ගැබ් ගත් යුවතියක වෙනුවෙන් සෑදුන අපේ සංස්කෘතික චාරිත්‍ර(568)

post-title

"අපේ අම්මා තව හාල් මිටක් හමාරක් තවකටකට උයන්ඩ වෙයි වාගේ"

ආච්චි අම්මට සතුටේ බෑ. ඉහේ මලක් පිපිලා වගේ.

"මයෙ දුවේ රං කුඹලා උඩලිපතේ ගෙයක් හදන්ට වගේ වලිකද්දී කාරණාව මේක තමයි කියලා මං දැනගත්තා දුවේ." ඔන්න අම්මත් කියනවා

" මටත් තේරුණා. ඊයේ මාත් දැක්කනෙ අම්මේ දොරකඩ දෙහි ගහ පූදිනවා"

යුවතියක් ගැබ් ගත්තා කියලා දැන ගත්තායින් පසුව මේ පුවත හා හා පුරා මුලින් ම කියන්නේ නැන්දම්මට හරි තමන්ගේ අම්මට. මේක චාරිත්‍රයක්. ඒකත් කීවේ හරිම රහසිගතව. කවුරුවත් අහල පහල නැති වෙලාවක් බලලා සුබ දවසක සුබ වෙලාවක තමයි මේ කටයුත්ත කරේ. හේනේ, පැලේ, කුඹුරේ, වැවේ, මංකඩේ, වගේ ම පොදු තැනක මේ කාරණාව කීම තහංචි වුණා. ගමේ මලගෙයක් කිලිගෙයකට ගිහිං ඇවිත් ඉන්නවනම් මේ කාරණාව කීවේ නෑ. මේක තහංචියකි. මේ කාරණාව නැන්දම්මට හරි අම්මට හරි කීවෙත් ව්‍යාංගාර්ථයෙන්.

ඉතිං ඔය කාරණාවේ දී චාරිත්‍ර රැසක් ගංගොඩේ තියෙනවා. දියණියට දරුවෙක් ලැබීමට ඉන්න බව කගෙනුත් වසන් කරගෙන නැන්දම්මා විසින් ඇයව ගමේ වෙද සීයා ලඟට අරගෙන යනවා. මේ ඔක්කොම කරන්නේ රහසිගතව. බුලත් හුරුල්ලක් දී ආව කාරණාව රහසේම වෙද සීයට නැන්දම්මා විසින් කියනු ලැබනවා. එහි දී වෙද සීයා දියණියගේ නාඩි පිරික්සා බලා නාඩි ශාස්ත්‍රය මගින් ගැබ් ගෙන දැයි නිවැරදිව පැවසීමත් සමඟ වෙද සීයාට ගෞරව කොට එතනින් නික්මෙනවා .

ඉන් පසුව පවසනුයේ තම සැමියාටයි. එයද පවසන්නේ සැමියාගෙ මව විසින්. ඔහු ඉන්න තැනත් එක්ක එයට ම ඔබින ව්‍යංගාර්ථයෙන් මෙම කාරණාව පවසනු ලබනවා. මට මතකයි අම්මා කියනවා

" ඈ පුතේ. එහෙනං තව ලියදි හත අටක් අලුතින් අස්වද්දන්න්ට වෙයි කියලා මයෙ දූ කියනවා ඔන්න. අපේ දූට මේ වංගියේ ගංකරයේ බිහි ඉඳුල් කරන්ටත් හැකියි."

නෑනට දරුවා ලැබෙන්න ඉද්දී මස්සිනා හිටියේ හේනේ. මට මතකයි අම්මා එදා කීවේ වෙනම කතාවක්

" මයෙ පුතා. කල් වේලා තියලා බව භෝග එකතු කරගත්තනං හොදා කියලා මයෙ දූ කියනවා "

වෙද සීයා මේ බව තහවුරු කරායින් පසුව සුදු ආච්චියම්මා පත්තිනි මෑණියන්ට, ගම්භාර දෙවියන්ට සහ අනිකුත් දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලලා භාර වෙනවා. ඕකට කියන්නේ ගංකරේ ඇත්තෝ " කළමුර නැමීම " කියලා. මේක තමයි ප්‍රධාන ම ගැබ්බර චාරිත්‍රය වන්නේ. මේ කළමුර නමන්නේ අම්මා නැතිනම් නැන්දම්මා විසින්. මේ සඳහා නිවසේ පිරිසිදු තැනක තිබෙන කිරි ගහක් තෝරගනු ලබනවා. ඒ තෝරාගැනීමේ දී පවා හොඳින් දෙහි ඇඹුල් ගා නා පිරිසිදු විය යුතු වුණා. මංගල  කළ මුර නැමීම කල යුත්තේ කපුටන් හැඩීමටත් පළමුව යි. මේ නිසා යාන්තමට කොස් ගහේ නැට්ට පේන නොපෙනෙන ගානට පාන්දර ජාමයේ මැටි කලය රැගෙන ගෙයි ඉදිරිපිට දොරින් එලියට පැමිණ තවත් දරුවෙකු සිටින ස්ත්‍රියක් සමඟ තමයි කළමුර නැමීම සිදු කල යුත්තේ. මේ කටයුත්තේ දී ගැබ්බර යුවතියගේ සැමියා සහභාගී වීම තහංචියකි. මෙසේ ගං ගෙදරින් රැගෙන යන නැවුම් කලය නැන්දම්මා විසින් කිරි ගහේ මුණින් අතට රඳවනවා. එසේ රඳවලා දෙවියන් යැද තම දියණිය ආරක්ෂා කරන ලෙස අයැද සිටිනවා. මින් අනතුරුව ගැබට සත් මාසය පුරන විට දෙවන කළමුර නැමීම සිදු කරන අතර තෙවන කළමුර නැමීම සිදු කරනුයේ මාස නවය පිරීමත් සමඟයි. මේ කාලය තුල ගැබ්බර දියණියට රංඩු සරුවල් කිරීම, අමනාප වීම සහ කළමුර බිදීම තහංචි වුණා. 

දරු ගැබ පිළිසිදගත් පසු දෙතුන් සතියකින් දොළදුක් ගාය වැළදෙනවා. මේකට විශේෂයෙන් ඇඹුල් ජාති තමයි කන්න හිතෙන්නේ. මේ බව ගංකරේ ඇත්තන් දැන ගත්තායින් පසුව සියල්ලන්ගේම සහයෝගය ලැබෙනවා. දොළදුක් ස්ත්‍රියක්ට කෑමක් දීම මහත්ඵල ආනිශංස ලැබෙන බව විශ්වාසයයි. ගැබ්බර ස්ත්‍රියකගේ පුරුෂයෙකු නිවසකින් ආහාරයක් ඉල්ලුවහොත් ඔවුන් දන්නවා මේ දොළදුක් කෑමක් බව. මෙය ඔවුන්ට ගෞරවනීය දෙයක් වුණා. මෙම කෑම වේල කෙනාගෙන් කෙනාට වෙනස් වුණා. කෙනෙකු දඩ මස්, මාලු වර්ග කෑමට රුචි වේ. තවත් කෙනෙකු අල වර්ග, දේව පූජා, දාන වේලවල්, සහ පලතුරු වර්ග කෑමට රුචි වේ. මේ හේතුවෙන් දොළදුක් කෑම එකෙනෙකාගේ රුචිකත්වය මත වෙනස් විය. ඒ කෙසේ වෙතත් ගං ගෙදර තිබුණු සිරියාව මෙන් ම ගමේ සිරියාවත් මෙම ගැබ්බර යුවතිය නිසා වැඩිවෙනවා මිසක් අඩුවක් නම් වන්නේ නැත. 

ගැබට මාස හතක් පිරීමෙන් පසුව කත්බැදි පිරිවරත් සමඟ ඇයව ඇගේ මහ ගෙදරට පිටත් වීම සාම්ප්‍රදායික ගැබ්බර චාරිත්‍රය යි. එහිදී සුබ නැකතක් ගංකරේ නැකැත් රාලගෙන් බලලා තමයි මේ ගමන සිදු කරන්නේ. මේ ගමනට වින්නඹු ආතා, වෙද මාමා, නැන්දම්මා ඇතුලු වැඩිහිටි බලවත් උදවිය කිහිප දෙනෙක් සහභාගි කරගන්නවා. කරත්තය ලෑස්ති කොට එහි තට්ටුව මතට පිදුරු දමා ඊට උඩින් මාගල් දමා ගැබ්බර යුවතියට පහසුව මත කරත්තය සූදානම් කරනු ලබනවා. එසේ සූදානම් කොට තවත් කරත්තයක් මාස තුනකට ඇති පමණ ආහාර කලමනා සියල්ල අඩුක්කු කරන අතර මේ සියල්ල සිදුවන්නේ නැන්දම්මාගේ දැනුම තේරුම් මතයි. මෙලෙස නියම දිනයේ දී ඇය රැගෙන පෙරහරින් ඇගේ නිවසට පිටත් වෙයි. මෙය නැන්දම්මාට ගෞරවනීය දෙයක් වුණා. දියණිය තම දරුවාට මගුල් පෙරහරින් රැගෙන ආ ලෙසම ඇය ගෞරවනීය ලෙස ඇගෙ මව්පියන් වෙත ලබා දීම එකල සාම්ප්‍රදායික ගැම් චාරිත්‍ර අතර වුණා. 

මෙලෙස ඇය ඇගේ දෙමාපියන් වෙත භාර දීමෙන් පසුව දැකුම් දිය යුතු වුණා. මේ දැකුම් දීමෙන් සංකේතවත් වුණේ තම බිරිඳ දරුවෙකු ලැබීමට සිටින බවත් ඇය මේ දිනයේ සිට දරුවා ලැබෙන තෙක් බලා ගැනීම හා උදව් පදවු අවශ්‍ය බවත් ය. ඒ වගේ ම මේ ගැබ්බර යුවතිය විසින් සිදු කල යුතු කාරණා රැසක් අතීතයේ ගංකරේ තිබුණා. ගැබ්බර යුවතියගේ පළමු මාස තුනක කාලය වෙන් වන්නේ බාරහාර වීම සදහා පමණි. එහි දී මෙම බාරය වන්නේ ගමේ කාටත් පොදු වූ සංහිඳේ නැතිනම් ගමේ දේවාලයේ. ඒ වගේ ම මේ ගැබ්බර යුවතියට තහංචි ගොඩකුත් පැටවෙනවා. ඒ තමයි ගංකරේ, හේන්, කුඹුරු, වෑ මංකඩවල් වල සිටීම කොන්ඩෙ තෙත පිටින් තියා ගැනීම, කොන්ඩය කඩාන මද්දහනේ, ගොම්මන් වෙලාවෙ ඉදීම, කේන්ති ගැනීම, මලගෙවල් වල යෑම, පිල්කඩ උඩ රෑ ගොම්මනේ ඉදීම තහංචි වුණා. ගොයම් හිටවීම, කුරුල්ලන් එලවීම වගේම අධික උෂ්ණ ආහාර ගැනීම( ගැට අන්නාසි, කබල්ලෑ මස්, අමු ගස්ලබු, තෝර කොල, වැලි මුව මස්, මී මිනි මස් ) කිලි ආහාර, ( ඌරු මස් ) වගේ ආහාරද ඒ තහංචි අතර වුණා. ඒ වගේ ම කොට බිම්මල් වර්ග සහ ලේන බිම්මල් වර්ගද ඒ අතර වුණා. ඒ වගේම උදෑසන පිසූ බත් අනුභව කල යුතු වූ අතර ඇය විසින් බිත්තර බිදීම, සතෙකුට පැටියකු බිහිවන ආකාරය බැලීම, ආයුධ මුවහත් කරන ආකාරය බැලීම, අමු මස් කපන ආකාරය බැලීම තහංචි වුණා. 

එදා ගංකරේ සාම්ප්‍රදායික ජන සංස්කෘතිය තුල තිබුණේ එකෙනාකට ගෞරව කිරීමේ හා බැදුණු සිරිත් විරිත් ගොන්නක්. ඒ ගොන්න තුල ගැබ්බර යුවතියකට වෙනම ගෞරවනීය චාරිත්‍ර හා විශ්වාසයන් තිබුණා. විශේෂයෙන් ගංකරේ තිබුණු වී බිස්ස පලමු කොටස ඉදුල් කිරීමට ඇයට අවස්ථාව ලැබුණා. ඒ වගේ ම පැහි පට්ට්ටල අලුතින් හදා ගත්තම ඒ වගේ හිදින මංගල කොහොඹ තෙල් වෙන් කරනුයේ ගැබ්බර යුවතියට යි. ඊට අමතරව පළමු වී අහුර වී බිස්සට එකතු කිරීමටත් ගව පට්ටිවල කුලුදුල් කිරි දෙවීමේ දී ලබා ගන්නා කිරි වලින් කොටසක් ලබා ගැනීමටත් ඇයට අවස්ථාව ලැබෙනවා. ගැබ්බර ස්ත්‍රියක් යනු ගංකරේට වාසනාවකි. ඇය සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස තමයි එදා ගැමියා විශ්වාස කලේ. මේ හේතුවෙන් ගමේ කාගෙත් ගෞරවය වගේම ආදරය ඇයට හිමි වුණා. ඇය තුල හැදෙනුයේ කුලුදුල් දරුවා සොදුරු දරුවෙක් විය යුතු ය. ඔහු සොදුරු දරුවෙකු වීමට නම් මේ පිරිසිදු චාරිත්‍ර වගේ ම සාම්ප්‍රදායික ගති පැවතුම් රැකිය යුතු වුණා. මේ හේතුවෙන් ආගම හා සම්බන්ධ වීම කාටත් පොදු වූ කරුණක් වුණා. 

දරුවා ලැබීමට කිට්ටු වන කාලය තුල දිනයක් ඇතුලත අංගුලිමාල පිරිත රැයක් එලුවන තුරා පැවැත්වීම සිරිතක්. මේ සියල්ල සාමූහික කටයුත්තක්. මේ සාමූහික කටයුත්ත අහවර කිරීම බාර වෙන්නේ ගමේ වින්නඹු ආතට. ඇය විසින් වැදුම් ගේ නියමාකාරයෙන් පිරිසුදු කොට කහ දියර දමා සෝදා දමනවා. මෙ කාර්යයක් සිදුවන කාලයට ගංකරේ සියලු දෙනාම මේ ගැබ්බර යුවතියගේ නිවසට එක්රොක් වෙනවා. මෙසේ රැස් වීමට හේතුව වූයේ ඇගේ මෙම කටයුත්තට උදව්වක් හා ශක්තියක් වීමයි. එදා අද මෙන් නොව එකිනෙකාට උදවු උපකාර කර ගැනීම කාගෙත් හදවතින් ම කල දෙයක් වුණා. දුකේ දී වගේම සැපේදිත් ඔවුන් එකා මෙන් ලග සිටියා. එකෙනාකට ගෞරවය දැක්වූවා. මෙසේ දරුවා ලැබීමෙන් පසුව දරුවාගේ මංගල " ඔවෑ " ගෑමෙන් පසුව වින්නඹු ආතා විසින් එලියට ඇවිත් ගැහැණු දරුවෙක් නම් " කම්බායක් "( වංගෙඩියේ කට පැත්ත පෙන් වීම ) ද පිරිමි දරුවෙක් නම් " අඹුඩ පොල්ලක්, බත් හැලියක්, උදැල්ලක් ( වංගෙඩියේ මොල් ගහ පැත්ත පෙන්වීම ) දැනුන් දීම සිදු කරනු ලබනවා. මින් පැසු ගැමි සන්නිවේදනයන් හේතු කරගෙන හූ තුනක් කීම, රබන් ගැසීම සිදු කරනවා. ගං ගෙදර වටේට කොහොඹ අතු එල්ලා වහලය මතට උදලු තලයක් හෝ මෝල් ගහ දමනවා. කොහොඹ අතු විෂබීජ නාශකයක් වීමත් දරුවා හෝ මව තනි වීමකට ලක් නොවීම හේතු කොටගෙන මෙම චාරිත්‍රය ගංකරේ උදවිය මෙසේ සිදු කරනු ලබනවා. 

මින් පසු එලබෙන චාරිත්‍රය තමයි දරුවාට නම් තැබීම. මෙහිදී නැකැත් රාල කැදවා සුබ වේලාවක් දවස තුල බලන ලබනවා. එහි දී නැකැත් රාල හොදින් ඵල දැරූ කොසෙල් ගසක් තෝරා ගෙන මෙය මැදින් කපා එහි බොඩය එන කාලය සහ ප්‍රමාණය බලා ඒ මත කාලය ගණනය කොට නම් තැබීම සිදු කරනු ලබනවා. මේ සියල්ල අවසන් වූ පසුවයි ගංකරේ ඇත්තෝ ගං ගෙදරින් නික්ම යන්නේ. මේ දරුවාගේ සහ මවගේ රෙදි සියල්ල රෙදි නැන්දට ලබා දෙනවා. මේක චාරිත්‍රයක්. රෙදි නැන්දා මේ සියල්ල දා දැකුම් වට්ටියද රැගෙන ගෙදරින් පිට වී යනවා. මේ දරුවාගෙ පියා විසින් තෑගි ලබා දීම සහ කිරි වස්සෙකු රෙදි නැන්දට තෑගි දීම හෝ ඒ සියලු තෑගි නිවසටම ගෙන ගොස් දී ඇයට තම බිරිද හා දරුවා රැක දීමට ගෞරවය දැක් වීම කුලය මොකක් වූ වද කාගෙත් නිර්ව්‍යාජ චාරිත්‍රයක් වුණා. 

මිනිසා පරිණාමය වීමත් සමඟ ඔවුන්ටම ආවේණික වූ සිරිත් විරිත් හා සංස්කෘතියක් ඔවුන් විසින් නිර්මාණය කරගත්තා. ඒ සාම්ප්‍රදායික ගැමි සංස්කෘතිය තුල තිබුණා වූ මිහිරි බැඳියාව සාරවත් සාරධර්ම ගොන්නක් එක්ක පන්සල සමග බැදී පැවතුණා. ඒ බැදුණ පවිත්‍ර සංස්කෘතිය තුල බිහි වූ මිනිසා සොබාදහමත් එක්ක ගනුදෙනු කලා. ඒ ගනුදෙනු තුලින් සොදුරු දරුවන් බිහි වුණා. එසේ දරුවෙකු බිහි වීමට පළමුව ඔවුන් කල සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් ඉහත මා කතා කලා. ඒ සෑම චාරිත්‍රයක් තුල ම තිබුණේ එකිනෙකා අතර තිබුණු සොදුරු හැගීම් ය. ඒ හැගීම් තුලින් දුක සතුට වගේ ම කරදරයක් දී පවා ඔවුන් ශක්තිමත් කලා. නමුත් එදා සහ අද අතර බිහිවන දරුවා තුල ඇත්තේ කුමන වෙනසක් ද. ඔබට සිතෙනවා ඇත. ඒ සොදුරු මිනිසුන් අතරින් නැගුනු දරුවා තුල තිබුණ ඒ මිහිරි සාරධර්ම ගුණවත්කම් අද දරුවන් තුල තිබේ ද. එසේ තිබේ නම් වැඩිහිටියන් සදහා ම පමණක් වැඩිහිටි නිවාස ඉදිවෙලා තිබෙන්නේ කෙසේ ද. දරුවෙකු ලැබීමේ සිට දරුවා වැඩීම දක්වා සමාජීය වගේම දෙමාපියන්ගේ ගුණවත්කම් හා සාරවත් සාරධර්ම ඔහුට ලබා දිය යුතු ය. එදා සුන්දර ගැමි ජීවන මිනිසා තුල මේ කාරණාවන් තුලින් ආත්මීය වශයෙන් දරුවා දෙමාපියන් සහ මිනිසා යන කාරණාවන් තුනම සමඟ බැඳී පැවතියා. මේ හේතුවෙන් ඔවුන් තුල සාම්ප්‍රදායික සංස්කෘතිය වගේම ගුණධර්ම වර්ධනය වුණා. එද ඒ සුන්දර අව්‍යාජ ගැමියාගේ සිනහව තුල පවා තිබුණේ ඒ ජීවන තෘප්තිය යි. අද ඔබෙත් මගෙත් නැත්තේ ද මේ කියන තෘප්තිය ම නොවේ ද?

Top