කතාවේ අවසානයෙන් සියල්ල අවසන් නො වන "කියවා පිළිස්සිය යුතු කතාවක්" (651)

post-title

ඇතැම් කෙටි කතා අප මෙතෙක් දැන සිටි ලෝකයට තවත් යමක් එක් කරයි. තවත් ඒවා, කියැවූ විට ප්‍රකෘතිය ම යොදා ඇතියෙන් පහසුවක් දැනෙන්නට වෙයි. තවත් කතා, කියවා අවසන් වූ පසුවත් හිසේ රැව් දෙයි. ළඟ ළඟ කෙටි තරංග නංවයි. කතාවේ අවසානයෙන් සියල්ල අවසන් නොවේ. සුමුදු අතුකෝරලගේ "කියවා පිළිස්සිය යුතු කතාවක්" එවැන්නකි.

විවිධ අංශ කෙරේ නැඹුරු කුසලතා ඇත්තන්, මදක් ඉන් මිදී භාෂාවට පිවිසීමේ දී දක්වන හරඹ වෙනස් ය. ඒවා ඔවුන්ගේ ම පෙති වැනි අනන්‍යතාවක් උසුලයි. ෆියෙදෝර් දොස්තොයොස්කි, අරුන්දතී රෝයි ඉන් දෙදෙනෙකු පමණි. දොස්තොයොස්කි ඉංජිනේරුවකු වන්නට ඉගෙනගත් අයෙකු වන අතර ඔහුගේ කෘති මගින් එක ම දෙය පමණට වඩා විස්තර කිරීම් හෝ යලි යලි වර්ණනය වැන්නක් දැකිය නොහැක්කේ එනිසා යැයි සිතේ. රෝයි ගෘහ නිර්මාණ ශිල්පිනියක ව රචනයට පිවිසුණු අයෙකු වන අතර, ඇගේ මුල් කෘති පරිවර්තනය කර ඇතත්, භාෂාව පෙරී එන බැවින් ඒ තානය ඊට ගැනීම අසීරු වෙයි. 'බැමිණිතිකාලය' ලියූ අනුරාධ මහසිංහ ගණිතය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ අයෙකු වුවත්, ඔහුගේ නිර්මාණ අල්පෝක්තියෙන් පාඨකයා ඇඳ බැඳ තබාලයි. සුමුදු ද එවැනි අයෙකි. ඔහු අප හඳුනාගන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, කංචුක නිමවන්නෙකු ලෙසිනි. ඔහුගේ කෙටිකතා කියවන කල, එම විෂයන්ගෙන් ඔහු ලැබූ පෝෂණය නිර්මාණයට ජීවය කවා ඇති බව පෙනේ. සුමුදුගේ ලෝකයට අදාළ වස්තු, එනම් : සිතියම්, කටු චිත්‍ර , පිළිම, කවකටු, පාට පෑන්, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ පොත්, සායම් චිත්‍ර ආදිය කතා කිහිපයක ම හිස්තැන් පුරවයි.

මේ කතා සංග්‍රහයේ යුතෝපියානු සිහිනයක් ගැන ඉඟි දක්නා ලැබේ. ගතානුගතික චින්තනය හා නව චින්තනය සටන් වදිනු ද, නූතන චින්තනය නිදහස් අදහස් හා මුහු කරනු ද, මිනිස් ජීවිත සිරකර සිටින කඳු වළල්ලෙන් එපිට ලොවක් ගැන දැනටමත් චින්තන පදාස වෙනස් කර ගත් කතුවරයෙකුගේ මත පොලා පනිනු ද පොදුවේ අවධානයට ලක් වේ. ප්‍රේමය, ලිංගික ජීවිතය, විෂයෙහි කතුවරයා නව යමක් කියවන්නට ඉඩ හරී. ඔහු සිටින පොරොන්දු දේශයට පාඨකයා ගමන් ගන්නේ, අලුත් ව සිතන සමාජයක් පිළිබඳ ඉඟිවලිනි. 'අද්භූත කුමාරයා' ගේ අනූෂා, 'පිළිස්සිය යුතු කතාවක්' හි මේතිස්, 'ඉෂා' මෙන් ම, 'බෑඩ් ඈස්'හි ශර්මිලා ද සාහිත්‍ය නිර්මාණවල කාන්තා-සත්ව භූමිකා ස්ථානගත කරන සාම්ප්‍රදායික ආකාරයෙන් වෙනස් වෙයි. එය සාධනීය ය.

චරිතවල සිතිවිලි ලවා හෝ දෙබස් ලවා මිනිස් සිතට එන පළමු හැඟීම, ප්‍රකෘති ලෙස ම ඉදිරිපත් කිරීම මේ කතා සංග්‍රහයේ දැකිය හැකි අනෙක් ලක්ෂණයයි. එනම්, දෙවරක් පෙරා, සුදු හුණු ගා, ඉදිරිපත් කරනු නොව, සිතෙන සැටියෙන් ම ඉදිරිපත් කරයි. සාමාන්‍ය මිනිසෙකුට හිතෙන දැනෙන සිතිවිලි එආකාරයෙන් ම ඉදිරිපත් කිරීමට ආධුනික නිර්මාණකරුවන් මෙන් කතුවරයා ලැජ්ජාශීලී නොවෙයි. ඉෂා තමා වැළඳ සිප ගනු ඇතැයි පාන්දර ඔවුන් දෙදෙන පමණක් හිඳින මෝටර් රථය පදවන ආලෝකට ආසාව ද කුහුල ද බිය ද උපදී. තම බිරිඳගේ වෙනත් සබඳතාවක් ගැන සැල වූ පසු ලොයිඩ්ට ඇයව කපා මරාදමන්නට සිතෙනවා පමණක් නොව එය කරන අයුරු පවා හෙතෙම සැලසුම් කරයි. චන්දරේ කියන්න අකමැති බව දැනදැන ම ඔහුගෙන් පවුල ගැන පැන අසමින් වද දෙයි. ගැබ් ගත් අනූෂා රැගෙන පොලිසියට ගිය පවුලේ සාමාජිකයන්ට එදිරිව, ඈ පොලිස් නිලධාරියාට එය තමන්ගේ කැමැත්තෙන් වූවකැයි කියා තද බල වාග්පහරක් දෙයි. මෙවැනි සෘජු චරිතයක් සෝමරත්න බාලසූරියගේ 'කරත්තය' කෙටිකතාවේ ප්‍රධාන චරිතයෙන් ද හමුවේ. එසේම සුමුදුගේ කෙටිකතා කිහිපයක ම ප්‍රධාන පිරිමි චරිතය හෝ කථකයා , කතුවරයා වෙනුවෙන් පෙනී සිටී. 

බස හැසිරවීම, සිද්ධි සිහිකැඳවීම්, ආකෘතිය ආධුනික බවක් නොපෙන්වයි. දිව උලුක් නොවන, එකතැන ටැග් ගැහමින් නතර නොවන, එනම් අනෙක් වැකියක් හා නිතර අත් අල්ලාගන්නා බසක් සුමුදුට හිමිය. ඔහේ ලියාගෙන යනවාට වඩා කෙටිකතාවේ ඇරඹුමේ සිට අවසානය දක්වා කතාව සංවිධානය කර තිබේ. එබැවින් කුට්ටි පිටින් කතාවක් පොතෙන් ගලවා තැබුව ද හැඩය වෙනස් නොවේ. 

"ඇය නිහඬව ම පොකුණේ නෙළුම් පතකට වැටුණු පළමු වැහි බිඳ දෙස බලාගෙන සිටියාය. එහෙට මෙහෙට කැරකී නෙළුම් පතෙන් බේරී පොකුණට වැටෙන්නට ගත් උත්සාහය අසාර්ථක වුණු ඒ වැහි බිඳුව නෙළුම් පතේ ගොටුවේ නැවතී අනෙක් වැහි බිඳු තමාව ගලවා ගැනීමට පැමිණෙන තෙක් ඉවසා සිටීමට තීරණය කළේය"(අද්භූත කුමාරයා)

එහෙත්, බොහෝ කතාවලට පාදක කරගන්නා ප්‍රේමය, විරහව, ඉන් උපන් ස්මරණ, වේදනා දියකීරීම් ආදියෙන් එපිට වෙනත් දෑ ද වස්තුවිශයට යොදාගන්නේ නම් මැනවි. ඇතැම් කෙටිකතා උච්චස්ථානයකින් අවසන් වන අතර, තවත් කතා කුමක්දෝ හිඩැසක් ඉතිරි කරයි. පූර්ණ මට්ටමට ළඟා විය හැකි ලකුණු පෙන්වන කතා, මැදදී වෙනතකට හැරෙයි. කෙසේ හෝ ඇතැම් කතා, අවසන් කළ යුතු උචිත තැන, කතාව ඉල්ලා සිටින තැන කතුවරයා නොනවත්වයි. 'හිස සුන් වීනස් පිළි රුව' එවැන්නකි. පිළිමයේ හිස කතාවසානයේදී මේඝට ලැබෙන තැනින් නැවතූයේ නම් පූර්ණ බව අපගේ අදහසයි. මේ ලකුණු සුමුදුගේ අනන්‍යතාව වීමට ද ඉඩ ඇති බැවින් එසේ නොවී මෙසේ ලියන්නැයි කීමට යාම ද සුදුසු නොවෙයි. මේ කතාවේ ම එක් දිගු වාක්‍යක් උපුටා පහත එල්ලමි. කෙටිකතාව ඉලක්ක කරගන්නා මීට වසර තුන හතරකට ඉදිරි කාල වකවානුවට මෙන් ම නූතනයට ද බලපෑ දෑ හා ඒ අනුගත දේශපාලන පසුබිම ද කතාවේ ප්‍රධාන චරිතය වන මේඝගේ දිවියේ උඩු යටිකුරුවීම් හා කතුවරයා සමපාත කරයි.

"පාස්කු බෝම්බ ප්‍රහාරය, ඒ පසුපස ආ කොරෝනා වසංගතය, දෙදාස් විසිහතරේ ලංකාව ආශ්‍රිතව ඇති වූ ප්‍රබල ධූම කේතු වර්ෂාව සහ එයින් ලංකාවේ දකුණු සහ බටහිර වෙරළ තීරයට සිදු වූ සුළු අලාබ හානිය, දෙදාස් විසිහතේ නොනවතින වැහි අවුරුද්ද වැනි විවිධ දේ තමා අවට කැරකෙද්දී, සාර්ධා සහ තමන්ගේ විවාහය දෙදරා යාම, තම පියාගේ සදාකාලික නික්ම යාම, තමන් විසින් නිර්මාණය කළ පළමු චිත්‍රපටය 'නිරිත දිග මෝසම් සුළං' වෙනුවෙන් කල්කටා සහ ටෝකියෝ සිනමා උළෙලවල් වලින් ලැබුණු සම්මාන, ලංකාවේ හොඳ ම සිනමාකරුවා ලෙස සම්මාන ලැබීම, තමන්ගේ ජීවිතය තලා පෙළා හමා ගිය තාරකා නමැති ගෘහ නිර්මාණ ශිල්පිනියගේ සුළි සුළඟ සහ කල්පනා සමඟ ගත කළ භාවනාමය අවුරුදු එකහමාර ගැන මේඝ එක සිතිවිලි ධාරාවක් ඇමිණුවේය"

'කියවා පිළිස්සිය යුතු කතාවක්' කෙටිකතා සංග්‍රහයේ සාධනීය ම කෙටිකතාව, "මිලා ද බෑඩ් ඈස්" කතාව යැයි කීම නිවැරදි වනු ඇත. ගැහැනු ළමයෙකු යැයි පාඨකයා වරදවා වටහාගන්නා ශර්මිලා, එළිච්චියෙකි. ඈ නිරෝධගේ අතීත ප්‍රේම සිහිවටන එකින් එක වෙත පැන ඒවා කා, කඩා, වනසයි. මේනිසා පළමුව කිපුණත් පසුව ඔහුට සහනය දැනෙන්නට ගනී. කතාවසානයේ දී එළිච්චියට සුපිරි තරු මාවතේ යන්නට පාර සැකසේ.

බොහෝ ප්‍රධාන චරිතවලට සහයකයෙකු සුමුදු කතාවට යොදාගනී. හරියට සංස්කෘත නාට්‍යවල උදයන රජු වෙනුවෙන් පෙනී සිටින විදූෂක මෙනි. කතා සංග්‍රහයේ නම්, ලොයිඩ්ට චන්දරේ මෙනි, නිරෝධට සරණෙ අයියා මෙනි, කීත්ට නිවුටන් මෙනි. චන්දරේ සිය බිරිඳගේ පෙම්වතාට සිය නිවසේ නවාතැන් දීමට තරම් මිනිසෙකු වීම, අපට සිහි කළේ ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ 'දරුවා' කෙටිකතාව සහ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකතාවයි. 'දරුවා' කතාවේ ගංගු නම් තැනැත්තා, ගෝමතී නම් වෙසඟනට වෙනත් පුරුෂයකුගේ මාර්ගයෙන් ලැබෙන දරුවා තමාගේ ම බවට පිළිගනී. ඇය ගැන අහිතක් නොසිතයි. ඇනා කැරනිනාහි, රොන්ස්කිත් කැරනිනුත් යන දෙදෙනා ම ඇනාගේ කාමරය අසළ අසරණව එකිනෙක හමු වී සිටියදී, කැරනින් රොන්ස්කි කෙරේ කරුණාභරිත වෙයි. එම සිනමාපටයේදි නම් ඔහුට වැළපෙන්නට සිය උරහිස දී වැළඳගෙන සනසයි.

ඉහත කී කෙටිකතාව ආරම්භය ඇලන් පෝ සහ ජී.බී.සේනානායකගේ කතා මෙන් ද, රහස් පරීක්ෂක කතා මෙන් ද ස්වභාවක් දරයි. භීතිය මවයි. ලොයිඩ් සහ චන්දරේ වත්ත අස් කර තැබූ ගින්නෙන් ආ දුම, ජී.බී. සේනානායකගේ "කලහය" කෙටිකතාවේ කලහය සංඛේතවත් කරන දුම මෙන් කතාවේ කොටසක් බවට පත් වේ. කතාවසානයේදී ලොයිඩ් පිහිය චන්දරේට දුන්න ද ඔහු වෙනස් වූයේද යන්න සිතීම කතුවරයා පාඨකයාට බාර කරයි.

"යෝධ ගල් පිළිමය" බෙල් සිහිකරන්නකි. එක් පසෙකින් පිළිමයකි. අනෙක් පසින් බ්‍රිතාන්‍යයන් ඇසුරුකිරීම නම්බුවකැයි සිතූ අතීත සමාජයකි. කතාවසානයේ බුදු බඳෙන් පුරුෂ ලිඟුව මවා ඒ යට කීත්ව සිටවීම, සංඛේතයකි. ගැහැණු ළමයා සොයන ඔහු ඒ සෙවනැල්ලට යට වී ඇත. ගුණදාස අමරසේකරගේ "ගල් පිළිමය සහ බොල් පිළිමය"කතාවෙන් පිළිමය කුමක්දැයි නිශ්චිතව දක්වතත්, මෙහි කතුවරයා එය නාමිකව නොදක්වයි. අමරසේකරගේ පිළිමය හා බැඳුණු කැරලි සහිත පසුබිම මෙන්, මෙහි පසුබිම ද බ්‍රිතාන්‍ය පරිපාලනයට ලක් වූ මෙරට ඊට අනුගත වූ සැටිත් එයින් සමාජයේ වූ වෙනස්කමුත් අනුව සැකසෙයි.

'ඉෂා' චේතන් බගට් ගේ " Three Mistakes of my life" කෘතිය මෙන්, තමන් දිවිනසාගන්නා බව කියා කතුවරයාට එන දුරකතන ඇමතුමකින් ඇරඹේ. දේශකයෙකුගේ ලීලයෙන් තරුණියට උපදෙස් දෙන ආලෝකට වඩා ඉෂා ඉදිරියෙන් සිටී. දිවි නසාගන්නා අයෙකුට පාඩම් කියාදෙන්නා සේ දේශන පවැත්වීම යුක්තියුක්ත දැයි අපට සිතාගන්නට සලස්වන කතුවරයා ඉෂා වින්දිත, කම්පිත, හඬා වැළපෙන තරුණියක් ද නොකරයි. මේතිස්, අනූෂා, හිරණ්‍යා ද එසේ ය.

මේ කෙටිකතා සංග්‍රහය පුරා කතුවරයා මවන කාන්තා චරිත ඉදිරිගාමී නිදහස් චින්තන හදැති, එය ක්‍රියාවෙන් ම පෙන්වන අය වීම ද විශේෂයකි.

Top