වෙන තැනක්නෙ විශ්ව විද්‍යාලය කියන්නේ. විද්‍යාලයකින් එහාට ගිහින් විශ්වවිද්‍යාලයක් බවට පත් වෙන්නේ ඒ හේතුව නිසයි. මෙහිදී නවක වදය කියන දෙය අරුත් ගන්වන ආකාරය ඉතා වැදගත්. නවක වදය කියන වචනය නවක වදය ලෙසින් දක්වන්නේ නැතිව නවකයින් පිළිගන්න දෙයක් ලෙස අරුත් ගැන්වුවොත් එයයි වඩා වටින්නේ. නවක වදය නිසා එදා මෙදාතුර කාලය තුළදී විශ්වවිද්‍යාලය තුළ මිය ගිය ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගිය ශිෂ්‍යයන් සිටිනවා. නවක වදය මිහිරි අත්දැකීමක් බවට පත් කර ගත් ශිෂ්‍යයන් සිටිනවා. ඒ හැම දෙයම තීරණය වෙන්නේ ඔහු හෝ ඇය විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තම පවුල හා සමාජය තුළ ගනුදෙණු කර තිබෙන ආකාරය මතයි. නවකයින්ව පිළිගැනීම වදයක් වන ආකාරයට පිළිගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පනතේම තිබෙනවා කිසිම කෙනෙක් කෲර හා අමානුෂික වධ හිංසාවලට ලක් කිරීමේ හැකියාවක් නැහැ. එයට ලක් නොවීමේ අයිතිවාසිකමක් සෑම පුද්ගලයෙකුටම තිබෙනවා. එසේ බැලුවම දහසකුත් හීන පොදි බැදගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට කායිකව හෝ මානසිකව අමානුෂික ආකාරයෙන් ජ්‍යෙෂ්ඨයින් විසින් සලකනවනම් එය අනුමත කළ යුතු දෙයක් නොවෙයි. ඒ නිසා නවකයින් සමග ගනුදෙණු කරද්දි වඩා ප්‍රවේශම් විය යුතුයි. නවකයෙකුට නවක වදය නිසා කටුක අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුනොත් ඒ පුද්ගලයාගේ අනාගතය සුන්දර වෙනවාද? අසුන්දර වෙනවාද? යන්න තීරණය කරන්නට සිදු වෙනවා. ඒ වගේම ඔහුගේ අනාගත ඉලක්කයන් මේ නිසාම වෙනස්කම් වලට භාජනය වෙන අවස්ථාවන් ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දැක ගන්නට පුලුවන්. මේ දැන් වන විට නවක වදයට කෙනෙක් පත් වුණොත් රැගින් ඇක්ට් එක යටතේ නීතිමය වශයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. නීතිය තුළ ඔවුන්ට රැකවරණයක් ලබා දී තිබෙනවා. 

Q - ඇතැම් අවස්ථාවල විශ්ව විද්‍යාල ශිෂ්‍යයා නීතිය අතට ගෙන ක්‍රියා කරන ආකාරයක් විශ්ව විද්‍යාල තුළම දකින්නට පුලුවන්. එයට බලපාන මූලිකම කාරණාව ලෙස ඔබ දකින්නේ මොකක්ද ?

A -  විශ්වවිද්‍යාල පුද්ගලයෙකු නෙවෙයි ඕනෑම පුද්ගලයෙකුට බැහැ නීතිය අතට ගෙන ක්‍රියා කරන්න. එහෙම කළොත් එය පාරාවළල්ලක් වගේ නැවත තමන්ගේ පැත්තට එන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නීතිය අතට ගෙන කටයුතු කරනවා කියන දේත් සමාජය තුළ මුල් බැස ගෙන තියෙන අදහසක්නේ. එයට ප්‍රධාන හේතු ගණනාවක් තිබෙන්නට පුලුවන්. මම හිතන ආකාරයට පුද්ගලයෙකුගේ ශක්තිවන්තම කාලය සහ තමන්ගේ අදහස් මෝරන කාලය, ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය ඉතාමත් හොදින් සිදු වෙන කාලය තමයි යෞවන කාලය කියන්නේ. අවුරුදු 20-25 අතර යෞවනයින් රටක ශ්‍රම බලකායට ඇතුළත් වෙලා ඉහළ වැඩ කොටසක් කරන්නට හැකි පිරිසක්. මෙවැනි පුද්ලයන් තුළ නව අදහස් උද්දීපනය වනවා කියන දෙය පුදුම වෙන්නට කාරණයකුත් නොවෙයි. ඔවුන් කැමතියි මේ යන ක්‍රමයට වඩා System Change එකක් කරන්න. ඒ වගේම දේශපාලන වශයෙන් යම් කිසි විප්ලවයන්ට අතදාන්න ඔවුන් කැමතියි. ඔවුන්ට මෙම විප්ලකාරී හැගීම් ඇති වෙන්නේ තමන්ගේ වයසේ සිටින බොහෝ පිරිසක් සමග කටයුතු කරද්දී. ඒ හැගීමත් සමග තමයි ඔවුන් දේශපාලනික කාර්යයන් වලදී සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේ. වසර ගණනාවක් තිස්සේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න, සාමාන්‍ය පවුල් වල සිටින දරුවන්ට උගත් බුද්ධිමත් ලෙස වැජඹෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ මේ විශ්ව විද්‍යාල පද්ධතිය හරහායි. ඒ නිසා විශ්ව විද්‍යාල රැක ගැනීමේ යුතුකමක් හා වගකීමක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට නිතැතින්ම තිබෙනවා. විශේෂයෙන්ම පරිපාලනයට විරුද්ධව කෑගහලා උද්ඝෝෂණ කරනවාට වඩා අධ්‍යාපනය වැඩි දියුණු කර ගනිමින් ඒ සම්බන්ධව ඉල්ලීම් කරද්දී කාටවත් ඇගිල්ල දිගු කරන්න හැකියාවක් නැහැ. නමුත් ඒ තුළින් දිගින් දිගටම සමාජයට අයහපතක් වනවා නම් සමාජයේ තිබෙන ප්‍රශ්න, ගැටලුකාරී තත්ත්වයන් තවදුරටත් සංකීර්ණ කරනවා. එය නීතිය අතට ගැනීමක් ලෙස අර්ථකථනය කිරීමේ හැකියාව තිබෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්නේ දැනුම් ගබඩාවක්. උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවක් නියෝජනය කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයායි. ඒ නිසා ඔවුන් කියන දෙයට සවන් දෙන්න පරිපාලනයට හා දේශපාලන අධිකාරියට යුතුකමක් තියෙනවා. ඔවුන් සමාජය තුළ වෙනස්වීමක් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ අදහසට පාලනාධිකාරිය ද ගරු කළ යුතුයි. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා නීතිය අතට ගැනීම සුදුසුයි කියලා මම කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. 

Q - අද්‍යතනය වන විට ළමා අපචාර හිංසන වැඩි වශයෙන් සිදු වෙනවා. මේවා මැඩ පවත්වන්න නීතිය හරියට මේ රට තුළ ක්‍රියාත්මක වෙනවාද?

A -  ළමා අපයෝජනය සහ ළමා අපචාර කියන්නේ දෙකක්. ළමා අපචාර ලෙස හදුන්වන්නේ ළමයින් විසින් සිදු කරන නීත්‍යානුකූල නොවන ක්‍රියාවන්. උදාහරණයක් ලෙස ළමයෙකු දෙයක් සොරකම් කලොත්, ළමයෙකු තවත් ළමයෙකුට පහර දුන්නොත් ඒවා ළමා අපචාර ලෙස හදුන්වනවා. නමුත් ළමා අපයෝජන ලෙස හදුන්වන්නේ ළමයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව වැඩිහිටියන් විසින් ළමුන්ව අපරාධ වලට ලක් කිරීම හෝ ළමයාව වැරදි ක්‍රියා වලට යෙදවීම. මෙම නිසාම ළමයාට ශාරීරිකව හා මානසිකව හිංසාවන් ඇති වෙන්න පුලුවන්. ඒවා ළමා අපයෝජන ලෙස හදුන්වනවා. ළමා අපචාර සදහා ශ්‍රී ලංකා නීතිය තුළ ඉතාමත් ප්‍රගතිශීලී නීති තත්ත්වයන් දකින්න පුලුවන්. ළමා අපයෝජන සම්බන්ධයෙන් ද එසේමයි. විශේෂයෙන්ම 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වන ආකාරයට ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම සහ ඒ සදහා පරිශ්‍රමයක් සැපයීම, ළමයින් කෲර වධ හිංසාවට භාජනය කිරීම, ලිංගික අපයෝජනය සදහා ළමයින් සැපයීම, ඒ වගේම අසත්‍යය හෝ අශ්ලීල දර්ශන වලට හෝ ප්‍රකාශනයකට ළමයෙකු යොදා ගැනීම හෝ එවැනි ප්‍රකාශයක් සදහා ළමයෙකු තමා සන්තකයේ තබා ගැනීම, විකිණීම, බෙදා හැරීම, අනුබල දීම වගේ දේවල් දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු වැරදිකරුවෙකු කිරීමේ හැකියාව තිබෙනවා. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ජාත්‍යාන්තර නීතිය තුල එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යාන්තර සම්මුතිය තුළ පැහැදිලිව දක්වා තිබෙනවා ළමයා කියන්නේ කවුද? ළමයාට සමාජය තුල සැළකිය යුත්තේ කුමන ආකාරයෙන්ද? ළමයාව සමාජය තුළදී ආරක්ෂා කර ගත යුත්තේ කොහොමද? යන්න පිළිබදව. ශ්‍රී ලංකාවත් එම ප්‍රඥප්තියට අත්සන් කරලා තිබෙන නිසා එය අපටත් බල පැවැත්වෙනවා. කෙසේ වෙනන් ශ්‍රි ලංකා නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයේ දරුවන්ට විය හැකි අපයෝජන සම්බන්ධයෙන් මිනිසුන්ව වරදකාරී තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඉහළින්ම තිබෙනවා. නීතිය ප්‍රමාණවත්. නමුත් තිබෙන ගැටලුව තමයි ළමයින්ට සිදු වන අපයෝජනයන් සම්බන්ධයෙන් බොහෝ වෙලාවට ඒවා report වෙන්නේ නැති report බවට පත් වෙලා තියෙනවා. බොහොම අතළොස්සක් තමයි report වෙන්නේ. ළමයෙකුට යම්කිසි අපයෝජනයක් සිදු වුණායින් පස්සේ දෙමව්පියන් දැනුවත් කළත් දෙමව්පියන් විසින් ක්‍රියාමාර්ග නොගෙන සිටින අවස්ථාවන් තිබෙනවා. නීතිය ප්‍රමාණවත් වුවත් නීතියේ තිබෙන සහනයන් ලබා ගැනීමට උත්සාහ නොගැනීම තුළ නීතිය යටපත් වීමක් දකින්නට ලැබෙනවා.

Q - ඔබ කාන්තාව නියෝජනය කරන එක්තරා සංකේතයක්. අද කාන්තාව ඇතැම් අවස්ථාවල පුරුෂාධිපත්‍යයේ ගොදුරු බවට පත් වෙනවා. මෑතකදී ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ සිදු වීමත් සමග එය මනාව ගම්‍යමාන වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ ?

A -  පෞද්ගලිකව මම කැමතියි කාන්තාවක්, ගැහැණු ළමයෙක් ලෙස මම සමාජගත වුණු එකට. හේතුව සමාජයක පැවැත්ම තීරණය වෙන්නේ කාන්තාවක් නිසා. ප්‍රජනන ක්‍රියාවලිය තුළත් කාන්තාවගේ වැඩි දායකත්වය මත තමයි මේ සමාජයක පැවැත්ම තහවුරු වෙන්නේ. නමුත් එතැනට පමණක් කාන්තාව ලඝු කිරීම හරිම අපරාධයක්. පවුල තුළ හෝ ආයතනයක් තුළ පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තාව වැඩියෙන් වැඩ කරනවා. සමාජය විවිධාකාරයි. සෑම කාන්තාවක්ම තව කෙනෙකුගේ ප්‍රතිරූපයක් නෙවෙයි. කාන්තාවට සෑම විටම ඇගිල්ල දිගු කරන්න තිබෙන ඉඩකඩ ආසියාතික රටවල් වල ඉතා වැඩියි. එවැනි අවස්ථාවක තරුණියක්, ගැහැණියක් කියන සංකේතය තුළ ඇයට සමාජය තුල නැගී සිටින්නට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදු වෙනවා. ස්වාධිනව නැගී සිටින්න කැපවීම, ධෛර්යය, ආත්ම විශ්වාසය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. පසුගිය දිනයකදී සිදු වු ආන්දෝලනාත්මක සිදුවීමේ දී ලාංකීය සමාජය හැසිරුණු ආකාරය පිළිකුල් සහගතයි. බොහෝ දෙනෙක් වැරැද්ද කියලා තිබුණේ සූට්කේස් එකක කොළඹ වේල්ල වීදියේ හිස නැත් මළ කදක් ලෙස අවසන් ගමන් ගිය තරුණියට. නමුත් වැරැද්ද ඇයගේ විතරද? නැහැ. වැරැද්ද ඔවුන් දෙදෙනාගේම පමණක් නොවෙයි. සමස්ත සමාජයේම වැරැද්දක්. ඒ නිසා අපි මේ ගමන් කරන්නේ කොයි දෙසට ද කියලා නැවත සැරයක් හැරී බලන්නට සිදු වෙනවා. කාන්තාවන් කියලා කියන්නේ බොහෝම පහසුවෙන් පීඩාවට පත් විය හැකි පුද්ගලයින් ලෙසටයි හදුනා ගෙන තියෙන්නේ. කාන්තාවක් හා පුරුෂයෙක් ශාරීරිකව යම් යම් අංග වලින් ව්‍යුහාත්මකව වෙනස් වෙන්නට පුලුවන්. නමුත් ඔවුන්ට තිබෙන්නේ එකම හදවතක්. කුරුවිට තරුණියගේ ඝාතනය වීමත් හා සමගාමීව වෙනත් රටක කාන්තාවකට මෙවැනිම දෙයක් වුණා. එම රටෙහි පුද්ගලයන් සාමයෙන් සැතපෙන්නට ඇය වෙනුවෙන් යාඥාවන් සිදු කළා. නමුත් අපේ රටේ ඒ තත්ත්වය වෙනස්. මෙම සමාජය තළ කාන්තාවට සුරක්ෂිතභාවයක් තිබෙනවාද යන්න විශ්වාස කරන්නට බැහැ. ඒ සුරක්ෂිතභාවය ඇති කර ගත යුත්තේ ඔබ මම වැනි කාන්තාවන්ම තමයි. එහිදි කාන්තාවට ආත්ම අභිමානයක්, ආත්ම විශ්වාසයක්, බුද්ධිමත්භාවය වගේම විචක්ෂණශීලීභාවය තිබිය යුතුමයි කියලයි මම නම් හිතන්නේ.

Q - එය සමාජ ව්‍යුහයේ හෝ නීතියේ කිසියම් දුර්වලකමක් නිසා වෙන දෙයක් ලෙස ඔබ දකිනවාද?

A -  නීති හදන්නේ ව්‍යවස්ථාදායකයනේ. අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායකයට කාන්තාවන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න පුලුවන් වෙන්න නම් ව්‍යවස්ථාදායකයට යවන්න ඕන කාන්තාවන්. නැතුව කාන්තාවන් නියෝජනය කරන පිරිමින්ට බැහැනේ කාන්තාවගේ උපකල්පනයන් තේරුම් ගන්න. ඒ වගේ තත්ත්වයක් තුළ දී නීතියේ අඩුපාඩුකම් තියෙනවද කියලා හිතන එකත් අපරාධයක්. එතැන හැදුවනම් නීතියේ අඩුපාඩුවක් සිද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. සමාජය දිහා බැලුවත් එහෙමයි. කාන්තාව කියන බොහෝ දේවල් බොහෝ අවස්ථාවල නිවැරදියි. ඒවායෙහි යථාර්ථයක් තිබෙනවා. සමාජය තුළිනුත් කාන්තාවට ඉදිරියට ඒමට ශක්තිය දෙන්න අවශ්‍යයි. එහෙම වුණොත් මේ කියන අඩුපාඩුකම් මග හරවා ගැනීමේ හැකියාව තිබෙනවා.

Q - අද සමාජයේ කාන්තාවට සම තැන කෙසේ වුවත් නිසි තැනක් සමාජය තුළ වගේම නීතිය තුළිනුත් ලැබෙනවාද?

 

A -  නීතිය තුළ කාන්තාවට සම තැන හා නිසි තැන කියන දේ අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. පාසල් අධ්‍යාපනය තුළ පිරිමි දරුවෙකුට වගේම ගැහැණු දරුවෙකුටත් අධ්‍යාපනය හැදෑරීමේ සම අයිතිවාසිකම ලැබී තිබෙනවා. සමහර ආගම්වල සීමා පනවලා තිබෙනවා. නමුත් වර්තමානයේ එම තත්ත්වය බොහෝ දුරට පහව යමින් තිබෙනවා. මගේ වෘත්තිය තුළ දී වුණත් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ නීතිඥවරියන්. ඒ ආකාරයෙන් බලන විට කාන්තාවට නිසි තැන වගේම සම තැන ලැබිලා තියෙනවා. නමුත් ගැටලුව වන්නේ ඒ දේ හරි තැනදි ලැබෙනවාද කියන එකයි. රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ගත්තත් රාජ්‍ය පාලනාධිකාරියට යද්දී කාන්තාව සම්බන්ධයෙන් තියෙන අවස්ථාවන්ගේ ප්‍රතිශතය අඩුවෙලා තියෙනවා. කාන්තාවට ඉදිරියට ඒමට අත්වැලක් වෙන්න කවුරුත් උත්සාහ ගන්නේ නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. 

Q - සියලු ක්ෂේත්‍රයන් සාධනීය මට්ටමක් කරා ඒමට නීතිය තුළ ප්‍රතිසංස්කරණයන් යළි නිර්මාණය කළ යුතුද?

 

A -  නීතිය තුළ ප්‍රතිසංස්කරණයන් අනිවාර්යයෙන්ම විය යුතුයි. නීතිය කියන දෙය එක තැන පල් වෙනවානම් අනිවාර්යයෙන්ම කිසිම පුද්ගලයෙකුට නීතියේ පිළිසරණක් සොයා ගැනිමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමාජය වෙනස් වෙනවා. නීතියත් වෙනස් විය යුතුයි. ඒකට තමයි අපි පාර්ලිමේන්තුව අවුරුදු පහෙන් පහට වෙනස් කර ගන්නේ. ඒ ඒ කාල සීමාවන් තුළ රට පාලනය කරන්න හොද කවුද? ඉවත් විය යුතු කවුද? කියන දේ පාර්ලිමේන්තු මැතිවරණයකින් තෝරා ගන්නවා. ඉතින් අපි වෙනුවෙන් නියෝජිතයෝ තෝරා ගන්නවා කියන්නේ අපි වෙනුවෙන් නීති හදන්න ව්‍යවස්ථාදායකයට අපි පිරිසක් පත් කර ගන්නවා කියන දෙයයි. අද බොහෝ වෙලාවට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් නීතියයි. එය වසර ගණනාවකම එපිටින් තිබුණු තත්ත්වයෙන්ම වර්තමානයේත් තියෙනවානම් එතැන ගැටලුවක්. එතැන යුක්තිය ඉෂ්ඨ වීමක් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නට බැහැ. ඒ නිසා නීති ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. 

Q - ඔබේ ඉදිරි වැඩ කටයුතු කොයි ලෙසින්ද සැලසුම් කරලා තියෙන්නේ ?

A -  නීතිය පිළිබද මට ලොකු සිහිනයක් තිබුණා. ඒ හීනය මල්ඵල ගැන්විලා තිබෙනවා. නීතිය කියලා කියන්නේ අතිශය පුලුල් විෂයක්. නීතිය කියන විෂය ධාරාව තුළ ඔබ කලිනුත් ඇහුවා වගේ සමාජයට දෙන්න පුලුවන් දේ උපරිමයෙන් අපි කළ යුතුයි. ඒ සදහා නීති ක්ෂේත්‍රය තුළ ඉහළට තව යා යුතුයි. ඒ සදහා මේ වෙද්දී මගේ අනාගත සැලසුම් තීරණය කරමින් සැලසුම් සකස් කරමින් සිටිනවා.

Top