සංස්කෘතික මිනිසුන් තැනීමේ සිහිනය වෙනුවෙන් (809)

post-title

තිඹිරිගෙයින් ඇරඹුණු සුසානයෙන් අවසන් වන මේ ජීවිත ගමන් මග තුළ අපි මගියෝ වෙමු. අද ගෙවෙයි හෙට උදාවෙයි. ඒ සියල්ල සමගින් අප ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නෙමු. සිනාවෝ විකසිත වෙති. වරෙක උණු කඳුළු දාරාවෝ කොපුල් මතින් රූරා ගලා යයි. එහෙත් අපි ජීවත් විය යුතු ම වන්නෙමු. ජීවිතය යනු දුක සැප දෙකෙහි ම සම්මිශ්‍රණයක් වග අපි දන්නෙමු. එහෙත් බොහෝ දෙනා එය පිළිගන්නට අකමැතිය. ජීවිතය යනු සැප මෙන් ම සතුට පමණක් යැයි අදහන්නට බොහෝ අය ප්‍රිය ය. එහෙත් සතුට පමණක් ළඟ රැඳෙන්නේ නැති වග ද ඔවුන් දනියි. දුක ද වේදනාව ද සතුට තරම්ම ජීවිතයට පැමිණෙයි. කළ යුතු වන්නේ එවන් දුක් වේදනාවන් ට ශක්තිමත්ව මුහුණ දී ම ය. මට කොහේදෝ තැනක ලියා තිබුණු වදනක් සිහි වන්නේ එසේ කියද්දී ය. 

“ජීවිතයේ කඩා වැටීම් නම් බෝම්බය පිපිරුණු පසුවද අප කළ යුතු වන්නේ සුන්බුන් පවා එක් කර නැගී සිටීම ය.”

එහෙත් පහුගිය කාල සීමාව පුරාවට ම ලංකාවේ දක්නට ලැබුණු සිදුවීම් ඇසුරෙන් පැහැදිලි වන්නේ මේ ලක්බිමේ වෙසෙන බොහෝ දෙනාගේ ජීවිතවල දරා ගැනීම ඉතා පහළට වැටී ඇති බවක් ය. අහිමිවීම් දරා ගැනීමට නොහැකි තැන්වල දී ද වෙනත් සමාජයීය ගැටලු සහ මානසික අර්බුදතා හේතුවෙන් ද අකාලයේ ජීවිත නසා ගන්නා ප්‍රමාණය දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ ඒ නිසාවෙන් ය. ජීවිතයේ පැමිණෙන දුක් මෙන් ම පැමිණෙන සැප ද සම සිතින් විඳ දරා ගන්නට අපට හැකි නම් එය නොවන්නේ ද වඩාත් වැදගත් දෙය.

බුදුදහමේ ද ඉගැන්වීම එය ම ය. නින්දා ප්‍රසංසා ලාභ අලාභ යස අයස දුක සැප ආදී මේ සියල්ල සම සිතින් විඳදරා ගත යුතු යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. එයට අප කියන්නේ අටලෝ දහමින් කම්පා නොවී සිටීම කියා ය. නමුත් එය එසේ ම යැයි විස්වාස කරන මිනිසුන් ඉන්නේ නම් මෙලෙසින් ජීවිත විනාස කරගන්නා සමාජයක් අප අවට ඇති නොවනු ඇත. පසුගිය කාලයේ දී සරසවි සිසුවියක් දුම්රියට පැන ජීවිතය නැති කරගත්තේ ද, තරුණ පොලිස් නිලධාරියෙක් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතය අහිමිකර ගත්තේ ද, තවත් සරසවි සිසුවෙක් සිය සරසවි පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කළේ ද තවත් එවන් සිදුවීම් ගණනාවක් අපේ දෙසවනට ඇසුනේ ද නෙතින් දුටුවේද අහිමි වීමේ දුක දරා ගත නොහැකි වීම නිසාය. මිනිසුන් ට දුක මෙන් ම සතුට ද ජීවිතයේ ම පොදු ධර්මතාවක් යැයි විස්වාස කරන්නට හිතෙන දිනය වන තුරු ම මේ සිදුවීම් ම නැවත නැවත සිදුවේවි ද?

“ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ

දුක් කරදර නැති දවසට දුක දැනෙන්නෙ නෑ

ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ

හිනාවෙවී හිනාවෙවී කල් ගෙවන්න බෑ”

මට මේ සියල්ල ගැන ලියාගෙන යන මොහොතේ හදිසියෙන් ම සිහිවන්නේ මේ ගීතයයි. ඇත්තෙන් ම ඒ ගීතය තුළින් අපට කියා දෙන්නේ මහ දැවැන්ත දෘෂ්ටියක් නොවන්නේ ද? එක් පසෙකින් බුදුන් දෙසූ අටලෝ දහම තුළ ඇති කරුණ ම ගේය පද රචකයා එසේ පවසා ඇත. එසේ නම් සාහිත්‍ය නිර්මාණයක් සමීපව ඇසුරු කිරීම විඳ ගැනීම මගින් ජීවිතය පිළිබඳ නව්‍ය ලෙසින් සිතන්නට අපට හැකි නොවේද?

පෙර කී පරිදි අහිමි වීම් දරා ගන්නට පාසල් අධ්‍යාපනයේ දී උගන් වන්නේ දැයි මම ඔබෙන් විමසුවහොත් ඔබ දෙන සෘජු පිළිතුර වන්නේ නැත යන්න බව මම ද දනිමි. එසේ පාසල් පෙළ පොතින් හෝ සරසවියෙන් ජීවිතේ ගැන උගන් වන්නේ ඉතා අල්පව ය. එසේ ඉගැන්වී නම් සරසවි සිසුවන් ද පාසල් සිසුවන් ද සිය දිවි හානි කර ගන්නේ ඇයි? අනෙකාගේ ජීවිත උදුරා ගන්නේ ඇයි? එසේ නම් ඒ තුළින් ජීවිතය ගැන උගන් වන්නේ නැත. එසේනම් ජීවිතය ගැන උගනින්නට අප භාවිත කළ යුත්තේ කවරක් ද? අප දැන ගත යුත්තේ කවරක් ද? කවුරුන් හෝ ඔබෙන් අසා ඇත් ද? ඒ පැනය මගෙන් ඇසූ බොහෝ අයට මා දෙන සෘජු පිළිතුර සාහිත්‍යය කලාව යන්නයි. 

ජීවිතය ගැන උගනින්නට මෙන් ම මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතය දරාගනිමින් ජීවත් වන්නට මග කියාදෙන දෙයක් වේ නම් සැබැවින් ම ඒ සාහිත්‍යය කලාව ම විය යුතුය. කවිය ගීතය කෙටිකතාව නවකතාව පමණකුදු නොව සිතුවම සිනමා පටය වේදිකා නාට්‍ය ආදී සකල කලාවන් මගින් ම සිදුවන්නේ ඒ කරුණ ම ය. ඒ ඒ සාහිත්‍ය නිර්මාණ මගින් ජීවිතයට බොහෝ පාඩම් කියා දී ජීවත් වන්නට මෙන් ම ජීවිතය විඳ ගන්නට ද අපට කියාදෙන වග සාහිත්‍ය ඇසුරු කරන්නන් හට නම් අරුමයක් නොවෙනු ඇත. 

“සාහිත්‍ය කලාව ජීවිතය සඳහා ය”

එය ලෝකයේ ප්‍රකට වූ අදහසකි. එමගින් ම අපට අවබෝධ වන්නේ සැබැවින් ම ජීවිතය විඳින්නට සාහිත්‍ය භාවිත කළ යුතු වග නොවන්නේ ද? නමුත් වර්ථමානයේ දී සාහිත්‍ය රසවින්දනය යන්න බොහෝ සේ අභාවයට යන මාතෘකාවක් බවට පත්ව ඇත. විශේෂයෙන් ම පාසැල් පද්ධතියයේ විෂය මාලාවට සාහිත්‍ය යන විෂය ඇතුළත් කර තිබුණ ද බොහෝ විට සිදු වන්නේ එහිදී නිර්දේශ කර ඇති කෘතිය පමණක් කියවා ගැනීම පමණකි. ඉන් පසු එහි කොටස් වන පොත් කිරීම මගින් විභාගය සමත් වීමට වෙහෙසෙන සිසුවන් පමණක් දැක ගත හැකිය. 

සරස්වතියගේ වාසභවන වන සරසවිය ද අද වන විට පත්ව ඇත්තේ මෙවන් fඛිදජනක තත්ත්වයකට ය. බොහෝ සරසවිවල සිසු සිසුවියන් සමාසික විභාග සහ ඇගයීම් ද මධ්‍ය විභාගද සමගින් අතිශය කාර්යබහුල ව ඇති අතර ඉන් පසුව ඔවුන්ට පත පොත කියැවීමට කාලය අහිමි වීමත් ඔවුන් දිනෙන් දින පත පොතින් බැහැර වීමත් දැක ගත හැකිය. ඒ නිසා එදවස මෙන් අද සරත්චන්ද්‍රලා සරසවිවලින් බිහි නොවනු ඇත. 

අධ්‍යාපනය තුළින් පමණක් සාහිත්‍ය පත පොත ඉගැනීම කළ යුතුදැයි අයෙක් ට පැණයක් ඇති විය හැකිය. නැත. ප්‍රායෝගික ලෝකය තුළ නොයෙක් අයුරින් සාහිත්‍ය භාවිත කළ හැකිය ඒවායෙන් බොහෝ දෑ උගත හැකිය. නමුත් අවාසනාව අප විසින් ජීවිතයේ දී ඒ බොහෝ දෑ මගහැරගෙන ඉදිරියට යන බවයි. ඒ මගහැර ගැනීම් සරල නැති වග තේරුම් යන්නේ දිනෙන් දින ජීවිත වරදවාගෙන මිය යන අහිංසක මනුෂ්‍ය ජීවිත දකින මොහොතක ය. ඔවුන් සාහිත්‍ය කලාව සමීපව ඇසුරු කර තිබුණේ නම් ජීවිතය දරා ගන්නට හැකි වන්නට ඉඩ තිබුණි. මට එසේ පැවසූ සැනෙකින් ම සිහි වන්නේ රත්න ශ්‍රී විජේසිංහ කිවියුරාණන්ගේ කවි පද පෙළකි. 

“ගිම්හානයේ ගිලන් වී කෘෂ ව සුදුමැලි ව

ඇදි ඇදී ඉකිගැසූ ඔය නැවත පිරිපුන් ය

දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය

කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස”

ජීවිතයේ දුක් දොම්නස් සෝ සංකාව සම සිතින් විඳ දරාගත යුතු වගත් එසේ කළ කල්හි දිනෙක හෙට ලොව වඩාත් සුගන්දවත් ව ජයග්‍රහණය කළ හැකි බවත් නොවේද කවියා ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙවන් සාහිත්‍ය කෘති පිළිබඳ පළල් අවබෝදයක් සහිත වුණි නම් ජීවිතය පිළිබඳව වුවද වඩාත් පළල් ලෙසින් අවබෝධ කර ගන්නට හැකි වනු ඇත. 

#BBD0E0 »

Top