පිටසක්වල ජීවීන්ගෙන් පෘථිවිවාසීන්ට ලිංගික හිරිහැර (409)

post-title

විශ්වය කියලා කියන්නේ සත්‍යයෙන් හා විශ්මයෙන් පිරුණු හරි අපූරු ස්ථානයක්. මේ විශ්වය තුළ මන්දාකිණි හෙවත් ක්ෂීරපථයන් කෙතරම් නම් සැඟව තිබෙනවාද? මේ සැඟව ඇති දේ සොයා යන්නෙකුට සිතෙහි ඇති වන කුතුහලය මගින් අමුතු ම මිහිරක් ගෙන දීමට සමත් වෙනවා. ඒ වගේම එම පර්යේෂණාත්මක අධ්‍යනයන්හි නිරත වන්නෙකුට විශ්වය පිළිබදව අමුතුම විශ්මයකින් බලන්නට හැකියාව ලැබෙනවා මෙන් ම සිතා ගැනීමට නොහැකි තරම් දැනුමක් ලැබෙනවා. එවැනි කුතුහලය දනවන නූතන අභ්‍යවකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව තුළ ප්‍රමුඛ පර්යේෂණයන්හි නියැළෙන ලෝකයාගේම දෑස් විවර වන එක්තරා උපන්‍යාසයක් පිළිබදව අද මම කතා කරන්නට සිතුවා. ඒ තමයි පිටසක්වළ ජීවීන් සහ ඔවුන්ගෙන් පෘථිවිවාසීන්ට සිදු වූ ලිංගික හිරිහැර පිළිබදව. 

පිටසක්වළ ජීවීන් පිළිබදව ඔබගේ ආකල්පය සත්‍යවාදී වන්නට පුළුවන්. එහෙමත් නැත්නම් සාවද්‍ය වන්නට පුළුවන්. එය තීරණය කළ යුත්තේ මම නොවෙයි. ඔබයි... පිටසක්වළ ජීවීන් පිළිබදව ඔබට ඇසූ පමණින් මතක් වෙන්නේ අගහරු ග්‍රහලොවයි. පාවෙන පීරිසියක ඔබව දකින්නට අපව දකින්නට සිහිනෙන් හෝ පැමිණෙතැයි සිතන මේ ජීවීන් කොට්ඨාශය පිටසක්වළ ජීවීන්ම තමයි.

පිටසක්වළ ජීවියා කියලා කියන්නේ පුද්ගල ජන මනස තුළ වසර දහස් ගණනක සිට ජීවත් වන ජීවී විශේෂයක්. අපේ ආදි කල්පික මනුෂ්‍යයා දැනට වසර දහස් ගණනාවකට පෙර සිටම පිටසක්වළ ජීවීන්ගේ රුව සිතුවම් කිරීමට උත්සාහ ගත්තා වගේම එහි සාක්ෂි අද්‍යතන ගෝලීය සංදර්භය තුළ අපට හමුවෙනවා. විශේෂයෙන්ම පුරා විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණ හා ගවේෂණයන්හි ප්‍රතිඵල මත අද වන විට මෙය ලොව කළඹන සිදුවීම් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව පිටසක්වළ ජීවීන්ගේ චිත්‍ර ඉන්කා, ඇස්ටෙක් වැනි ඉපැරණි ශිෂ්ටාචාර තිබූ ලතින් ඇමෙරිකානු රටවලින් හමු වී තිබෙනවා. එමෙන්ම ඊජිප්තුවේ ද මෙම සිතුවම් දකින්නට පුලුවන්. සමහර විද්‍යාඥයින්ගේ මතය අනුව පෘථිවියට පැමිණෙන පිටසක්වළයින් කාලයෙන් කාලයට පැමිණෙමින් මනුෂ්‍ය ජන සමාජය තුළට රිංගාගෙන ජීවත් වනවා. ඒ වගේම තවත් සමහර පිටසක්වළ ජිවීන් වනගහන තුළට රිංගා පරිසරය අධ්‍යනය කරමින් එම තොරතුරු ඔවුන්ගේ ලෝකයට සපයන බවද හෙළිව තිබෙනවා. පිටසක්වළ ජීවීන් පිළිබද අධ්‍යයනය කරන විට අළු මිනිස්සු එහෙමත් නැත්නම් Grey People කියලා කියන්නේ ඉතා වැදගත් වන ජීවී ප්‍රභේදයක්. මොවුන් අළු පැහැති සමක් තිබෙන අගුටුමිට්ටන් විශේෂයක් වන අතරම ඔවුන්ට ශරීර ප්‍රමාණයට වඩා ලොකු හිසක් තිබෙන නමුත් කන් නාසා සහ ලිංගික අවයව පිහිටා නැහැ. ඔවුන්ගේ ලොකු හිසෙහි ලොකු ඇස් පිහිටලා තිබෙන අතරම පපුව ඉතා කුඩායි. එහි ඇසට පෙනෙන ඉල ඇට හෝ මාංශ පේශීන් නැහැ. ඔවුන්ට තිබෙන්නේ කෙටි පාදයි. නාසය සහ කන් තිබිය යුතු තැන් වල කුඩා විවරයන් පිහිටා තිබෙනවා. සිරුරෙහි හෝ වෙනත් කිසිම ස්ථානයක රෝම පිහිටා නැහැ. ඇස් බෙහෙවින් කළු පැහැ ගැන්වී තිබෙන අතර ඉංගිරියා දක්නට නැහැ. සමහර අළු මිනිසුන්ට මුඛ විවර හෝ නාසිකා විවර ඇත්තේම නැහැ.

ජීව විද්‍යාඥයෙකු වන ජැක් කොහෙන් පවසන ආකාරයට අළු මිනිසා ජීවත් වන ලෝකයේ පාරිසරික ස්වභාවය පෘථිවියට වෙනස් නිසා ඔවුන්ගේ ශරීරයද ඊට අනුකූල ලෙස හැඩ ගැසී තිබෙනවා. අළු මිනිසුන් තමන්ගේ බෝ වීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ තමන්ගේ වර්ගයාව බෝ කරන්නේ ක්ලෝනීකරණය මගින් බව විද්‍යාඥයෝ සදහන් කරනවා. වසර දහස් ගණනක සිට ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ විවිධ අරමුණු උදෙසායි. පුළුල් බුද්ධියක් ඔවුන්ට තිබෙන නමුත් ඔවුන්ගේ කය ශක්තිමත් නැති නිසා පෘථිවිවාසීන්ගෙන් ජාන ලබා ගෙන ක්ලෝනීකරණය කර ශක්තිමත් ජාතියක් බිහි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවයි සදහන් වෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී කිව යුතු කරුණක් තිබෙනවා. පෘථිවිවාසීන් පිටසක්වළයින්ගේ ලිංගික හිරිහැර වලට ලක් වූ බව නොයෙකුත් සිදුවීම් වලින් සනාථනය වෙනවා. ඒ වගේම තමන් ජීවත් වන ග්‍රහලොවට වඩා පෘථිවියේ යහපත් පරිසරයක් තිබෙන නිසා ජනපද ගොඩ නැගීම ඔවුන්ගේ තවත් අරමුණක්. පෘථිවියෙහි අලුත් දැනුම ලබා ගෙන තමන්ගේ වර්ගයා දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ වන බව තවත් මතයක්. කෙසේ නමුත් මොවුන් පිළිබදව සාක්ෂි මේ වන විටත් ලැබී තිබෙන අතර සමහරුන් විසින් මේවා ප්‍රතික්ෂේප කරනවා.

දිනය 1978 ඔක්තෝබර් මස 21 වැනි දිනයි. ෆෙඩ්රික් වැලන්ටිච් කියන්නේ මෙල්බෝන්හි පදිංචි ලාබාල ගුවන් නියමුවෙක්. එවකට ඔහුගේ වයස අවුරුදු විස්සයි. එදා රාත්‍රියේ කෙස්නා 182 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් පදවමින් ඔහු බාස් ස්fටි්‍රට් ප්‍රදේශයට ඉහළින් ගමන් කරමින් සිටියදී හදිසියේම අතුරුදහන් වුණා. මෙම අතුරුදහන් වූ යානය සොයා ගැනීමට වෙනත් යානා පිටත් කර හැරියත් එම යානය සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මෙහිදී වැදගත් කරුණක් හෙළිදරව් වුණා. යානය අතුරුදහන් වීමට පෙර ෆෙඩ්රික් මෙල්බෝන් පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ තමන් ගමන් කරමින් සිටින ආසන්නයේ වෙනත් ගුවන් යානයක් ඇත්ද යන්නයි. ඒ වන විට ඔහු රැගෙන ගිය ගුවන් යානය අඩි 5000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු අවස්ථාවක්. නමුත් පාලක මැදිරිය පවසා ඇත්තේ එවැනි වෙනත් නාදුනන ගුවන් යානයක් ඒ අසළ නැති බවයි. නමුත් පාලක මැදිරිය විසින් එසේ පැවසුවත් තමන්ට අඩි 500ක් පමණ ඉහළින් ඉතාමත්ම දීප්තිමත් කොළ පැහැති ආලෝක ධාරා හතරක් විහිදුවමින් විශාල අද්භූත යානයක් ගමන් කරමින් තිබුණු බව පවසා සිටියා. එම නාදුනන යානය ක්ෂණික වේගයකින් තමන් පසුපස පැමිණෙන බවත් ඉන් පසුව තම යානයට ඉහළින් ගමන් කරමින් තිබුණු බවත් ඔහු පවසා තිබුණා. අනතුරුව පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාවය බිද වැටී ඔහු ගමන් ගත් යානයේ සංඥා බිද වැටුණා. ඉන් පසුව සිදු වූයේ සංවාදය නතර වී ෆෙඩ්රික් වැලන්ටිච් අතුරුදහන් වීමයි. බොහෝ ලෝක මාධ්‍යයන් මේ පිළිබදව එවක වාර්තා කළේ වැලන්ටිච් පැහැර ගත්තේ පිටසක්වළ ජීවීන් බවයි.

මෙයට හාත්පසින්ම වෙනස් අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ පුද්ගලයෙකු වන්නේ බ්‍රසීලයේ ශාන්ත ප්‍රැන්සිස්කෝහි සෙල්ස් ගම්මානයේ පදිංචි ගොවියෙකු වූ ඇන්තෝනියෝ විලාස් බෝස්ය. දිනය 1957 ඔක්තෝබර් 15 වැනිදායි. එදින තමන්ව පිටසක්වළ ජිවීන් විසින් පැහැරගත් බව මුලු ලෝකයාටම ප්‍රකාශ කර සිටියා. ඔක්තෝබර් 13 වැනිදා ඔහු ඇදෙහි නිදමින් සිටියා. ටික වේලාවකින් තම කාමරයෙහි ජනෙල් කවුලුවෙන් නිවස ඇතුළතට දීප්තිමත් විශාල ආලෝක කදම්භයක් ඇතුල් වුණා. පසුදින සිය සොහොයුරා සමග තම රථය පිරිසිදු කරමින් සිටි අවස්ථාවේ ද විශාල ආලෝක කදම්භයක් පොළොවට පතිත වුණා. ඔවුන් එම ආලෝකය පසුපසු යාමේදී එය ක්‍රමයෙන් ඈතින් ඈතට ගමන් කළා. එයට පසුවදා ඇන්තෝනියෝ තමන්ගේ රථයේ කාර්මික දෝෂයක් තිබූ නිසා එය අලුත්වැඩියා කරමින් සිටි අවස්ථාවේ දුටුවේ පොළොවට මීටර් 15ක්දුරින් පාවෙමින් නවතා තිබූ යානයක්. යානය ඇතුළතින් පොළොව මතට පැමිණියේ විශාල ආධාරක තුනක්. ඇන්තෝනියෝ බිය වී දුවන්නට ගියත් එය කළ නොහැකි වුණා.

මට දුවන්නට ලැබුණේ ටික දුරක් පමණයි. කවුරුන් හෝ මාව පිටුපසට ඇද්දා. මම නතර වුණා. හෙල්මටයක් පැළදි අරුම පුදුම මිනිසෙකු වගේ ජීවියෙක් මගේ අසළින්ම සිටියා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මම හැකිතාක් වැර යොදා පහර දුන්නා. මේ ජීවියා උඩින් විසි වී ගොස් වැටුණා. ඒ සමගම ඒ වගේ තවත් ජීවීන් තුන් දෙනෙක් මාව අල්ලා ගත්තා. ඔවුන් මාව අරුම පුදුම යන්ත්‍රය දෙසට රැගෙන ගියා. මම දගලමින් කොතෙක් කෑ ගැහුවත් පලක් වුණේ නැහැ. යානයක් වැනි එයට නැගීමට ඉනිමගක් තිබුණා. මම එහි දෙපස වැට අල්ලාගෙන නැගීමට බාධා කළත් ඔවුන් මාව බලෙන්ම වාගේ යානය ඇතුළට ගත්තා.

( උපුටා ගැනීම- විඡේවීර, සජීව; 2012 දෙසැම්බර් මස 9; ලංකාදීප පුවත්පත - අභ්‍යවකාශ )

මින් පසු ඔහුට අත්විදීමට සිදුවූයේ ත්‍රාසජනක අත්දැකීමකටයි. තරමක් කුඩා මිනිසුන් වැනි ජීවීන් කොටසක් ඔහුව අණ්ඩාකාර හැඩැති කාමරකට රැගෙන ගියා. යානය ලෝහමය බිත්ති වලින් තනා තිබුණා. එම කාමරයේ ලෝහමය කණුවක් තිබුණු අතර එයට සම්බන්ධ මේසයක් හා පුටුවක් තනා තිබුණා. එහ ජීවීන් දිගු සහ කෙටි ශබ්ද නිකුත් කරමින් සන්නිවේදනයෙහි යෙදුණු බව අන්තෝනියෝ කියා සිටියා. ඔවුන්ගේ මෙම භාෂා පෘථිවියේ කිසිදු භාෂාවකට සමාන නැහැ. ඔවුන්ගේ සංවාදයෙන් පසුව ඔවුන් විසින් ඇන්තෝනියෝ නිරුවත් කළා. එක් ජීවියෙකු පැමිණ තෙත යමකින් ඇන්තෝනියෝගේ සිරුර පිස දැමුවා. එය වතුර වලට වඩා ඝනකම් ද්‍රාවණයක්. එය තෙල් වැනි ද්‍රාවණයක්ද නොවෙයි. ඉන් පසුව ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගිය අතර එක් ජීවියෙක් රබර් නාළ දෙකක් ඇති උපකරණයක් රැගෙන විත් ඇන්තෝනියෝගේ නිකටට සවි කරනු ලැබුවා.

අනෙක් කෙළවර ඇග පුරා ගමන් කරවූ අතර එම උපකරණය ක්ෂණිකව රුධිරයෙන් පිරී ගියා. ඔහුට කිසිදු වේදනාවක් නොදැනුණු බව ඔහු පසුව ප්‍රකාශ කර තිබෙනවා. ඉන් පසුව කාමරයෙහි මොහුව තනි කොට මෙම අමුතු ජීවීන් ඉවත්ව ගොස් තිබෙනවා. පසුව නිරුවත් යුවතියක් ඔහු ඉදිරියේ පෙනී සිටිමින් දෙදෙනාට දෙදෙනා ආකර්ශනය වෙමින් තිබුණා. ඇයට විශාල නිල් ඇස් පිහිටා තිබුණු අතර කුඩා නාසය ඍජුව පිහිටා තිබුණා. ඇය තම උදරය දෙසට දෑත් දිගු කොට අහසට අතක් දිගු කරමින් යම් දෙයක් සන්නිවේදනය කර සිටියා. යළි ඔහුට ඇදුම් ඇදීමට අවසර ලැබුණු පසු ඔහුව යානය වටා රැගෙන ගොස් ඉනිමග දිගේ නැවත පහළට බැසීමට සලස්වා තිබුණා. ඉන් පසු යානය සිතා ගැනීමටවත් නොහැකි වේගයකින් ඉහළ අහසට ඇදී ගියා. පැය හතරකට ආසන්න කාලයක් යානය තුළ රැදී සිටිමින් පිටතට පැමිණි ඇන්තෝනියෝට අධික කුසගින්නක් දැනුණු බව ද පැවසුවා. පසුව ඔහුගේ ශරීරය නිරීක්ෂණය කළ වෛද්‍ය නොන්ස්ට් ඇන්තෝනියෝ හට කිසිදු හානියක් සිදුව නැති බව ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහුගේ නිකටේ විකිරණයට භාජනය වීමෙන් ඇති වූ තුවාල කැළලක් දක්නට ලැබුණා. ඇන්තෝනියෝ දිගින් දිගටම දරුණු හිසරදයකින් පීඩා විදි අතර ඇස් දැවිල්ලක්ද මෙම සිදු වීමෙන් පසුව ඔහුට විදින්නට සිදු වුණා. වෛද්‍යවරුන් විසින් මොහුව පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්වද පුදුමයට පත් කරමින් ඔහුගේ ශරීරයේ දක්නට ලැබුණේ අසාමාන්‍ය තුවාල කැළල්ය. මේවා සුව වන විට දම් පැහැයකට හැරුණා. කෙසේ නමුත් ඇන්තෝනියෝ සිහිනයෙන් පවා බියට පත් වුණා.

මෙක්සිකෝවේ ජීවත් වූ ජෙසී ලෝන්ග්ට 1957 දී මෙවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා. කෙසග සිරුරක් ඇති විශාල නිල් ඇස් සහ විශාල හිසක් ඇති අමුතු ජීවීන් දෙදෙනෙකු විසින් ඔහුව පැහැර ගැනීමකට ලක් වුණා. ජෙසිට කිසිවක් මතක නොතිබුණත් ඔහු සිටියේ තැටියක් වැනි මේසයක් මත හාන්සි වී ගෙනයි. එහිදී ඔහුගේ පාදයේ පහළ කොටසට යමක් ඇතුලු කළ බව ඔහුට දැනී තිබෙනවා. ඔහුගේ සොහොයුරා ද මෙවැනි පැහැර ගැනීම් කිහිපයකට ලක්ව තිබූ නිසා ජෙසී මෙම ජීවීන්ගෙන් මිදී නිවසට පැමිණීමෙන් පසු සොහොයුරා සමග මෙම සිදුවීම කියා සිටියා. සොහොයුරා හැර වෙන කිසිවෙක් මෙම සිදුවීම පිළිගත්තේ නැහැ. නමුත් වයස අවුරුදු 35 ක් පමණ වන විටත් ඔහුව මෙවැනි පැහැර ගැනීම් කිහිපයකට ලක්ව තිබුණා. ඔහුව අවසන් වරට පැහැරගත් අවස්ථාවේ මුල් අවස්ථාවලදී මෙන් ඔහුගේ සියලු ඉන්ද්‍රියන් පරික්ෂාවට භාජනය කළා. කුඩා රෙදි කඩකින් එතු පිටසක්වළ ජිවියෙකුගේ හැඩයගත් බිළිදෙක් ඔහු සිටින දෙසට දිගු කළේ ඉන් අනතුරුවයි. ජෙසී මේ සියල්ල මාධ්‍ය හමුවේ අනාවරණය කළා. ජෙසී සහ ඔහුගේ සොහෙයුරාව පරික්ෂා කළ මනෝ වෛද්‍යවරු මෝහනයට පත් කරමින් සියල්ල හෙළිදරව් කර සිටියා. ඔවුන් දෙදෙනාම පැවසුවේ සමාන අදහසක්. එය වෛද්‍ය විද්‍යාත්මක සත්‍යය වන බව එම වෛද්‍යවරන්ගේ නිගමනය වූවා. ඔහුව ස්කෑන් පරීක්ෂාවට භාජනය කිරීමෙන් හෙළි වූනේ ඔහුගේ ශරීරයේ තැනින් තැන විවිධ ද්‍රව්‍යයන් අන්තර්ගතව ඇති බවයි. ඔහුගේ දණහිස ශෛල්‍යකර්මයක් කිරීම මගින් එක් ආගන්තුක වස්තුවක් ඉවත් කර ගැනීමට හැකි වුණා. මෙම කුඩා ඝන ද්‍රව්‍ය ලෝකයේ අධිතාක්ෂණික උපකරණ භාවිතා කරමින් පරික්ෂා කළත් එහි ඇති මූලද්‍රව්‍යය මොනවාද යන්න හදුනා ගැනීමට නොහැකි වුණු බව සදහන් වනවා. 

පිටසක්වළ ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වූ බොහෝ පිරිස් විවිධ රටවල ජීවත් වනවා. ඔවුන් පැහැර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ශරීරයන්ට විවිධ උපකරණයන් ඇතුල් කරමින් යම් යම් පරීක්ෂණ පවත්වා තිබෙනවා. එක් පුද්ගලයෙක් කියා සිටියේ ඔහුට ලිංගික හිරිහැර කරමින් ශුක්‍රාණු තරලයන් ලබා ගත් බවයි. පැහැර ගැනීමට ලක් වූවන් සියලු දෙනාම පවසන්නේ එකිනෙක සමාන අදහස්. ඔවුන්ගේ ශරීරය ස්කෑන් කිරීමෙන් හදුනාගත් ආගන්තුක වස්තූන් ශෛල්‍යකර්ම මගින් ඉවත් කර එහි අඩංගු ද්‍රව්‍යයන් පරික්ෂා කළත් ඒවා පෘථිවියේ ඇති මූලද්‍රව්‍යය කිසිවකට සමාන සමපාතයක් නොදක්වන බව විද්‍යාඥයන් විසින් පැවසූ කරුණක්. 

කෙසේ නමුත් මේ සියල්ල කෙනෙකුට ලෙහෙසියෙන් පහසුවෙන් විශ්වාස කරන්නට පුලුවන්කමක් නැහැ. තවත් අයෙකුට මෙය අධිභෞතික කතාන්දරයක් ලෙස දැනෙන්නටත් ඇති. ඔබටත් එසේ වන්නට ඇති. නමුත් මේ සක්වළ තුළ සිදුවන ඇතැම් සිදුවීම් එසේ ලෙහෙසියෙන් පහසුවෙන් බැහැර කිරීමට නොහැකියි. සිතන්න අපට වඩා කෙතරම් සුපිරි ජීවීන් මේ සක්වළ සිටිනවා විය හැකිද? මේ විශ්වයෙහි සිටින්නේ පෘථිවිවාසීන් විතරමද? එසේ දියුණු ජීවීන් සිටිනවා නම් ඔවුන් පෘථිවි මිනිසාව දකින්නට පැමිණීමේ වැඩි සම්භාවිතාවක් නැතිද? මේ සියල්ල කාලය අරගෙන සිතන්න. ඇතැම් විට ඔබට සත්‍ය පිළිතුර හමුවේවි. මතු අනාගතයේ යම් දිනෙක දී එවන් පිරිසක් ඔබටත් මුණ ගැසේවි.

 


මූලාශ්‍ර- 

  • විඡේවීර, සජීව; 2012 දෙසැම්බර් 9; ලංකාදීප පුවත්පත - (අභ්‍යවකාශ)
  • සොලමන්ස්, අනුර; 2020 මාර්තු 15; දිවයින පුවත්පත
  • පෙරේරා, රංජිත්.සී; 2012 ඔක්තෝබර් 7; ලංකාදීප පුවත්පත- (විද්‍යා) 
  • ආචාර්ය සේදර, නිමල්; 2013 පෙබරවාරි 10; ලංකාදීප පුවත්පත- (ලෝකය)
  • අන්තර්ජාල මූලාශ්‍ර- https://www.planeandpilotmag.com
  • http://www.military-airshow.co.uk
  • https://en.m.wikipedia.org
Top