අවංකත්වය හා අව්‍යාජ බවින් ලෝ පතළ කීර්තියක් උසුලන ඉන්දීය ලේඛිකාව, ‘කමලා දාස්’ (496)

post-title

ඉන්දීය සාහිත්‍යයේ මෙතෙක් බිහි වූ විශිෂ්ට දිදුලන තාරකාවන් අතර කමලා දාස්ට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඇය භාරතයේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් කීර්තියක් ඉසිලූ කාන්තාවකි. කමලා දාස් උපන්නේ 1934 වර්ෂයේ මාර්තු 31 වන දින ඉන්දියාවේ කේරළයේ දී ය. ඇයව කේරළයේ දී හැඳින්වුයේ ‘මාධවී කුට්ටි’යන නාමයෙනි. ඇගේ මවුබස මලයාලම් බස වූයෙන් ඇය මවුබසින් නම ලියද්දි මාධවී කුට්ටි යන නාමය භාවිතා කර ඇත. නමුත් ඇය ඉංග්‍රීසි භාෂාවද මැනවින් දැන උන්නා ය. පසුව ඇය තමාව ජාත්‍යන්තර වශයෙන් හැඳින්වීමේ දී ‘කමලා දාස්’ යන නාමය භාවිතා කළා ය. ඇය පසු කලෙක හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම ට යොමු වූ විට ඇය ‘බිබී සුරයියා’ යන නාමය භාවිතා කළා ය.

කමලා දාස් ප්‍රථමයෙන් ජනප්‍රසාදයක් හිමි කර ගත්තේ කිවිඳියක ලෙස ය. ඇය ඉන්දියාවේ බිහි වූ විශිෂ්ට කිවිඳියක ලෙස සලකණු ලබයි. පසුව ඇය ක්‍රමයෙන් කෙටි කතා කරණයටත්, නවකතාකරණයටත් යොමු වූවා ය. ඇය සිය නිර්මාණ ඔස්සේ සිය හැඟීම් නිර්භය ලෙස සමාජයට මුදා හැරියා ය.ඇය ජනතාව අතර ඇති මහත් ජනප්‍රියතාවක් උසුලන අයෙක් බවට පත් වූයේ සිය අවංකභාවය නිසා ය. ඇය සිය නිර්මාණ ඔස්සේ සමාජය තුළ ඒ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැඟීම ට කටයුතු කළා ය.

මාධවී කුට්ටි කුඩා කාලයේ සිටම සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දැක්වූ දැරියකි. එයට හේතු සාධක ඇගේ නිවස තුළින්ම ගොඩ නැඟී තිබුණි. ඇගේ මව ‘බාලමනී අම්මා’ වූ අතර, පියා ‘වී. එම්. නයිර්’ නම් විය. මාධවී කුට්ටිගේ මව වූ බාලමනී අම්මා ප්‍රකට මලයාලම් කිවිඳියක් වූවා ය. ඇගේ පියා පුවත්පත් සංස්කාරකවරයෙකු වූයේ ය. ඇයව සාහිත්‍යකරණයට යොමු කිරීමට විශාල පෙළඹවීමක් කර ඇත්තේ එම කාලයේදී ප්‍රකට ලේඛකයකු වූ ඇගේ මාමා කෙනෙක් වන නලපට් නාරායන් මෙනන් විසිනි. මේ අයුරින් මාධවී කුට්ටි සාහිත්‍යකරණයට යොමු වීමට අවශ්‍ය පසුබිම ඇගේ පවුල් පරිසරය තුළින්ම ගොඩ නැඟී තිබුණි.

වැඩිහිටි බලපෑම මත පහළොස් වියේදීම ඇයට විවාහ වීමට සිදු විය. එම විවාහය ඇයගේ අකමැත්තෙන් වූ විවාහයක් බව අගේ ස්‌වයං චරිතාපදානය වූ ‘My Story’ හි ඇය දක්වා තිබේ. ‘මාධව දාස්’ නම් ඔහුගේ ස්වාමි පුරුෂයා ඔහුට නොගැළපෙන වයස්ගත පුද්ගලයකු වූවේ ය. වයස අවුරුදු දහසය වන විටම ඇයට ඇගේ ප්‍රථම දරුවා බිහි විය. පසුකාලයේදී ඇගේ සැමියා වූ මාධව දාස් ඇගේ ලේඛන කටයුතු පවත්වා ගෙන යාමට ද සහය වූවේ ය. නමුත් ඒ යම් සීමාවක් මත ය. ඇයට තම ලේඛන කටයුතු සිදු කිරීමට අවසර ලැබුණේ ඔවුන්ගේ නිවසේ සිට පමණක් ය.

කමලා දාස් සිය මලයාලම් බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් ද සාහිත්‍ය නිර්මාණයන් කරන්නට පටන් ගත්තා ය. මලයාලම් බසින් ලියන විට ඇය භාවිතා කළේ ‘මාධවී කුට්ටි’ යන නාමය ය. ඇගේ උපන් ප්‍රදේශය වූ කේරළයේ ඇයව අදටත් හඳුන්වන්නේ ඒ නාමයෙනි. ඇය ඉංග්‍රීසි බසින් කාව්‍ය ද, මලයාලම් බසින් කෙටිකතා හා නවකතා රචනා කරන්නට විය. කමලා දාස්ව ‘නූතන ඉන්දියානු ඉංග්‍රීසි කාව්‍යයේ මව’ ලෙසද හඳුන්වනු ලබයි. ඇය සිය ලේඛනයන් ඔස්සේ කාන්තාවන්ගේ හැඟීම්, යොවුන් විය, ලිංගිකත්වය, ආශාව, ආදරය, අනියම් සම්බන්ධතා ආදී වශයෙන් සමාජයේ නිතර කතාබහට ලක් නොවන මාතෘකා පිළිබඳව කතා කළා ය. ඇගේ ලේඛන හැකියාව සමාජයේ වඩාත් කැපී පෙනුණේ ඇයට හිමි වූ නිර්භීතකම හා අවංකභාවය නිසා ය. 

කමලා දාස් ඇගේ ජිවිත කාලය තුළ ඇයව ස්ත්‍රීවාදිනියක ලෙස හඳුන්වා නොමැති මුත්, ඇගේ බොහොමයක් ලේඛන කටයුතු සිදු වූයේ ස්ත්‍රීන් වෙනුවෙනි. ඇය තම ලේඛනයන් ඔස්සේ කාන්තාවන්ගේ හැඟීම් පිළිබද ගැඹුරින් කතා කළා ය. ඇය සිය ලේඛනයන් ඔස්සේ පෙන්වා දෙන්නේ කාන්තාවන් සිය ලිංගිකත්වය හා බැඳුනු හැඟීම් කිසිම විටකදී සඟවා ගැනීමට අවශ්‍ය නොවන බවයි. කාන්තාව ද පුරුෂයා මෙන්ම හැඟීම් හා ආශාවන්ගෙන් යුක්ත වූ අයෙකු බවත් එමනිසා කාන්තාවක වූ පමණින්තම හැඟීම් සඟවා නොගත යුතු බවත් ඇය සිය ලේඛනයන් මඟින් සඳහන් කළා ය. 

කමලා දාස් 1990 වසරේදී එතෙක් ඇදහු හින්දු ආගම අත්හැර ඉස්ලාම් ආගමට හැරුණා ය. ඒ ඇය හින්දු භක්තික පවුලක උපත ලබා මුහුණ දුන් හැල හැප්පීම් සමඟ වසර ගණනාවක් ජීවත් වීමෙන් පසුව ය. ඉන්පසු ඇය ඇගේ නම ‘බිබී සුරයියා’ ලෙස වෙනස් කර ගත්තා ය. ඇයට ඒ නම යොදා ඇත්තේ ඇගේ සන්ධ්‍යා සමයේ මුස්ලිම් ජාතික පෙම්වතා ය. මලයාලම් බසින් එම නමෙහි අර්ථය වූයේ ‘කර්තික තාරකාව’ යන්නයි.

කමලා දාස් විසින් මලයාලම් බසින් රචනා කරන ලද නිර්මාණ අතර Chandana Marangal, Madhavikkuiyude Unmakkadhakal, Varshangalkku Mumbu, Neypayasam, My mother at Sixty six, Pakshiyude Manam ආදිය වේ. ඇය විසින් රචිත ඉංග්‍රීසි භාෂා කෘති අතර The Anamalai Poems, Descendants, Summer in Calcutta, Only the soul knows how to sing, Tonight, This Savage Rite (with Pritish Nandy), Alphabet of Lust ආදිය වේ. චිත්‍ර කලාවට ද ප්‍රිය කළ ඇය 1993 වසරේදී දී චිත්‍ර මාලාවක් ප්‍රසිද්ධ කළා ය. ඇය විසින් නිර්මාණය කළ බොහෝ චිත්‍රවලට නග්නත්වය ඇතුළත් විය.

කමලා දාස් ඇගේ ස්‌වයං චරිතාපදානය වූ ‘My Story’ තුළින් සාමාන්‍ය මලයාලම් කාන්තාවකගේ විවාහය, පවුල් ජීවිතය, කාන්තා පීඩනය ආදිය විවෘතව හෙළි කරනවා ය. එය 1973 වර්ෂයේදී ‘Ente Katha’ නම් මලයාලම් බසින් පළ කරන ලද්දකි. අනතුරුව එය ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය කරන ලදී. එය කේරළයට මෙන්ම සමස්ත ඉන්දීය සමාජ ප්‍රවාහයටම හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමක් විය. ‘මගේ කතාව’ ලිවීමේදී ඇය ප්‍රකට කළ අවංකභාවය එය දෙස් විදෙස් වශයෙන් ජනප්‍රිය කෘතියක් වීමට හේතුවක් විය. 

කමලා දාස් ‘මගේ කතාව’ සම්බන්ධයෙන් දැක්වූ අදහස මෙසේ ඉදිරිපත් කරමි.

“ ‘මගේ කතාව’ මා පළමු වරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන් ගත මගේම ස්‌වයං අපදානයයි. කොටස් වශයෙන් පළවන්නට වූ ‘මගේ කතාව’ ඇතුලත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල්වලට ගලන්නට විය. මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියෙකු සිටි බව මගේ පාඨකයන්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලැජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි. නමුත් ඒවා ලියා තැබීම ගන මොහොතක් හෝ මම කණගාටු නොවෙමි. මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට ‘මගේ කතාව’ තුළින් ලැබුණු සතුටක් සපයා නැත. ” 

මෙසේ ඇය අවංක ලෙස ඇගේ විවාහය හා ඉන් පරිබාහිර වූ ප්‍රේමය ගැන ‘මගේ කතාව’ තුළින් පැවසීමෙන් ඇගේ පවුලේ නෑදෑයින් ඇගෙන් දුරස් වීම සිදු විය. නමුත් ඇය පවසන්නේ ඒවා ලියා තැබීම ගැන ඇයට කණගාටුවක් නොවන බවයි. ඇය එයට හේතුව මෙසේ සඳහන් කළා ය.

“ සියලුම රහස්වලින් මටම නිදහස් වන්නට, ඒවායින් හිස් වන්නට මට අවශ්‍ය විය. ”

හැත්තෑ පස් වියෙහි පසු වූ කමලා දාස් 2009 වසරේ මැයි 31 වන දින මහා රාෂ්ටයේ පූනේහි දී මිය ගියා ය. ඇය ‘My Story’ නම් ඇගේ චරිතාපදානයේ අවසාන පරිච්ඡේදයේ ‘මරණ බය මම නවතා ඇත්තෙමි’ යනුවෙන් පවසා ඇත. එම පරිච්ඡේදයේ අවසාන භාගයේ සඳහන් කොටසක් මෙසේ ගෙන එමි.

“ ඇතැම් විට මම ඉතා ඉක්මනින්ම මිය යන්නෙමි. මනාලියක සිය පෙම්වතා අපේක්ෂාවෙන් බලා සිටින්නාක් මෙන් පෙනෙන්නට පැලඳ සිටි, මගේ සිරුර සැරසූ ආභරණ මා තවත් කල් ජීවත් කරවනු ඇත. මා එක් රැස් කළ පොත්, මා මල් පුදාලූ ලෝකඩ ප්‍රතිමා, මා ජීවිත කාලයේදී ගබඩා කර තිබූ සියලු නොවටිනා දේවල් නොනැසී පවත්නා මුත් මා එසේ පවතිනු නැත. ”

කමලා දාස්ගේ මරණයෙන් පසුව ද ඇගේ ලේඛනයන් මහත් ඇගයීමට හා ජනාධාරයට ලක් විය. ඇයගේ ජීවිතය අලලා කමලුදීන් මජිඩ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටය Aami නමින් 2018 වසරේ දී බිහි විය. 


(Sources:madavikutty.blogspot.com, My Story novel, http://wikipedia.org)

Top