කෝලම් නාට්‍ය සම්ප්‍රදායට නැවත ජීවය ලබා දෙන්න රාජ්‍ය අංශයේ සහයෝගය අවශ්‍යයයි (653)

post-title

අතීතයේ විසූ මහා සම්මත රජුගේ බිසවට සිනහ උපදවන යමක් දැකීමට හටගත් දොළදුක සංසිඳවනු වස් කෝලම් නාට්‍ය කලාවේ උපත සිදු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාවන් අතර කෝලම් නාට්‍ය කලාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. දකුණු දිග මුහුදු ප්‍රදේශ අවට ප්‍රචලිතව පැවති මෙය දේශීය අනන්‍යතාවය විදහා දක්වන කලාවක් ලෙස හඳුනාගත හැකිය.

කෝලම් නාට්‍ය කලාවේ අතීත සහ වර්තමාන ගමන්මග පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළේ වියැකෙමින් යන ජන උරුමයක වටිනාකම යළි යළිත් ඔබට සිහිපත් කිරීම සඳහා ය. ඒ සදහා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනා ඇති කෝලම් නාට්‍ය කලාවේ පාරම්පරික උරුමකරුවන් වන මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී හරිස්චන්ද්‍ර ටුක්කාවඩු මහතා සමග වචන වෙබ් අවකාශය වෙනුවෙන් කළ කතාබහයි මේ....

ඔබේ පරම්පරාව කෝලම් නාට්‍ය කලාවට දක්වන සම්බන්ධතාවය පැහැදිලි කළොත්

මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරම්පරාව කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා පැරණි ගුරුකුලයක්. කෝලම් නාට්‍ය කලාව සම්බන්ධව අපේ පරම්පරාවට වසර දෙසියපනහකට එහා ගිය අතීත උරුමයක් තියෙනවා. මහ අම්බලන්ගොඩ කෝලම් නැටුම් පරපුරේ මුල් පුරුක ටුක්කාවඩු ඔයිනිස් ගුරුන්වහන්සේ මගේ මුත්තණුවන්. දෙවන පුරුක මාගේ සීයා ටුක්කාවඩු පෑලිස් ගුරුන්වහන්සේ. මගේ පියා ටුක්කාවඩු ගුණදාස ගුරුන්වහන්සේ ඔහු අපේ පරම්පරාවේ තුන්වන පුරුක. මම හතරවන පුරුක. මගේ පුතුන් දෙදෙනා, දුව සහ ලේලිය රංග හසන්ත, චන්දික තුෂාර, චලනි රූෂිකා, ප්‍රියංගිකා එදිරිසූරිය මගෙන් පසු කෝලම් නාට්‍ය කලාව ඉදිරියට ගෙනයන පස්වන පරම්පරාවයි.

සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාවේ පැවැත්ම සඳහා ඔබේ පරම්පරාවට දායක වීමට ලැබීම පිළිබඳව ඔබට දැනෙන්නේ මොන වගේ හැගීමක් ද?

ඇත්තටම ලොකු සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා. සම්ප්‍රදායික ජන කලාවක් පරිහානියට පත්වෙනවා කියන්නේ විශාල අපරාධයක්. ටුක්කාවඩු පරම්පරාව මෙම කලාව ආරක්ෂා කරගන්න විශාල කැපකිරීමක් කරනවා. අපේ මූලික අරමුණ මෙම කලාව සංරක්ෂණය කර ඉදිරියට ගෙනයාම මිසක් වාණිජ පරමාර්ථයෙන් මුදල් ඉපයීම හෝ ලාභ ප්‍රයෝජන ලැබීම නොවේ.

සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාවේ අභිවෘද්ධිය උදෙසා ටුක්කාවඩු පරම්පරාව දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙතෙක් ලබා ඇති ඇගයීම කොයි වගේ ද?

කෝලම් නැටුම් කලාව වෙනුවෙන් ටුක්කාවඩු ගුණදාස ගුරුන්වහන්සේගේ ශිෂ්‍යයන් හත්දෙනෙකුට කලාභූෂණ රාජ්‍ය සම්මාන හිමි වුණා. එය විශාල ඇගයිමක්. ඇත්තටම ලංකාවේ මෙවන් රාජ්‍ය සම්මාන හතක් හිමිකරගත් වෙනත් ගුරුකුලයක් ගැන මම අහල නැහැ. කේ. එම්. ප්‍රේමදාස, ටී. ඩබ්ලිව්. ආරියරත්න, ටී.ඩබ්ලිව්. සුමනසේන, ඩබ්ලිව්. ඩැනිපාල, පී.ඩී. ලීලාරත්න, එම්.එච් සෝමපාල යන කලාකරුවන්ට සහ මටත් එදා කලාභූෂණ රාජ්‍ය සම්මාන හිමි වුණා. 

ඊට අමතරව 1953 වසරේ දී දෙවන එලිසබත් රැජින ලංකාවට පැමිණි අවස්ථාවේ දී මෙන්ම රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔවුන් ඉදිරියේ කෝලම් නැටුම් රඟ දක්වා අපේ කලා ශිල්පීන් සම්මානයට සහ ඇගැයීමට පාත්‍ර වෙලා තියෙනවා.

ඒ වගේම අතීතේ ඉඳලා දේශීය වශයෙන් පැවැත්වුණු තරග විශාල සංඛ්‍යාවකට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. හොංකොං, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි විදේශීය රටවල් ගණනාවක පැවති අන්තර්ජාතික උත්සව සහ තරග සඳහා ලංකාව නියෝජනය කිරීමටත් අපේ පරපුරේ කලා ශිල්පීන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.

අතීත ගැමි කලාකරුවාගේ නිර්මාණත්මක හැකියාව කෝලම් නාට්‍ය තුළ නිරූපණය වී ඇති ආකාරය ඔබ දකින්නේ කෙසේ ද?

ඇතැම් අය කෝලම් නාට්‍ය කලාව අවතක්සේරු කරනවා. නමුත් පාරම්පරික ඥානය සහ අත්දැකීම් වලින් පමණක් පෝෂණය වුණු පැරණි ගැමි කලාකරුවන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙසයි මම කෝලම් නාට්‍ය දකින්නේ. ජපානයේ නෝ, කබුකි නාට්‍ය කලාවන්ටත් වඩා උසස් මට්ටමක තිබෙන සම්භාව්‍ය නාට්‍ය කලාවක් ලෙස කෝලම් නාට්‍ය හඳුනාගන්න පුළුවන්. එය හුදු විනෝදාස්වාදය පමණක් ලබා දීම සඳහා නිර්මාණය වූ නාට්‍ය විශේෂයක් නොවේ. වැඩවසම් යුගයේ පාලන තන්ත්‍රයේ විවිධ නිලතල දරමින් වැජඹුණු පාලකයන්ගේ දුර්වල ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කිරීමට කෝලම් නාට්‍යය යොදාගෙන තියෙනවා. ඒ අනුව නිර්මාණශීලී ලෙස සිදුකරනු ලැබූ සමාජ විවරණයක් කෝලම් නාට්‍ය තුළ අන්තර්ගත වන බව කියන්න පුළුවන්. අවස්ථා සහ සිද්ධි නිරූපණය කිරීම සඳහා ඔවුන් ව්‍යංගාර්ථවත් දෙබස්, ගමන් තාල, කවි ගායනා යොදාගෙන තියෙනවා. විශේෂයෙන් ඉතා සියුම්ව ඒ ඒ චරිත වල ගති ලක්ෂණ ඉස්මතු වෙන විදිහට වෙස්මුහුණු භාවිතා කර තිබීම මගින් ගැමියන්ගේ නිර්මාණශීලීත්වය තව තවත් ප්‍රකට වෙනවා

කෝළම් වෙස්මුහුණු නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලි කළොත්?

අපේ පරම්පරාවේ පැරණිම ශිල්පීන් වෙස්මුහුණු කැපීමට භාවිතා කළේ ගං ඉවුරු අසල වැඩෙන දිං ශාඛයේ අතු කොටස්. නමුත් එහි කල්පැවැත්ම අඩුයි. අපේ පාරම්පරික දැනුම අනුව වෙස්මුහුණු නිර්මාණය කිරීම සඳහා පසුව වෙල් කදුරු ලීය යොදා ගත්තා. එය ඉතා සැහැල්ලුයි. සාම්ප්‍රදායික ශිල්පීන් වෙස්මුහුණු කැපුවේ සුබ නැකතින් තුණුරුවන් සිහිකර. මුලින්ම පොළොවට සමාන්තර ලෙස ලීයෙ එක පැත්තක පාදම සකස් කර ගන්නවා. හැඩතල මතු කරගැනීම සිදු කරන්නේ ඉන් අනතුරුවයි. වෙස් මුහුණ පැළඳීමට හැකි වන සේ එහි පිටුපස කොටස හාරා ඉවත් කිරීමෙන් පසුව ශිල්පීන් විසින් ඉතා සියුම්ව කැටයම් මතු කරගන්නවා. ඊට පස්සේ දුම් මැස්සක දමා දින ගණනාවක් හොඳට පදම් කරගන්න ඕන. එවිට ලීයේ තියෙන තෙත ගතිය ඉවත් වෙනවා වගේම කෘමි හානි වලින් ද ආරක්ෂා කරගන්න පුළුවන්. පැරණි ශිල්පීන් වෙස්මුහුණු වර්ණ ගැන්වීම සඳහා වර්තමානයේ වගේ ලැකර් තීන්ත වර්ග භාවිතා කළේ නෑ. දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරගත් වර්ණ ඒ සඳහා යොදා ගත්තේ. 

මේ ආකාරයට සකස්කරගත් වෙස්මුහුණක් වසර 200කට වැඩි කාලයක් සුරක්ෂිතව තබා ගන්න පුළුවන්. දැනටත් ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ ටුක්කාවඩු පරපුරට අයත් පැරණි වෙස්මුහුණු ප්‍රදර්ශනය වෙනවා.

මෙවැනි වටිනා කලාවක් මතු පරපුරට සංරක්ෂණය කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර මොනවා ද?

මේ වෙනකොට ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය නමින් අපේ පරම්පරාවට අයත් කෝලම් වෙස්මුහුණු ආදිය සංරක්ෂණය කිරීම සඳහා දකුණු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ගොඩනැගිල්ලක් ඉදිකරලා තියෙනවා. එය මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ මහගෙදරට පසෙකින් පිහිටා තියෙන්නේ. දෙස් විදෙස් පර්යේෂකයන්ට, විශ්ව විද්‍යාල විද්‍යාර්ථයයින්ට සහ කෝලම් නාට්‍ය කලාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සංරක්ෂණ කේන්ද්‍රය වෙත පැමිණිය හොත් සංරක්ෂණය කරන ලද වෙස් මුහුණු දැක බලා ගැනීමටත් ඔවුනට අවශ්‍ය තොරතුරු ලබා ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. මෙවැනි වටිනා කලාවක් අභාවයට පත් වන්නට ඉඩ නොදී මතු පරපුර වෙනුවෙන් මෙලෙස සංරක්ෂණය කිරීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි. 

මෙවැනි සාම්ප්‍රදායික ජන කලාවන්ගේ අභිවෘද්ධිය සඳහා රාජ්‍ය අංශයේ සහ වගකිවයුතු ආයතන වලින් ලැබෙන දායකත්වය පිළිබඳ ඔබට සෑහීමකට පත්විය හැකි ද?

සෑහීමකට පත්වෙන්න අමාරුයි. මොකද සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය කලාවේ පැවැත්ම සඳහා මේවා ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යා යුතුයි. නැතිනම් මේ කලාව ඇතුන් නොමැති ඇත් ගාලක් වගෙයි. කෝලම් නාට්‍ය සම්ප්‍රදායට නැවත ජීවය ලබා දෙන්න රාජ්‍ය අංශයේ සහ වගකිවයුතු ආයතනවල සහයෝගය අවශ්‍යයයි. ඒ වගේම මෙම සාම්ප්‍රදායික කලාව රැක ගැනීමට වෙහෙසෙන ශිල්පීන්ට කිසියම් දීමනාවක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 

මෙම ක්ෂේත්‍රය තුළ වර්තමානයේ පවතින ගැටලු මොනවා ද?

මෙම කලාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ශිල්පීන් ප්‍රමාණවත් නැහැ. මේ ශිල්ප ඥානය ඇත්තේ දැනට ඉතා සීමිත පිරිසක් ළඟ පමණයි. එය ඉතා විශාල ගැටළුවක්. ඒ වගේම කෝලම් නාට්‍ය කලාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න, ශිල්පීන් පුහුණු කරන්න අවශ්‍ය ආර්ථික ශක්තියක් නැහැ. ඇත්තටම කෝලම් මඩුවක් කරන්න ශිල්පීන් ගොඩක් මහන්සි වෙන්න ඕන. මේවගේ ගැටලු අවම කරගන්න පුළුවන් උනොත් අපට මේ කලාව තවදුරටත් නගාසිටුවන්න පුළුවන්.

ඒ වගේම දැනට අපේ සංරක්ෂණ කේන්ද්‍රය තුළ සංරක්ෂණය වන්නේ කෝලම් වෙස්මුහුණු පමණයි. නමුත් සාම්ප්‍රදායික ලෙස වෙස් මුහුණක් කපන හැටි, එය වර්ණ ගන්වන හැටි කෝලම් මඩුවට අයත් කරලිය, වෙස් අත්ත, මල් යහන නිර්මාණය කරගන්න හැටි, ඇඳුම් නිර්මාණය කර ගන්න හැටි මේ දේවලුත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය වීම ඉතා වැදගත්. මෙම කලාව අංගසම්පූර්ණව සංරක්ෂණය වන්නේ එවිටයි. නමුත් දැනට පවතින සංරක්ෂණ කේන්ද්‍රයේ මේ දේවල් සංරක්ෂණය කරන්න අවශ්‍ය ඉඩ පහසුකම් මදි. 

වර්තමාන තරුණ පරපුර ජන නාට්‍ය කලාව කෙරෙහි දක්වන උනන්දුව කොයි වගේ ද?

වර්තමානයේ තරුණ පරපුර මෙම සම්ප්‍රදායික ජන නාට්‍ය කලාව කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඒ නිසාම තමයි අපට අද වෙනකොට ශිල්පීන් අඩු වෙලා තියෙන්නෙ. ඇත්තටම ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි. සමාජයේ පවතින තරගකාරීත්වයක් එක්ක පාසල් අධ්‍යාපනය ඉවර වුණ ගමන් ඔවුන් ඊළඟට උත්සාහ ගන්නේ රැකියාවක් කරලා ආර්ථිකය ගොඩනඟාගන්න. කොහොමත් මේක කර්මාන්තයක් නොවේ කලාවක්. ආර්ථික වශයෙන් ලාභ ඉපයීමක් මේ ක්ෂේත්‍රය තුළින් සිදුකරන්න බැහැ. මේ හේතුව නිසාම ගොඩක් තරුණ පරපුර වර්තමානය වෙද්දී ජන නාට්‍ය කලාවෙන් ඈත් වෙලා තියෙනවා.

නව තාක්ෂණයේ ආගමනයත් එක්ක වර්තමාන සමාජයෙන් ජන නාට්‍ය කලාව ගිලිහෙමින් පවතිනවා. මේ පිළිබඳව පිළිබඳව ඔබේ අදහස?

අතීතයේ ගැමියා ගත කළේ සරල, සැහැල්ලු දිවිපෙවතක්. ඔවුන්ගේ විවේකය සතුටින් ගත කරන්න තිබුන විනෝදාස්වාදන මාධ්‍ය තමයි ජන නාට්‍ය. ඔවුන් ඒවා නැරඹීම තුලින් උසස් රසවින්දනයක් ලැබුවා. නමුත් දැන් මිනිසුන්ට විවිධ තාක්ෂණික මාධ්‍ය ප්‍රභේද හරහා ඉතා ඉක්මනින් විනෝදාස්වාදය ලබන්න පුළුවන්. වර්තමානයේ තාක්ෂණික ලෝකයක ජීවත්වෙන මිනිස්සුන්ට ජන නාට්‍ය කලාවන් පිළිබඳ උනන්දුවක් නැහැ. ඇත්තටම දැන් ඉන්න දරුවන්ට ජන නාටකයක් දකින්න ලැබෙන අවස්ථාව ඉතාම දුර්ලභයි. තාක්ෂණය සමඟ කොයිතරම් දුරට බද්ධ වුණත් සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාවේ වටිනාකම අමතක කිරීම නොකළ යුතුයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මෙවැනි සාම්ප්‍රදායික ජන කලාවන් යොදා ගැනීමට පුළුවන් ද?

අනිවාර්යයෙන්ම පුළුවන්. බොහෝ විදේශීය සංචාරකයින් අපේ රටේ සාම්ප්‍රදායික ජන කලාවන් පිළිබඳව උනන්දුවක් දක්වනවා. එම නිසා අපේ සම්ප්‍රදායික ජනනාට්‍ය කලාවන් සහ සංචාරක කර්මාන්තය යම්කිසි ක්‍රමවත් වැඩපිළිවෙලක් අනුව සම්බන්ධ කරන්න පුළුවන් නම් අපේ උපරිම දායකත්වය ලබා දෙන්න අපි සූදානම්.

මීට අමතරව සාම්ප්‍රදායික ජන නාට්‍ය කලාව මතු පරපුරට ආරක්ෂා කර දීම සම්බන්ධයෙන් ඔබේ යෝජනා මොනවා ද?

දැනට කෝලම් නාට්‍ය කලාවට සක්‍රීයව දායක වෙලා ඉන්නෙ ටුක්කාවඩු ගුරුකුලය පමණයි. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෙ මෙම කලාව ඉදිරි පරපුරට සංරක්ෂණය කරන්න. හැබැයි ඒක තනියම කරන්න පුළුවන් කාර්යයක් නොවේ.

වර්තමානයේ බොහෝ පාසල්වල සෞන්දර්ය විෂයයන් ඉගැන්වීමේ දී දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන්නේ නැහැ. මම හිතන්නේ එය ඉතා වැරදි ක්‍රියාවක්. පාසල් මට්ටමෙන් දරුවන්ට මෙම කලාවන්හි පවතින වටිනාකම පෙන්වාදීලා උනන්දුවක් ඇති කරවන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. 

ඒ වගේම වෘත්තීමය පාඨමාලාවන් සඳහා මෙවැනි කලාවන් අනුබද්ධ කිරීම තුළින් සමාජයෙන් මෙම කලාව ගිලිහෙමින් යෑම පාලනය කිරීමට පුළුවන්.

ඒ වගේම කෝලම් නාට්‍ය ඇසුරෙන් නව නිර්මාණ කිරීමට ඇතැම් අය යොමු වෙනවා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි සාම්ප්‍රදායික කෝලම් නාට්‍ය කලාවේ අන්තර්ගතයට හානියක් නොවෙන විදිහට එම නිර්මාණ සිදු කිරීමට ඔවුන් වගබලා ගන්න ඕන. නැතිනම් ජනනාට්‍ය කලාවේ ගුණාත්මක බව, ප්‍රමිතිය හීනවෙනවා.

ලාංකීය ජන නාට්‍ය කලාවේ අනාගතය, අතීත මතකයකට පමණක් සීමා වීමට ඉඩ දෙන්න බැහැ. මේ කලාව ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් කියලයි මම හිතන්නෙ

Top