දෑස් හැරගෙන දුටු සිහිනයක කොටස්කරුවෝ එක්ක වචන (200 වන ලිපිය)

post-title

ඒ මීට වසර කිහිපයකට පෙර දුරාතීතයක දිනයකි. දිනය කවදාදැයි නිශ්චිත නැත ද ඒ බොහෝ විට දෙදහස් පහළොව හෝ දාහතර කාලය ය. එදවස චේතිය හා මම, මගේ නාවල පිහිටි බෝඩිම් කාමරයේ දී කළ කතාබහක් සහ දුටු සිහිනයක් සැබෑ කරගන්නට අදින ලද සැලසුමක අවසන් ඵලය අපි අද භුක්ති විදිමින් සිටිමු. ඒ ලාංකේය සයිබර් අවකාශයට නව්‍ය වූ වෙබ් අඩවියක් ලෙස ”වචන” වෙබ් අවකාශය නිර්මාණය කර දායාද කිරීමත් සමග ය.

කලාව සහ සාහිත්‍ය පිළිබද මා තුළ පැවැති ආශාවට නොදෙවෙනි ම ආශාවක් පැවති චේතිය සහ මම එක්ව එදවස දිනපතා නවකතා හා කෙටි කතා ද විචාරාදී සාහිත්‍ය ලිපි ද පළවන වෙබ් මැගසිනයක් නිර්මාණය කළේ දෙදහස් දහතුන දාහතර වැනි වසරවල ය. එදවස එවැනි වෙබ් අඩවි හිග කාලයක් වූ අතර ” සයිබර් පන්හිද ” නම් එම වෙබ් මැගසිනය අපි කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව පවත්වාගෙන යමින් උන්නෙමු. අද සාහිත්‍ය කලා ක්ෂේත්‍රෙය් විශිෂ්ටයන් වන බොහෝ දෙනා එදවස අපි සමග එක්වූයේ ආධුනික නිර්මාණකරුවන් ලෙසය. එදවස අපගේ වෙබ් අවකාශයට මුල්ම වතාවට නවකතා කෙටිකතා ලියූ ආධුනික ලේඛකයන් ලේඛිකාවන් අද මුද්‍රිත ග්‍රන්ථකරණයේ යෙදී නිර්මාණ කිහිපයක් පවා එළි දක්වා ඇත. ඇතමුන් සම්මානිත ගවුරවයන් ට ද පාත්‍රව ඇත. ඉදින් ඒ අයගේ ඒ සාර්ථක ගමනට අපේ වෙබ් අවකාශය අල්ප මාත්‍රයකින් හෝ ප්‍රයෝජනවත් වී ඇත්නම් එය අපට අපමණක් සතුටකි.

වෙබ් අඩවිය පුලුල් කරමුයැයි යෝජනාව චේති ගෙන එන්නේ ඒ දිනවල ය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ යම් යම් දුෂ්කරතා හේතුවෙන් ය. ඉන්පසුව මා පත්තර ජීවිතයටත් චේති ඔහුගේ උසස් අධ්‍යාපනයටත් ඇතුළත් වූ කාලයේ අපි ”සයිබර් පන්හිද” වෙබ් අඩවිය තාවකාලිකව නතර කළෙමු. සාර්ථකම මට්ටමේ පැවැති අපේ ”සයිබර් පන්හිද” නතර කිරීම සිත් වේදනාවෙන් කරන්නට සිදු වූවක් වුව ද අපට ඒ වේදනාව සමග මිශ්‍ර වූ සතුටක් ද තිබුණි. මන්ද ඒ වන විටත් ”සයිබර් පන්හිද” වෙබ් අඩවිය අනුකරණය ද අනුගමනය ද කරමින් වේගයෙන් විවිද වෙබ් අඩවි නිර්මාණය වෙමින් පැවතීම නිසා ය. එබැවින් අප වෙබ් අවකාශය තුළ කරන්නට උත්සහ කළ වෙනස කරන්නට තව තවත් අය එක් වීම එසේ සිදුවෙමින් පැවතුණි.

කාලය ගෙවීයාමත් සමග එක්තරා පුවත්පතක සංස්කාරකවරයෙක් ලෙසින් සේවය කරමින් සිටියදී යම් හේතුවක් මත මුද්‍රිත මාධ්‍යයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමට මා තීරණය කිරීමත් සමග අලුත් වැඩකට අත ගැසීමේ අවශ්‍යතාව තදින් ඇතිවිය. එහෙත් එය මුද්‍රිත මාධ්‍යක දෙයක් නොව සයිබර් අවකාශය හා සම්බන්ධ දෙයක් විය යුතු බව මම විශ්වාස කළෙමි. එබැවින් මට මතක ආකාරයට නදුන් චානුක සමග ”පත්තරේ ඩොට් එල් කේ” නමින් වෙබ් අවකාශයක් මිලදී ගන්නට උත්සහ කළ ද එය සාර්ථක කර ගන්නට යම් යම් හේතු මත නොහැකි විය. චේතිය යළිත් මට පරණ යෝජනාව ද පරණ හීනය ද අලුත් කරමු යැයි යෝජනා කරන්නේ මේ අතර ය. ඉදින් අපි අපේ සැලසුම යළිත් පණ ගැන්වීමු. ”වචන ඩොට් එල්කේ” නිර්මාණය වන්නේ එසේ ය. වෙබ් අඩවිය ලියාපදිංචිය සහ එහි ආකෘතිය නිර්මාණය යන සියලු දෑ චේතිය සිය වගකීමක් සේ කරට ගනු ලැබීය. මගේ වගකීම එහි ඇතුළත හරය නිර්මාණයයි. එය කල්පනාවෙන් කළ යුතු බාර දූර වගකීමක් විය. කෙසේ වුවත් හදිසියේ වැඩ පටන් ගන්නට අපට අවශ්‍ය නොවීය. චේතිය ද යෝජනා කරේ කාලය ගෙන හොද වැඩක් කළ යුතු ය කියා ය. අප එය සෙමින් සෙමින් නිර්මාණය කරමින් සිටිය දී මගේ මිත්‍ර මන්රුචි සිරිවර්ධන අලුත් වැඩක් පටන් ගන්නා බවත් ඊට එකතු වන්නටැයි කියා මට කතා කරන්නේ ඔය අතරය. එය ද සමාජ මාධ්‍ය ජාලයේ වැඩකි. මම ඊට එක් විමි. එහිදී ලිපි නිර්මාණය පිළිබද නවක ලේඛක ලේඛිකාවන් පුහුණු කිරීමේ සිට වගකීම් සහගත ක්‍රියාවලියක නිරතවන්නට සිදුවීමත් සමග වචන වෙනුවෙන් කාලය වෙන් කර ගැනීම අපහසු විය. මිත්‍රයාගේ වැඩේ වුවද මගේ වැඩක් මෙන් ආශාවෙන් කළ බැවින් එය අතර මග නතර කරන්නට ද නොහැකි ය. එබැවින් මම චේතිය සමග කතා කර වසර එකහමාරක් වැනි කාලයකට ”වචන” අවකාශය ඇරඹුම කල් දැමුවෙමි. මිතුරාගේ කාර්ය තුළ මට කළ හැකි සියලු දෙය උපරිමයෙන් සිදු කළ පසු ඉදින් ඉන් ඉවත් විය. පසුව අපි මීට මාස කිහිපයකට පෙර අපේ හීනය සඵල කර ගතිමු. ඒ ”වචන” ඇරඹුමත් සමග ය.

වචන යනු වෙබ් අවකාශයක් පමණක් යැයි අයෙක් සිතුවහොත් එය වැරදිය. ඒ පිටුපස තවත් විශාල ක්‍රියාවලියක් ඇත. අප මේ හැබෑ කරගනු ලැබුවේ අපේ සිහිනයේ සුලු කොටසක් පමණි. අන්තර්ජාල අවකාශය තුළ නව්‍ය වූ වැඩ රාශියක් අප සැලසුමේ ඇත. ඒවා ක්‍රමයෙන් ඉදිරියේදී ඔබ හමුවට එනු ඇත. මුලින් වෙබ් අවකාශයක් වූ අපි දැන් යූ ටියුබ් නාලිකාවක් ද පෝඩ්කාස්ට් සේවයක් ද අරඹා පර්යේෂණාත්මක මට්ටමේ පසු වන්නෙමු. ඉදිරියේදී මෙවන් වෙනස්කම් රාශියක් සමග දිනෙන් දින අලුත් වෙමින් ”වචන” ඔබ හමුවට ගෙන ඒම අපගේ වෑයමයි.

දිනපතා අලුත් වන ලිපි සමග වෙබ් අඩවියක් පවත්වාගෙන යෑම දුෂ්කර කාර්යක් බව දන්නෝ දනිති. මන්ද මුල් අදියරේ බැවින් ලේඛක මණ්ඩලයක් පත්කරගෙන වැටුප් ගෙවා නඩත්තු කිරීම අපහසු බැවින් ය. එබැවින් ආරම්භයේ දී අප සමග ”වචන” යනු තමන්ගේම වැඩක් යැයි සිතා වැඩ කරන ලේඛක මණ්ඩලයක් සාදා ගැනීමේ දුෂ්කර ක්‍රියාවලියට අත ගසන්නට සිදුවිය. එහෙත් අප සිතූ තරම් එය දුෂ්කර නොවීය. මගේ පත්තර දිවියේ දී ලිපි සැපයූ සමීපතමයන් කිහිප දෙනෙක් හා ”වචන” පිළිබද කරන ලද සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් නිස්සරණාධ්‍යාශයෙන් අපට එක් විම ය. නීතිඥවරියක වන සාජානි අමරතුංග, උසස් අධ්‍යාපනය තුළ සාහිත්‍ය විෂයක් ලෙස හදාරා දැනට ජනප්‍රිය පුවත්පතක සේවයේ නිරත චතුරිකා දාබරේ, සිනමාව පිළිබද හැදෑරීමේ යෙදෙන කේ ඩී දර්ශන, විදේශ ලිපි පරිවර්ථනයේ යෙදෙන නිලක්ෂි බණ්ඩාර, විදෙස්ගතව සිට වුව ද රහට ලියන පුබුදු උඩටියවල එසේ මූලික අවස්ථාවේදී ම අප කර්තෘ මණ්ඩලයට එක් විය. නිතර සංචාරයේ යන එන රහට ලියන්නෙක් අවශ්‍යව තිබුණු මොහොතක ලියන්නෙක් වෙනුවට ලියන්නියක් මට මුණ ගැසුනේ ඔය අතරය. ඇය භාෂිනී නිමාෂා ය. ඒ සියල්ලෝම වචන ආරම්භයේ පටන් ලේඛක මණ්ඩලයේ සේවයන් කැප විමෙන් සිදුකරයි. පසුකාලීනව විදෙස් ලිපි පරිවර්ථනය උදෙසා අප ලේඛක මණ්ඩලයට එක් ව ඉන් අනතුරුව ටික කලකින් ම විවිධ ක්ෂේත්‍ර පිළිබද ලිවීමේ දක්ෂතා දැක් වූ දිලී ජයකොඩි අප හා එක් විය. පසුව කාටුන් ශිල්පිනියක් ලෙස උදේශිකා මධුමාලි ද අප හා එක් විය. මෑතක සිනමා විචාරය කිරීමේ කටයුත්තේ බර කරට ගනු ලබමින් අපට එක් වූ මලින්ත විතානගේ ද සිහිපත් කළ යුතු ය. එතැන් පටන් විවිධ ක්ෂේත්‍රවලට අදාල ලිපි සම්පාදනයේ යෙදෙමින් ඔවුහු අද ද ”වචන” බර උරින් දරන්නෝ ය.

මුල් ම අවස්ථාවේ පටන් ම ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙපළක් වන කපිල එම් ගමගේ හා ජයසිරි අලවත්ත ද අප සමග එක්වීම අපට තවත් ශක්තියකි. ඊට අමතරව ආරාධිත ලේඛකයන් ලෙස රන්සර බණ්ඩාර ද නවකතාව රචනයේ දී මනෝජ් ප්‍රසන්න ද විද්‍යා ප්‍රබන්ධය රචනයේ දී ලක්ෂි ඒකනායක ද අපට එක් විය. රශ්මික මණ්ඩාවලගේ විදෙස් සාහිත්‍ය ලිපි ද හංසිනී කාවින්දිගේ සාහිත්‍ය ලිපි පෙළ ද වචන තවත් සුන්දර තැනක් බවට පත් කරනු ලැබ ඇත. විදේශීය කෙටිකතා සිංහලයට පරිවර්ථනය කරමින් අපට සහය වන කේ ඩී චන්ද්‍රසිරි මහතා ද සිහි කළ යුතුම ය. එසේ ම අපගේ පෝඩ්කාස්ට් සදහා හඩ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් ද වරෙක ලිපි රචනයේ යෙදෙමින් ද යශෝධරා උඩංගමුව ලබාදෙන සහය ද අගය කළ යුත්තක් ම ය. ඊට අමතරව වරින් වර අපට සිය ලිපි සපයන ගමික නෙළුවල, තිළිණ ගාල්ලගේ,හර්ෂ ප්‍රභාත් කීරවැල්ල, ඉසුරු අචින්ත සිරිවර්ධන,නදීශානි දිලනිකා ජයසිරි, අෂිරු කරුණාරත්තන, සංජානා වඩුගේ, ධනුෂ්ක එස් විජේසිංහ සහ නම් නොලියූ සියල්ලන් ද අප ආදරයෙන් සිහිපත් කරන්නේ ඔවුන් ද මේ සිහිනය කරා යන ගමනට සවියක් බව පවසමිනි.

ඉතින්

මේ සිහිනය දැන් එදවස චේතිය සහ මම දුටු සිහිනය නොව, මේ සියල්ලෝ ම අද දකින සිහිනය යි. මෙහි තව සඵල කරගත යුතු දෑ බොහෝ ඇත. සෙමින් එහෙත් ඒ සියල්ල සඵල කරගන්නා අධිෂ්ඨානයෙන් යුක්ත දිගු ගමන අපි මේ මොහොතේ යමින් සිටින්නෙමු. කෙටි කලක් තුළ හරවත් ලිපි පළ කරමින් දෙසීය වන ලිපිය ද පළ කරන අතර වාරයේ අපගේ ”වචන” හා සම්බන්ධව අප කියවන ඔබට ද තුති පුදන්නෙමු. ඉදිරියේ දී ද අප සමග අන්තර්ජාල අවකාශයේ විවිද වෙනස් නව්‍ය අත්දැකීම් ලබන්නට ඔබට ආරාධනා ද කරන්නෙමු.

Top