විවිධ හේතු මූලික කර ගනිමින් රට පුරා මහජන උද්ඝෝෂණ විරෝධතා වර්ධනය වීමක් මේ වන විට දැක ගන්නට ලැබේ. ඒ අතර උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර නිරන්තරයෙන් ගැටුම්කාරී අවස්ථාවන් ද ඇති වන බව නිරීක්ෂිත ය. පවතින නීති රීති පිළිබඳ දැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිවිපාක නොදැන කටයුතු කරන බවක් ඔවුන් දෙස බැලීමෙන් පැහැදිලි වේ. මේ තත්ත්වය මත මහජන උද්ඝෝෂණ, විරෝධතා සහ පොලිසියේ කාර්යයභාරය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතීඥ කළණි ඉරෝෂා ධර්මසිරි මිය සමගින් කරන ලද සාකච්ඡාවක් ඇසුරින් ලියන ලද ලිපියක් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු.
01 මහජන උද්ඝෝෂණ, විරෝධතා මූලික අයිතිවාසිකමක් වෙන්නෙ කොහොම ද?
මානව අයිතිවාසිකමක් කියන්නේ සෘජුවම මිනිසාගේ පැවැත්ම සමඟ බැඳී ඇති දෙයක්. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර මූලික නීතිය මගින් ආරක්ෂාව සලසා දුන්න මානව හිමිකම් වලට තමයි මූලික අයිතිවාසිකම් කියන්නේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ ප්‍රකාශනය සහ අදහස් පළ කිරීමේ අයිතිය හිමි වෙනවා. භාෂණයේ නිදහස යනු පුද්ගලයෙකුට හෝ පිරිසකට මතයක් පල කිරීමට ඇති හැකියාව සහ සන්නිවේදනයේ යෙදීමට ඇති නිදහසයි. ඒ වගේම තවදුරටත් 14 (1) (ආ) වගන්තිය අනුව සාමකාමීව රැස්වීමේ නිදහස, 14 (1) (ඇ) වගන්තිය අනුව සමාගමේ නිදහස 14 (1) (ඈ) අනුව වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ නිදහසට හිමිකම් තිබේ. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම පැවැත්වීමේ අයිතිය සහ නිදහස ජනතාවට හිමි මූලික අයිතිවාසිකමක් විදියට විදිහට සලකන්න පුළුවන්.
02 මහජන උද්ඝෝෂණ මූලික අයිතිවාසිකමක් වුණත් ඒවා සිදුවිය යුත්තේ නෛතික සීමාවන්ට යටත්ව නේද?
ඔව්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 15 වන වගන්තිය ප්‍රකාරව පුරවැසියාට හිමි මූලික අයිතිවාසිකම් සීමා වන අවස්ථා දක්වා තිබෙනවා. 15 (1) වගන්තියේ දැක්වෙන රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාලීන නීති ක්‍රියාත්මක වීමේ දී මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කර ඇති බව දැකගන්න ලැබෙනවා. ඒ වගේම 15 (2) වගන්තිය ප්‍රකාරව භාෂණය, ප්‍රකාශනය, අදහස් පළ කිරීමේ නිදහස කිසියම් වාර්ගික හා ආගමික සහයෝගීතාවයකට හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවකට යටත්ව පවතිනවා. ඒ වගේම 15 (4) වගන්තිය අනුව වාර්ගික සහ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම හෝ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා වන නීති සීමාවන්ට යටත්ව පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සීමා වන බව හඳුනාගන්න පුළුවන්. ඒ අනුව මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් ඉහත කී සීමාවන්ට යටත්ව ඒවා ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
03 මහජන උද්ඝෝෂණ වලට මැදිහත්වීමේ බලයක් පොලිසියට තිබෙනවා ද?
පැහැදිලිවම ඔව්. රටේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබෙන ප්‍රධාන ආයතයක් විදිහට පොලිසිය හඳුනාගන්න පුළුවන්. අපි ජීවත් වෙන සමාජයේ නීතිය ආරක්ෂා කරන බල කේන්ද්‍රය බවට පත් වන්නේ පොලිසියයි. උද්ඝෝෂණවල දී එයට සහභාගී වන මිනිසුන්ගේ සහ සමස්ත මහජනතාවගේ ම ජීවිත ආරක්ෂා කිරීමට, මහජන දේපල, පොදු දේපල ආරක්ෂා කිරීමට පොලිසියේ මැදිහත් වීම ඉතා වැදගත්. මහජන උද්ඝෝෂණ, විරෝධතා ඇතැම්විට විශාල ජීවිත හානි, දේපල හානි සිදු කරන අවස්ථාවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ තත්ත්වය පාලනය කරන්න රටේ නීතිය හා යුක්තිය පසිදලන ආයතනයක් විදිහට පොලිසියට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේ ම රැස්වීම්, පෙළපාළි විසුරුවා හැරීමට පොලිසියට අවම බලය භාවිතා කරමින් කටයුතු කිරිමට බලය තිබෙනවා.
04 අවම බලය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
අවම බලය කියන්නේ යම් කිසි සැකකරුවෙකු හෝ නීති විරෝධී කාර්යයක යෙදෙන පුද්ගලයෙක් යටත් කර ගැනීම සඳහා මහු යොදන බලයට සමානව පොලිසිය විසින් යොදනු ලබන බලයයි. උද්ඝෝෂකයන් හෝ විරෝධතාකරුවන් ඉවත් කිරීමේ දී ඊට එරෙහිව විරෝධතාකරුවන් යොදන බලයට සමගාමීව පොලිසියට බලය යොදන්න පු`එවන්. උදාහරණයක් විදියට කිසියම් විරෝධතාවයක දී රැස්ව සිටින විරෝධතාකරුවන් පොලිසියට ගල්, මුගුරු වලින් පහර දී ආක්‍රමණශීලී ලෙස හැසිරෙනවා නම් නම් එය පාලනය කරන්න පොලිසියට බැටන් පොල්ල යොදා ගන්නවා. නමුත් අවම බලය යැයි පවසමින් කිසිවෙකුට අත්තනෝමතික ලෙස පහර දෙන්න, තුවාල සිදුකරන්න, මරණයට පත් කරන්න පොලිසියට බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IIIවන පරිච්ඡේදයේ 11වන වගන්තියට අනුව කිසිදු තැනැත්තෙකු කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට, දඬුවමකට ලක් කරන්න පොලිස් නිලධාරීන්ට බැහැ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IIIවන පරිච්ඡේදයේ 13 (1) වගන්තියට අනුව නීතියෙන් නියම කරනු ලැබූ කාර්යය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙක් සිරභාරයට ගැනීමට පොලිසියට හැකියාවක් නැහැ. යම්කිසි තැනැත්තෙක් සිරභාරයට ගනු ලබන්නේ නම් ඊට අදාල හේතුව එම පුද්ගලයාට දැන්විය යුතුයි. පොලිස් නිලධාරීන් මහජන උද්ඝෝෂණ සඳහා මැදිහත් විය යුත්තේ එම විධිවිධාන පදනම් කරගෙනයි.
04 උද්ඝෝෂණ හරහා සිදුවන මහජන පීඩාවන්, ව්‍යසනයන් වළක්වා ගැනීමට පොලීසිය දායක විය යුත්තේ කොහොම ද?
රටේ නීතිය ආරක්ෂා කිරීමේ බලයක් පොලිසියට හිමිවෙලා තියෙනවා. පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල්වරයා දක්වාම විහිදී ගිය කාර්යය පටිපාටියක් අනුව ඔවුන් රාජකාරි ඉටු කරනවා. විනය නීතිරීති තුළ, වගකීමෙන් සහ වගවීමෙන් මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතුයි. උද්ඝෝෂණ හරහා සිදුවන මහජන පීඩාවන්, ව්‍යසනයන් පාලනය කිරීමේ ප්‍රබල කාර්යභාරය පොලිස් නිලධාරීන්ට පැවරෙනවා. එම නිසා ඔවුන් හැම විටම අපක්ෂපාතීව, අත්තනෝමතික ලෙස බලය පාවිච්චි නොකොට සැබෑ මහජන සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
05 මහජන උද්ඝෝෂණ බොහෝ විට සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිතයට බාධා ඇති කරනවා. ඔබ නීතිඥවරියක් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින් උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ සමාජයට දෙන පණිවිඩය කුමක් ද?
මිනිසුන් උද්ඝෝෂණ සිදු කරන්නේ අහිමි වූ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන්. නමුත් එම අයිතීන් දිනා ගැනීමේ දී පුද්ගල ජනජීවිතයට බාධා ඇති නොකළ යුතුයි. මහජන උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ ඒ දිනාගැනීමට තුළින් අපේක්ෂා කරන අයිතීන් පෙරළා සමස්ත සමාජයටම යහපතක් වෙනවා නම් පමණයි. පෞද්ගලික ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම නොකළ යුතුයි. වර්තමානයේ බොහෝ අවස්ථාවන්වල දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපල විනාශ කිරීම, මහා මාර්ග අවහිර කිරීම වැනි සෙසු ජනතාව අපහසුතාවයට පත් කරන ක්‍රියාවන් සිදුවෙනවා. මිනිසුන් අයිතීන් දිනාගත යුත්තේ සෙසු ජනතාව අපහසුතාවයට පත්කර නොවේ. අපි හැම වෙලාවෙම අයිතීන් ගැන පමණක් අවධානය යොමු කරනවා. නමුත් අපෙන් ඉටුවිය යුතු යුතුකම්, වගකීම් ගැන හිතන්නේ නැහැ. එම තත්ත්වය වෙනස් කළ යුතුයි. රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරගනිමින් වගවීමෙන් ජීවත්වීම කාලීන වශයෙන් අතිශය වැදගත් වෙනවා.
සාකච්ඡාව : විජිනි තක්ෂිලා
සීමාවාසික පුහුණුව
පොලිස් මාධ්‍ය කොට්ඨාසය