ට්‍රැක්ටර් තනා ලැම්බෝගිනි රථ ලොවට දායාද කළ ගොවි පුත්‍රයා - ෆෙරුසියෝ ලැම්බෝගිනි (185 වන ලිපිය)

post-title

"ලැම්බෝගිනි" ඔබට මට සහ ලෝකයට ඉතාමත් හුරු පුරුදු , ආකර්ෂණීය වචනයක්. ඇතැම් විටෙක ලැම්බෝගිනි නිෂ්පාදන ලොවට උන්මාදයක් සහ සිහිනයකි. මුළු ලොවක් ආකර්ෂණීය කර ගැනීමට සමත් මෙකී සන්නාමයේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිෂ්පාදකයා, මිදි වගාවෙහි යෙදුණු පවුලක ගොවි පුතෙකු බව ඔබ විශ්වාස කරන්නේ ද? සැබවින්ම එය විශ්වාස කළ යුතුමයි. සුවිශේෂී වූ ලැම්බෝගිනි සන්නාමයේ නිර්මාතෘ සහ ආරම්භක නිෂ්පාදකයා වන්නේ ඔහුයි. ඒ ෆෙරුසියෝ ලැම්බෝගිනි මහතායි.

1916 අප්‍රියෙල් 28 ඉතාලි ජාතිකයෙකු ලෙස උපත ලැබූ ෆෙරුසියෝ කුඩා කාලයේ සිටම තම පවුලේ සාමාජිකයින් සමග එක්ව මිදි වගාවේ කටයුතු වෙනුවෙන් සහයෝගයෙන් ක්‍රියා කළේය. ගොවිතැන් කටයුතු සඳහා දක්ෂ මොහු ඊටත් වඩා ඇලුම් දැක්වුවේ යන්ත්‍ර සූත්‍ර විද්‍යාව හා කාර්මික අංශ කෙරෙහි ය. කුඩා කාලයේ සිටම යන්ත්‍ර සූත්‍ර විද්‍යාව, වාහන එන්ජින් සහ නව නිර්මාණ පිළිබදව කුතුහලයකින් හෙබි ෆෙරුසියෝ තම කුතුහලය මත පිහිටා ඉතා දක්ශ ලෙස ස්ව උත්සහයෙන් ම මේ සියලු විෂයන් පිළිබදව අධ්‍යනය කළා. මතු අනාගතයේ එම අධ්‍යනයන් තමාව ලොවක් හඳුනන පුද්ගලයෙකු බවට පරිවර්තනය කර ගැනීමට ප්‍රයෝජනවත් වන බව ඔහු එදා නො සිතන්නට ඇත.

පසුකාලීන ව ඉතාලියේ බොලිග්නාහි කාර්මික පාසලකින් කාර්මික අධ්‍යාපනය සාර්ථකව නිම කොට උපාධියක් ද ලබා ගැනීමට ඔහුට හැකි වූවා.

කෙසේ හෝ තරුණ වියේ උතුරා යන නව හැඟුම් නිසා රණකාමිත්වය ටද ඇලුම් කළ ෆෙරුසියෝ ඉතාලි යුධ හමුදාවට බැඳී තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කළේ ය. හමුදා රැකියාවේ නිරත වෙමින් හමුදාවේ අබලන් හා හානි වූ ට්‍රක්, මෝටර් රථ, බයිසිකල් වැනි වාහන මෙන්ම යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කටයුතු ද ඔහු සිදු කළේ ය. එමගින් ඔහු තමා සේවය කල යුධ ඛණ්ඩය තුළ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ද වූවා. කෙසේ හෝ කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවේ සිරකරුවෙක් ලෙස තම ජීවිතය ගෙවූ ෆෙරුසියෝ ඉන් නිදහස් වූ පසු ඉතාලි යුධ හමුදා සේවයෙන් ඉවත් වී තම උපන් ගම කරා යලි පැමිණුණා.

ඉන් පසු යළි ගොවිතැන් කටයුතු සඳහා අවධානය යොමු කර සිටි ෆෙරුසියෝට තම සහජ දක්ශතාවයෙන් මිදීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් ඔහු කුඩා ගරාජයක් විවෘත කොට එහි කාර්මික කටයුතු කළේය. ගොවිතැනෙහි ආභාෂය නිසා ගොවි අවශ්‍යතා හදුනාගෙන සිටි ෆෙරුසියෝ අබලන් වූ යුධ උපකරණ අතිරික්ත ද්‍රව්‍ය යොදා ගනිමින්තම ප්‍රදේශයට අඩුපාඩුවක් ව පැවති ට්‍රැක්ටරයක් නිර්මාණය කළේය. ගොවිතැන් කටයුතු සඳහා වටිනා උපකරණයක් වූ ට්‍රැක්ටරය ඔහුගේ ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය විය. ඉතා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් ෆෙරුසියෝ නිෂ්පාදනය කල ට්‍රැක්ටර් සඳහා තිබුණි. 

මේ නිසා කෙටි කලකින් ම තම අත මිට සරු කර ගැනීමට ඔහුට හැකි වූ අතර එන්ජින් ට්‍රැක්ටර් ද නිපදවමින් "Lamborghini trattori" කම්හල ආරම්භ කිරීමට ඔහු සමත් වූයේ ඔහුගේ සාර්ථකත්වයට නව පියවරක් තබමින්.

අතිරේක ව්‍යාපාර සඳහා ද තම අවධානය යොමු කළ ෆෙරුසියෝ වායු සමීකරණ සහ තාපන උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කළා. එම කර්මාන්ත ශාලාව මගින් ද ඉතා විශාල ලෙස ලාභ ලැබීමට හැකි වීමෙන් ඔහු ඉතාලියේ ඉතා ධනවත් පුද්ගලයකු බවට කෙටි කාලයකින් ම පරිවර්තනය වූවා. ව්‍යාපාර කටයුතු තුළින් සාර්ථකත්වය ලබා සිටි ෆෙරුසියෝ ලැම්බෝගිනි ගෙවූවේ ඉතා සුඛෝපභෝගී දිවියක් බව නොරහසකි. එය ඔහු භාවිතා කළ මෝටර් රථ මගින් ඉතා මනාව ඔප්පු වන කරුණක්. වේගවත් මෝටර් රථ යනු ඔහුගේ ප්‍රියතම අංශයක් විය. මර්සිඩීස් SL300, ජගුවාර්, ෆෙරාරි වැනි මෝටර් රථ කිහිපයකට ම ඔහු හිමිකම් කී අතර මෝටර් රථ තාක්ෂණය පිළිබදව උනන්දුවෙන් සිටි නිසා ඔහු මෙවැනි වාහන භාවිතා කළා පමණක් නොව එම වාහන පිළිබඳ ව අධ්‍යයනය ද සිදුකළා. මෙලෙස එකල පැවති ෆෙරාරි රථය පිළි බඳවඅධ්‍යනය කිරීමෙන් එහි ඇති යාන්ත්‍රික දුර්වලතා බොහොමයක් හඳුනා ගැනීමට ඔහුට හැකි වූවා.

ෆෙරාරි රථයේ ක්ලච් පද්ධතියේ සහ හඬෙහි පවතින දුර්වලතා ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමෙන් පසු ෆෙරාරි සමාගමට ඒ පිළිබඳ දැනුම්දීමට ෆෙරුසියෝ උත්සහ ගත්තේ ය. ෆෙරාරි හිමිකරු එන්සො ෆෙරාරි හට මේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථා ගණනාවකදීම ෆෙරුසියෝ ගත් උත්සහයන් ව්‍යර්ථ විය. කෙසේ හෝ ඔහු ඉදිරිපත් කළ කිසිදු ගැටලුවකට ඇහුම්කම් දීමට හෝ පිළිගැනීමට ෆෙරාරි සමාගම ප්‍රියතාවක් දැක්වූයේ නැහැ. ෆෙරාරි සමාගම ඔහුව ප්‍රතික්ෂේප කළේ අවඥා සහගතවයි.

ෆෙරුසියෝ ඒ සියල්ල පන්නරයක් කොට ගනිමින් එන්සෝ ෆෙරාරි හට අභියෝගයක් වීමට සූදානම් වූයේ දැඩි අධිෂ්ඨානයකින්. ට්‍රැක්ටර් නිෂ්පාදනය පිළිබදව දක්ෂයකු වූ ෆෙරුසියෝ ලැම්බෝගිනි ෆෙරාරි රථයක්ම යොදාගනිමින් ට්‍රැක්ටර් නිෂ්පාදනයේ සිද්ධාන්තයන්ද උපයෝගී කොටගෙන විවිධ අත්හදා බැලීම් සිදු කළේය.

එය ඇතැමකුට හාස්‍යජනක වුවත් ෆෙරාරි රථයේ ක්ලච් පද්ධතියේ විශේෂ වූ වෙනස්කම් කිරීමට ඔහුට හැකි විය.

නමුත් ෆෙරාරි සමාගම කිසි විටෙක ෆෙරුසියෝගෙ දක්ෂතාවට හා බසට වටිනාකමක් ලබා දුන්නේ නම් නැත.

ෆෙරාරි සමාගම සමග හැප්පීම අනුවණ ක්‍රියාවක් යැයි බොහෝ දෙනා පැවසුවත් ඔහු තම තීරණය වෙනස් කළේ ද නැත. 

1963 මැයි මස ඉතාලියේ "Automobili Lamborghini" ලෙස තම සමාගම විවෘත කරමින් ෆෙරුසියෝ නව පියවරක් තැබුවේය. ෆෙරාරි හි ප්‍රධාන ඉංජිනේරුවන් දෙදෙනා ද ඉහළ මිලකට කුලියට ගත් ඔහු තම පළමු මෝටර් රථය ලොවට හඳුන්වා දුන්නේ ය. "Lamborghini 350Gt" වූයේ එයයි. ෆෙරාරි රථයට වඩා ඉතා ස්වල්ප අඩුපාඩු මෙහි දැකිය හැකි විය. ෆෙරුසියෝ තම නිෂ්පාදනයෙන් ෆෙරාරි සමාගමට එල්ල කළ අභියෝගය ජය ගත්තේ ය.

ඔහු ඒ පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක දී මෙසේ පවසා තිබුණි.

" අවසාන වශයෙන් මම පරිපූර්ණ මෝටර් රථයක් සෑදීමට තීරණය කළෙමි. මට ෆෙරාරි රථයක් පැදවිය නො හැකි යැයි සිතූ මගේ මිතුරා එන්සෝ ෆෙරාරි සමඟ ටිකක් වාද විවාද ඇති විය, ඔබට සෑදිය හැක්කේ ට්‍රැක්ටර් පමණි. 

ඒ කුරිරු වදන් මගේ ඔළුවට ගෙන මා මටම කියා ගත් විට - මම මෙතැන් සිට කාර් තනියම සාදමි! මා අදිටන් කර ගත්තා. සැබවින්ම මගේ සියලු ම ෆෙරාරිස් වලට ක්ලච් ගැටලු ඇතිවිය. ක්ලච් සමඟ ඇති ගැටළුව කිසි විටෙකත් සුව නොවීය, එබැවින් මම එන්සෝ ෆෙරාරි සමඟ කතා කිරීමට තීරණය කළෙමි. මට ඔහු වෙනුවෙන් බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවිය. 'ෆෙරාරි, ඔබේ කාර් කුණු වී ඇත! මම පැමිණිලි කළෙමි. ඇහුම්කම් නොදුන් විට අවසාන වශයෙන් මා මටම ප්‍රතිඥා දුන්නෙමි. මා මාගේම මෝටර් රථයක් නිපදවනවා" 

(ෆෙරුසියෝ ලැම්බෝගිනි)

එසේ එකල ලැම්බෝගිනි නම් අති සුඛෝපභෝගී පළමු ක්‍රීඩා මෝටර් රථය නිෂ්පාදනය කිරීමට ඔහුට උත්තේජනයක් වූයේ එන්සෝ ෆෙරාරිගේ ප්‍රතික්ෂේප කිරීමයි.

1965 දී නිපදවූ Lamborghini Miura රථයද ෆෙරුසියෝගෙ උත්සහයේ සුවිශේෂී ප්‍රථිපලයක් විය. ෆෙරුසියෝගෙ ඉතා ප්‍රිය රථය වූයේද එම රථය යි. කෙසේ හෝ ෆෙරාරි සමාගමේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමට ඔහුට හැකිවූයේ ලැම්බෝගිනි නිෂ්පාදන සන්නාමය ලොව පුරා බහුතරයක ගේ සිත් හි අමරණීය කරවමින් තම නිෂ්පාදනයන් නිරතුරුව මගුණාත්මක ව සහ සුවිශේෂී ව විය යුතු බව ඔහු විශ්වාස කලේය. 

" ලැම්බෝගිනි යනු පිරිපහදු කිරීම, සුඛෝපභෝගීත්වය සහ පරිපූර්ණත්වයයි"

(ෆෙරුසියෝ ලැම්බෝගිනි)

තම ලැම්බෝගිනි නිෂ්පාදනයන් ඔහු නිතරම අර්ථ දැක්වූයේ එලෙසයි. ලැම්බෝගිනි වෙළද ලාංඡනය ඉතා ජවසම්පන්න සහ සිත් ඇද ගන්නා සුළුයි. එය ෆෙරුසියෝගෙ තෝරාගැනීමකි. ඔහු ගොන් පොර බැඳීමේ ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළේය. එබැවින් තම සමාගමේ ලාංඡනය සඳහා එය උපයෝගී කර ගැනීමට ඔහු කටයුතු කළේය.

"මා සෙවිල්හි එඩ්වාඩෝ මයුරාගේ ගොවිපොළට ගියෙමි. එහි දී ඔහු ගොන් පොර සදහා ගොනුන් ඇති දැඩි කළේ ය. මම නැවත නිවසට පැමිණෙන විට මගේ මෝටර් රථ ව්‍යාපාරයේ ලාංජනය පිළිබඳව ජවසම්පන්න තෝරාගැනීමක් පැහැදිලි ලෙසම කළේය "

(ෆෙරුසියෝ ලැම්බෝගිනි)

ජවසම්පන්න වෘෂභයකුගේ රුවෙන් සමන්විත කැපී පෙනෙන තම ව්‍යාපාරය ලාංඡනය පිළිබඳව ඔහු එසේ පවසා තිබිණි. එමෙන්ම ලැම්බෝගිනි සමාගමේ මෝටර් රථ සදහා වෘෂභ විශේෂයන්ගේ නම් යොදාගැනීමද වර්ථමානයේදී ද දැකිය හැක.

දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස නම් දරා සිටි ෆෙරුසියෝ ලැම්බෝගිනි මහතා විවාහ ජීවිතය තුළ නම් එතරම් සාර්ථක පුද්ගලයකු වූයේ නැති බව බොහෝ දෙනාගේ අදහසයි. ඔහුගේ පළමු බිරිඳ ක්ලෙලියා සිය පළමු දරු ප්‍රසූතියේදී මිය ගියේය. දෙවන වර විවාහ වූ ඇනීටාගෙන් දික්කසාද වූ ඔහු තෙවනුවර තම බිරිඳ ලෙස තෝරාගත්තේ මාරියා තෙරේසාවයි.

සෑම ආලෝකයකට මප්‍රතිවිරුද්ධ ව අඳුර ද ඇත්තා සේ ෆෙරුසියෝගේ ජීවිතයට ද දුෂ්කර කාලයක් පැමිණුනේ ය.

ඇමරිකාවෙන් ලැබුණු විශාල මෝටර් රථ ඇණවුමක් හදිසියේම අවලංගු වූ බැවින් එම අලාභය පියවා දැමීමට තමාගේ අතිරේක ව්‍යාපාර කිහිපයක් විකුණා දැමීමට ෆෙරුසියෝට සිදුවිය. කෙසේ හෝ ව්‍යාපාර කටයුතු පිළිබඳව දැනුණු කලකිරීම හා ඒවායේ ඇති වූ ආභ්‍යන්තරික ගැටලු නිසාවෙන් 70 දශකය පමණ වනවිට ඔහු තමන් සතු සියලු ම ව්‍යාපාර සමාගම් වලින් විශ්‍රාම ගත්තේ ය . ඉන් පසු ඉතාලියේ දකුණු පෙදෙසේ "La Fiorita"වතුයායේ පදිංචියට ගොස් තරමක් නිහඬ ජීවිතයක් ගත කිරීමට ඔහු පෙළඹුණේය .

එහිදී වයින් නිෂ්පාදන කටයුතු සඳහා උනන්දු වූ ෆෙරුසියෝ "The blood of the miura" නමින් වයින් වර්ගයක් නිෂ්පාදනය කළේය. එයද ලාභ ලැබිය හැකි දැවැන්ත ව්‍යාපාරයක් කර ගැනීමට ඔහු සමත් විය. තම ජීවිතයේ අවසන් කාලය මිදි වත්ත හා ගොල්ෆ් ක්‍රීඩා භූමිය මෙන්ම කුඩා පෞද්ගලික කෞතුකාගාරයක් ද පවත්වාගෙන යමින් ඔහු තෘප්තිමත් ජීවිතයක් ගත කළේය. තම 77 වන ජන්ම දිනයට මාස දෙකකට පමණ අඩු කාලයක් තිබියදී 1993 පෙබරවාරි 20 ජීවිතයෙන් සමුගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට සිදුවිය.

දැඩි ආත්ම විශ්වාසයට සහ උනන්දුවට ජීවිත සාර්ථකත්වය උදාකර දිය හැකි බව ඔහුගේ ජීවිතයෙන් මනාවට පැහැදිලි වේ. ට්‍රැක්ටර් සහ ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදකයෙක් මෙන්ම, අති දක්ෂ ව්‍යාපාරිකයෙක් හා ලැම්බෝගිනි කාර්ය සාධන, ආකර්ෂණීය නිෂ්පාදන සන්නාමයේ නිර්මාතෘ ෆෙරුසියෝ නිතරම තමා ව ලොවට හඳුන්වා දුන්නේ මෙලෙසිනි.

" මම උදේට හොඳ සේවකයෙක්. දවල්ට විනෝද වීමට කැමති මිනිසෙක්. එමෙන්ම මා දේවල් නිර්මාණය කිරීමට ඉතාමත් කැමැතියි හා කුතුහලය සපිරුණු සරල පුද්ගලයෙක්."

(ෆෙරුසියෝ ලැම්බෝගිනි)

 ඒ උත්සහවන්ත මිනිසා ලැම්බෝගිනි සන්නාමය සමග ලොවට අමරණීය වූ මිනිසෙකි. ඉතින් ඔබත් ජයග්‍රහණය තෙක් උත්සාහය අත්නොහරින ෆෙරුසියෝ කෙනෙකු වීමට උත්සහ ගන්න. මන්ද මෙවැනි සාර්ථක ජීවිත කතා තුළ තමාව අර්ථවත් කර ගැනීමට අවශ්‍ය ආකල්ප සහ ජීවන ආදර්ශයන් බොහොමයක් අන්තර්ගත ව ඇති බැවිනි.

මූලාශ්‍ර:

www.lamborghini.com

www.lambocars.com

www.museolamborghini.com

Top