විශාලාවට තුන් බිය තිබුනේ රෝග යක්ෂ අමනුෂ්‍ය යනාදියෙන් ය. බුදුන් ගේ ආනුභාවයෙන් විශාලාව තුන් බියෙන් මුදා ගැනුණි. එහෙත් මේ ගෙවන මොහොත තුන් බියෙන් නො ව අනේක වූ බිය සංත්‍රාසයන්ගෙන් සුසැදි ය. බුදුන් නො එන යුගයක් ය. බුද්ධ පුත්‍රයන් ද බොහෝ මුනිවතින් ය. රතන සූත්‍ර සඣ්ඣායනාවෙන් පලවා හළ නොහැකි තරමට ම සියලු මනුෂ්‍ය ප්‍රාණින් සොවින් ය. දුකින් ය. පීඩාවෙන් ය. වසංගත කොරෝනාව එක් පසෙක ය. අනෙක් පස දිනෙන් දින උග්‍රවන ජීවන ගැටලු ය. රට හැම තැන උද්ඝෝෂණය. උපවාසය. මේ සියලු දෑ අබිමුවේ පීඩිත ලංකාද්වීපවාසින් අන්ධකාර හෙටක් දෙස දෑස් විවර කර බලා සිටියි
දියසෙන් වෙනුවට පැමිණි බොහෝ ආදේශක උත්තමයන් ඡන්දය ගෙන ගෙන් ගෙට යන කළ දුන් බොහෝ පොරොන්දු දැන් දැන් පුස්සක් බවට පත්ව ඇත. තැනක ගෑස් හිගය ය. තවත් තැනක සීනි මිල වැඩිය. කිරිපිට සොය සොයා තැනින් තැන ඇදෙන්නෝ ය. ජීවත් වීම සදහා අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක ම මිල බලා සිටියදී වැඩිවෙයි. පහළ පන්තියේ ද මධ්‍යම පන්තියේ ද කියා වෙනසක් නොමැතිව මේ අර්බුදය හමුවේ දුක් බරිත දෑසින් බලා සිටින මනුෂ්‍යය සන්තාන රට පුරා ය. කුමක් කරන්නදැයි නිනව් නැති ව ද ‘අම්මා අප්පා ‘ සිහි ගන්වමින් දේශපාලක නම් ඉදිරියේ විශේෂණ පද තියන මිනිසුන් දස අතය.
රටට බත දුන් ගොවියා අද මහ පාරේ ය. කෙතේ කමතේ දහදිය හෙලා රන් අස්වනු නෙලා සාර අස්වනු රට පුරා යවා රට ම බතින් පොහොසත් කරනවා වෙනුවට අද ඔහුට වෙනත් රාජකාරියක් පැවරී ඇත. ඒ මහපාරේ උද්ඝෝෂණ කිරීමට ය. එදා ගොවියා පඹයන් තැනුවේ කෙතට එන උවදුරු පලවා හරින්නට ය. අද ගොවියා ද පඹයන් තනයි. ඒ අදාල විෂය භාර ඇමතිගේ රුවෙන් ය. හේතු සාධාරණය. එසේ පවසන්නේ මේ කතුවැකිය ලියන මම ද පාරම්පරික කෘෂිකර්මාන්තයේ යෙදෙන පවුලක උපන් නිසාය. කොම්පොස්ට් භාවිතය හොදය. නමුත් එය එක්වර ම හුරු කළ හැක්කක් නොවේ. එක රැයෙන් වෙනස් කළ නොහැකි දේවල් ක්‍රමයෙන් එක්දහස් එක් රැයකින් සෙමින් වෙනස් කළ යුතු ය. එහිදී හානි හදුනා ගනිමින් ක්‍රමයෙන් අදාල ඉලක්ක සපුරා ගැනීම කළ හැකි ය. එහෙත් ලංකාවේ එහෙම නැත. අද පාලකයාට සිතෙන දේ අද ම කළ යුතු ය. පසුගිය කාලයේ සිදුවුණ සියලු සිදුවීම් ඒ වග සපථ කලේ ය.
යුද්ධය අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට ය. මන්ද සිය දේශපාලන අනන්‍යතාව තවදුරටත් පවත්වාගෙන යන්නට ලංකාවේ දේශපාලකයන් ට දීර්ඝ කාලයක් තිස්සේ උපකාර කරන ලද්දේ යුද්ධය ය. ඊලාම් යුද්ධය නිම විය. නිම වූ පසුව කෙළෙහිගුණ දක්වන ලෙස පවසමින් යුද්ධය මතක් කරමින් බලය උදෙසා ලොබ බැදි ද බලය ලබා ගත් ද කාලය දැන් නිමා ව ඇත. දැන් අනන්‍යතාව සුරක්ෂිත කරන්නට බිදී ඇති ජන හිත් නැවත තමා දෙසට යොමා ගන්නට දේශපාලකයන් ට යමක් අවශ්‍ය ය. ජාතිය තරම් මිනිසා කුපිත කළ හැකි ආකර්ශනය කර ගත හැකි වෙන යමක් කොහි ද? දැන් දැන් ජාතිවාදයේ ගිනි අවුලවන ද ජාතිවාදී හැඟුම් අවුස්සා මිනිස් මනසේ නිද්‍රෝපගතව ඇති ජාතිවාදය අවුලවන වැඩසටහන් ක්‍රියාත්මක වන්නට ද පටන්ගෙන ඇත.ඒ බොහෝමයක් හොඳින් බලන කළ දේශපාලන ව්‍යාපෘතියැයි තේරුම් ගත හැකිය. එවැනි දැයින් තමාට අහිමි වන්නට යන බලය යළිත් තහවුරු කර ගන්න ට ඔවුන් උත්සහ ගත්තද එයින් විඳවන්නේ ලාංකේය ජනතාව ය. සිංහල මුස්ලිම් හින්දු කවරක් වුවද ඒ සියල්ලෝම මිනිසුන් ය. එබැවින් මේවා දෙන අපි මෙයට වඩා සවිඥානික විය යුතුය. බලලෝභි දේශපාලකයන්ගේ හෝ දේශපාලන පක්ෂවල මෙම මර උගුල්වලට හසු නො වීමට වග බලා ගත යුතුය.
මත ගැටුම් බහුල මේ මොහොතේ මේ සියල්ල දෙස ලේ කුපිත කර නො ව උපේක්ෂා සහගතව බලා තීරණවලට එළඹුම පොදු ජනයාගේ ද දේශපාලකයන් ගේ ද කාර්යයක් විය යුතු ය. අප පොදුවේ කිසිදු දේශපාලකයෙක් ට දේශපාලන පක්ෂයකට ඇගිල්ල දිගු කරන්නේ නැත. අප හිදින්නේ ඊට දියුණු තැනක ය. ඒ වැරදුන තැන සොයා ගන්නා ලෙස ය. පක්ෂ පුද්ගල දේශපාලන මමත්වයෙන් මිදී ලාංකේය මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යත්වයෙන් සිතන්නැයි අපි ආරාධනා කරමු.
එස ද මේ ලස්සන නමුත් කාලකන්නි වන රට සුන්දර පාරාදීසයක් බවට පත් වෙනු ඇත.