විප්ලවීය නායකත්වයේ සදා නොමැකෙන ගිනි සිළුව (672)

post-title

අපි අපගේ පියාණන් වූ බොලිවර් සමග එකම බළඇණියක කදු ශිඛර තරණය කළෙමු. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මාගේ මිනිසුන්ට ස්තූති වේවා. මාගේ ජීවිතයට ස්තූති වේවා. හැම විටම ජයග්‍රහණය වෙනුවෙන්. අපි ජයග්‍රහණය කරන්නෙමු. මා ආපසු එනතෙක් ඔබට ජයවේවා......

හියුගෝ චාවේස්

ආදරණීය විප්ලවකරුවාණෙනි,

 ඔබ නැවත කිසි දිනෙක මේ මිහිමත පොළෝ තලය සිපගන්නේ නැත. ඔබ ලෝක විප්ලවයට ද සමු දී මිනිස් රුධිරයේ අප්‍රමාණ වූ ස්නේහයට සමු දී වසර ගණනක් ගෙවී ගොස් හමාරය. ඔබ නැවත කිසිදා අප අභිමුවට පැමිණෙන්නේ නැත. නමුත් ඔබගේ විප්ලවවාදී අදහස් තවමත් ජීවමානව දර්ශනය වන්නේ ඔබ මේ ලෝකය තුළ ජීවමානව සිටින බව යළි යළිත් ප්‍රත්‍යක්ෂ කරමිනුයි. ඒ නිසා ලෝකයාගේ ජනතා හදවත් තුළ රුධිරගත නාලිකා වල පවා කිදා බසිමින් ඔබ තවමත් වෙනිසියුලානුවන් සමග හුදෙක් අප සමග ද ජීවත් වනු ඇත. අප ජීවත් වන්නේ ද ඔබේ ආදරණීය නාමයත් සමගයි.

2011 වර්ෂයේ ජූනි මස 30 වැනි දින කියුබාවේ හවානා නුවර සිට ඉහත කළ ප්‍රකාශයේ (අපි අපගේ පියාණන් වූ බොලිවර්......) හිමිකරුවා වන්නේ වෙනිසියුලාවේ ජනපතිව සිටි හියුගෝ චාවේස්ය. නොයෙක් අභියෝගයන් වලට මුහුණ දෙමින් ලෝකය සහ උරෙනුර ගැටෙමින් ජනතාවාදී පාලනයක් සදහා ගෙන ගිය ව්‍යාපාරයේ පෙරමුණගත් විප්ලවවාදියා හියුගෝය. වෙනිසියුලාවේ බර්නාස් තණබිම ආශ්‍රිතව දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත ගුරු පවුලක දෙවැනි දරුවා ලෙස 1958 ජූලි මස 28 වැනිදා හියුගෝ චාවේස් මෙළොව එළිය දුටුවේය. ඔහුගේ ජීවිතය එතැන් පටන් ගමන් ගත්තේ අපූරු දිශාවකටය. සිය ගමන් යාත්‍රාව දියත් කිරීමේ දී මූලිකාරම්භයේ දී ඔහුගේ සියුමැලි සිත විවිධාකාර ආශ්වාදනීය සිතුවිලි වලින් පෝෂිත කරන්නේ සිය මිත්තණිය වූ රෝසා ඉනේස් සමග වු ඇයගේ පුංචි නිවසයි. කුඩා කළ සිටම බේස් බෝල් ක්‍රීඩාවට වඩාත් ඇලුම් කළ හියුගෝ චාවේස් වයස අවුරුදු 16 දී යුද හමුදාවට බැදුණේය. අවසානයේ දී ඔහු ලුතිනන් කර්නල් තනතුර දක්වා උසස් විය. ඔහුගේ ජීවන මග වඩාත් වෙනසකට බදුන් කිරීමට මූලාරම්භය සනිටුහන් වූයේ මෙම අවදියේදීය. හමුදා නිළධාරියෙකු ලෙස සිටි අවදියේ දී ඔහු එවක වෙනිසියුලානු ජනපතිව සිටි කාර්ලෝස් ඇන්ඩ්‍රෙස් පෙරෙස්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවනු ලැබීය. එහෙත් එම කැරැල්ල සිතූ පරිදි සාර්ථක වුයේ නැත. අසාර්ථක වූ කැරැල්ල නිසාම චාවේස්ව අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ඔහු රූපවාහිනී මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් සිදු කරමින් සිය සගයින්ට කියා සිටියේ කැරැල්ල දැනට පරාජය වූ නිසා අවි බිම තබන ලෙසයි. හියුගෝ චාවේස් යනු කිසි ලෙසකින් ඉදිරියට ගත් අඩිය පිටුපසට නොගන්නා ජයග්‍රහණයේ මාවත බලා උඩු ගං පිහිනනා සැබෑ ජනතාවාදී හිතවතෙකි. ඒ නිසා මෙහිදී ද සිය මතය එලෙසම පවත්වා ගනිමින් ඉදිරිය සැලසුම් කළේය. ඹහු රූපවාහිනී මාධ්‍යයට කළ ප්‍රකාශයේ දී ඔහු කෙරෙහි සිය දෑස් දල්වමින් බලාපොරොත්තු වල ජීවත් වූ ජනතාවට තවදුරටත් එම නැවුම් බලාපොරොත්තු සමගින් ජීවත් වීමට සිදු විය. ඔහුට වසර දෙකකට අධික කාලයක් සිර අඩස්සියෙහි පසු වීමට සිදු වු අතර ඔහුගේ විප්ලවීය අදහස් වලට තවදුරටත් පණ දෙන්නට ඔහුට හැකි විය.

සිර අඩස්සියෙහි පසු වු කාලවකවානුවේ දී ඔහු තම ජීවිතයට නොයෙකුත් අත්දැකීම් එකතු කර ගන්නට අමතක කළේ නැත. ඒ පිළිබද අප සියල්ලන්ගේම විප්ලවවාදි ලැයිස්තුවේ සිටින තවත් විප්වවාදී මිනිසෙකු වූ චේ ගුවේරාගේ දියණිය සමග හියුගෝ සිය අත්දැකීම් බෙදා ගත්තේය. ඇය නමින් අලෙයිඩා ගුවේරාය.

පුරා වසර දෙකකුත් මාස දෙකක් මා සිරගත කරනු ලැබුවා. ඒ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා. මට නම් සිරගෙය එක්තරා පාසලක්. එහිදී ආත්මය වානේ මෙන් ශක්තිමන් වෙනවා. දැඩි විශ්වාසයන් තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අවබෝධය ගැඹුරු වෙනවා. යම් දැක්මක් සහිතව ඒ දෙස හැරී බලනවා නම් ඒ මුලු කාලය මුළුල්ලේම අප දැනුම්වත් සිරකරුවන් වුණා. අපි අභිමානයෙන් යුත් සිරකරුවන් වුණා. සිරගෙයි වැටී සිටින්නේ කුමක් නිසාදැයි හොදින් දැන සිටි සිරකරුවන් වුණා.

1992 දී ඔවුන්ගේ සැලසුම වී තිබුණේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නැවතත් හමුදා බැරැක්ක වලට යෑමයි. සිරගෙයි සිටි කාලයේ දි එය ඉතා හොද වෙළෙද සිතුවිල්ලක් බව පසුව වැටහිණි. එමෙන්ම එම කාලයේ දී ඔහු පසුකාලීනව පිහිට වූ බොලිවේරියානු ජනරජ ව්‍යාපාරයට පදනම ද සකස් විය. කෙසේ නමුත් ව්‍යවස්ථාදායකය මෙන්ම බලය හා සම්බන්ධ රාජ්‍යමය යාන්ත්‍රණය පිළිබද මනා වූ අවබෝධයක් ලබා ගැනීමට සිරගෙය නම් වූ පාසලින් ඔහුට හැකියාව ලැබුණි. සිරගෙදරින් නික්ම ගිය පසු වසර හතරක් ඉක්මවීමෙන් 1995 පෙබරවාරි 04 කැරැල්ලේ තෙවැනි සංවත්සරය සැමරූ අතර 1998 හියුගෝ චාවේස් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. එවක ඔහුගේ දේශපාලන පොරපිටියෙහි ප්‍රතිවාදියා වූයේ වරක් ලෝක රූ රැජිණක් වූ ඉරිනි සඑන්ස්ය. බහුතර ජනතා සිත් සතන්හි බලාපොරොත්තුව වුයේ හියුගෝ චාවේස් තමන්ට ආලෝකය ලබා දෙයි යන්නයි. නමුත් ඔවුන් මතුපිටින් අවබෝධ කර ගත්තේ මෙම ජනාධිපතිවරණය කිසිසේත්ම සර්ව සාධාරණ මැතිවරණයක් නොවනු ඇති බවයි. එයට හේතුව වූයේ දේශීය ධනපතියන්ගේ මෙන්ම විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ සම්පූර්ණ සහාය මෙම ලෝක රූ රැජිණට හිමි වීමයි. ඒ අනුව ඇය මෙම මැතිවරණයෙන් 68% කට අධික ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණයේ ජය හිමි කර ගනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය විය. නමුත් ජනතා පරමාධිපත්‍යයේ බලය පෙරමුණ ගනිමින් 1998 දෙසැම්බර් මස 6 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ හියුගෝ චාවේස්ය. එතැන් පටන් සිය කර්තව්‍ය ආරම්භ කරමින් වෙනිසියුලානු ජනතාවගේ මෙන්ම මුලු මහත් වෙනිසියුලානු පරපුරගේ අභිවෘද්ධිය සදහා ඇප කැප විය. වෙනිසියුලාව වෙනිසියුලා බොලිවේරියානු ජනරජය ලෙස නම් කරමින් ජනමත විචාරණයක් ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නව වෙනිසියුලාවක් ගොඩ නැගීමට හියුගෝ චාවේස් නම් අමරණීය විප්ලවවාදියාට හැකි විය. ලෝ වැසියන් වන අප ඔහුට ආචාර සමාචාර කළ යුත්තේ ඔහුගේ ඒ ජනතා වීරත්වයේ සලකුණ නිසාය.

Top