"One Arranged Murder" කියන්නෙ 2020 දි "චේතන් භගත්" ලියුව නවකතාව. මේක සිංහලයට පරිවර්තනය වෙන්නෙ මේ අවුරුද්දෙ අගෝස්තුවෙදි. ඒ සුපුරුදු පරිදි "දිලීප ජයකොඩි" අතින්. පරිවර්තනයේ නම ‘‘අවසන් කටයුතු දිල්ලියේ‘‘ දි. පරිවර්තක විසින් යොදන ලද නාමකරණය වුණත් සියයට සියයක් ම නිර්මාණයට ගැළපෙන්න භාවිත කරලා තියෙනවා කියලා මුලින් ම කියන්න ඕන. මොකද මේ සමස්ත නවකතාවේ යටි පෙළ කියවීම එක්ක ඒ මාතෘකාව පැහැදිලිව ම බද්ධයි.
කාගේ මරණ ද මේ සැලසුම් කරලා තිබුණෙ?
කතාව ඇතුළෙ ප්‍රධාන මරණ දෙකක් අපට හමුවෙනවා. එකක් ප්‍රේර්ණාගේ මරණය. දෙවැන්න ප්‍රේර්ණාගේ තරුණ බාප්පා ආදිත්‍ය ගේ මරණය. නවකතාව කියවපු ඕනෑම කෙනෙක් මං ඔය මුලින් අහලා තියෙන ප්‍රශ්නයට දෙන්නෙ ඔය උත්තර දෙක. නමුත් එහෙම උත්තර දුන්නොත් චේතන්ගේ මේ පොත නිකම් රහස් පරික්ෂක ෂානරයට තමයි දාන්න වෙන්නෙ. මං දැක්කා මේ ගැන ඉන්දියානු විචාරකයන් කිහිප දෙනෙක් ලියුව විචාර වලත් ඒ විදියට අදහසක් ඉදිරිපත් කරලා තියෙන බව.
නමුත් මට හිතෙන්නෙ නැහැ මේ මරණ දෙක සැලසුම් කිරීම ම විතරයි මේ පොතේ තියෙන්නෙ කියන එක. මේ ඇතුළෙ මේ මොහොත සහ දිල්ලියේ මධ්‍යම පාන්තික ඉහළ සමාජය තුල නිර්මිත ඒකාබද්ධ පවුල් වල ස්වභාවයත්, මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි මිනිසුන්ගේ සැබෑම හැසිරීමත් දකින්න පුලුවන්. චේතන් මේ පොත ඇතුළෙ ඒ ගැන සියුම් විනිශ්චයක යෙදෙනෙවා. මේක පොතේම එක ලයින් එකකින් අපිට අල්ලා ගන්නත් පුලුවන්.
"let me judge people’s weight too.”
මිනිසුන්ගේ බර කියන්නෙ ශාරීරික බර නෙවෙයි. එතනදි කතුවරයා අදහස් කරන්නෙ සමස්ත මනුෂ්‍යත්වය පිළිබඳ කියනෙක. ඒත් කොහොමද ඒ මිනිසුන් ගේ මනුෂ්‍යත්වයේ බර නිර්ණය කරන්නෙ. නිකම් බර කිරනවා වගේ තරාදියකින් කිරන්න බැහැනේ ඒක. අන්න ඒකට තමයි චේතන් මේ ප්ලොට් එක පාවිච්චි කරන්නෙ.
කතාව ආරම්භයේ දි වුණත් පළමු පරිච්ඡෙදයේ දි කේෂව් තමාගේ දෘෂ්ටියෙන් සව්රබ් ගැන කියනවා. ප්‍රධාන කතාකරුවා කොහොමත් කේෂව්. නමුත් එක් වරම දෙවන පරිච්ඡේදයට යද්දි කතාව කියන්නෙ සව්රබ්. එයා ඒක පටන් ගද්දිම කියනවා මේ වෙද්දි කේෂව් ඔයාලාගේ මොළ හෝදලා ඇති කියලා. ඇත්තටම මේක මනුෂ්‍ය ජීවිතවල බරපතල කාරණාවක්. අපි කවුරු විශ්වාස කරන්නද? කවුරු කියන දේ ද ඇත්ත වගේ ? ප්‍රශ්නවලට එදිනෙදා ජීවිතයේ දි පවා මුහුණ දෙනවා. අඩුම තරමෙ සමීපතමයන්ගේ රැවටීම් වලට පවා අපි හැමෝම එක් වරක් හෝ අහුවෙලත් තියෙනවා. ඉතින් මේ එක්ක අපි කොහොමද ඇත්තටම මනුෂ්‍යත්වයේ බර තීරණය කරන්නෙ?
කතා ආකෘතිය හා සාරය
කොහොමත් චේතන් කියන්නෙ ආකෘතිවල හිරවෙන ලේඛකයෙක් නෙවෙයි කියන එක චේතන් ගේ පොත් කියවලා තියෙන ඕනම කෙනෙක් දන්නවා. සුපුරුදු විදියට මේකත් එහෙමයි. මේ පොතත් හරියට ඉන්දියන් ක්ලැසිකල් මසාලා ඩ්‍රාමා එකක් වගේ තමා. මේකෙත් ත්‍රාසය භීතිය කෘතුහලය හාස්‍ය උපහාසය සතුට දුක ආදරය වගේ මේ හැමදේම තියෙනවා. වරින් වර කේෂව් සහ සව්රබ් ගේ දෘෂ්ටිකෝණ ඇසුරින් කතාව ගලා යන විදියට තමයි පොත ලියවෙන්නෙ. ඒ අතරතුරේ ඝාතනය පිළිබද සාක්ෂ විමසීම් වෙන වෙනම පරිච්ඡේද වශයෙන් දක්වනවා. ඒකෙන් පාඨකයාට අමුතු ම ආශ්වාදයක් ගේන්න චේතන්ට පුලුවන් වෙලා තියෙනවා.
කේෂව් සහ සව්රබ් කියන දෙන්නා හොඳම මිත්‍රයෝ. සව්රබ් විවාහ වෙන්න ඉන්නෙ දිල්ලියේ ඉන්න ‘ඉහළ මධ්‍යම පන්තියේ ඒකාබද්ධ පවුලක ඉන්න ගැහැණු ළමයෙක් වෙන ප්‍රේර්ණා එක්ක. නමුත් "එක් විවාහ සැලසුම් කිරීමක්" වෙනුවට කතාව ආරම්භයේ දි ම අපිට මුහුණ දෙන්න වෙන්නෙ "එක් සැලසුම් කළ මරණයකට." ඒ කවුරුන් හෝ ප්‍රේර්ණා ව තමන්ගෙ ම ගෙදර තුන්වෙනි තට්ටුවෙන් පහළට තල්ලු කරලා මරා දැමීමත් එක්ක. ඊට ටික දවසකට පස්සෙ ප්‍රේර්ණාගේ මරණයට සැක කරුවෙක් වෙන එයාගේ තරුණ බාප්පා ආදිත්‍යත් එයාගේ නිදි ඇදේදිම මැරෙනවා. ඒකත් සැක කටයුතු මරණයක්. හැබැයි ඔය මරණ දෙක ම ප්‍රේර්ණගෙ තාත්තා මුදල් බලය පාවිච්චි කරල යට ගහනවා.
එතනින් එහාට සමස්ත නවකතාව ම ගලා යන්නෙ මේ මරණ දෙකට වගකිව යුත්තෝ කවුද කියා සොයා බැලීම උඩ. මේක හොයන්නෙ ප්‍රේර්ණාව විවාහ කර ගන්න හිටපු සව්රබ් සහ කතාවේ ප්‍රධාන කතකයා වෙන කේෂව්. මොකද මේ දෙන්නාට තියෙනවා පොලිසියේ උදව් ඇතිව පවත්වාගෙන යන පුද්ගලික රහස් පරික්ෂක සංවිධානයක්. කොහොම උනත් අවසානෙ නොහිතපු ක්ලයිමැක්ස් එක්කට අපිව ඇවිත් තමයි කතාව අවසන් වෙන්නෙ.
එතකොට දිල්ලියෙදි අවසන් කටයුතු කළේ කාගෙද?
දිල්ලියේ ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන විශාල පවුලක් හැටියට තමයි ප්‍රේර්ණාගේ පවුල කතාව ඇතුළෙ නිරූපණය වෙන්නෙ. ඒක ඒකාබද්ධ පවුලක්. බැලූ බැල්මට එලියෙ ඉන්න කෙනෙක්ට ඒ කියන්නෙ කතාවේ මුල් භාගයේ දි කේෂව්ට සහ සව්රබ්ට උනත් මේ පවුල පේන්නෙ, එකිනෙකා අතර සමගිය තියෙන, ආදරය තියෙන, තද බැඳීම් වලින් යුක්ත තැනක් හැටියට. වෙන විදියකින් කියනවා නම් ඒක පරිපූර්ණ පවුලක්.
හැබැයි කතාවේ දෙවනි අර්ධය ඇතුළෙ මේ පවුලට ඇතුළත් වුනාම තමයි ඒ පිටතට පේන චිත්‍රය සහ අභ්‍යන්තරය කොයිතරම් වෙනස් ද කියලා පැහැදිලි වෙන්නෙ. එලියෙන් පේන දේ නෙවෙයි ඇතුළ. ඒ පවුල ඇතුළෙ කුමන්ත්‍රණ, රහස්, පළිගැනීම් , ඊර්ෂ්‍යාසහගත හැඟීම් පිරිලා තියෙන්නෙ. මේක ඔය ඉංදියාවෙ විතරක්ම නෙවෙයි, ලංකාව වගේ ආසියාතික රටවල ඉහළ මධ්‍යම පාන්තික පවුල් වල වගේ ම ගොඩක් විස්තෘත පවුල් වලත් සංකේතිය ඇත්තක්.
ඇත්තටම මේ තත්ත්වය දිගින් දිගට පැවතීම ඇතුළෙ ඔය කියන ඉහළ මධ්‍යම පාන්තික ඒකාබද්ධ පවුල් වලට තවදුරටත් පවතින්න බැහැ. ඒක බිද වැටෙනවා. ඒ පවුල හා සමාජ පන්ති ක්‍රමය සෙමෙන් මිය යනවා. ඔවුන්ගේ මනුෂ්‍යත්වය මිය යෑම සහ ඔවුන්ගේ මනුෂ්‍ය කමේ බර අඩුවෙනවා. අන්න ඒ මිය යෑම තමයි යටිපෙළ ඇතුළෙ චේතන් අපට ගේන්නෙ.
එහෙම බලන් ගියාම දිල්ලියේ දි අවසන් කටයුතුකරලා තියෙන්නේ ප්‍රේර්ණාගේ හෝ ආදිත්‍ය ගේ නෙවෙයි. මේ සමාජ ක්‍රමයේ. මේ පවුල් ආකෘතියේ. මේ සමාජ පන්තියේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය.
කොහොම උනත් චේතන් ගේ රසිකයන්ට මේ ගැඹුර තේරුම් ගැනීමට හැකිවන හෝ නොහැකි වන කවර තත්ත්වයකදි වුනත් කියවා විඳ ගත හැකි ආශ්වාදයක් ගෙන නවකතාවක් හැටියටත් One Arranged Murder නවකතාව හදුනාගත හැකියි.