අද මාර්තු අට වන දා ය. මාර්තු අට කියූ සැනෙන් බොහෝ දෙනාට සිහිපත් වන්නේ අද දිනය ජාත්‍යන්තර දිනයක් වශයෙන් නාමකරණය ව ඇති බවය. සැබෑවකි. අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. එබැවින් අද වචන වෙබ් අඩවියෙහි කතුවැකිය අප වෙන් කරන්නේ කාන්තා දිනය හා සබැදිව ය.
කාන්තාවන් ට දිනයක් වෙන් කිරීම අවශ්‍ය ද?
අද වැනි දිනයක බොහෝ දෙනා නගන සම්ප්‍රදායික පැනය එයයි. එම පැනය ලෝකයේ බොහෝ ජාත්‍යන්තර දිනයන් හි දී වෙන වෙනස් ස්වරූපයන්ගෙන් ඇසෙන පැනයකි. එනම් කම්කරු දිනයේ, කම්කරුවන්ට දිනයක් අවශ්‍ය ද? පෙම්වතුන්ගේ දිනයේ, පෙම්වතුන්ට දිනයක් අවශ්‍ය ද ? ආදී වශයෙන් ය. ඒ පැනයන් හි සාධාරණ අසාධාරණ බව හෝ සාවද්‍ය නිරවද්‍ය බව පිළිබද මති මතාන්තර ගොඩ නැගීමට අප නොයන්නේ එය අපගේ කාර්යක් නොවන නිසා ය. එහෙත් යමක් පැවසීම සුදුසු යැයි සිතා මෙසේ පවසමු. බොහෝමයක් ජාත්‍යන්තර දින නියම කිරීම තුළින් සිදු වන්නේ ඒ දිනයට අදාළ දෑ එම දිනයේ පමණක් සුරැකීම හෝ ඒ වෙනුවෙන් යම් යම් දෑ කතිකාවට ගොඩ නැගීම ය යන කරුණට අප ලඝු නොවිය යුතු බවය. එනම් කාන්තා දිනයක් තිබූ පමණින් කාන්තාවන් ගේ ප්‍රශ්න ගැන කතා කිරීම එම දිනයට ලඝු නොවීම සිදුවන බවයි. එසේ දිනයන් තීරණය කරගෙන ඇත්තේ ඒ අදාල ක්ෂේත්‍රවල ලෝක මට්ටමින් ලබා ඇති ජයග්‍රහණ සිහිකිරීමට ය. එහෙයින් සැමරුම් දින මිසක ඒ දිනවල අන් යමක් නැත. එබැවින් ඒවා සැමරීමෙහි දොසක් අපට නම් නොපෙනෙන බව ද අපි පවසන්නෙමු.
කාන්තාව එදා සිට අද දක්වා පැමිණි මග කෙසේ ද?
ෆෙඩ්රික් එංල්ස්ට අනුව සියලුම මිලේච්ඡ සහ වනචාරී සමාජවල මැද හා පහත් අවදිවල දි පමණක් නොව උසස් අවදියෙදිත් අඩ වශයෙන් ස්ත්‍රිය ස්වාධිනත්වය පමණක් නොව අතිශයින් ම උසස් ගෞරවණීය ස්ථානයක් දැරූ බව ද ‘පවුල පෞද්ගලික දේපල හා රජය ඇතිවූ හැටි‘ යනුවෙන් ඔහු රචනා කළ කෘතියේ සදහන්ව ඇත. එහෙත් පසු කලෙක මෙම තත්ත්වය වෙනස්ව ඇත. මව් අයිතිය පෙරළා දමා පුරුෂයන් විසින් ගෘහ පාලනය අල්ලා ගනු ලබයි. එය සමස්ථ ස්ත්‍රී වර්ගයාම පොදුවේ ලැබූ ජගත් පරාජයක් ලෙසින් ඉතිහාසය තුළ සදහන් වෙයි. එතැන් පටන් පුරුෂයා මූලිකත්වය හා ප්‍රධානත්වය ගැනීමත් සමගින් ම ස්ත්‍රිය අවමානයට පත් වීම ඇරඹෙයි. එසේම ඇය විවිධ පීඩාවන්ට හා කරදරවලට ද ලක්වෙයි. පුරුෂ කාම තෘෂ්ණාව සමනය කර ගැනීම උදෙසා ලිංගික වහලියක් බවට ඇය පත්ව ඇත. මෙම තත්ත්වය ග්‍රීකයන් ගේ වීර යුගයේ දී ප්‍රභලව දක්නට ලැබෙයි. මේ තත්ත්වය දිගින් දිගටම ඒකීය ස්වරූපයකින් පැවත නැත. එය කාලයත් සමග මෙන් ම භූගෝලීය වශයෙන් ද ජාතිකත්වයන් අනුව ද වරින් වර වෙනස්ව ඇත
ලංකාවේ ගම, නගරය හා කාන්තා නිදහස
මේ සියලු තත්ත්වයන් සමග නූතනය වන විට අප ජීවත් වන ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රියගේ ස්වභාවය කෙසේ ද කියා මොහොතක් ඔබට සිතන්න යැයි අපි යෝජනා කරන්නෙමු. එය සැබැවින් ම අද පවතින්නේ පෙර තත්ත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනකය. කාන්තා හිංසනය වැනි පුවරු වරින් වර කරලියට පැමිණය ද අද ලංකාව තුළ කාන්තාව ද පුරුෂයා තරමට ම සිය ස්වාධිනත්වය භුක්ති විදින්නට උත්සය දරන බව ද නාගරික උගත් සමාජය තුළ එය සාර්ථකව සිදුවන බවද අපට නොරහසකි. එහෙත් තවමත් ග්‍රාමීය මට්ටමින් සහ සංස්කෘතික මායිම් කර පින්නා ගත් වැඩවසම් පිරිමි ද නූගත් සමාජය ද කාන්තාව තවමත් සිරකරන්නට වෙහෙසෙන අයුරක් ද දැකිය හැකිය. එහෙත් ඒවා ද ක්‍රමයෙන් සමාජයෙන් තුරන් වනු ඇත. තව එක් පරම්පරාවක් මේ සමාජ ජීවිත ගෙවා හමාර කරන විට කාන්තා නිදහස ද සමාජය තුළ සර්ව සම්පූර්ණයෙන් ස්ථාපිත වේ යන බලාපොරොත්තුව අප තුළ ඇත.
නමුත් ඒ කාලය උදාවන තුරු අප පෙර සදහන් කළ ස්ත්‍රිය සිර කරන්නට වෙහෙසෙන සම්ප්‍රදාය කර පින්නා ගත් ගැහැණුන් පිළිබද ව අප සැබැවින් කනගාටු වෙමු. එසේම එවන් ගැහැණුන්ට මුහුණ දෙන්නට වන දුෂ්කරතා පිළිබද සමාජ කතිකාවත් ගොඩ නගමින් ඔවුන් ඒවායෙන් මුදවා ගන්නට අපට යමක් කළ හැකි නම් අපි ඒවාට ද මැදිහත් වන්නෙමු.
ලංකාව වැනි රටවල කාන්තාව සිර කරන්නට වෙර දරන බොහෝමයක් සංසිද්ධින් දැක ගන්නට ඇත්තේ අර්ධ නාගරික හෝ ග්‍රාමීය සමාජ ස්ථරවල ය. එවැනි ස්ථරවල වුවද කාන්තාවගේ විමුක්තිය ගැන කතිකාවන් නිර්මාණය වේ. බොහෝ විට එවැනි ස්ත්‍රීවාදී චින්තනයන් පිළිබද කතිකාවන් ගොඩ නගන්නේ පිරිමි ම ය. එවැනි පිරිමි ලංකාව වැනි රටවල දුර්ලභ ද නැත. එහෙත් එම පිරිමි අතරින් බොහෝමයක් දෙනා පිටත සමාජය තුළ කාන්තා විමුක්තිය පිළිබද මහා දේශන පැවැත්වුව ද සිය නිවසේ දි තමන්ගේ බිරිදට දුවට පුරුෂවාදී නීති පද්ධතියන් දමා ඇති ආකාරයත් අප අනන්තවත් දැක ඇත.
එබැවින් අප අද යෝජනා කරන්නේ කාන්තාවට උස් තැන දෙන්නේ ද සම තැන දෙන්නේ ද යන්න ගැන නොව ස්ත්‍රියට ගරුත්වය සහ නිදහස දිය යුතු බවය. එය පටන් ගත යුත්තේ තම තමන්ගේ ම නිවසින් බව ද අපි පවසන්නෙමු. එවිට සමස්ථ රට ම කාන්තාවට නිදහස භුක්ති විදිය හැකි තැනක් බවට පත්වන බව නම් ස්ථිරය.