මෙන්න බලන් තල මත වරුණේ (399)

post-title

අතීතයේ ගැමියා තුළ තිබුණේ විවිධාකාර වූ විශ්වාසයන් හා ඇදහිලි ක්‍රමයකි. හේතු මාමාගේ නිවස පිහිටලා තිබුණේ අපේ ගෙදරට ගව්වක් දුරින් තිබුණු කදු ගැට්ටක් උඩ. ඒ ගෙදරට ගියාම ගමම ලස්සනට පේනවා. හේතු මාමා ජීවත්වුණේ තනියම. දරුවො හිටියෙ නෑ. ඉතිං යසෝ නැන්දා මිය ගියාට පස්සේ ඉදන්ම හේතු මාමා පුරුදු විදියටම හේන් වගාව කරගෙන ගියා. උන්දැගෙ ගේ ගාවම ලොකූ තල් ගස් වැටියක්ම තියෙනවා. එක තල ගහක ලොකූ මලක් පිපිලා. හරීම ලස්සනයි. කහ පාටට රේණු වැටිලා මුළු මිදුලම පලසක් එළලා වගේ. හේතු මාමගෙනම් හිතේ තිබුණේ ඒ මල මල ගැන කනස්සල්ලක්. මාමා විශ්වාස කරේ අපේ ගමට ම ලොකු විපතක් වෙන්න යනවා කියලා. මේ බව දැනුම් දෙන්න මාමා තල මල කවියක් කියනවා

අහස උසැති උස පමණෙකි තල මලකී

මුහුද කිරුළ දිය පිට යන තල ගොයෙකී

දේස දේසවල තියෙනා සත් නමෙකී

මෙවැනි අවතාර අම්මේ තල මලෙකී

තල මල පිපීම සිදුවන්නේ කලාතුරකිනි. තල මල පිපීම නිසා ප්‍රාදේශීය ඵල භෝග පාලු වන බව ගැමියන්ගේ විශ්වාසයකි. තල මලේ පෝෂණය සදහා තල් ගසේ ඇති සාරය හා අවට ඉඩම්වල සාරය ද උරා ගැනීම මෙයට ප්‍රධාන හේතුවයි. අවසානයේ ගස ද දිරාපත් වී කඩා වැටෙයි. තල ගසේ තවත් ලක්ෂණයක් විදියට තල් කොලේ අග උල්ව පිහිටීමත් හේතුවෙන් ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාවත්, ජල ගතිය ශාකයේ වැඩි වීමත් නිසා අකුණු ගැසීම් ප්‍රබලව සිදුවේ. මේ හේතුවෙන් ගැමියන් තුළ වූයේ තල් මලක් පිපීම මෙවැනි අනතුරු බහුලව සිදුවිය හැකි බවයි. 

තල මලක් පිපීම මොවුන් විශ්වාස කලේ විශාල නස්පැත්තියක්, අසුභ දෙයක් විදියට. මේ හේතුවෙන් තල මලක් පිපීමේ පුවත අසල ගම්වලට පැතිරවීමේ අදහසින් ගැමියන් විසින් තල මල සී පද ගයනු ලැබුවා.

බුද්ධම ගමේ සැප පොළොවේ ගස සැදුණා

එගස වටට පත් ඇවිදින් සෙවන වුණා 

කදන් තිහක් තිස් අතකට බේද වුණා 

බුද්ධම ගමට ඔබිනා තල මල පිපුණා

මේ සී පද තුල තිබුණේ තල මලේ ස්වභාවය, ඉඩම, ඉඩමේ හිමිකරුගේ නම වැනි සිදුවීම් ය. සරල බස් වහරක් යොදාගෙන මෙම ගයනු ලබන සී පද මාත්‍රා 30-32 ප්‍රබන්ධ වෙලා තියෙනවා.

සල් උයනක් සැදිලා වැට ආනන්දේ

පොල් උයනක් සැදිලා ඇත කිරින්දේ

මල් තොරණක් ගෙතුවා වැනි කුමන්දේ

තල මල් හතක් එක පෙළටම කිරින්දේ

හේතු මාමගේ පැලට ගියාම ඈදිගන්න දුන්නේ ලස්සනට රටා වියපු තල් පැදුරක්. ඒ පැදුර යසෝ නැන්දා හිටපු කාලේ හේතු මාමට පැල් රකින්න වියලා දීපු පැදුර කියලා මාමා දවසක් කීවා මතකයි. මේ පැදුරට තල ගහේ සුදු පාට ගොබේ කපලා තම්බලා පසුව අව්වේ වේලලා තමයි අරන් තියෙන්නේ. යසෝ නැන්දගේ මල්කම් ලියකම් අතරේ සුන්දර රටා පැදුරක් නිර්මාණය වෙලා තියෙන්නෙ එහෙමයි. දවසක් අපේ රත්තිට අඩප්පේ හැදිලා තල කොල පුච්චලා අලු දුන්නා.. එතකොට රත්තිට ඉක්මනට හොද වුණා. හේතු මාමා මේ ගොබ වේලලා පන්සලටත් අරන් ගියා. බණ පොත් ලියන්න



දෙරණ පිටා කටු ගස වැඩෙතා

බණ පොත් ලියතා ගුවනේ තිබෙතා

ගොබ කපතා අව්වේ ලවතා

සුදු කොල මදිතා බණ පොත් ලියතා

තල මල පිපුණත් එක්කම හේතු මාමගේ සතුට පහව ගියා. කනස්සල්ල එන්න එන්නම වැඩි වුණා මිසක් අඩුවක්නම් තිබුණේ නෑ. අසුභ යැයි ගමේ සැවොම විශ්වාස කල මේ තල මල ඉතාම සුන්දර මලක් කියලා තමයි මටනම් හිතුණේ. මේ හේතුවෙන් මාමයි ගමේ ඈයො ටික්කුයි එකතුවෙලා බුදු හාමුදුරුවන්ට පූජාවක් කිරීමටත් යොදා ගත්තා. 

අත්ත සොදයි තද වැස්සට ඉහලන්ට

පින්න සොදයි තද වර මදු අබරන්ට

ගොබේ සොදයි දස ධර්මේ ලියවන්ට

මේ මල සොදයි බුදු මගුලට ගෙන යන්ට

මෙම තල මල ඕනෑම පරිසරයක තුරු මුදුන් වලින් ඉහලට එසවිලා ලා කහ හෝ සුදු පාටකින් සුන්දරව දකින්න පුළුවන්. අවුරුදු 100 කට පමණ සැරයක් පිපෙන මේ සුන්දර මල් ගොන්න රෑන් අතරින් රූරා වැටෙන්නේ සොබාදහමේ විශිෂ්ට නිර්මාණයක් විදියට.

සද විලසින් සද මඩල ලෙසින් මෙම රැස් විලසින් තරු වට දිලෙනා

බද ගෙතුමෙන් තරු පබළු පෙළින් පෙළ කිනිති බරින් දස අත නැමුණා

නද කෙරුමෙන් වීණාවේ හඩින් බිගු රොන් ගනිමින් ගුවනේ කෙලිනා

සොද රුවනින් තල මල මෙලෙසින් සකි බල සතොසින් දොඹවෙල පිපුණා

මෙම තල මල පිපීමත් සමග විශාල ලෙස අවට ගම්වලින් කෘමි සතුන් මේ මල වෙත ඇදී එනවා. මෙය මොවුන්ට සුගන්ධයක් වූ වත් අපිට නම් මහා අප්‍රසන්න ගන්ධයකි. ඒ කෙසේ වෙතත් මෙම මල තුලින් පෝෂණය වන මෙම කුඩා සතුන්ට මාස 2-3 ක් පමණ යන විට මෙම මල පරවීමත් සමග වෙනත් භෝගයක් සොයා ගැනීමට සිදු වෙනවා. මේ හේතුවෙන් මොවුන් අවට තිබෙන භව භෝග විනාශ වීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් ගැමියන් තුළ තිබූ" ගම් 07 ක් පාළුවෙනවා " යන විශ්වාසය සාධාරණ යැයි සිතන්න පුළුවන්.

බඹරු එතා මල් පැණි සෙ වෙතා

රන් රජුගෙ කතා කරඩුවෙ දිගුතා

මෙවැනි ලතා මල් කැකුළු සොබාවට

හක්මන තල මල පිපුණු ලතා

මෙම තල මලට මෙන්ම අතීත ගැමියා තුළ තල ගස්ට ද ගෞරවයක් තිබුණා. බුදුන් පිදීමට මෙන් ම තම එදිනෙදා ජීවන රටාවට අවශ්‍ය වට්ටි පෙට්ටි, පැදුරු මෙන් ම වටාපත් පුස්කොල පොත් ලිවීම වැනි කාර්‍යයන් සදහාද මෙම පත් යොදා ගනු ලැබුවා. සමාජ ආර්ථිකය ගොඩනංවා ගැනීමට මහගු දායකත්වයක් මෙම තල ගස එදා දවස ලබා දී තිබුණා.

Dr. ජෝන් ඩේව්ඩ්ගේ " ඩේවි දුටු ලංකාව " කෘතියේ තල මල ගැන මෙසේ සදහනක් මා ලියා දක්වමි..

" තාල වර්ගයේ විශාලම වෘක්ෂය වන මීට අඩි 20-30 ක් වට අවාන් හැඩයෙන් යුතු කොළ ඇත්තේ ය. එක් වරක් පමණක් පිපෙන එහි මල කේතුරූපාකාර වේ. තල ගස නිතර නිතර දක්නට ලැබුණි....මෙහි මල් කොපුව ඝෝෂා සහිත පිපිරීමකින් යුක්තව වහා ඉහිරේ යයි කියති...මල් හටගත් විගස කොල එල්ලී වැටී මැරී යයි කියති..."

මෙහි මලේ දුර්ගන්ධය අතිශෝක්තියෙන් ඔහු මෙම ග්‍රන්ථයේ දක්වා ඇත. 

උතුම් මෙ අප මුණි බෝ මුල වැඩලා සිහිකරගත් පෙරුමන් බලයෙනි

දිනන්නේ ගොරතර මර සෙන් බිදහැර තුන් ලෝ එලිකර දුන් මෙබුදුන්

සතුන් සසර දුන් මුදනා දහම් ඵල දෙසමින් ඇති කළේ සග තෙරුවන්

මෙතුන් සරණ මගෙ සිරස දරාගෙන මදක් මෙතල මල වරුණ කියන්

මෙසේ විශාල තුරුගොමු අතරින් ඉහලට පෙනුන ගුප්ත එහෙත් අලංකාරවත් වගේම ගෞරවයක් ඇති මෙම තල මල ස්වභාව ධර්මයේ විශිෂ්ට වූ නිර්මාණයක් ලෙස හදුන්වා දීමට පුලුවන. එලෙසම ඒ හා බැදුණු ජන සාහිත්‍ය හා විශ්වාසයන් මත ගැමියා තුලින් බිහිවූ මෙම කලාව තල මල ගී ලෙස ජන සමාජයේ සම්මත වී ඇත. පන්සල හා එදිනෙදා අවශ්‍යතා තුලින් නිර්මාණය වූ මෙම තල මල ගී තුලින් නැගෙනුයේ හුදෙක්ම ජන සමාජයේ පැවති අව්‍යාජ ගැමීත්වයයි. 

Top