පුනරුදය එළඹෙන සමයෙහි ජර්මනියේ නාට්‍ය කලාව (693)

post-title

ක්‍රි.ව. 14 වන සියවසේ සිට 16 වන සියවස අවට කාලය දක්වා යුරෝපයේ බොහෝ රාජ්‍යයන් කේන්ද්‍ර කර ගනිමින් පුනරුදයෙහි ලක්ෂණ හඳුනාගත හැකි විය. ප්‍රථමයෙන් ඉතාලියෙන් ඇරඹි පුනරුදය පසු ව ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය ඇතුළු යුරෝපය පුරා පැතිර ගිය අතර ජර්මනියට ද එහි බලපෑමෙන් මිදී සිටිය නොහැකි විය. යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වූ ජර්මනියේ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයක් කෙරෙහි ම පුනරුදයේ බලපෑම හමුවේ නව්‍යකරණයෙහි ලක්ෂණ හඳුනාගත හැකි විය. ඒ අතර ජර්මනියේ බොහෝ කාලයක් පුරා පැවති නාට්‍ය කලාවට ද පුනරුදයෙහි බලපෑම එල්ල විය.

පුනරුදයේ බලපෑමට පෙර ජර්මනිය තුළ පැවති නාට්‍ය කලාව එතරම් දියුණු තත්ත්වයක පැවති අංගයක් නොවීය. එහෙත් එය නොදියුණු වූවක් ලෙස බැහැර කිරීම ද කළ නොහැකිය. ජර්මන් නාට්‍ය කලාව පිළිබඳව Shelden Chenny විචාරකයා දක්වන අදහසට අනුව ජර්මන් වේදිකාව රළු, විකට හා සමස්ත සාහිත්‍යමය නොවන භාවයෙන් මුදවා ගැනීම සඳහා පුනරුදයට දිගු කාල පරිච්ඡේදයක් ගත කිරීමට සිදු වූ බවයි. එම නාට්‍ය කලාව ජර්මනිය පුරා පැතිරෙමින් ක්‍රියාත්මක වූ නමුත් පුනරුද සමය වන තෙක්ම එහි නව්‍යකරණ ලක්ෂණ එතරම් දැකගත හැකි නොවීය. එහෙත් පුනරුදයේ ව්‍යාප්තියත් සමඟ යුරෝපයේ අනෙකුත් රටවල බලපෑම ජර්මන් නාට්‍ය කලාවට ලැබීමත් සමඟ නාට්‍ය කලාව තුළ ද නව්‍යකරණයෙහි ලක්ෂණ හඳුනාගත හැකි විය. කෙසේ වෙතත් ජර්මන් නාට්‍ය කලාව පිළිබඳ හඳුනා ගැනීමේදී මෙම අංශ දෙක ම වැදගත් වේ.

වෙනත් බොහෝ රටවල සේම ජර්මනියේ ද නාට්‍ය කලාව ආගම හා බැඳී පැවතුණි. ජර්මනිය තුළ ක්‍රි. ව. 10 වන සියවසේ පමණ සිට ක්‍රිස්තියානි පල්ලිය හා සම්බන්ධ නාට්‍ය කලාවක් බිහි වී පැවතුණි. පුනරුදයට පෙර තදින්ම මුල් බැසගෙන පැවති මෙම නාට්‍ය කලාව පුනරුදයේ බලපෑම ප්‍රමාද වීම කෙරෙහි ද බලපානු ලැබීය. කන්‍යා මරියතුමියගේත් ජේසුතුමන්ගේත් ජීවිතය හා සම්බන්ධ විශේෂ අවස්ථා මෙම නාට්‍ය තුළින් නිරූපිතය.

ජර්මන් නාට්‍ය කලාව තුළ තවත් වැදගත් නාට්‍ය විශේෂයක් වූයේ පාස්කු නාට්‍යයයි. ක්‍රි.ව. 13 වන සියවස වන විට මෙම නාට්‍ය බෙහෙවින් රචනා විය. ඒ වගේම ක්‍රි.ව. 15 වන සියවස වන විට ජර්මනියේ සියලු ම නගරවල ජන සහභාගීත්වය සහ සන්නිවේදනය සඳහා පාස්කු නාට්‍යවලින් ලැබුනේ විශාල පිටුබලයකි. පාස්කු සමය මූලික කර ගනිමින් රග දැකවූ මෙම නාට්‍යවලින් ජේසුතුමා මළවුන්ගෙන් නැගිටීම, මරියතුමියගේ විලාපය ආදී කිතු දහමේ විශේෂ අවස්ථා නිරූපණය විය.

ඒ වගේම එකල ජර්මනිය තුළ නත්තල් නාට්‍ය නමින් තවත් එක් නාට්‍ය විශේෂයක් ප්‍රචලිතව පැවතුණි. ඒවා නත්තල් සමය සඳහා ම විශේෂ වූ නාට්‍ය විශේෂයක් විය. නත්තල් මස දින දොළොසක් මුළුල්ලේ මෙම නාට්‍යයන් රඟ දැක් වූ බව සැලකේ. මෙම නාට්‍යවලින් ද නිරූපණය වූයේ කිතු චරිතය හා සම්බන්ධ විශේෂ අවස්ථාවන් ය. මේ ආකාරයට ජර්මන් නාට්‍ය කලාව හා සම්බන්ධ විවිධ නාට්‍ය විශේෂයන් පුනරුදය සමය අවට කාලය තුළ ක්‍රියාත්මක විය.

Top