කුලය මනින ඉන්දියාවෙන් ම බිහිවුණු කුලහීන ජනපතිවරුන් දෙදෙනා (550)

post-title

ලාංකීය සමාජය තුළ මීට වසර කිහිපයකට ඉහතදී පැවති කාලවකවානු තුළදී නම් කුලය කියන දේ සාමාන්‍ය සමාජය තුළදී කෙරෙන ඕනැම කාර්යයකදී පාහේ ඉතාමත් ඉහළින් බලපානු ලැබූ සාධකයක් කීවහොත් එය නිවැරදියි. රැකියාවක් ලබා ගැනීමේදී, ආවාහ විවාහ කටයුතු වලදී, ආගමික කාරණාවන්හිදී වගේම ගෙදරදොරට ආව මනුස්සයෙකුට දක්වන ආගන්තුක සත්කාර වලදී  මෙන්න මේ කුලය කියන සාධකයට මහත් ඉහළින්ම පණ පොවන්නට එකළ සමාජය පසුබට වුණේ නම් නැහැ. 

ඉතින් ලාංකේය සමාජයට මේ විදිහට බලපාන ලද කුලය අපගේ අසල්වැසි රට ඉන්දියාවට නම් බලපානු ලැබූයේ මීට වඩා ටිකක් උත්සන්නම විදිහකටයි. ඒ කාරණාව ඉතින් අදට කියලා ලොකු වෙනසක් වී ඇති බවක් පෙනෙන්නටත් නැහැ. ඉතින් දශක ගණනාවක් පුරාවට මේ විදිහට ඉන්දියාව තුළ පැවත එන මෙම කුල භේදය නිසා එහි සිටින කුලහීන ජනතාවට මුහුණ දෙන්නට සිදු වන්නේ ඉතාමත් පීඩිත තත්වයන් වලටයි. 

බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර සහ පංචම යනුවෙන් අතීත භාරතීය සමාජය තුළ පැවති කුල වර්ගීකරණය අතුරින් වඩාත්ම පහත් යැයි සලකන්නට වූයේ පංචම කුලයයි. එහිදී ඔවුන්ට වැඩි වශයෙන්ම පැවරී තිබුණේ නගරවල තිබෙන්නා වූ කසල ඉවත් කිරීමේ කටයුතු ආදියයි. ඒ වගේම ඔවුන් සමග වෙනත් ඉහළ කුලවල ජනතාව කිසිඳු සම්බන්ධකමක් ද දක්වනු ලැබුවේ නම් නැහැ. ඉතින් මේ විදිහට කුල භේද අතරින් ඉතාම පහත් යැයි සලකනු ලැබූ කුලයන්වලත් තවත් පහත් කුල කිහිපයක්ම බෙදා වෙන්කොට තිබුණු අතර දාලිත්වරුන් ලෙස සලකනු ලැබූයේ එම පහත්ම කුලවල තවත් පහත් වර්ගයකි. 2011 වර්ෂයේදී ඉන්දියාව තුළ කරනු ලැබූ සංගණනය තුළදී එකළ සිටි දාලිත්වරුන් ප්‍රමාණය ලෙස ආසන්න වශයෙන් මිලියන 167ක් ලෙසින් හඳුනා ගන්නට හැකිවිණි. ඉතින් ඉන්දීය සමාජය තුළ මේ දාලිත්වරුන්ට කොපමණ පහත් සැලකිලි වලින් සලකන්නට වූයේද කිවහොත් ඔවුන් පරිහරණය කළ භාණ්ඩයක්වත් උසස් කුලීනයන් විසින් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටින්නට වුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී මෙම දාලිත්වරුන් හෝටල් වැනි ස්ථානවලට ගොස් ආහාර අනුභවයෙන් අනතුරුව ඔවුන් එම පරිහරණය කළ භාණ්ඩද ඔවුන්ටම පිරිසිදු කර තබන්නටත් වුණා. ඒ අනුව මේ විදිහට හිරිහැර වලින් අසරණ වන දාලිත්වරුන්ට නීතියෙන් හිමි පිළිසරණද අහිමිව ගොස් තිබූ බව වැටහෙන්නට වූයේ දාලිත් ජනයාට විරුද්ධව වුණු ගිනි තැබීම්, පහරදීම් සහ දේපළ හානි කිරීමේ සිද්ධීන්ද එළිවීමත් සමගයි.

ඉතින් මේ විදිහට විවිධ අඩන්තේට්ටම් වලින් බැට කෑ දාලිත්වරුන්ට ඔවුන්ගේ සියළු අයිතිවාසිකම් ගිලිහී යන්නට වූයෙන් ඔවුන් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වුවද ඉහළ තලයකට යාමේ අවස්ථාව ද ඔවුන්ට අහිමි වුණා. එහෙත් මෙම සියළු මායිම් අභිබවා යන්නට වගේම ඔවුන් සිටි කුලහීන මායාවෙන් ඔබ්බට යන්නට මෙම දාලිත් පරපුරේම දෙදෙනෙකු සමත්වීම සැබවින්ම ඉන්දියානු කුලීනයන්ගේ සමාජයට එල්ල වූ දැඩි පහරක් සේ කීවහොත් එය නිවැරදියි.

ඉතින් ඒ දෙපළ කව්ද? ඒ රාමන් නාරායන් ජනපතිවරයා සහ රාම් නාත් කෝවින්ද් ජනපතිවරයායි. රාමන් නාරායන් කියලා කියන්නේ 1976-78 කාලවකවානුව තුළ චීනයේ ඉන්දියානු තානාපතිවරයා මෙන්ම 1980-84 කාල සීමාව තුළ ඇමරිකාවේ ඉන්දීය තානාපතිවරයායි. පසුව ඉන්දිරා ගාන්ධි විසින් කළ ඇරයුමකින් දේශපාලනයට පිවිසෙන හෙතෙම ලෝක් සභාව වසර 08ක කාලයක් නියෝජනය කිරීමට සමත් වෙනවා. පසුව 1992-97 කාල සීමාව තුළදී ඉන්දිය උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ නාරායන් ඉන් වසර 05කට පසුව ඉන්දියාවේ දසවැනි ජනපතිවරයා ලෙසින් 1997 වර්ෂයේ ජූලි 25 වන දින දිව්රුම් දෙන්නට වනවා. ඉතින් එය දාලිත් සමාජය තුළදී ශවුන් අත්පත් ක ගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙසන් සැලකිය හැකියි. 

ඒ වගේම රාම් නාත් කෝවින්ද් ද දාලිත් සමාජයෙන්ම බිහි වුණු තවත් ඉන්දීය ජනපතිවරයෙක්. වර්ෂ 1994-2006 කාල වකවානුව තුළ ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කළ රාම් නාත් කෝවින්ද් 2015 වසරේදී බිහාරයේ ආණ්ඩුකාරවරයා ලෙසින් වැඩ කටයුතු ආරම්භ කළ අතර 2017 වසරේදී ඉන්දියාවේ 14 වැනි ජනපතිවරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ එම වසරේ ජූලි 25 වැනි දිනයි. 

ඉතින් කුල භේදය සහ පන්තිභේදය හිස ඔසවා තිබෙන ඉන්දීය සමාජයට පහත්ම කුලයකින් ඉපිද රටක්ම පාලනය කරන්නට උරුම වූ දාලිත් සමාජයෙන් පැවත එන ජනපතිවරයෙකු එම රාජ්‍යයට බිහිවීම ම ඉන්දීය සමාජයේ මෙම පුහු කුල භේදයේ හිස් මායාවෙන් ඔබ්බට ගොස් යථාර්තය දක්නට හැකි උචිතම අවස්ථාවක් යැයි කීම නිරවද්‍ය වේ. 

Top