පෝලියෝ රෝගය පරදා ධාවන ශූරියක වූ විල්මා රුඩොල්ෆ් (423)

post-title

ඇමරිකාව ලෝකෙ බලවත්ම රාජ්‍ය විදියට නම් දරනකොට මම අද කියන්න හදන මේ පුංචි කෙල්ල විල්මා රුඩොල්ෆ් ඉපදුනේ මේ බලවත් රාජ්‍යයේ ටෙනසි කියන ගම්මානයේ දුප්පත් පවුලක. ජීවන බර දරාගන්න අමාරුම මොහොතක පවුලට එකතු උන පුංචි විල්මා ඉපදෙනකොටම පෝලියෝ රෝගියෙක්. ඒ වගේම ඇය ඉපදුනේ නොමේරු දරුවෙකු විදියට. මේ පුංචි කෙල්ලගෙ ආගමනය ඒ වෙනකොට අමාරුවෙන් ජීවිතය ගැටගහගෙන ජීවත්වෙන්න හදන මේ දුප්පත් පවුලට සහ ඒ දෙමව්පියන්ට කොහොම නම් දැනෙන්න ඇතිද ? කොහොමද මේ දරුවව ජීවත්කරන්නෙ කියන සිතුවිල්ල එක්ක පොරබදන ඇගේ අම්මයි තාත්තයි පුළුවන් විදියට වෛද්‍යවරු ළඟට පිහිටක් ප්‍රාර්ථනා කරගෙන ගියත් ඇත්තටම දවසින් දවස ඇය නිතරම ලෙඩ වෙන්න පටන්ගන්නවා. විල්මා කියන විදියට රෝහල ඇගේ නිවසට සමානවෙන තරමට ඇය වැඩිහරියක්ම ඉඳලා තියෙන්නෙ රෝහලේ. මරණය පෙනෙන නොපෙන තරමට අසාධ්‍ය උන ඇයට හුස්ම ගන්න බලාපොරොත්තුව උනේ හුස්ම ගන්න පුළුවන් උන එක විතරමයි.

දෙමව්පියන්ට කවදාවත් බෑ තමන්ගෙ දරුවන් වේදනාවන් විඳිනවා දකින්න. ඒත් මොනතරම් කටුක අත්ඳැකීමක් උනත් මේ සටන එක්ක පොරබදන විල්මගෙ දෙමව්පියන්ට තිබුන එකම බලාපොරොත්තුව දෙවියන්ගේ පිහිට සහ විශ්වාසය විතරමයි.

දෛවය කියන්නෙ පුදුමාකාර පරීක්ෂණයක්. දෛවය අපිට මුණගස්සන සමහර පරීක්ෂණවල සමහර හැරවුම් ලක්ෂ අපිට හිතාගන්නවත් බැරිතරමට වේඳනාකාරි. ඔව් ඇයටත් ඒ පරීක්ෂණය සොබාදහම විසින් ඕනිවටත් වඩා මුණගස්වලා තිබුණා. හදිස්සියෙම නියුමෝනියා රෝගයට ගොදුරු උන විල්මට රෝගයේ අතුරු ප්‍රථිපලයක් විදියට ඇගේ ස්නායු ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. මේ පුංචි දැරියගේ වම් පාදය අඩපණ වෙන්න ගත්තා. කෘත්‍රිම පාදයකින් වාරු ගත් ඇයට ජීවිත කාලය පුරාවටම අබාධිත දැරියක් ලෙස ජීවත්වෙන්න වෙයි කියලා වෛද්‍යවරු කිව්වා.

" වෛද්‍යවරු හැමෝම කිව්වෙ මට ආයෙමත් කවදාවත් ඇවිදින්න නම් හම්බෙන්නෙ නෑ කියලා. ඒත් මගෙ ආදරණීය දුප්පත් අම්මා මට කිව්වෙම මට ඇවිදින්න පුළුවන් වෙනවා කියලා. මගෙ අම්මගෙ හිතේ ඒ තරමට මම ගැන තිබුන විශ්වාසය අඩුවෙන්න නොදී මම මගෙ අම්මව සහ ඇගේ අසීමාන්තික ආදරය ගැන විශ්වාස කළා. දැඩිව විශ්වාස කළා. මගෙ කෘත්‍රිම පාදය ගැන මගෙ අම්මා කවදාවත් විශ්වාස කලේ නෑ. මගෙ අම්මා මට නිතරම කිව්වෙ බලාපොරොත්තු තියාගන්න කියලා. සාමාන්‍ය ළමයෙක් විදියට මට මගේ ජීවිතය විඳින්න කියලා. මගෙ හිතට විශ්වාසය දෙන්න කියලා ඈ නිතරම මට කිව්වා. ඉතින් මම කොහොමද ඇගේ ප්‍රාර්ථනාවන්ට පිටුපාන්නේ? මම කොහොමද ඇගේ විශ්වාසය අවතක්සේරු කරන්නෙ ? වෛද්‍යවරු කිව්ව මට ඇවිදින්න බෑ කියලා. ඇත්තටම මට ඕනි උනේ ඇවිදින්න නෙමෙයි.මට ඕනි උනේ දුවන්න." 

විශ්වාස කරන්න පුළුවන් ද ?

මේ තරම් පීඩාකාරී අරගලයක් එක්ක තමන් එක්කම සටන් කරපු විල්මට ඕනි උනේ ඇවිදින්න නෙමෙයි, ඈට ඕනි උනේ දුවන්න කියලා. කාලය කියන්නෙ විශ්වාසය තියන්න පුළුවන් අපූරු බලාපොරොත්තුවකට. දැන් විල්මට අවුරුදු 9යි. වෛද්‍යවරුන්ගෙ අනාවකිය බොරුවක් කරපු විල්මා කෘත්‍රිම පාදය නැතුව සීරුවට ඇවිදින්න පටන්ගත්තා. මිනිස්සු පුදුම උනා වගේම සතුටු උනා. ඒත් විල්මට ඕනි උනේ කකුලට ටිකෙන් ටික පණ එනකොටම දුවන්න. ඒක නිකන්ම නිකන් දිවිල්ලක් නෙමෙයි. ඈට ඕනි උනා දක්ෂ ධාවන ශූරියක් වෙන්න.

" ඇවිදින්න පුළුවන් උනා විතරයි ඒ ගැන සතුටු නොවී දුවන්න හදන්න එපා දරුවෝ.... "

" ඔය නම් ඉතින් ආයෙම එක්තැන් වෙන්න හදන වැඩක් ...."

" කරන්න බැරි දේවල් ගැන නොහිතා තමන්ට පුළුවන් මට්ටමින් හිතන්න ළමයෝ .."

මේ විල්මට වටපිටාවෙන් ලැබුණු උත්තේජන. ඒත් විල්මගෙ ආදරණීය අම්මා හැමදාමත් ඇයව විශ්වාස කළා. අවුරුදු දහ තුනේ දී මුල්ම ධාවන තරඟයට ඉදිරිපත් උන විල්මා සෘණාත්මක ප්‍රතිචාර මැද නොනවතින විශ්වාසය , අධිෂ්ඨානය එක්ක වාරු අරන් ඇවිදින්න වගේම තමන්ගෙ දුර්වල පාදය එක්ක සටන් කරමින් දුවන්න පුහුණු උනා. දුප්පත්කම එක්ක තමන්ගේ ජීවිතය රැකගන්න අරගල කරපු දෙමව්පියන් වෙනුවෙන් ඈ නොනැවතී දිව්වා. වාර ගණනාකවකදීම අවසන් තැනට පැමිණියත් එක දිනකදි ඇයට පුළුවන් උනා පළමු තැන ගන්න. ඇගේ අධිෂ්ඨානය සහ ඇගේ මවගේ දැඩි විශ්වාසය එක්ක උසස් අධ්‍යාපනයට තේරී පත්වෙන විල්මට අපූරු ගුරුවරයෙක් මුණගැහෙනවා. ඔහුගෙ නම එඩ්වඩ් ටෙම්පල්. විල්මගෙ දක්ෂතාවයට එහා ගිය ඇගේ ආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය එක්ක ඇගේ දෛවය අලුතින් ලියන්න ගුරුවරයාට හැකි උනා.

ප්‍රථිපලය අතිවිශ්ඨයි ! 1960 දී රෝමයේ පැවති ඔළිම්පික් තරඟාවලියට ඇය සුදුසුකම් ලබනවා. එපමණක් නෙවෙයි මීටර් 100 ධාවන ඉසව්ව සමඟින් ඔළිම්පික් රන් පදක්කම් තුනක් උරුමකරගත්ත විල්මා රැඩොල්ෆ් එකම තරඟාවලියකදී ලෝකයේ රන් පදක්කම් තුනක් දිනාගත් මුල්ම ධාවන ශූරිය වීමේ වරම සහ ලොව එතෙක් සිටි වේගවත්ම කාන්තාව පසුකරමින් තරඟ වාර්තාවද ඈ සතු කරගන්න විල්මා රැඩොල්ෆ් සමත් වෙනවා.

 " ජයග්‍රහණය විශිෂ්ටයි, ඒවගේම විශ්වාසයි. නමුත් ඔයා ඇත්තටම ජීවිතයේ යමක් කරන්න උත්සාහ කරන්න යනවා නම්, රහස වෙන්නෙ අහිමි වන ආකාරය ඉගෙන ගන්න එක විතරයි. කවුරුවත් හැමවෙලාම පරදින්නෙ නෑ. දැවැන්ත පරාජයකින් පස්සෙත් ඔයාට නැවත දිනන්න පුළුවන් නම්, ඔයා කවදා හරි දවසක ශූරයකු වනවා නියතයි

දෛවය ලියවිලා තියෙන්නෙ ඔයාගෙ අසීමාන්තික විශ්වාසය එක්ක මිසක අතේ රේඛා වලවත් කොළ කැබැල්ලකවත් නෙමෙයි . ඔයා හිතන්නෙ ඔයාට දිනන්න ඕනි කියලා නම් ඔයා උත්සාහ කරයි. ඔයා හිතන්නෙ ඔයාට නැතිවෙන දේවල් වැඩී කියලා නම් ඔයාට වැඩි වැඩියෙන් දේවල් අහිමි වෙයි ඒ වගේම කිසිම දෙයක් හිමි කරගන්න කිසිම දෙයක් වෙනුවෙන් ඔයා උත්සාහ නොකරයි.

ඇවිදින්න බෑ කිව්ව විල්මා හිතුවා ඇයට ඇවිදින්න නෙමෙයි ඕනි ඇයට ඕනි දුවන්න කියලා. ඉතින් ඉපදෙනකොටම වාරු නැති පාද එක්ක ඉපදුනත් ලැබුණු පාදවලට වාරු දෙමින් , වාරු ඇතිව ඉපදුන අය පහුකරන් ලොව වේගවත් කාන්තාව විල්මා රුඩොල්ෆ් වෙනකොට අපි අපි කවුද කියලා හොයාගමු.

හැමදේම තියෙන මිනිහෙක්ට වඩා කිසිම දෙයක් නැති මිනිහෙක් ළඟ තියෙන හොඳම සහ වටිනාම දේ අසීමාන්තික විශ්වාසය සහ අධිෂ්ඨානය විතරයි , විතරමයි. මේ මොහොතේම අධිෂ්ඨානය එක්ක ඔයත් ක්‍රියාත්මක වෙන්න. දෛවය මුණගස්සපු ඔයාගෙ පරීක්ෂණයෙන් ඉහළින් සමත්වෙන්න. ඔයාට අවස්ථාවක් එළඹෙනවා සත්තයි.

Top