Little Red Riding Hood ඉංග්‍රීසි ළමා කථාවක්. ඇතුළෙ වෙනත් අර්ථ හොයනවා නම් ටිකක් කීරි ගැහෙන කථාවක් කිව්වත් වැරදි නෑ. ඔළුවෙ ඉදන් පිට වැහෙන විදියට බිම දක්වා එල්ලෙන රෙද්දක් එල්ල ගත්ත අමුතු ළමයෙක් ආච්චිව බලන්න යද්දි වෙච්ච සිද්ධියක් තමා මේකෙ තියෙන්නෙ. මේ ගෑණු ළමයගෙ ඇඳුම අපිට ටිකක් නුහුරු වුණත් සුපර් මෑන්ලට හුරු වුණු අයට එහෙම අමුතුයි කියන්නත් බැහැ. Hood කියන නම රොබින්හුඩ් ට තිබුණා. ඒත් ඒ හුඩ් සහ මේ හුඩ් දෙකක්. ආච්චි තෑගි දීපු රතු පාට වෙල්වට් රෙද්දෙන් කළ සලුව හින්දයි මේ නම වැටුණෙත්. මේ සලුවට කියන්නෙ Cloak කියලා. ඇය ආසා කළා යන එන හැමතැනක ම මේ ඇඳුම ඇඳන් ඉන්න.
ඔබත් මාත් කථාව දන්න හින්ද නැවත කියන්න අවශ්‍ය නෑ. ඒත් මේ කථාව ගැන නිරීක්ෂණ කිහිපයකට යමු. මැගේ සලුව රතු පාටයි. රතු කියන්නෙ චිත්‍ර වල මූලික වර්ණයක් වගේ ම උෂ්ණ වර්ණයක්. ශෘංගාරාත්මක වර්ණයක්. මේ නිසා කථාවෙන් නොකියා කියන්නෙ මනෝ විද්‍යාත්මක පක්ෂයක් කියලත් සමහරු හිතන්න පුළුවන්. සිතාගැනීම ඔවුන්ට අදාල නමුත් එහෙම මත තියනවා කියලාවත් දැනගැනීම වැදගත්.
මේ කථාවෙ වෘකයා නියෝජනය කරන්නෙ ස්ත්‍රී සිතේ ලිංගික ආශාව ද? හදිසියේ හමුවණ ආගන්තුකයෙක් සමග කථා බස් කිරීමට එපා කියලා අම්ම කිව්වත් ඇය ආසා කළා ඒ දෙයට. අනික් අතින් ඇයි වෘකයා හමු වූ වෙලේ ම ඇයව ගොදුරු කරගත්තෙ නැත්තෙ. මහ ඝන කැලෑවෙ ඇය හිටියෙ මල් නෙළමින්. කිසිවෙක් නෑ ඇහෙන පෙනෙන මානයෙ. වෘකයා නියෝජනය කළේ සුරූපී-මෘග කථාවේ මෘගයා ද? කුස පබා කථාවේ කුස ද? ෆ්‍රොයිඩ් කියන ආදරයේ විරූපී පක්ෂය ද?
ආච්චම්මගේ නිවසට යන වෘකයා ඇයව ගිල දමනවා. මේ ගිලින්නෙ චිරන්තන සමාජීය ආකෘතික ගත මිනිසා බවටත් හිතන්න බැරිද? ඒත් ගැහැණියක්. වෘකයා පිරිමියෙක්. පිරිමියා විසින් ස්ත්‍රිය සම්බ්න්ධයෙන් කරන මෙවන් ප්‍රතිරෝධතා පුරුෂ මූලික සමාජය නමැති තේමාව ඔස්සේ හිතන්න අවශ්‍ය කරුණු සපයන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ම දැරිය කෑ ගහද්දි පොරවක් අතින් අරන් දිව එන්නෙ ඇගේ පියා. වෘකයාගේ බඩ පළලා ඇයවත් ආච්චිවත් බේරගන්නෙ ඔහුයි. ඊස්කිලස්ගෙ ඔරිස්ට්‍රියානු නාට්‍ය ත්‍රිත්වයෙ නාට්‍යයක එන ඉලෙක්ට්‍රා සංකල්පය ද මේ නියෝජනය වෙන්නෙ?
Little Red Riding Hood සිංහලයට හැරවුවම රතු හැට්ටකාරී. නියම අර්ථය එය නොවුණත් ලංකාවට හරියන විදියට හැදුවොත් එහෙමයි. රතු හැට්ටකාරි කිව්වම මතක් වෙන්නෙ ලූෂන් බුලත්සිංහලගේ වේදිකා නාට්‍යය. මේ නාට්‍යයේ සිටින තරුණිය ප්‍රේමය, රාගය වගේ ම අසාධාරණත්වයට එරෙහිව සටන් වැදීම, විප්ලවකාරීබව සියල්ලේ එකතුවක්. ඒ හින්දා හැට්ටෙ රතුවීම සාධාරණයි. මේ ගැන බන්දුල ගුණවර්ධන දරන අදහස දෙසට යොමුවෙමු--
"රතු හැට්ටකාර වර්තමානයේදී කොම්පැනි අයිතිකාරයගෙ ගෙදරට කිරිගේන කිරිකාරිය යි. අතීතයේ දී ඈ පහත් ම කියලා සලකන සැඩොල් කුලේ කෙල්ලක් වූ අසෝකමාලා. අනාගතයේ දී ඈ 14වන කුවේර රජුට පස්ගෝරස සපයන මෙහෙකාරිය යි. මේ කුන්කාලයෙදි ම ඈ සිය ගති පැවතුම් දක්වන තනි චරිතයක් නෙමේ. ඈ සදාතනව පෙළන පීඩිත පන්තියේ සමාජයේ අසාධාරණයෙන් අනාථ වූවන්ගේ සංකේතය යි."(1975)
උපේක්ෂා නුවන්ශ්‍රී ගේ සර්පයාගේ දියණිය කෘතිය පිළිබදව කේ. කේ. සමන් කුමාර ලියන ලිපියක් අවසන් කරන පාඨයකින් රතු හැට්ටකාරිගෙන් සමුගනිමු.
"සාහිත්‍යය නම් පැරණි මිත්තනිය ඇගේ කර්මාන්තය සමගින් ගිල දමා හමාර ය. වෘකයා බෙණන බසට මෙසේ අසන්නට වත්මන් පුංචි රතු හැට්ටකාරියට පිළිවන් විය යුතුය.
‘‘ආච්චියෙ ආච්චියෙ ඔය ඇස් මොකද ඔය තරම් රතු
ආච්චියෙ ආච්චියෙ ඔය දත් ඇයි ඔයතරම් උල්
ආච්චියෙ ආච්චියෙ ඔය තරම් ඇයි නිය උල්---“
මන්ද වෘකයාගේ බඩ පලන්න දර කපන්නකු පේ තෙක් මානයක නැති බැවිනි." (බූන්දි)