ලොවක් වසඟ කළ ජැකී - කෙනඩි ප්‍රේම පුරාවත (258 වන ලිපිය)

post-title

 “ Ask not what your country can do for you. Ask what you can do for your country”

“රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ? නොව,  ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි විමසන්න. ”

මෙම ප්‍රකාශය කියවන්න. හොදින් කියවන්න. මෙම ප්‍රසිද්ධ කියමන ප්‍රකාශ කළ පුද්ගලයා ඔබට මතකයට නැගෙන්නට පුලුවන්. තවත් සමහරෙකු මෙම ප්‍රකාශය කළ පුද්ගලයා කවුරුන්ද යන වග නොදන්නවා වෙන්නට පුලුවන්. මේ ප්‍රකාශයේ හිමිකාරයා වෙන කිසිවෙකුත් නොවෙයි ඇමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන්. එෆ්. කෙනඩිය. 

මම ඔහු පිළිබදව මෙලෙස මූලාරම්භක සටහනක් තබන්නම්. 1961 දී ඇමෙරිකාවේ 35 වැනි ජනාධිපතිවරයා වුණේ ඔහුයි. 1963 නොවැම්බර් 22 වැනිදා ටෙක්සාස්හි දී සාහසිකයෙකුගේ වෙඩි පහරින් සදහටම දෙනෙත් පියාගත් මොහුට ජනපති පදවිය දැරීමට හැකි වූයේ අවුරුදු දෙකයි මාස දහයක පමණ වූ සුලු කාලයක් පමණයි. මුලු ලෝකය පුරාම ආන්දෝලනයකට ලක් වූ මෙම ඝාතනය තවමත් හෙළිනොවුණු අබිරහසක්. සෝවියට් දේශය මගින් පිදෙල් කැස්ත්‍රෝගේ ඉල්ලීම පරිදි ඇමෙරිකාව දෙසට එල්ල කොට මිසයිල පද්ධතියක් කියුබාවේ සවි කිරීමත් කෙනඩිගේ ඝාතනය සිදු වීමත් එකම කාල සීමාවක දී සිදු වුණා. 

අද වචන.lk හරහා මම ඔබට කියන්නට යන්නේ කෙනඩි හෝ කෙනඩිගේ පවුලේ හෝ ඔහුගේ දේශපාලනික ඉතිහාසය පිළිබදව නම් නොවෙයි. රස සාගරයක් බදු වූ ඔහුගේ යෞවන ජීවිතයේ රස මුසු තැන් සොයා ඔහුගේ දිවියෙහි ඇතුළු පැත්ත ස්පර්ශ කරමින් ප්‍රේමය, ආදරය හමුවේ මේ ලෝක පොලිස්කාරයා දණ ගැසූ කතාන්දරයත්, හිතුවක්කාර ප්‍රේම සාගරයේ කිමිදුණු රස ගුලාවක කතාවත් අද ඔබට මෙලෙස කියන්නට සිතුවා.

ඇත්තටම මේ ජීවිත ගමන තුළ ප්‍රේමය, ආදරය, විරහව යනාදී මානුෂික කාරණා සංධිස්ථාන වශයෙන් නිරන්තරයෙන් පසු කිරීමට ඕනෑම තරාතිරකම සමාජ ජීවියෙකුටම සිදු වෙනවා. ඒ දෙය මට, ඔබට වගේම බලයෙන්, ධනයෙන් පොහොසත් ලෝක බලවතුන්ට ද පොදු වූ සමාජ, සංස්කෘතික කාරණාවක්. කොයි තරම් බලවත් වුණත් මේ ලෝක බලවතාට ද සිදු වූයේ ප්‍රේමය හමුවේ දණ නමන්නටයි. කෙනඩි දේශපාලනයට පිවිසෙන්නේ 1947 දීය. 1947 සිට 1953 දක්වා කාලයේ දී ඔහු මැසචුසෙට් ආසනයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළා. ඔහු සෙනෙට් සභාවට පත්වන්නේ 1953 වර්ෂයේදීයි. 1960 දක්වා ඔහු සෙනෙට් සභිකයෙකු වශයෙන් ඇමෙරිකාවේ දේශපාලන පොරපිටියෙහි කැපී පෙනෙන නමක් දිනා ගත්තා. 1952 වර්ෂයේ දී කෙනඩිට ජැක්ලයින් බූවියර් හෙවත් ජැක්ලයින් ලී හමුවුණේ ඔහු සෙනෙට් සභිකයෙකු වශයෙන් කටයුතු කරන විටයි. ඒ වන විට ජැක්ලයින්ගේ වයස අවුරුදු 23 කි. කෙනඩිගේ වයස අවුරුදු 38 කි. ආදරයට හෝ ප්‍රේමයට කිසිම ආකාරයෙන් කෙනෙකුගේ වයස බලපාන්නේ නැහැ. මට හැගෙන ආකාරයට ආදරය සහ ප්‍රේමය යන වචනාර්ථයන් එකිනෙකට වියුක්ත සංකල්පයන් දෙකක්. මේ ලෝක ධාතුවෙහි ඕනෑම කෙනෙක්ට ආදරය බෙදන්නට පුලුවන්. ඒත් ප්‍රේමය බෙදන්නට පුලුවන් ද? බැහැ නේද? යමෙක්ට තම විරුද්ධ ලිංගිකයා කෙරෙහි තම චිත්ත අභ්‍යන්තරයෙහි ප්‍රේමයක් ඉපදීමට නිසි තැනක්, වේලාවක්, තරාතිරමක් බලපාන්නේ නැහැ. මේ ලෝක බලවතාටද සිදු වූයේ එවන් දෙයකි. භද්‍ර යෞවනයේ පසු වූ ජැකී රූ සපුවෙන් අගතැන්පත් වූ නිසාම මේ සුරූපිනිය කෙරෙහි කෙනඩිගේ සිත ඇදී යාම පුදුමයට කරුණක් නොවෙයි. ඒ වන විටත් ඇය ඔහුට වඩා අවුරුදු 15කින් ලාබාල වූ තරුණ වියේ පසුවන ගැටිස්සියක් වූවා. 

එදා දේශපාලන පොරපිටියෙහි දීර්ඝ ගමනක් යාමට පොරබදමින් සිටි කෙනඩිට ප්‍රේමය නැමැති අමෘතයෙන් මුසපත්ව තම හදවත සමග පොරබදන්නට සිදුවුණා. කෙනඩි ඇයට වසගවූවා යැයි කිවහොත් එහි කිසිදු වරදක් නැහැ. ඒ වන විටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකර සිටි ජැකී තම වෘත්තිය වශයෙන් මාධ්‍යකරණය තෝරා ගෙන සිටියා. ඇය මාධ්‍යවේදිනියක වශයෙන් සේවය කළේ වොෂිංටන් ටයිම්ස්- හෙරල්ඩ් පුවත්පතෙහිය. මේ පුවත්පත ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට අයත් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගෙන ගිය පුවත්පතක්. ජැකී මේ පුවත්පතෙහි මාධ්‍යවේදිනියක වගේම ජායාරූප ශිල්පිනියක වශයෙන් කටයුතු කළා.

මම මුලින්ම සදහන් කළ ආකාරයට 1952 ජැකීට කෙනඩි හමුවෙද්දී ඔහු සෙනෙට් සභිකයෙකු වශයෙන් කටයුතු කළා. එදා කෙනඩිව ඇමෙරිකානු මාධ්‍යයට හදුන්වා දීමේ කාර්යය තම සියතට ගෙන කටයුතු කිරීමට සිදු වුණේ මේ ජැකී නැමැති තරුණ මාධ්‍යවේදිනියටයි. කෙනඩි යන යන තැන ඇය ද කැමරාව සහ පෑන අතැතිව ගියා. මේ යන ගමන තුළ කෙනඩි පිළිබදව පුවත්පත් ලිපි, විශේෂාංග, ජායාරූප පළ කිරීමට ඇය අමතක කළේ නැහැ. කෙනඩිගේ සිත ජැකීගේ නාරි දේහයට වශීකෘත වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. දෙදෙනාගේ හදවත් ළං වූයේ දෙදෙනාටම හොරාය. කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියා. වයස් පරතරය කෙසේ වුවත් මේ කඩවසම් පෙනුමැති, මනා පෞරුෂත්වයකින් හෙබි කෙනඩිව ඇය ආදරයෙන් වැළද ගත්තා. දෙදෙනාගේම ප්‍රේමය ලියලූයේ දෙදෙනාද නොදැනුවත්වමයි. ජැකීගේ යෞවන ජීවිතයට ප්‍රේමයේ මිහිර, සැනසුම, සතුට ලබා දුන්නේ මේ ලෝක බලවතායි. කෙනඩි ප්‍රේමයේ පාඩම මුලින්ම ඉගෙන ගත්තේ ජැකීගෙනි. කෙනඩි- ජැකී ප්‍රේම කතාව එදා අමෙරිකානු මාධ්‍යයන්ගෙන් රහසක් ලෙස තබා ගැනීමට මොවුන් දෙදෙනාගෙන් කිසිවෙකුට හැකි වුණේ නැහැ. කෙනඩි පිළිබදව ජනතාව අතර සුන්දර ප්‍රතිරූපයක් මවන්නටත් ඔහු පිළිබදව යහපත් මතවාදයක් ගොඩ නගන්නට සිය පෑන මෙහෙයවමින් අනෙකුත් සහෝදර මාධ්‍යවේදීන් සමග ප්‍රචාරක කටයුතු මල්ඵල ගැන්වීමට ජැකී කටයුතු කළා.

කෙනඩි- ජැකී පෙම් ගගුල බාධාවකින් තොරව ගලා ගෙන ගියා. කෙනඩි සෙනෙට් සභාවේ දී පැවැත්වූ සාරගර්භ දේශනවල සාරාංශය ජැකීගේ තෙළි තුඩින් පුවත්පත් කඩදාසියේ සනිටුහන් කරමින් එයට සජීවී බවක් ලබා දීම නොනවත්වා සිදු වුණා. මේ නිසාම කෙනඩි ජැකීට තව තවත් ළං වුණා. කෙනඩි තම සමීපතම මිතුරන්ට පැවසුවේ ජැකීගෙන් තොරව තමාට ජීවිතයක් නැති බවයි. ජීවිතය රස ගුලාවක් බව කෙනඩිට අවබෝධ කර දුන්නේ මේ සුරූපී ජැකීය. කෙනඩි ඇමෙරිකාවේ සෙනෙට් සභිකයෙකු වශයෙන් කටයුතු කිරීම නිසා ඔහුට විදේශ සංචාරයන්හි නිරත වීමට සෑම විටම අවස්ථාව උදා වුණා. මේ සෑම සංචාරයකටම ජැකීව කැටුව යාමට කෙනඩි අමතක කළේ නැහැ. ඇය නැතිව ඔහුටත් ඔහු නැතිව ඇයටත් හුදෙකලා වීමට නොහැකි අයුරින් දෙදෙනාගේම හදවත් දම්වැලක පුරුක් සේ බැදී තිබුණා. දෙදෙනාගේ ආදරය සමග ප්‍රේමය උතුරා යමින් ජැකී කෙනඩිගේ ජීවිතයේ සෙවණැල්ල බවට පත් වුණා. මේ ළබැදියාව කෙළවර වූයේ 1953 වර්ෂයේ දී සිදු වූ ඔවුන්ගේ විවාහයෙනි. විවාහය සිදු වී අවුරුදු හතකට පසුව කෙනඩි අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට වයිට් හවුස් මන්දිරයේ 35 වන උරුමක්කාරයා බවට පත් වීම විශ්මයජනකයි. එමෙන්ම තම මව්පියන් දික්කසාද වී මව සහ පියා වෙනත් විවාහයක් කර ගෙන සිටි වාතාවරණයක් තුළ ලොව තනිව අසරණව සිටි තරුණියක් වූ ජැකී කටු කොහොළින් පිරි අතිශය දුෂ්කර ගමනක් ඔස්සේ අමෙරිකාවේ ධවල මන්දිරය වෙත පැමිණි ගමන අතිශය දෛවෝපගතයි. 

කෙනඩි සහ ජැකීගේ විවාහ දිවිය පැවතුණේ හරියටම අවුරුදු දහයයි. මොවුන් දෙදෙනාගේ ආදර අන්දරයට කණ කොකා හඩන්නට ගත්තේ 1963 නොවැම්බර් 22 වැනිදාය. ජනපති බිරිය සමග අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නුවර උත්සවයකට ආරක්ෂක මෝටර් රථ පිරිවරා ගමන් කරමින් සිටිය දී පස්වරු 12.30 ට පමණ රුදුරු ත්‍රස්තවාදියෙකුගේ ප්‍රහාරයකින් සදහටම ජීවිතයෙන් සමුගන්නට කෙනඩිට සිදු වුණා. සැමියාගේ රුධිරය තම සිරුර පුරා විහිදෙද්දී තම උකුළ මත අවසන් හුස්ම හෙළමින් තම හුස්ම පොද සමග ප්‍රේමය ද වාතළයට මුසු කළා. දෙහදක ආදරය කෙළෙවර වුණේ මෙවැනි ශෝකාන්තයකින්. ජැකී දරුවන් දෙදෙනෙකු සමග මෙලොව තනි වුණා. 

නමුත් තම සැමියාගේ මරණයෙන් වසර පහකට පසු නැවත ඇය දෙවැනි විවාහයක් කරා යොමු වුණා. ඇය කෝටිපති නැව් හිමියෙකු වූ ඇරිස්ටෝටල් ඔනාසිස් සමග විවාහ වීමෙන් පසු ඇයගේ නම ජැක්ලයින් කෙනඩි ඔනාසිස් බවට පත් වීමත් දෛවයේ සරදමක්. නමුත් ඇය කිසි විටෙක කෙනඩි නාමය වෙනස් කර ගත්තේ නැහැ. 

මා ඔබට නොකියූ තවත් රහසක් තිබෙනවා. කෙනඩි ඇමෙරිකාවේ ජනාධිපති වීමට පෙර සහ ජනාධිපති වීමෙන් පසුවද සුරූපී නිළියක් වූ මැරිලින් මොන්රෝ සමග සබදතාවයක් පැවැත්වූ බව ඇමෙරිකානු මාධ්‍ය හෙළිදරව් කළා. මෙම රහස් සබදතාවය ජැකීට ද රහසක් නොවුණු බව ඇමෙරිකානු ජනතාව දැන ගෙන සිටියා. නමුත් මාධ්‍ය මෙලෙස කුමන පුවතක් පළ කළත් සැබැවින්ම කෙනඩි ජැකීටත් ජැකී කෙනඩිටත් අවංකවම හදවතින්ම ප්‍රේම කළ බව නම් සැබෑවක්. එලෙසින් ම ඒ ප්‍රේමය අදත් හෙටත් ලොව ම වසග කරගත් ප්‍රේම පුරාවතක් වන බවත් සත්‍යකි. 

Top