අරගලයට ආයුධ සියයක් තනා අවසන් ය.

post-title

"වචන" යනු අතිශය ප්‍රභල දෙයකි. අප එසේ පවසන කළ ඔබ යම් විටෙක අවිශ්වසනියත්වයෙන් බලනු ඇත. "ඇත්තට ම 'වචන' වලට මොනාද කරන පුලුවන්?" ඔබ පෙරළා එසේ විමසන්නේ ඒ නිසාවෙන් විය යුතුය. සැබැවින් ම "වචන" වලට බොහෝ දේ කළ හැක. විශේෂයෙන් ම මිනිසාගේ සන්නිවේදන මාධ්‍යක් වන භාෂාව එකිනෙකා වෙත ගෙන යන වාහකයන් වන්නේ වචන ය. පරම්පරාවකින් පරම්පරාවකට අදහස්, ඥානය ආදිය සම්ප්‍රේෂණය කරන්නේ මේ "වචන" ය. සරලව ගතහොත් ඔබ කුඩා කළ සිට වැඩිහිටියෙකුගේ කාලය දක්වා ක්‍රමයෙන් විකාශනය වූ ඔබේ ජීවිතයේදී "වචන" මගින් බොහෝ දේ සිදුවූ බව දැන් ඔබට ම සිතා ගත හැකිය. ඒ සියල්ල ම ඔබට අලුත් යමක් ඉගැන්වීමට උපකාරී වූවා නොවේද? පවතින වැරදි යමක් වැරදි බව පෙන්වා නිවැරදි ක්‍රියා වෙනුවෙන් ඔබට මග පෙන්වූ ඒවා නොවේද?  එසේනම් "වචන" මගින් ඔබව වෙනස් කර ඇත.

පවත්නා යමක අඩු ලුහුඩුතාවලට විරෝධය දක්වා පැවැතිය යුතු යහපත ස්ථාපිත කිරීමේ සිස්ටමික ක්‍රියාවලිය අරගලයකි. එසේ නම් "වචන" වලින් මෙය සිදු කළ හැකි නොවේ ද? එබැවින් අප පවසන්නේ "වචන" වලට අරගල කළ හැකි බවය. නමුත් ඒ අරගල "ඇරීනාවේ" වූ කායික ශක්තියේ අරගලයන් මෙන් නොවෙයි. හිංසනික නොවෙයි. වචන වලින් කරන්නේ  බුද්ධිවාදී අරගලය. අරගලයක් වුව හිංසනික වනවාට වඩා හිංසනික නොවනවා නම් වඩා උචිත බව අපි විශ්වාස කරමු.

පවත්නා සිස්ටම් අවුල් ලෙහිය හැක්කේ ආයුධ අතට ගැනීමෙන් නොවන වග දැන් දැන් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතියි.  ලංකාවේ පැවැති ආයුධ සන්නද්ද අරගල වලින් ඒ අවුල් නො ලෙහුණේ එබැවින් ය. වඩා වැදගත් වන්නේ වැඩවසම් චින්තනයන්ට එරෙහි  සංස්කෘතික අරගලයකි. ගෝත්‍රික මානසිකත්වයන්ගෙන් මුදවා ගන්නට නම් පහර දීම නොව අවප්‍රාමාණික චින්තනයට එරෙහි බුද්ධි වාදී දර්ශනයන් හඳුන්වාදීම කළ යුත්තකි.

මෙවන් සංස්කෘතික - කලා අරගලයකට අත්‍යවශ්‍ය වන්නේ ඥානයට ආදරය කරන පරපුරක් බිහිකිරීමය. චින්තනයට එරෙහිව ප්‍රඥාවට ආදරය කරන පරපුරක් බිහිකිරීමය.

පත පොත පරිශීලනය දුරස්ථයැයි නූතන පරපුරට අවලාද දෙස් තබන වැඩිහිටි පරපුරක් සහ ඔවුන් සමග ජීවත් වෙන සයිබර් අවකාශයේ ක්‍රියාශීලී ව ලිවීමේ මෙන් ම කියැවීමේ ද යෙදෙන නූතන පරපුරක් සමග අපි මේ මොහොත ගෙවමින් පසුවෙමු. වැඩිහිටි දෝශාරෝපනය කොතෙක් වුව ද නූතන පරපුර ඥාන ගවේශනයෙහිලා විශිෂ්ට සමත්කම් දක්වයි. ඔවුන් තාක්ෂණය භාවිත කරයි. ඒ ඔස්සේ ලියයි. කියවයි. වර්චුවල් අවකාශයේ සාහිත්‍ය කලා සංස්කෘතික කාරණා සමග අදහස් උදහස් මතවාද ගොඩනගයි. වැඩවසම් කරණයෙන් උරුමවූ අමානුශික ගෝත්‍රික සමාජ ලක්ෂණ වලට පහර දෙන්නට ද පසුබට නොවෙයි. සිස්ටමික් වෙනසකට අවැසි වචන සයිබරය මුදාහරිමින් අරගලයකට දායක වෙයි.

කුඩා කණ්ඩායම් වශයෙන් හෝ නැතහොත් තනිපුද්ගලයන් වශයෙන් සිය අදහස් හා දැනුම බෙදාහදා ගනියි. බ්ලොග්, වෙබ් ආදිය දිනෙන් දින බිහිවෙයි. ඒවායෙන් ගැලෙන්නේ දැනුමය. ඒ පිළිබඳ අපට ඇත්තේ ප්‍රශංසනීය හැඟුමකි. එහෙත් ඒ බොහෝ අදහස් උදහස් මතවාද හා දැනුම් නිර්මාණ කලාප ද ඉබේම ධනවාදයේ ගොදුරු බවට පත්ව ඥානය බෙදීමේ මූලික අරමුණ යටපත්ව ගොස් ලාබ උපැයීම පරමාර්ථ වීම මේ මොහොතේ විශාල ඛේදවාචකයක් බවට පත්ව ඇත. අප "වචන" අරඹන්නේ මේ වැනි තත්වයක් පවතින අවකාශයක ය.

සිතිවිලි ක්‍රියාවක් බවට පත්වී අප අපේක්ෂා කළාටත් වඩා ඉක්මනින් "වචන" සයිබර් මාධ්‍ය ඔස්සේ ජනගත කරවන්නට හැකිව ඇත. අපගේ "වචන" කණ්ඩායම වටා ලංකාවේ විද්වත් පිරිසක් මෙන් ම ලිවීමේ ලාලසාවෙන් අවුත් ලැගුම් ගත් දුහුනන් ද ඇත. ඒ සියල්ලේම අපේක්ෂාව එක් දෙයකි. ඒ අදට වඩා සුන්දර හෙටක් වෙනුවෙන් මිනිසා ඔසවා තැබීමේ අරගලයට දායක වීමයි. "වචන" අරඹා දෙමසක් ගෙවෙන මේ මොහොතේ අපි ඒ අරගලය වෙනුවෙන් ආයුධ සියයක් තනා සයිබරයට මුදා හැර ඇත්තෙමු. ඒ සංස්කෘතික කලා මාධ්‍ය  පිළිබඳ පළකරන ලද   ලිපි වශයෙන් ය.  ඒ පිළිබඳ අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

"වචන" කියවූ බොහෝ පාඨකයන් අපට පොදුවේත් පෞද්ගලිකවත් විවිද අදහස් දක්වයි. මතවාද ගොඩ නගයි. ඒ අදහස් උදහස් ද අප ලිපි ආදිය මගින් සමාජ කථිකාවට බඳුන් කරමින් පසුවෙමු. "වචන" යනු එබැවින් ඥානය සංසරණය කරවන ඉසව්වක් බවට පත් කරන්නට අපට හැකිව ඇත. අපට අවශ්‍ය ව ඇත්තේ ද ඒ අරගලයයි. අනෙක මේ මොහොතේ අප ගෙවමින් හිඳින්නේ දීර්ඝකාලින සැලසුමක මූලික අදියරක් පමණි. අද ඔබ කියවන වචන හෙට ඔබ අසන වචන වීමේ අපේ ගමන් මග අනාගතයකට දීර්ඝ දුරක් යන ගමනකි. ඒ ගමන තුල අපට ඇත්තේ එකම අරමුණකි.

ඒ අදට වඩා සුන්දර හෙටක් වෙනුවෙන් මිනිසා ඔසවා තැබීමේ අරගලයට සක්‍රියව "වචන" මගින් දායක වීමය. ඉතින් ඒ වෙනුවෙන් අප අවකාශය ට මුදාහල ලිපි සියයක ආයුධ ඔබ ඔබේ සන්තක කරගන්නැයි ලියමින් මේ සටහන නිමා කරමු.

Top