ඇනා කැරනිනා නවකතාවේ ආරම්භක වාක්‍යය (174 වන ලිපිය)

post-title

බොහෝ විශිෂ්ට සාහිත්‍ය කෘතිවල ආරම්භක පරිච්ඡේදය, වාක්‍යය යනාදිය සලකා බලනවිට එය සමස්ත කෘතියේ ස්වභාවය පෙන්නුම් කරන්නා වූ සංඥාවක් වශයෙන්ද කෘතියට පසුබිම් වූ සමාජීය හා පාරිසරික වටපිටාව හුවා දක්වන මූලික අඩිතාලමක් මෙන් ද කටයුතු කරයි. ලියෝ තෝල්ස්තෝයිගේ මුල්කාලීන නවකථාවල එනම් ඔහු තරුණ කාලයේ ලියූ කෘතිවල මෙකී ස්වභාවය අපැහැදිලි වූවද, පරිණත අවධියේදී රචිත කෘතිවලදී මේ බව පැහැදිලිව දක්නට ලැබේ.

තෝල්ස්තෝයි ඇනා කැරනිනා නවකථාව ආරම්භ කර ඇති ආකාරය ද විචාරක අවධානයට යොමු වූ මාතෘකාවකි. ඔහු ඊසොප්ගේ උපමා කථා, පංචතන්ත්‍රය, හිතෝපදේශය වැනි කෘතිවල කථාවලදී මෙන් හරය පළමුව කියන්නා සේ අභිප්‍රේරිත සංක්ෂිප්ත හරය ගොනුකරයි. මේ සම්බන්ධව කේ. ජයතිලක දරන මතය විමසා බලමු.

“ධම්මපදට්ඨ කථාවේ නැතහොත් ජාතකට්ඨ කථාවේ කථා වස්තූන් ආරම්භ වන්නේ ඒවාට පදනම් වූ ධම්මපද පාලියේ නැතහොත් ජාතක පාලියේ ගාථා පදයක් ගෙනහැර දැක්වීමෙනි. නොයෙක්විට මෙම තනි පදයෙහි කතාවෙහි දක්නට ලැබෙන සමස්ත සාරය ගැබ් වෙයි. එසේ ම ඇනා කැරනිනා ආරම්භ වන්නේ ද එම නවකථාවේ සමස්ත සාරය ගැප් කරගෙන ඇතැයි සිතෙන පහත සදහන් ජේදයෙනි.

‘සියලු වාසනාවන්ත පවුල් එකිනෙකට සමාන වේ. සියලු අවාසනාවන්ත පවුල් ඒවාට ම විශේෂ වු අවාසනාවන්ත භාවයකින් යුක්තය.’ ” (කේ.ජයතිලක, ‘ලියෝ තෝල්ස්තෝයි හා ඇනා කැරනිනා’, නවකතාව හා සමාජය.)

මෙසේ කථා සාරය ඉදිරිපත් කිරීමේ ක්‍රමය තෝල්ස්තෝයි මීට ප්‍රථම රචනා කළ ක්‍රොයිට්ෂර් සොනාටා කෘතියෙහි දක්වා තිබේ. පල්ලිය තුළ ස්ථාපිතව ඇති මතවාදය විවේචනයට ලක්කරමින් මෙය රචනා කිරීම නිසා පල්ලියේ දෝෂ දර්ශනයට ද ඔහු ලක්විය. ක්‍රොයිට්ෂර් සොනාටා කෘතිය ඇරඹෙන්නේ ද බයිබල් පාඨ කිහිපයක් සමගිනි. (“ගෝලයෝ උන්වහන්සේට කථාකොට ස්ත්‍රියත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳ යැයි කීවෝය. එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය හැම දෙනාට මිස මේ කීම පිළිගන්ට බැරිය.”) ඇනා කැරනිනා නවකථාව ක්‍රොයිට්ෂර් සොනාටාවට පසුව රචනා වූවක් වුවද ඊට බයිබල් විචාරකයන් ලෙස හැඳින්වෙන පිරිස් ක්‍රිස්තියානි සදාචාරාත්මකබව පිළිබඳ සිය මත පළ කර ඇති බව දර්ශන මේදිස් පවසයි.

“ජේම්ස් ටවුන්සෙන්ඞ් නමැති බයිබල් විචාරකයෙක් ලියනව, තෝල්ස්තෝයිගේ නවකථා මඟින් පිළිබිඹු වෙන්නේ ක්‍රිස්තියානි සදාචාරයේ වටිනාකම ලු! ඇනා කැරනිනා මඟින් ධ්වනිත වන්නේ හත්වෙනි පනත කැඩීමේ ආදීනව ලු! පනත කඩන්න ඇනා පෙලඹුනෙත් දිවි නහගන්න ඇයට සිද්ධ වුනෙත් කොයි වගේ සමාජ වටපිටාවක් හමුවෙද කියන යථාර්ථයයි තෝල්ස්තෝයි ඥානනය කෙරුවෙ ”

(දර්ශන මේදිස්, තොල්ස්තෝයි-පුනර් කතිකාවතක්”, සංකථන - අගෝස්තු 01 කලාපය.)

හත්වෙනි පනත වනාහි බයිබලයේ ඇතුළත් දස පනතින් එකකි. එහි සඳහන්වන්නේ කාම මිථ්‍යාචාරයෙහි ආදීනව පිළිබඳව ය. මේ අනුව දස පනත ස්ථාපිත කතෝලික මතවාදය තුළ පල්ලියේ පූජක පක්ෂය තෝල්ස්තෝයිගේ නිර්මාණ ඉලක්ක කරගනිමින්ආගමික ප්‍රචාරයක් ගෙනයාමට උත්සාහ කළ බැව් පැහැදිලිය. තෝල්ස්තෝයි සිය පරිණත අවධියේ රචනා කළ කෘති මඟින් ඉහත කී බයිබල් පාඨ විවේචනය කිරීම මීට ප්‍රාරම්භ වූ හේතුව යි.

ඇනා කැරනිනා කෘතියේ පෙර සඳහන් කළ ජේදයෙන් පසු එන වාක්‍යය පහත දැක්වේ.

“ඔබ්ලොන්ස්කි නිවස සහමුලින් ම අවුල් වී ගොසින් ය.” (ලියෝ තෝල්ස්තෝයි, ඇනා කැරනිනා. පරිවර්තනය ස්වර්ණකාන්ති රාජපක්ෂ)

කතුවරයා පරිසර වර්ණනාවකට හෝ තත්කාලීන රුසියානු සමාජ පැවැත්ම පැවසීමකට හෝ නොයා ක්‍ෂණිකව කථාව අරඹයි. එසේ ම ඔහු ප්‍රථමයෙන් කථා නායිකා, ඇනා කැරනිනා පිළිබඳව පැවසීමට නොයා ඇයට සමීප සබඳතාවක් දක්වන පවුල් සංස්ථාවකින් කථාව අරඹනු දැකිය හැකිය.තේමාවට අනුව ඇනාගේ චරිතයෙන් කථාව ආරම්භ වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිටින පාඨකයා ඔබ්ලොවුන්ස්කි යනු කවරෙක්දැයි සිතීමට පටන් ගනී. ඔබ්ලොවුන්ස්කි හා ඇනා අතර පවත්නා ඥාති සබඳතාව වටහා ගැනීමට එතැන් සිට පිටු දෙකක පමණ දුරක් ගමන් කිරීමට පාඨකයාට සිදු වේ. ආරම්භක ජේදයෙහි දැක්වෙන වාසනාවන්ත හා අවාසනාවන්ත පවුල් පිළිබඳ වැකියට අනුව සහ ඔබ්ලොන්ස්කිගේ නිවසෙහි ස්වභාවය අනුව මෙයින් ගම්‍ය කරන අවාසනාවන්ත පවුල නම් ඔබ්ලොන්ස්කි පවුල විය යුතු යැයි පාඨකයා සිතයි. නමුත් එම අදහස නවකථාව මධ්‍යයෙහි දී වෙනස් වෙයි.එසේ ම ඔබ්ලොන්ස්කිගේ නිවස සහමුලින් අවුල් වීමට හේතුව දැනගැනීමට ද ඔහු නොතිත් වෙයි. මෙය පාඨක කුතුහලය රඳවා තබා ගැන්මට කතුවරයා භාවිත කරන රමණීය ප්‍රයෝගයකි.

ඉහත වැකිය කෙටි වූව ද,එය ඇරිස්ටෝටලියානු ශෝකෝත්පාදක නාට්‍යයකට උචිත භාෂා ඇරඹුමක් පෙන්වන්නකි. ඒ අනුව ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්වා ඇත්තේ ශෝකෝත්පාදක නිර්මාණයක කථාවින්‍යාසයේ ආරම්භය අවශ්‍යයෙන් ම කිසියම් අනෙක් සිද්ධියකට පශ්චාද්භාගව නොසිට, එය පටන් ගත් තැන් සිටයම් යම් දෑ ස්වාභාවිකව සිද්ධ විය යුතු අවස්ථාවක් බවයි, කථාව අහම්බෙන් ආරම්භ කර අහම්බෙන් අවසන් නොකළ යුතු බවයි.

ඉහත ප්‍රකාශය සඳහා තෝල්ස්තෝයි උපයෝගී කරගෙන ඇත්තේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කථාවක ආරම්භක වාක්‍ය බව රෙජී වීරමන් පවසයි.තෝල්ස්තෝයිගේ කෙටිකථා කිහිපයක් සහ කෙටිනවකථා කිහිපයක් ‘විරාග රාගය’ නමින් අනුවාද කරමින් එහි පෙරවැකියෙහි ඔහු මේ පිළිබඳව සඳහන් කරන විවරණය මතු දැක්වේ.

“සිවු පනස් වැනි වියට පත් ටෝල්ස්ටෝයි වෙසෙසි සූදානමක් නැතිව තමාගේ දෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධය වූ ඇනා කැරනිනා නමැති ග්‍රන්ථය ලියන්නට පටන් ගත්තේ ය. දිනක් පුෂ්කින් විසින් ලියන ලද කතාවක් ඔහුට දක්නට ලැබිණ. ඒ කතාව ආරම්භකොට තුබුණේ මෙසේ ය. ‘ප්‍රත්‍යන්ත දේශයේ පිහිටි නිවසට ආගන්තුකයෝ පැමිණියහ’ යනුවෙනි. ‘මෙන්න මෙහෙම තමයි කතාවක් පටන් ගත යුත්තේ. එක්වරම කතාව කීම පටන් ගත යුතු යැ’ යි ටෝල්ස්ටෝයි කීය. ‘ඔබත් එසේ නවකතාවක් ලියන්නැ’ යි ළඟ සිටියෙක් සිනාමුසු මුහුණින් කීයේ ය. ටෝල්ස්ටෝයි ඒ ක්‍රමය අනුගමනය කරමින් ඇනා කැරනිනා පටන් ගත්තේ ය.” (රෙජී වීරමන්, (අනුවාදය)විරාග රාගය. ලියෝ තෝල්ස්තෝයිගේ කෙටි කථා)

තෝල්ස්තෝයි අවශ්‍යයෙන් ම ඇසුරු කළ ග්‍රන්ථ අතර පුෂ්කින් වැනි මුල්කාලීන ලේඛකයන්ගේ කෘති ද පැවතිබව පෙන්වා දිය යුතුය. ඇන්ටන් චෙකොෆ් වරක් ‘ගද්‍යයේ පුෂ්කින්’ ලෙසින් තෝල්ස්තෝයිව හඳුන්වාඇත්තේ ද ඔවුන් අතර සාහිත්‍යමය වශයෙන් පැවති සාම්‍යය මතු කරනු සඳහා ය. විශේෂයෙන් දොස්තයොස්කි, මැක්සිම් ගෝර්කි වැනි සිය සමකාලීනයන්ගේකෘති මොහු කියවූවා පමණක් නොව පෞද්ගලිකව හුවමාරු වූ ලිපි මගින් ඒ පිළිබඳ සාකච්ඡා ද කර තිබේ. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ කෘතියක ආරම්භක වාක්‍යය පිළිබඳ අදහසක් තෝල්ස්තෝයිට මතුවූයේ කෙසේදැයි ජෝන් බෙයිලිසිය විමසුමෙහි පවසා ඇත. ඒ මෙසේ ය.

“ටික කාලයකට පසු සිය බිරිඳ ඔවුන්ගේ තරුණ පුතු සර්ජීට ඇසෙන්නට කියවමින් සිටි පුෂ්කින්ගේ කථාවල පිටපත් කිහිපයක් තෝල්ස්තෝයිගේ නෙත ගැටුණි. එතෙක් අවසන් කර නොතිබූ පුෂ්කින්ගේ ප්‍රබන්ධයක ආරම්භක කොටසකින් ඔහුගේ කථා කලාවේ වචන පිරිමසා භාවිත කිරීමේ සංක්‍ෂිප්ත ගුණයත් සරලව රචනා කිරීමේ ස්වභාවයත් තෝල්ස්තෝයි නිශ්චිතව අවබෝධ කරගත්තේ ය. පුෂ්කින්ගේ ප්‍රබන්ධයෙහි ද දක්නට ලැබෙන යථානුරූපී නවකථාවක පැවතිය යුතු චරිත සහ සමාජයේ වංශවත් ස්වරූපය ක්‍රමයෙන් ඔහුගේ මනසට ඇතුල්වන්නට විය. පසුව ඇනා කැරනිනා නවකථාව බවට පත්වීමට තෝල්ස්තෝයි විසින් ලියන ලද පළමු දළ සටහන සඳහා ඉවහල් වූයේ පුෂ්කින්ගේ නවකථාවේ එන පහත වැකිය යි.

‘ඔපෙරා ප්‍රසංගයෙන් අනතුරුව අමුත්තෝ තරුණ ව්රාස්කි කුමරියගේ මැදුරට එක්රැස් වූහ.’ ”

(Leo Tolstoy, Anna Karenina. Translated by Louise and Ayimer Maude with introduction by John Bayley)

තෝල්ස්තෝයි උත්ප්‍රේරණය ලද පුෂ්කින්ගේ නවකථාව කුමක්ද යන්න යථෝක්තසිංහල සහ ඉංග්‍රීසි විවරණ කිසිවක සඳහන් නොවේ. මේ පිළිබඳව නිවැරදි තොරතුරු සොෆියාගේ දින සටහනක සඳහන් වී ඇත. ඒ කෘතිය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ‘බෙල්කින්ගේ කථා’ (The Stories of Belkin) නම් වූවකැයි ඇය පවසයි. හෙන්රි ට්‍රොයට් පවසන්නේ එම කෘතියෙහි ‘කඩාහැලෙන කොළ’ (Loose Leaves)නමැති කථාව මීට ඉවහල් වූ බව යි. සිය පුතු සර්ජි මහලු නැන්දාට ඇසෙන්නට කියවීමට ග්‍රන්ථයක් ඉල්ලා සිටියේ ය. ඔහු එය කිය වූ පසු ග්‍රන්ථය පහත මාලයේ පුස්තකාලයෙහි ඊට නියමිත ස්ථානයේ තැබීමට සොෆියාට කම්මැලි සිතී ඈ එය විසිත්ත කාමරයේ ජනෙල් පඩිය උඩ තබා ඇත. මෙය රැගෙන කිය වූ තෝල්ස්තෝයි උද්යෝගයට පත් විය. එයින් නවකථාව ආරම්භ කරන ස්වරූපය පිළිබඳව පමණක් නොව, පීටර් රාජ්‍ය කාලයෙහි ඉඩම් හිමියන් ජීවත් වූ ආකාරය පිළිබඳව ද අවබෝධයක් ලැබූ ඔහු ඒ බව සිය බිරිඳට ද පවසමින් තෘප්තියට පත් වී ඇනා කැරනිනා රචනා කිරීමට පටන් ගෙන ඇත. (Reminiscences of Lev Tolstoy by his contemporaries. Translated by Margaret Wettlin)

ඉහත කී වැකියට අනුව තෝල්ස්තෝයි රචනා කරන ලද වැකිය ඇනා කැරනිනා කෘතියෙහි දක්නට ලැබෙන්නේ එහි සවැනි පරිච්ජේදයේ දෙවන කොටසෙහි ආරම්භයේදී ය. කතුවරයා ලියූ පළමු දළ සටහන ආරම්භ වූයේ එම වැකියෙනි. සංස්කරණයෙන් අනතුරුව එය මෙසේ සැකසිණි.

‘කාන්තාවෝ සියලු දෙන අංගනයේ රැස්ව සිටියහ’ (ලියෝ තෝල්ස්තෝයි, ඇනා කැරනිනා. පරිවර්තක ස්වර්ණකාන්ති රාජපක්ෂ)

කේ.ජයතිලක පවසන්නේ ඇනා කැරනිනා හි ආරම්භක වැකියෙන් සමස්ත රුසියන් සමාජයෙහි තත්කාලීන ස්වරූපය නියෝජනය වන බවයි. මෙම අදහස ඇනා කැරනිනා කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ලේඛිකාවක් වූ මාගරට් වෙට්ලින්ගේ ද අදහස යි. තෝල්ස්තෝයි සිය නවකථාවේ ආරම්භක වාක්‍ය දෙක කෘතියෙන් අපේක්‍ෂිත අරමුණ පැවසීම සඳහාත්, තෙවන වැකිය කථාව ඇරඹීම සහ පාඨක කුතුහලය රඳවා තබා ගැනීම සඳහාත් යොදාගන්නාබව පෙර පැවසූයෙමු. ඔහු මීළඟ වාක්‍යයෙන් ඔබ්ලොන්ස්කි නිවසෙහි අවාසනාවන්ත තත්ත්වය ඇතිවීමට හේතුව පවසමින් පාඨක කුතුහලෙන් අඩක් සංසිඳවයි. මෙවිට පාඨකයා ඉතිරිය දැනගැනීමෙහි කුහුල සහිතව ඒ වෙත ම රැඳී සිටී. එම වැකිය පහත දැක්වේ.

“කලකට ඉහත තම නිවසේ සිටි ගුරුවරිය සමඟ සැමියා පැවැත්වූ සම්බන්ධය දැනගත් දා, බිරිඳ දීගය ප්‍රතික්‍ෂේප කළා ය.”

එම සිදුවීම වාර්තා ස්වරූපයෙන් තරමක ජේදයකින් ඉදිරිපත් කරන තොල්ස්තෝයි එතැන් පටන් ඔබ්ලොන්ස්කි පවුලේ සාමාජිකයන්ගේ සංවාද හා දෙබස් සහිතව සජීවී ආකාරයෙන් කථාව ඉදිරියට ගෙන යයි. 

Top