මෙය කියවන ඔබට මෙම ලිපියේ හෙඩිම පැරණිය යැයි සිතෙනු ඇත. එහෙත් වයින් රස පරණ වන විට බව ඔබ දන්නා කරුණක් ය. එහෙත් මා එවැනි තර්කයකට නොයා එය පසෙක තබා හෙඩිමේ වාච්‍යාර්ථයෙන් ඔබ්බට ගොස් ධ්වනිතාර්ථය සොයා යමු යැයි ඔබට යෝජනා කරමි. එවිට ඒ සමග මා තුළ මතු වන්නා වූ තවත් පැනයකි. එනම් නූතන තාරුණ්‍ය කොයිබට ද? යන්න ය.
රටක ජීවනාලිය ප්‍රාණ වායුව තරුණ ප්‍රජාව වග නොරහසකි. එහෙත් තාරුණ්‍යට අරුත් බර හෙට දිනයක් නොපෙනෙන ඉසව්වක, යා යුතු මග පිළිබඳ මං හසර නොදන්නා මොහොතක අපේ ම අපේ ම අපේ ලොවක් හොයාගෙන කොහේ කෙසේ යා යුතුදැයි ඔවුන්ට සිතා ගත නොහැකි ය. මෙය මේ මොහොතේ මතුපිටින් නොපෙනුන ද සමාජ දේහය තුළට කිඳා බැස බැලීමේදී වඩාත් තහවුරු වෙයි. සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික කවර සංදර්භයක සිට නූතන තරුණ ප්‍රජාව දෙස විමංසනාක්ෂිය යොමු කළ ද ඔවුන් දසතින් පෙනෙන්නේ අර්බුද පමණි.
දහතුන් වසක් සිපකලා හදාරා සරසවි වරම් ලබන්නට උත්සහ ගන්නා පාසල් ප්‍රජාවෙන් සරසවි වරම ලැබෙන්නේ සුලුතරයකට ය. බහුතරය සමාජ ගත වන්නේ විරැකියාවේ හස්තයට තුරුල් ව ය. ඔවුන්ට ඉන්පසු අධ්‍යාපනය ලබන්නට විවිධ ක්ෂේත්‍රයන් ආයතන පැවතුන ද ඒවාට සම්බන්ධ ව යමක් උගත්පසු ඊට ගැලපෙන රැකියා නැත. එවිට ජීවිතය කළකිරෙන තරුණ පරපුරක් අප අබිමුවේ ය. පෙර කී සුලුතර සරසවි ප්‍රජාව ද සිවුවසක් සරසවි ප්‍රවේශය ලැබ උපාධිධාරියෙක් ලෙස සමාජ ගත වුව ද නූතනය වන විට රුපියල් විසිදහසේ (නො)ලැබෙන වැටුපකට යා යුතු මගක් නොමැතිව සරණාගතයන් සේ පරිපාලන ආයතනවල සැරිසරයි.
සංස්කෘතික අවකාශය තුළ වුව ද අද වනවිට අප හොදින් ම දන්නා කරුණක් නම් නව සංස්කෘතික තරුණයා නිර්මාණය නො වන තරමට මේ සමාජ ගොහොරුව අපුල දනවන්නක් බවට පත්ව ඇති බවය. කලා අවකාශය තුළ සැරිසරන්නට අවශ්‍ය පස නිර්මාණය කළ යුතු රාජ්‍ය නිලධාරින් ද බලධාරින් ද එවන් දෑ අබියස මුනිවතේ ය. එවිට මේ නව සංස්කෘතිකය හා සමාජානුයෝනය වන්නට ද රාජ්‍ය අනුග්‍රහය නොලත්අවකාශයකට සබැඳී කටයුතු කරන්නට උත්සහ කරන තරුණ පෙළපසුගිය කාල සීමාවේ පැරණි සංස්කෘතික මුරබල්ලන්ගෙන් බැට කන්නේ එම පාර්ශවවලට රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන්නා වූ බැවින් ය.
මේ අනුව නූතන තාරුණ්‍ය පිළිබද අප මෙයට වඩා සවිඥානික විය යුතු යැයි පැවසීම යුක්ති යුක්ත ය. මතුපිටින් පෙනෙන්නට සිනා සී මුහුණු පොත තුළ ඡායාරූප පළ කළ ද මේ සමාජ ක්‍රමවේදයේ බොහෝ විට තාරුණ්‍යය සිත් තුළ සැඟව ඇති දුක්ඛිත පාර්ශවයන් අපමණ ය. ඒ මේ යථාර්ථයේ ස්වභාවය ය. අප ස්පර්ශ කළ යුත්තේ එය ය. එවන් තාරුණ්‍යයේ ගැටලු විසදුන රාජ්‍යයක සැනසුම් විඳුම් හඬ නිකුත් වනු ඇත. අප උත්සහ දරන්නේ එවන් අරමුණක් උදෙසා හඩක් නගන්නට ය. හඬක් ඇවැසි තැනට හඬක් වන්නට ය. මගක් පාදා ගත යුතු මොහොතක මගක් පාදා දෙන්නට ය. තරුණ පරපුරේ ඔබට අපගේ වචන අවකාශයේ ඉඩ ඇත.