හිට්ලර්ගේ පෙම්බර ඊවා

post-title

ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ ආදර අන්දර එක්කෝ ආන්දෝලනාත්මක කතන්දරයකට මුල පුරනවා. සම්මත රීතිය පන්නවා ධාවනය වන කතන්දර නිසා ඒවා තරමක් සුවිශේෂී. නාසි සංහාරයේ නියමු ජර්මනියේ ආඥාදායකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආදර අන්දරයත් එවැනි ම කතාවක්. ඔහුගේ පෙම්වතිය වන ඊවා බ්‍රවුන් හිට්ලර්ට දැඩිව ආදරය කළ යුවතියක්. ඔහු වෛර කළ යුදෙව් ජාතියට ඇය අයත්බව තරමක් අප්‍රකට කරුණක්. ඊවා බ්‍රවුන්ට කලින් ගෙලි රවුබල්, යුනිටි මිට්ෆේර්ස්, විනිප්‍රිඩා වැග්නර් යන අය සමඟත් හිට්ලර්ට සබඳතා තිබූ බව කියවෙනවා. ජර්මනියේ නායකත්වය දරන කාලෙ හිට්ලර්ට කාන්තා ආරාධනාවලින් අඩුවක් වුණේ නැහැ. ඔහුගේ වාග් චාතූර්යත්, තියුණු දෑසත්, සෘජු දේහ ලක්ෂණත් කාන්තා ආකර්ෂණයට බලපෑ බවට සැකයක් නැහැ. 

හිට්ලර්ට ඊවා මුණගැසෙන්නෙ ඔහුගෙ සමීප මිත්‍රයෙක්ගේ මාර්ගයෙන්. මිත්‍රයාගේ ඡායාරූප ශාලාවෙ සහායිකාවක් විදියටත් නළඟනක් විදියටත් වැඩකරන ඊවා දකින හිට්ලර් මුලදී ඇය හා මිත්‍රයෙක් ලෙසින් ඇසුරු කරනවා. ඇය ඔහුට ආලය කළත් ඔහු ඇයව ගණන් ගන්නේ නැහැ. හිටලර්ගෙන් ආදරයක් හිමිවෙන් නැතිනිසා ඇය හෝටල් කාමරයක එල්ලී මියයන්න තීරණය කරනවා. මිනිස්සු කණ්ඩායමක් ඇයව බේරාගන්නවා. ඒ හිට්ලර් ජර්මනියේ ප්‍රසිද්ධ වෙන්න කලින්. පසු කාලයකදි ඔහු මියයන තෙක් ම ආදරය කරන්නේ ඇයටයි.

කෲර පාලකයෙක් වුණත් ආදරය ඉදිරියේ හිට්ලර් හරි ලජ්ජාකාරයෙක්. ප්‍රසිද්ධව පෙම් කරන්නවත් ප්‍රේමය ප්‍රකාශ කරන්නවත් මැලිවුණු හිටලර් ඊවාට සිය සිතැඟි ඉදිරිපත් කළේ වචනයෙන් දෙකෙන්. එහෙම වුණත් ඇය කැමති විදියට මල්, චොකලට් පෙති, ආභරණ, විලවුන්, රෙදිපිලිවගේ ම සුරතල් සත්තු කීපදෙනෙක් ඇයට තෑගි කරන්නත් ඔහු අමතක කළේ නැහැ. ඊවා ව සතුටින් තියන්න හිට්ලර් ඔහුට හැකි හැමදෙයක් ම කරන්න උනන්දු වුණේ තමන් වටා ගොඩනැගෙමින් තිබුණු දේශපාලන බලයත් ප්‍රයෝජනයට ගනිමින්. තමන්ගෙ නිලධාරින් සමග ඊාවාව විදෙස් සංචාරවලට යෙදීමටත් ඔහුකටයුතු පිළියෙළ කරනවා.

ජර්මනියේ බර්ග්හොෆ් මැදුරෙ නිවාඩුව ගතකරන්න ඊවා හිටලර් සොයා පැමිණෙනවා. ඔවුන් දෙදෙනා සමීප මිතුරන් ලෙසින් ඇසුරු කළත් පසුව අඹුසැමියන් ලෙසින් කල් ගෙවනවා. යුද්ධ කටයුතු අතර හිට්ලර්ගෙ සිත දෝලනය වෙද්දි ඊවා ඔහු සමීපයේ සිටීම ඔහුට පිටිවහලක් වෙනවා. හිටලර් ඊවාට කෙතරම් තදින් ආලය කළත් විවාහවීමක් ගැන සිතන්නට පෙළඹෙන්නේ නැහැ. සැමියකු හෝ පියකු වශයෙන් දරුවන් රොත්තක් පිරිවරා ගෙන වගකීම් සහගත දිවියක් ගතකරන්න ඔහුට තිබූණේ තදබල අකමැත්තක්. 

තමා ජීවත් වුණොත් හිටලර්ගේ ආදරය පෙරටත් වඩා ලැබේවි’යි හිතපු ඊවා වරක් තමන්ගේ පපුවට වෙඩි තබාගන්නවා. තුවාල ලැබුවත් ඇගේ දිවි ගැලවෙනවා. ඊවාගේ නො සිඳෙන ප්‍රේමයත් හිතුවක්කාරකමත් ආලයත් හිටලර්ගෙ සිත ඈ කෙරෙහි ම තව දුරටත් අලවා තබනවා. එහෙම වුණත් සතුරු කණ්ඩායම් තමන් සිටින ප්‍රදේශයට එන බවත් තමන්ට ගැලවුමක් නැති බවත් ස්ථිර කරගත්ත හිට්ලර් පෙම්වතෙක් විදියට මියයාම පසෙක තබා වහ- වහා ඊවාව විවාහ කරගන්නවා. ඇයට දිවි ගලවාගෙන ඉන් පිටත්වන ලෙස කීවත් ඊවා ඔහු සමග ම රැඳී සිට මියයාමට තීරණය කරනවා.

ඒ කාලයේ බොහෝ දෙනෙක්ට කුතුහලයක් වුණ ප්‍රශ්නයක් හිටලර්ගේ මිතුරෙක් ඔහුගෙන් විමසනවා. 

ඔබ විවාහ වෙන්නෙ නැත්තේ ඇයි?”

හිට්ලර් ඊට කදිම පිළිතුරක් දෙනවා.

 

මල්වලට ආස කළ පලියට මට උයන්පල්ලෙක් වෙන්න අවශ්‍ය නැහැ”

Top