ලේ නොසෙල්වා කැරලි ගැසූ කැරලිකාරිය - මධූ සප්රේ (201 වන ලිපිය)

post-title

අද අපි කතා කරන්නේ සුවිශේෂී පින්තූරයක් පිළිබදවයි. ඒ වගේ ම ඒ පින්තූරයට පෙනී සිටි කැරලිකාර ගැහැණිය පිළිබදවයි. මේ පින්තූරය 1995 අවුරුද්දේ මුළු ඉන්දියාවම කලඹවපු පින්තූරයක්. මේ පින්තූරයට පෙනී ඉන්නේ මධු සප්රේ සහ මිලින්ද් සොමන්. මධු සප්රේ කියන්නේ 1992 ෆෙමිනා ඉන්දියා රූප රාජිණි කිරුළ දිනූ යුවතිය. ඒ වගේම ඇය 1992 විශ්ව රූ රුජිණ තරඟාවලියේ තුන්වෙනි ස්ථානයට ද පත්වුණා. ටෆ් නැමැති සපත්තු වර්ගයක් සඳහා ඇය සහ සොමන් මේ ඡායාරූපයට පෙනී සිටින්නේ නිරූපණ ශිල්පීන් ලෙස. කෙසේ වෙතත් මෙම රූපය අඩංගු සඟරාව පිටවීමත් සමඟම මේ සිදුවීම ආන්දෝලනාත්මක ලෙස මුළු ඉන්දියාව පුරාම පැතිර යනවා.

මධු සප්රේ සහ ඇගේ පියා මේ නිසා මුහුණ පාන්නේ දැඩි අර්බුධයකට. විශේෂයෙන් කාන්තා සංවිධාන කිහිපයක් සාරි රැගෙන සප්රේ ගේ නිවසට යාම ඉන් එක් කාරණයක්. එහිදී ඔවුන් සප්රේගේ පියාට සාරි ලබාදී දියණියගේ විලි වසන ලෙස පවසනවා. මේ අතරේ තත්වය වඩාත් දරුණු වන්නේ ඔවුන්ට එරෙහිව නඩුවක් ද ගොනුකිරිම නිසාවෙන්. ඒ නඩුව ගොනු කරන්නේ මුම්බායි පොලීසියේ සමාජ සේවා අංශයෙන්. එමෙන්ම එවකට අන්තවාදි පක්ෂයක් වූ ශිව්සේනා සංවිධානය ද ඔවුන්ට එරෙහිව වීදි බසිනවා. එමෙන්ම පිඹුරෙකු වනජීවි නීති වලට එරෙහිව භාවිත කළා යැයි තවත් නඩුවක් මෙම දැන්වීම නිර්මාණය කල ආයතනයට, එය පළකළ සඟරා දෙකකට, ඔවුන්ගේ බෙදා හරින්නන්ට මෙන්ම අදාළ සපත්තු සමාගමට සහ මේ දෙදෙනාට එරෙහිව පැවරෙනවා. 

කෙසේ වෙතත් වසර 14ක් පුරා ඇදී ගිය මේ නඩුවෙන් අවසානයේදී 2009දී ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනවා. සිය ගමන නොනවත්වන මධු වරින්වර පත්තර මුල් පිටුවල ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ ඇය භාරගන්නා නව අභියෝග සහ තෝරාගන්නා ඇදුම් නිසාය. විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙස ඇය උපයා ඇති මුදල අති විශාලය. 2001 දී ඉතාලියානු කෝටිපතියෙකු සමඟ විවාහ වන ඇය සැපවත් ජීවිතයක් ගත කරන බව සැලයි. ඇයට ඉන්දිරා නමින් දියනියක්ද සිටී. නිරූපණ ශිල්පිනියක් වීමට පෙර මළල ක්‍රීඩිකාවක වූ ඇය විශ්ව රූ රැජිණ තරඟයේ අවසන් වටයේදී ඉන්දියානු ක්‍රීඩා ක්ෂේත්‍රයේ අඩුපාඩු කතාකිරීම නිසා ඇයට කිරුළ අහිමි වූ බවක් ද පැවසෙනවා. ජීවිතයේ විවිධ අසාධාරණකම්, බලපෑම් මත සිය හිස නොනැමූ ඇය ඉන්දියාවේ අංක එකේ නිරූපණ ශිල්පිනියක් බවට පත්වීම නම් අරුමයක් නොවේ. වඩාත් උත්ප්‍රාසාත්මක වන්නේ කාන්තා සංවිධාන සාරි රැගෙන ඇගේ පියා හමුවීමය. මධු සප්රේ පසු කලෙක සිය විශ්ව රූ රුජිණ අත්දැකීම් ගැන මෙසේ පවසනවා. 

"නිලධාරීන් හැමෝම අපිට කිව්වේ අපේ උත්තර සත්‍යවාදී ඒවා වෙන්න ඕන කියලා," ඇය කීවාය. "ඒ වගේම හදවතින්ම එන්න ඕන කියලා. ඒත් කවුරුවත් අපිට කිව්වේ නැහැ ඒවා දේශපාලනිකව නිවැරදි ඒවා විය යුතු බව. මගේ හදවත කියපු දේ මම කිව්වා. ඒ නිසා මම පැරදුණා." 

"මට අනුව ඉන්දියාව අවුරුදු ගාණක් තිස්සේ දුප්පත් වෙලා හිටිය රටක්, ඉතිං මම අගමැති වුණා කියලා ඒක එක අවුරුද්දකින් ආපස්සට හැරවෙන්නේ නැහැ. ඒත් ක්‍රීඩාව වගේ අනෙක් පැති අපිට දියුණු කරන්න පුළුවන්. ක්‍රීඩිකාවක් විදියට අපිට ඉන්දියාවේ ගොඩක් ක්‍රීඩා පිටි සහ පහසුකම් නැති නිසා මම ගැහැට වින්දා. කෙටි කාලෙකදී මගේ පිළිතුර දෙන්න ඕන. මට මේ සේරම කියන්න ඕන වුණත් මගේ ඉංග්‍රීසි දැනුම මදිකම නිසා මට ඒ සේරම හරියට කියාගන්න බැරි වුණා." 

සැබවින්ම මධු සප්රේ යනු ලේ නොසෙල්වා කැරලි ගැසූ කැරලිකාරියකි. ඇය ඉන්දියාව වෙනස් කිරීමට ප්‍රභල දායකත්වයක් දුන් අපූරු චරිතයකි.

Top