ඇඟිල්ල දිගු කර වැරදි කීම පසෙකලා ඔබ ප්‍රවේසම් ව දිවි රැක ගන්න (405)

post-title

මේ ගෙවෙමින් පවතින්නේ අපගේ ජීවිතවල තීරණාත්මක දිනයන් ය. කවුරුන් කාට ඇගිල්ල දිගු කළත් නැති වන්නේ මනුෂ්‍ය ජීවිතය. අද එසේ මියැදෙන්නේ ඔබේ දන්නාහදුනන්නෙක් වුව ද නන්නාදුනන්නෙක් වුව ද හෙට දිනෙක ඒ ඔබේ ද මගේ ද සමීපතමයෙක් හෝ ඔබ හෝ මම විය හැකිය. ඉතින් ඒ තත්වයෙන් මිදෙනු උදෙසා අප කුමක් කළ යුතු ද යන්න පිළිබද අප තුළ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. එහෙත් අවාසනාව නම් අද බොහෝ දෙනා හැසිරෙනුයේ එසේ පාඩම් නූගත් ජාතියක් ලෙසින් වීම ය.

අප එසේ පවසන්නේ පසුගිය දා දක්නට අසන්නට ලැබුණ සිදුවීම් කිහිපයක් අරඹයා ය. මේ මොහොතේ සංචරණ සීමා රටතුළ ක්‍රියාත්මක වන බව අපි හොදින් දනිමු. එසේ සංචරණ සීමා දමා ඇත්තේ ඔබේ උපන්දින සාද නවත්වන්නට හෝ ඔබේ මංගල්‍ය උත්සව නවත්වන්නට හෝ ඔබට මිතුරන් මුණගැසීමට යාම වලක්වන්නට හෝ නම් අප ද ඔබ වෙනුවෙන් පෙනී සිටිමු. සංචරණ සීමාවලට විරුද්ධ වන්නෙමු. එහෙත් සංචරණ සීමා යොදා ඇත්තේ ඔබේ ජීවිතය රැක දෙන්නට ය. වසංගතයෙන් ඔබ ගලවා ගන්නට ය. ඒ බව ඔබ අවබෝධ කරගත යුතු ය. නමුත් තැන් තැන්හි අසන්නට දක්නට ලැබෙන සිදුවීම් තුළින් අපට ප්‍රත්‍යක්ෂ වන්නේ ඔබ ඔබේ ජීවිතය ගැන තැකීමක් නොකරනවා පමණක් නොව ඔබේ ඒ හැසිරීම් තුළින් ඔබේ ආදරණීයයන් ගේ ජීවිත පිළිබද තැකීමක් ද නොකරන වග නොවන්නේ ද?

තැනක මංගල උත්සවය. මංගල්‍ය යනු සිය දිවියේ වටිනාම දිනය බව අපි දනිමු. නමුත් මෙවන් මොහොතක එය උත්සවාකාරයෙන් සමරන්නට යාම තුළ ඇති විය හැකි ප්‍රතිඵල පිළිබදවද සිතීමට තරම් ඔබ දැනුම්වත් විය යුතු නොවන්නේ ද? ඒ සියල්ල පසෙක දා තමන්ගේ සමීපත්මයන් රැසක් ගෙන්වා රහසේ ම පවත්වන්නට යෙදුනු මංගල උත්සව කිහිපයක් ම පසුගිය දිනවල පොලිසිය මැදිහත් වීමෙන් නැවැත්වූ පමණක් නොව ඔවුන් නිරෝධායනයට ද ලක් කළහ. රෝගය ව්‍යාප්තවන වේගය මේ වන විට වර්ධනය වෙනවා මිසෙක අඩුවන ස්වරූපයක් දැකිය නොහැකිය. එවන් තත්ත්වයක් තුළ සෙනග රැස් කිරීම තුළ සිදුවන්නේ එම රෝග ව්‍යාප්තියට ඔබ උපකාර කිරීමක් ය. 

චන්දිමාල්ලා ද හංසමාලිලා ද ජනප්‍රිය නිසා ඔවුන්ගේ උපන්දින සැමරුම පිළිබද කළ මාධ්‍යන් මගින් කළ එළි බැස ඇත. එසේ නොවී ජනප්‍රිය නොවන චරිත කොපමණක් නම් එසේ උපන් දින සමරන්නට ඇති ද? කුරුණෑගල නගරාධිපතිගේ සිදුවීමත් එවැනිය. ඊට අමතරව උපන්දින සැමරුම් කොතෙක් රහසේ සිදුවන්නට ඇති ද? හංසමාලිලා නිරෝධායනයට ගෙන යන මොහොතේ ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබූ වීඩියෝ ව තුළ පුන පුනා ඇසුවේ, රටේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නමක් පවසා, ඇයි අර නාලිකාවේ නත්තල් උත්සව කරන්න අවසර දුන්නෙ අවුරුදු උත්සව කරන්න දුන්නෙ කියා ය. ඒ ප්‍රශ්නය තුළින් අපට එකිනෙකට ප්‍රතිපක්ෂ කරුණු දෙකක් හදුනාගත හැකිය. එකක් නම් නාලිකාවේ නත්තල් සැමරුව නිසා අවුරුදු උත්සව සැමරුව නිසා අපි උපන්දින සැමරීම ගැටලුවක් නොවේ ද? යන්න ඔවුන් විමසන බවයි. අනෙක් කරුණ නම් සැබැවින් ම ඇයගේ ප්‍රකාශය පිළිබද අවධානය යොමු කර නීතිය සැමට සර්ව සාධාරණ කළ යුතු ය යන කරුණය. 

එහෙත් නැවත නැවතත් අප විස්වාස කරන කරුණක් ඇත. එය සරල ය. එයාලා කරා නම් අපි කරාම මොකද කියා කෑ ගසන කිසිවෙක් එයාලා මැරුනොත් අපිත් මැරෙනවා යැයි කියා මරණය වැළද ගන්නට යන්නේ නැත. එබැවින් වඩා වැදගත් වන්නේ එයාලා කරනවා නම් අපි කරාම මොකද කියා ඇසීම නොව එයාලා කළ වරද අපි නොකර සිටින්නට උත්සහ කිරීමය. එවිට අපට ඔවුන්ගේ බුද්ධි මට්ටම වටහා ගත හැකි වනු ඇත. 

මේ සියලු කරුණු අතරේ ඡන්ද යනු වැක්සින් එක ගැසීමේ සුදුසුකමක් යැයි පැවසෙන සිදුවීමක් ද අසන්නට ලැබුණි. එවන් දේශපාලකයන් වෙසෙන රටක ජීවත් වන්නට සිදුවීම මොනතරම් නම් කරුමයක් ද? ඉදින් නිරන්තරව මේ ලස්සන රට කාලකන්නි කරන්නේ මෙවන් සිදුවීම් ය.

මේ සියල්ල වන අතර අපි ඒ දෙස බලා හිදිමු. මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ඔවුන් කළ පමණින් අප කරන්නට යාම හෝ නීතිය අතට ගෙන කටයුතු කිරීම හෝ නොව ජීවිතය ආරක්ෂා කර ගැන්මය. ආණ්ඩුවට ද විපක්ෂයට ද ජනාධිපතිට ද බැණ වැදීම නොව අප අපගේ ජීවිත ආරක්ෂා කර ගැන්මය. 

එසේ නම් ඔබ ඔබට ආදරය වේ නම් ප්‍රවේසම් වන්න. වඩා වැදගත් එයයි.

Top