ලෝකප්‍රකට නෝර්විජීයානු චිත්‍ර ශිල්පියෙකු වූ, එඩ්වඩ් මුන්ච්ගේ අග්‍රගන්‍ය ම සිතුවම ලෙස සැලකෙන “විලාපය” (The Scream) සිතුවම මත ඔහු විසින් ලියන ලද සැඟවුණු කුරුටු වැකියක් සොයාගැනීමට කලා විචාරකයෝ පසුගිය දිනවලදී සමත්වූහ. මේ සොයාගැනීමත් සමග යලිත් වරක් සිතුවම කෙරෙහි සංවාදයක් ඒ ගැන උනන්දු වූවන් අතර පැතිර යන්නට විය. විලාපයෙහි මුල් සිතුවම මුන්ච් විසූ ඔස්ලෝ නුවරදී 1893දී ප්‍රදර්ශනය කෙරිණි. ලබන වසරේදී ඔස්ලෝ නුවර විවෘත කිරීමට නියමිත නව කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා සිතුවමේ සංරක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පැවතිණි. එය සිදුවන අතරේදී මෙම කුරුටු වැකිය සොයාගැනීමට හැකිවී තිබේ. මෙම වැකිය ඉතා කුඩාවටත්, දැකීමට අපහසු ලෙසත් සිතුවමේ ඉහළ වම් කෙළවරෙහි, හිරු බැස යන අහස මත සටහන් කර ඇතැයි තතුදන්නෝ තහවුරු කරති. ‘මෙවැන්නක් සිතුවම් කළ හැක්කේ උන්මන්තකයෙකුට පමණි’ය යන්න එයින් කියැවිණි. මේ කුරුටු සටහන, සිතුවම බැලීමට ආ පිටස්තර නරඹන්නෙකු කළ දෙයක්ද නොඑසේ නම්, සිය ජීවිතය මුළුල්ලේ ම මානසික කම්පනයෙන් හෙබි මුන්ච් සිත්තරා විසින් ම ලියූවක් ද යන්න සම්බන්ධයෙන් කලා විචාරකයෝ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළහ.නෝවේ ජාතික කෞතුකාගාරය කළ නවතම පර්යේෂණයට අනුව, මුන්ච්ගේ දිනපොත සහ ලිපිවල අත්අකුරු පරීක්ෂා කිරීමෙන් පසු එය සිත්තරාගේ ම සටහනක් බවට ඔවුහු තීරණය කළහ. මිනිස් සාංකාව නිරූපණය කරන, විප්ලවීය සහ සියලු කාලයන්ට සාධාරණ හැඟීම් දැනීම් පළකිරීමක් වන 'විලාපය' මුන්ච්ගේ පමණක් නොව තත්කාලීන සමාජ සංස්ථාවන්හී නිරූපණයක් ද වෙයි. 90 දශකයේ හොලිවුඩ් සිනමාවේ භීතිය දනවන සිනමාපට මාලා සඳහා ද, නූතනයේ සමාජ මාධ්‍යයන්හිදී මිනිස් හැගීම් පෙන්නුම් කිරීමට භාවිත කරන ඉමොජි සඳහා ද, වෙස් මුහුණු සදහා ද එය විශාල වශයෙන් බලපෑ බව පිළිගැනේ. මුන්ච් එය සිතුවම් කළ කාලයටත් වඩා එහි යෝග්‍යතාව නූතනයට වලංගු බව මේවනවිට වඩාලාම පැහැදිලි වන්න්කි. "මේ සිතුවම අපවම පෙනෙන කන්නාඩියක් වගෙ. අපි හැමෝම හිත් ඇතුලෙන් මේ වගේ විලාප දෙන අය නේද?" යි සිතුවම විශ්ලේෂණය කරන විචාරකයන විමසන්නේ එබැවිනි. මෙම සිතුවමෙහි මැය, 'හැඩීම', 'කෑගැසීම', 'අදෝනාව' යනුවෙන් චිත්‍ර ශිල්පයෙහි ප්‍රාමාණිකයන් හදුන්වා තිබුණ ද, ඒ සදහා ලක්ශාන්ත අතුකෝරල සිය ලිපියකදී නම්කරන 'විලාපය' යන්න උචිත බව පෙනේ. අර කී සියල්ලෙහි සමස්තාර්ථය නියෝජනය කරන සාරයක් ලෙසින් එම වදන සිතුවමට සාධාරණයක් ඉටුකරයි. කේවල අර්ථයෙන් හුදු හැඩීමක් හෝ බෙරිහන් දීමක් ලෙස ගත නොහැක්කේ, සිතුවම ඉන් එහා වචනයක් ඉල්ලා සිටින බැවිනි. එසේම මේ සිතුවමේ සිටින තැනැත්තාගේ මුහුණත හුදු මිනිසෙකුගේ නොව හිස් කබලක ස්වරූපයක් ද පෙන්නුම් කරයි. ගිලීගිය ඇස් කුහර, කෙස් නැති හිස, නාස් සිදුරු පමණක් ඇති නාසය, මුහුණේ ඇට සැකිලිමය හැඩයක් මතුකරයි. මේ සදහා මුන්ච්ට 1889වසරේදී දක්නට ලැබුණු මමියක මුහුණත් තලය ඉවහල් වන්නට ඇතැයි පැවසේ. විලාපය සිතුවම විස්තාරණය කිරීමේදී, මුන්ච්ගේ කම්පන සහිත ජීවන තතු ඉවත් කළ නොහේ. මුන්ච් මෙන්ම, ඔහුගේ පියා සහ සොහොයුරිය ද විශාදයෙන් පීඩා විඳි අතර, 1908දී ස්නායු දුර්වලවීමෙන් මුන්ච් ද රෝහල්ගත කෙරිණි. ඔහුගේ මව සහ වැඩිමල් සොයුරිය, ඔහු 14 හැවිරිදි වියේදී මිය ගිය අතර, එයින් අවුරුදු 12කට පසු ඔහුගේ පියා මිය ගියේය. ඔහුගේ තවත් සොයුරියකව උන්මන්තකාගාරයේ රැඳවීමට සිදුවිය. මේ කරුණු ඔහුගේ සිතුවමින් ඉවතට නොගිය අතර, 'විලාපය' සිතුවමට පසුව ඔහු සිත්තම් කළ, 'කාන්සාව'(Anxiety) සිතුවමෙන්, නිරූපණය වන්නේ මිය ගිය සොයුරිය බව විචාරකයෝ අර්ථ දක්වති. එසේම, මුන්ච්ගේ, 'අලු' නමැති සිතුවමේදී, කාන්තාවක් හිසේ අත ගසාගෙන සිටී. ඔහුගේ 'සුන් සිහින' (Despire) සිතුවම ද විලාපය සිතුවමට අනුබද්ධබවක් උසුලන අතර, මේ සිතුවම් තුනට ම පොදු සමාන පසුතලයක් සහ තේමාත්මක සමානතාවක් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන්, 'volcanic sky' යනුවෙන් හැදින්වෙන අහස, සිතුවම්හි යටිපෙළ කියවීමට පිටුබලයක් සපයයි. “මට මතක ඇති කාලයක ඉඳලා, තියුණු තදබල සාංකාවකින් මම පීඩා වින්දා. එය මම මගේ කලාකෘතිවලින් නිරූපනය කරන්න උත්සාහ කළා. නමුත්, සාංකාවයි අසනීපයයි නොතිබුණා නම් මම සුක්කානම නැති නැවක් වගේ වෙන්න ඉඩ තිබුණා” යැයි සිත්තර මුන්ච් සිය දිනපොතෙහි සටහන් කර තිබිණි.