අන්දරේගේ කවියේ අන්දරය (471)

post-title

අන්දරේ යනු කවරෙක්ද යන්න නොදන්නා අයෙකු නොමැති බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද කුඩා දරුවාගේ සිට මුළුමහත් ජන සමාජයම අන්දරේ යනු කවරාකාර පුද්ගලයෙකු දැයි දන්නා හෙයිනි. මෑත කාලය වන විට අන්දරේ නම් චරිතය ජනශ්‍රැතියේ එන චරිතයක් පමණක් බවට තර්ක ඉදිරිපත් වුවද ජන සමාජය තුළ ඔහු පිළිබඳ දැක්ම සැමදාටම එක ලෙස පවතින්නකි. 

අන්දරේගේ උප්පත්තිය පිළිබඳව විමසීමේදී මූලාශ්‍රයන්හි මත දෙකක් ඉදිරිපත් වේ. ඔහුගේ උපන් ග්‍රාමය මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල බව එක් මතයකි. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර සමීපයේ පිහිටි කිරලවැල්ල ඔහුගේ උපන් ග්‍රාමය බව අනෙක් මතයයි. එකල කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නමින් උගත් පුද්ගලයෙකු කිරලවැල්ල ග්‍රාමයේ විසූ බවත් ඔහුගේ එකම පුතා අන්දරේ බවත් මූලාශ්‍රයන්හි සඳහන් එමෙන්ම ජන සමාජයේ වැඩි වශයෙන් පිළිගත් මතයයි. පියා කෙතරම් උගතෙකු වුවද උපන්ගෙයිම මෝඩයෙකු වූ අන්දරේ ඉගෙනීමෙහි මහත් අලසයෙකු විය. ඉගෙනීම කෙසේ වුවද මුඛරීභාවය හා හිටිවන කවි කීමෙහි සමත්කම නිසා ප්‍රදේශයේ කා අතරත් ඔහු ප්‍රචලිතව තිබේ. 

අන්දරේ වාසය කළ සමය මෙරට මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ට යටත්ව පැවති සමය ලෙස සැලකේ. ඒ වගේම එකල ලංකාද්වීපයෙහි පාලකයා වී ඇත්තේ නායක්කාර් වංශික රාජාධිරාජසිංහ රජුය (ක්‍රි.ව. 1782- ක්‍රි.ව.1798). බොහෝ කාලයක සිට ලක්දිව රාජ සභාවන්හි කවීන්ට (කවටයන්ට) විශේෂ තැනක් හිමිවිය. නායක්කාර් වංශික පාලනය යටතේ වුවද එම තත්ත්වය දැකගත හැකි විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජසභාවේ කවටයා ලෙස අංකොටුවේරාළ සහ ලෝකුරු නයිදේ සිට ඇත. ශ්‍රි විජය රාජසිංහ රජුගේ රාජසභාවේ කවටයා වූයේ උක්කුරාළය. එලෙසින්ම රාජාධිරාජසිංහ රජුගේ රාජසභාවේ කවටයාගේ තනතුර අන්දරේට හිමිවිය. නිරන්තරයෙන් උපහාසය ගැබ් වූ හිටිවන කවි කීමෙහි සමතෙකු වූ අන්දරේ මියයන තෙක්ම රජු මෙන්ම රටවැසියා ද සිනහවෙන් ප්‍රමුදිත කළේය. මෙලෙස අන්දරේ රජුගේ රාජසභාවට පැමිණීම පිළිබඳ මූලාශ්‍රයන්හි තොරතුරු පිරික්සීමේදී රජුට වූ අකරතැබ්බයක් විසඳීමට ඔහු පැමිණි බවද සඳහන් වේ. රජුගේ නින්දට මහත් බාධා කළ මැඩියෙකු රජ මැඳුර අසල පොකුණක සිටි අතර එම මැඩියා අල්ලා ගැනීමට රාජ පුරුෂයන්ට පවා නොහැකි විය. එම කාරණය විසඳීමට ඉදිරිපත් වූ අන්දරේ රැයක් නිදිවරා සිට ගෙම්බාගේ ශබ්දය ආ දෙස ඉලක්ක කොට විඳ මැඩියා මරා දමා රජුට වූ කරදරය නිමා කළ බව කියැවේ. එයින් අන්දරේ පිළිබඳ මහත් ප්‍රීතියට පත් රජු ' සද්ද විද්ද පලඟ පතිර ' නම් ගෞරව නාමයද ප්‍රදානය කොට රාජසභාවේ රඳවා තබාගත් බව සඳහන් වේ. 

අන්දරේ කුඩා කල පටන් අලසයෙකු විය. උගතෙකු වූ ඔහුගේ පියා වරක් ඔහුට ' බුද්ධ ගජ්ජය ' ඉගැන්වීය. එයින් පලක් නොවූ නිසා ගුරුවරයෙකු වෙත යැවූවද ඔහුගේ අලස බව නිසාම හොර රහසේම නැවත ගමට පැමිණි ඇත. එයට කෝප වූ අන්දරේගේ පියා ඔහුගේ අත් පා ගැට ගසා නිවසින් එළියට දමා දොර වසා ඇත. එනිසා රෑ කාලයේ සිය මවටත් පියාටත් ඇසෙන සේ කවි කී බව සඳහන් වේ.

අසමානේ අම්මේ මේ අහපන්නේ

නොතෙමා මා මෙතනින් අහකට ගන්නේ

බුසමානේ තලපත ගෙන ඉහලන්නේ 

ගැට මානට ගෙන ගොස් මා ඇරලන්නේ

මෙය අන්දරේ තම මවට කියූ කවියයි. එයට මවගේ සිතෙහි අනුකම්පාවක් ඇති වුවද පියාගෙන් ඔහුව ගලවා ගැනීමට උදව්වක් නොවූ නිසා පියාට ඇසෙන ලෙසද කවියක් කියා ඇත. 

වැස්ස තද නිසා සීතල වැඩි වෙච්චි 

ඇඟපත වෙවුලාය සන්නිය ළං වෙච්චි 

එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි

හොඳ හැටි ගෙයි දොයිද මගෙ බුදු අප්පච්චී

මේ කවියෙන් සිත රිදුනු අන්දරේගේ පියා ඔහුව ආදරයෙන් නැවතත් ගෙතුළට ගත් බව සඳහන් වේ. 

අන්දරේ රජවාසලේ රැදී සිටිමින් රජුද ජනතාවද සතුටු කරමින් නිතර විනෝද්කාමී ලෙස දිවි ගෙවූවෙකි. ජනවහරෙහි එන ඔහුත් රජවාසලත් සම්බන්ධ රසවත් කතා බොහෝමයකි. කවට අන්දරේ කාන්තාවන්ගේ ලාලිත්‍යය වර්ණනා කිරීමෙහි දක්ෂයෙකු විය. අන්දරේ කලක් ආදරය කළ රූමත් තරුණිය තමන්ට නොලැබී යාම නිසා විරහවද කැටි කරමින් මෙලෙස කවියක් ගොතා ඇත. ඇගේ වතට, බැල්මට, ගෙලට, නළලට, ගමනට ආදී සෑම අංගයකටම ඇලුම් කළ අයුරු කවියෙන් කියවේ.

වතට ලවනතට නුඹ බලන බැල්මට

වරලට ගෙලට නළලට නාසිකාවට

ගමනට බසට නුඹ හට ලොබ කළ මෙ මට

කුමකට කියමි නිදි නැත රැය තුන්‍ යමට

කතුන්ගේ රුව වර්ණනා කිරීමේදී අන්දරේට කුලගෝත්‍ර භේදයක් පදනම් නොවීය. කතකට මනා රුවක් තිබේ නම් කුලයෙන් කාරියක් නොවන බව ඔහු කවියෙන් කියයි. 

මහ මී කුඩා මී හිමයේ බොහොම ඇතී

කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිති 

කොතන වුණත් හරි නෙද මැණික රුව ඇති

රුව ඇත්නම් අඩු කුලයද කමක් නැති 

ඇතැම් අවස්ථාවල රජු හා රජ බිසව පවා උපහාසයට ලක් කරමින් අන්දරේ කවි ගායනා කර තිබේ. වරක් රජ බිසව කළයක්ද උකුලේ තබාගෙන දිය කෙළියට යන බව දුටු අන්දරේ රජ බිසව අරඹයා උපහාසාත්මක වර්ණනයක් කර තිබේ.

කට කැඩි කළේ දිය උකුලේ තබා ගෙන

ලොට තන දෙකක් ගෙරි සමකින් වසා ගෙන

තඹත් පිත්තලත් දෙවගේ පැළඳ ගෙන 

රොඩී කෙල්ල කොයි යනවද උදෑසන 

මෙයින් සංවේගයටත් කෝපයටත් පත් රජ බිසව අන්දරේගේ ක්‍රියාව පිළිබඳ රජුට පැවසුවද ඒ පිළිබඳ විමසූ විට තමන් එවන් උපහාසාත්මක කවියක් නොකී බවත් අවශ්‍ය නම් කියූ කවිය නැවතත් කිවහැකි බවත් පවසා රජ බිසව වර්ණනා කෙරෙන කවියක් සාදා කියා ඇත.

ඒ වගේම විවාහ වීමෙන් පසු තම නැන්දම්මා දෙස බලා මෙලෙස කවියක් පවසා ඇත.

අලුත් පිටට බෑණා ගෙදර එනකොට

මලුත් පුදා දුව කැඳවා දෙති ළගට 

කලක් ගොසින් බෑණා පරණ වෙනකොට 

බලුත් නොවටීය බෑණා නැන්දාට

කෙතරම් උපහාසයට ලක් කළද තම බිරිඳ අකාලයේ මියගිය නිසා අන්දරේ මහත් දොම්නසට පත්විය. තම සිතෙහි වූ දුක දුරු කර ගැනීම පිණිසද ඔහු කවි කීවේය.

පටුවන් නළල දිලිසෙන සුරතල් දිගැසේ

ඔටුවන් පුරඟනන් පරදන මැණික යුසේ

කෙටුවෙන් ඉන්න පළ නැති ලෙස මගෙ හිතේ 

දුටුවොත් මහ බබා මම කොටමි උගෙ හිසේ

මේ ලෙසින් සොම්නසට පමණක් නොව දොම්නසට ද ඔහුගේ එකම ප්‍රතිචාරය වූයේ කවියයි.

බොහෝ කාලයක් රාජසභාවේ සිටිමින් ජනයා මහත් සතුටට පත් කළ අන්දරේට අවසානයේ ගරු බුහුමන් සහිතව තම ගමට යාමට අවශ්‍ය විය. රාජකීය දෝලාවක් ද, රාජකීය වස්ත්‍ර මෙන්ම රාජ පුරුෂයන්ද සහිතව තම ගමට එන අතරමග ඇති වූ දැඩි පිපාසය නිසා දෝලාවෙන් බැසගත් ඔහුට තමන් තදින් රෝගාතුර වී ඇති බවක් දැනී පලුවීර ගසක් යට හිදගෙන ඇත. එලෙස අපහසුවෙන් සිටි අන්දරේ ඔහුගේ දිවියේ අවසන් කවිය එතැනදී ගායනා කළ බව සැලකේ.

රිදී කළේ රන් කොතලේ බීපු මට

නිකං කළේ දිය නැතවිය පිපාසෙට

කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට

මෙහෙමත් කල් යාද පලුවීර ගස් යට 

මේ අයුරින් ගමට යන අතරවාරයේ අන්දරේ මියගිය බව සැලකේ. ඔහුගේ මරණයෙන් රාජධිරාජසිංහ රජු පවා මහත් කම්පාවට පත් වෙමින් ඔහු මියගොස් සිටි උඩුබැලි ඉරියව්ව දැක " මේ මිනිසා මළත් මාව හිනස්සනවා " යැයි පැවසූ බව ජනවහරේ සඳහන් වේ.

අන්දරේ චරිතය සැබැවින්ම ජීවත්ව සිටියාද නැතිද පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වුවද සැබැවින්ම අන්දරේ සතු වූ රසඥතාව ඉමහත්ය. ඔහුගේ කවීත්වයෙන් සිංහල ජනවහරට ලැබුණු ආලෝකය සුළුපටු නැත. ඔහු සතුට මෙන්ම දුකද ප්‍රකාශ කළ එකම අවිය වූයේ කවියයි.

Top