අත්නොහැරි උත්සාහයෙන් ජීවිතය දිනූ අගතා ක්‍රිස්ටි (655)

post-title

"කැණීම් බිමකින් හමුවන පැරණි වළන් කටුවක එංගලන්තයේ වෙනත් කිසිම ගැහැනියක්‌ නොදකින වටිනාකමක්‌ අගතා දකිනවා". බ්‍රිතාන්‍යයේ නයිට් පදවිය හිමි පුරා විද්‍යාඥයෙකු වූ සර් මැක්ස් එඩ්ගාර් ලුසියෙන් ‌ එලෙස පැවසූයේ සිය බිරිඳ පිළිබඳවය. ඇය ලෝක ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටි ය. 

අගතා ක්‍රිස්ටි එංගලන්ත ජාතික ගත් කතුවරියකි. ඇය වඩාත් ප්‍රකට වූයේ අපරාධ පරීක්‍ෂණ නවකතා රචිකාවියක වශයෙනි. නවකතා සැට හයකට අධික සංඛ්‍යාවක් ඇය විසින් රචනා කරන ලදි. ඇය මේරි වෙස්ට්මාකොට් යන ආරූඪ නාමය භාවිතා කරමින් ආදර කතා මාලාවක් ද රචනා කළා ය. ඇගේ ඇතැම් නිර්මාණ සිනමාවට ද නැඟුණි. ද ඔරියෙන්ට් එක්ස්ප්‍රෙස් ඒ අතරින් වඩාත් කැපී පෙනෙන සිනමා කෘතියෙකි. ඇයගේ නිර්මාණ භාෂා හාරසියයකට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. ඉංගිරිසි අපරාධ කතා කලාවේ රැජිණ යන විරුදාවලියෙන් ඇයව හඳුන්වනු ලැබේ.

අගතා නිර්මාණය කළ ඇතැම් චරිත ජනතාව අතර දීර්ඝ කාලයක්‌ ජීවත් විය. බොරු උඩුරැවුලක්‌ සහිත පොලිස්‌ නිලධාරියා හර්කියුල් පොයිරට්‌ සහ මේරි මීඩ් නමැති ගම්මානයෙහි විසූ වැඩිමහල් කාන්තාව වූ මාපල් මෙනවිය ඒ අතරින් සුවිශේෂී වූහ. මෙම චරිත ජනතාව අතර කෙතරම් ජීවමාන වූවාදැයි කියනවානම් 'හර්කියුල් පොයිරට්‌' චරිතය මිය ගොස්‌ අදාළ කතා මාලාව නිමා වූ විට පොයිරට්‌ගේ මරණ දැන්වීම පුවත්පත්වලද පළවිය. 

අගතා ක්‍රිස්ටි උපත ලබන්නේ 1890 වර්ෂයේ දීය. එංගලන්තයේ ටෝකේ නුවර මධ්‍යම පාංතික පවුලකට අයත් වූ අතර ඇය දසවන වියේ පමණ පසුවන විට පියාණන්ගේ අභාවය සිය ජීවිතයේ වේදනාත්මක අත්දැකීම් රැසකට හේතු පාදක වීය. වසර ගණනාවක් කුඩා අගතා පියා මිය ගිය සොවින් වැළපුණ බව කියනු ලැබේ. මෙ මානසික පීඩාකාරී බව කුඩා අවධියේ දී තම හැඟීම් ප්‍රමාණවත්ලෙස ප්‍රකාශ කර ගැනීමට අපොහොසත් වූ ලජ්ජාශීලී දැරියක ලෙස වැඩෙන්නට හේතු වීය. ඇය පාසල් නොගිය අතර පෞද්ගලික ගුරුවරියන් මාර්ගයෙන් අධ්‍යාපනය දෙනු ලැබී ය.

අගතා ලියූ ප්‍රථම කෙටි කතාව “ද හවුස් ඔෆ් බියුටි” පුවත් පත් වලට යැවූ මුත් ඒවායේ පළ නොවුණි. සිය සොයුරියගේ උපදෙස් අනුව රහස් පරීක්ෂක කතා ලිවීමට යොමු වූ අගතා ක්‍රිස්ටිගේ පළමු කෘතිය වූයේ The Mysterious Affair at Styles යන්නයි. එම කෘතිය අතැතිව බොහෝ ප්‍රකාශකයින් සොයා ගියමුත් සියල්ලෝම ඇවය පිළි ගත්තේ නැත. ඊට ප්‍රධාන හේතුව වූයේ ඇය ආධුනික ලේඛකාවක වීමයි. අවසානයේ එක් ප්‍රකාශකයෙක් පවුම් විසිපහක් වැනි සොච්චම් මුදලක් ලෙඛිකාවට ලබා දී පොත ප්‍රකාශයට පත් කිරීම එකඟ විය. එතැන් සිට ඇයගේ ජනප්‍රියත්වය ඇරඹෙන්නටත්, ව්‍යාප්ත වන්නටත් විය.

1914 දී ඇය රාජකීය ගුවන් හමුදාවේ, ප්‍රහාරක යානා ගුවන් නියමුවෙකු වූ ආර්චි ක්‍රිස්ටි හා විවා පත් වූවා ය. ඇගේ සැමියා පළමු ලෝක යුද්ධයට සහභාගී වන අතර ඇය හෙදියක් වශයෙන් කටයුතු කළා ය. සිය පළමු කෘතිය එළි දැක්වූයේ මෙම කාලයේ ය. හෙදියක වශයෙන් කටයුතු කළ මේ අවධියේ දී ඇය විෂ වර්ග ගැන ද හොඳ අවබෝධයක් ලැබුවා ය. මෙම දැනුම අපරාධ පරීක්‍ෂණ නවකතා රචනා කිරීමේ දී ඇයට ඉවහලක් විය.

1926 දී ඇගේ සැමියා අන් ස්ත්‍රියක හා ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇගෙන් දික්කසාද වීම ඉල්ලා සිටියේ ය. මේ වන විට මවගේ අභාවය නිසා දැඩි වේදනාවකට පත්ව සිටි ඇය මේ සිදු වීමෙන් පසු සති තුනකට අතුරුදන්ව සිටියා ය. පසුව ඇය කුඩා හෝටලයක නැවතී සිටිය දී පොලිසීය විසින් සොයා ගන්නා ලදි. ඇය පවසා සිටියේ තමා මතකය අහිමි වී යාමකට ගොදුරු වූ බවයි. මෙසපොටේමියාවට ගිය සංචාරයක් අතරදී මුණගැසුණු තරුණ පුරා විද්‍යාඥයෙකු වූ සර් මැක්ස් එඩ්ගාර් ලුසියෙන් මැලොවන් සමඟින් 1930 දී ඇය නැවතත් විවාහ දිවියට පත් වූවා ය.එතැන් සිට පුරාවිද්‍යාව ද ඇගේ ජීවිතයේ එක්‌ කොටසක්‌ විය.පසුකලෙක ඇය ලියූ බොහෝ නවකතාවලට පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ඈ ලද අත්දැකීම් පාදක වී තිබිණි. ඇගේ අතිශය ජනප්‍රිය රහස්‌ පරීක්‍ෂක නවකතාවක්‌ වූ 'Death of the Nile' 193 රචනාකොට තිබුණේ ඊජිප්තුවේ අස්‌වාන් වේල්ල ගොඩනැංවීමේ දී කොටසින් කොටස ඉවත්කොට වෙනත් ස්‌ථානයක ස්‌ථාපිත කරනු ලැබූ අබු සිම්බල් (Abu Simbel) පන්සල සම්බන්ධයෙනි.

අගතා ක්‍රිස්ටි ලියූ ග්‍රන්ථ වලින් මේ වනවිට අලෙවි වී ඇති පොත් පිටපත් ගණන බිලියන හතරක්‌ පමණ වන බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එහෙත් එය සත්‍යයකි. එදා මෙදා තුර ගිනස්‌ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඇයයි. බයිබලයත්, මහා කවීන්ද්‍ර විලියම් ශේක්‌ස්‌පියර්ගේ නිර්මාණයක්‌ හැරුණු විට ලොව වැඩියෙන්ම අලෙවි වන්නේ අගතා ලියූ නවකතා පොත් වේ.

ජීවිතය යනු අත්දැකීම්ය. ජීවත් වීම යනු අත්දැකීම් එකතුකිරීමයි. අගතා ක්‍රිස්ටි එකී අත්දැකීම් සිය අග්‍රගණ්‍ය පරිකල්පනය එකතුකොට ප්‍රතිනිර්මාණය කළාය. ඒ අනුව ජීවිතය දිග විජය කළාය. ජීවිතයේ අනේකවිධ කටුක, අමිහිරි අත්දැකීම් අනාගතය හමුවේ ආයෝජනයක් කරගන්නේ කෙසේද යන්න මේ අසහාය ලේඛිකාවගේ ජීවිතය අපට උගන්වයි.

Top