පාසල් අධ්‍යාපනයෙන් නොලැබෙන දැනුමක් ලබාදෙන ‘‘අපොයියාව’’ (165 වන ලිපිය)

post-title

ළමා සාහිත්‍ය පොත-පත කියවා, රසවිඳි දරුවා යොවුන් වියට එළඹෙන විට වයසෙන් මුහුකුරා ගොස් ඇතුවා මෙන් ම සිතුම්-පැතුම්වලින් ද වෙනස් මානයකට පැමිණ සිටී. ඒ වන විට යෞවන යෞවනියෝ නිරන්තරව ම වෙහෙසෙන්නේ කුඩා අවදියේ රස විඳි නිර්මාණ අභිභවා යන, හුදෙක් අවවාද අනුශාසනාවලින් තොර, මෙතෙක් කියවා රස නොවිඳි පොත්-පත් කියවවීම සඳහා ය. නමුදු එහි දී වුව ද ඔවුන් යථා ලෝකයේ සිදුවන සිද්ධි පාදක කරගත් නිර්මාණවලට වඩා යථා ලෝකයේ දී සිදු නොවන, අත් නොදකින නිර්මාණ රසවිඳීමට කැමැත්තක් දක්වන්නේ ය. එය: ළමා, යොවුන්, මැදි විය හෝ වැඩි විය යැයි වෙනසක් නොමැත. නිර්මාණ රසවිඳින්නෝ නිරන්තරයෙන් ම බලාපොරොත්තු වන්නේ තථ්‍ය ලෝකයේ දී නොඇසු, නොදුටු දෑ පිළිබඳ කියවීමට ය, සවන් දීමට ය, නැරඹීමට ය.

යොවුන් පාඨක ප්‍රජාවගේ අවශ්‍යතාව එය වුව ද ලේඛක ප්‍රජාවගේ වගකීම වන්නේ යොවුන් ප්‍රජාව වෙත: හුදෙක් ඇදහිය නොහැකි දෑ, ජාතිකාභිමානය, පෙර සුරු විරු විකුම්, ත්‍රාස ජනක, ආගම් ප්‍රචාරණය සහ අවවාද අනුශාසනා අන්තර්ගත සාහිත්‍ය කෘති පමණක් ඔවුන් අතට පත්කිරීම ද? මගේ පුද්ගලික හැඟීම නම් එබඳු අනුභූති අන්තර්ගත නිර්මාණ යම් පමණකට යෞවන ප්‍රජාව වෙත සමීප කරන අතරතුර: සංස්කෘතිය, ග්‍රාමීය සෞන්දර්ය, ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, මෙන් ම නාගරික දිවියේ අත්දැකීම් සහ විවිධ ප්‍රෙද්ශවලට ආවේණික ජීවන රටා ද පිළිබිඹු වන ආකාරයේ යොවුන් සාහිත්‍ය නිර්මාණ සමාජ ගතවිය යුතු ය යන්න ය. මීට අමතරව සිංහල නොවන ප්‍රජාවගේ ජීවන තතු, ඔවුන්ගේ සංස්කෘතිකාංග අන්තර්ගත නිර්මාණ ද සමාජ ගතවිය යුතු ය යන්න ය. බහු වාර්ගික, බහු ජාතික මෙන් ම බහු සංස්කෘතික ප්‍රජාවක් වෙසෙන අප රටේ සැමට සැමගේ ජීවන තතු ඇති සැටියෙන් අධ්‍යයනය කළ හැකි වන්නේ එවිට ය.

අවශ්‍යතාව එය වුව ද මේ සියලු අංශ නියෝජනය කෙරෙන නිර්මාණ සීමිත ලේඛක ලේඛිකා පිරිසක් අතින් නිර්මාණය වේ ද යන්න සැක සහිත ය. මේ වන විට ශ්‍රී ලාංකිය යොවුන් සාහිත්‍ය විතැන් වී ඇති ස්ථානය දෙස අවධානය යොමු කරන විට එය වඩාත් පැහැදිලි ය. එවන් තත්ත්වයක් තුළ හුදෙක් වීර කතා, ත්‍රාසජනක කතා හෝ අනුශාසනාත්මක කතා රටාවෙන් බැහැර වූ නව්‍යමය අත්දැකීමක් යොවුන් ප්‍රජාව වෙත සමීප කරවන්නට සම්මානලාභි කවියකු, සම්මානලාභී ප්‍රබන්ධ සාහිත්‍යකරුවකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමත් වී ඇත. ඒ ඔහුගේ ප්‍රථම යොවුන් සාහිත්‍ය නිර්මාණය වන ‘‘අපොයියාව’’ කෘතිය තුළිනි.

කථකයා සිය කතාව ඉදිරිපත් කරන්නේ හොරා දෙක තුනක් ඇතුළත ය. එහෙත් ඒ හෝරා දෙක තුන තුළ සමස්ත මිනිස් ජීවිතයේ ම විවිධ පැතිකඩ විවර කර ප්‍රදර්ශනය කරන්නට කතුවරයා සමත්වන්නේ ය. ඒ අන් කිසිවක් තුළින් නොව දැනුම නමැති ආයුධය නිමවා ගන්නේ කෙසේ ද, එය කිසිවකු සතුවේ නම්, අදාළ පුද්ගලයා හෝ කණ්ඩායමට එය භාවිත කළ හැකිවන්නේ කෙබදු අවස්ථාවල ද, කුමක් සඳහා ද යන්න නිවැරැදි අවබෝධයක් යොවුන් පාඨකයා වෙත පමණක් නොව සමස්ත පාඨක ප්‍රජාව වෙත ම ලබා දෙමිනි.

මෙම කෘතිය කියවීමේ දී සිසිල් චන්ද්‍ර ගුණවර්ධන විසින් පරිවර්තිත VIKAS SWARUPගේ ‘Q and A’ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘කොටිපතියකු වූ වීදි දරුවා’ කෘතිය සිහියට නැගෙන්නේ නිසඟයෙනි. කතුවරයා එම කෘතියේ ආභාෂය ලබාගත්ත ද නොගත්ත ද ඔහු විසින් ප්‍රකට කරනු ලබන ඔහුගේ ම පරිකල්පනීය දක්ෂතාව අවතක්සේරු කළ නොහැකි ය. එය යොවුන් පාඨක ප්‍රජාවගේ මතු නොව ඕනෑම වයසක පසුවන පාඨක පාඨකාවකට නැවුම් අත්දැකීමක් ලබා දෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. එමෙන් ම සිය ජීවිතයේ එක් කාලවකවානුවක දී ලද අත්දැකීම් උපස්තම්භක කරගනිමින්, එයට පරිකල්පනය ද මුසු කරමින් අගනා ප්‍රබන්ධ කෘතියක් රචනා කරන්නේ කෙසේ ද යන්න මෙම කෘතිය තුළින් විද්‍යමාන වේ.

කතුවරයා විසින් රචිත පෙර ප්‍රබන්ධ ද්විත්වය මෙන් ම මෙම ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් ප්‍රදේශ, පුද්ගල චරිත සහ සිද්ධි දාම ය. ඒ ඔහු ඉපදුණු, හැදුණු-වැඩුණු ප්‍රදේශ නිසා විය හැකි ය. එසේ වුව ද ඒ ඒ සිද්ධි සහ චරිත අදාළ කෘතිය සමග නිර්මාණාත්මක ලෙස සංයෝජනය කිරීමේ නිසඟ හැකියාවක් ඔහු සතු ය. අනෙක් පසින් තමා කුඩා අවධියේ ලද දැනුම නූතන පරපුර සමග බෙදාගැනීමට ද ‘‘අපොයියාව’’ කෘතිය පාදක කරගෙන ඇති බව පැහැදිලි ය. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ ආයතනික අධ්‍යාපනයක් නොලද අපේ අතීත ප්‍රජාව සතු දැනුම කෙතරම් උසස් මට්ටමක පැවතියේ ද යන්න පසක් කිරීම ය. කෘතිය ලියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නමැති ප්‍රබන්ධකරුවා වුව ද ඔහුට අත්වැල සපයා ඇත්තේ සිය කිරිඅම්මා ය. එමෙන් ම ඇය ලෝකය සහ එහි වෙසෙන මිනිස්සු පිළිබඳ ඇති අවබෝධය කෙතෙක් ද යන්න මතු දැක්වෙන කොටසෙන් ගම්‍යමාන වන්නේ ය.

‘‘කොහෙත් එකයි ළමයිනේ... දේස දීපාංකරෙත් එකයි, මේ ලංකාවෙත් එකයි, හැම තැන ම ඉන්නෙ මනුස්සයො... හම කළු උනා සුදු උනා, කෙස්වැටිය කළු උනා තඹ උනා, ඇස් ගෙඩි කළු උනා නිල් උනා කියල නෑ. තරහ යනව, බැණගන්නව, ගහගන්නව, මරාගන්නව... ඒ අතරෙ හැමෝම ජීවත් වෙන්න දත කනව... කොතැනත් එකයි...’’

අනතුරුව කතුවරයා ඉදිරිපත් කරන්නේ විවිධ රටවල වෙසෙන විවිධ ජාති, ආගම් සහ සංස්කෘතික පසුබිම් යටතේ ජීවත් වන ළමයින් පිළිබඳ විස්තරයකි. එකී විස්තර වර්තමානයේ දී කෘතියකින් ලබාගන්නවාට වඩා අන්තර්ජාලය තුළින් ලබාගත හැකිව තිබිය දී වුව කතුවරයා මෙහි දී මතු කරන්නේ පොතක් යනු ම අගනා සම්පතක් බවයි; අද පොතක් කියවීම සඳහා වැය කරන: මුදල, කාලය සහ ශ්‍රමය යනු ම අනාගත ආයෝජනයක් බවයි. කිරි අම්මාට අනුව නම් අකුරු කියවීම සහ ලිවීම යනු ම අනාගත ආයෝජනයකි. එය අසත්‍යයක් නොවන බව පොත් මතු නොව පුවත්පත් සඟරා යනාදිය කියවා දැනුම උකහා ගත් ඕනෑම පුද්ගලයෙකු පිළිගනු නිසැක ය.

ප්‍රහේලිකා පිරවීම යනු එකල ද මෙකල ද දැනුම මෙන් ම විනෝදාස්වාදය ලබා දුන් කටයුත්තකි. නමුදු එකී කටයුත්ත යට සඳහන් කළ කාරණා ද්විත්ව අභිභවන යමක් බව කතුවරයා කථකයා මගින් පාඨක ප්‍රජාව වෙත දනවන්නේ මෙලෙසිනි.

‘‘මෙය පිරවීමේ දී මට හමුවුණු සෙලවෙන ගස්කොළංවල ශබ්ද, මහපොළොවේ නෙක හැඩැති කඳු පල්ලම්, තැනිතලා, අඩි පාරවල්, පැරැන්නන්ගේ කවි සීපද, කතන්දර, ලියැදි, කමත්, ඉපනැලි සහ පිදුරු සුවඳ, ශබ්දවල සැඟවුණු දේවල්, මිනිසුන් වැනි වචන, වචන වැනි මිනිසුන් පමණක් නොව මුළුමහත් ලෝකය පිළිබඳ ඇතිකරගත යුතු ආසාව ද අමතක කරන්නට බැරි ය.’’

යම් කෘතියක් කියවන විට අකුරු එකතු කර සෑදු වචනවලින් අරුත් ගැන්වෙන: චරිත, සිද්ධි මතු නොව ක්‍රියාකාරකම් ද කියවන්නා මනසින් ග්‍රහණය කරගන්නා බව රහසක් නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් ඇතැම් කෘතියක එන නාමය පවා පාඨක මනසේ කිසියම් සිතුවමක් අඳින්නට සමත් වන්නේ ය.

මේ සඳහා මගේ පුද්ගලික අත්දැකීමක් ගෙන හැර දක්වන්නේ නම් එච්. ඩී. ලෝරන්ස්ගේ කෘතියක සිංහල පරිවර්තනයක් වූ ‘‘පිදුරුපාවරේ ආදරේ’’ නමැති කෘතියේ නම කියවූ විගසින් හිරිමල් යොවුන් වියේ කිසියම් සිද්ධියක් සිහිපත් විය. ඒ අන් කිසිවක් නෙව කතුවරයා කථකයා මගින් පාඨක ප්‍රජාව වෙත සමීප කරවන ‘අකුරු’ නමැති සංකේතවල බලය යි. අකුරුවලින් ම අකුරුවල බලය ඉස්මතු කිරීම වෙසෙස් ම කටයුත්තකි. කතුවරයා එය පාඨක ප්‍රජාව ඉදිරියේ විවරණය කරන්නේ අතැඹුලක් සේ ය. ඔහු සතු කාව්‍ය ශක්තිය ද මේ සඳහා ඉමහත් පිටිවලක් වී ඇති බව මගේ පුද්ගලික විශ්වාසය යි.

එමෙන් ම වචනවල පවත්නා: රළු, මෘදු, උස්, පහත්, සුන්දර, අසුන්දර, ස්ත්‍රී පුරුෂභාව යනාදිය ඉතාමත් කෙටි වාක්‍යයක් තුළින් වුව ද මැනවින් පිළිබිඹු කරන්නට කතුවරයා සමත් වී ඇත.

‘‘මේ පාරවල් ඔස්සේ කැමති අයෙකුට කැමති පරිදි අපේ ගෙදරට පිවිසිය හැකි ය. අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංජු ගැසි පැමිණෙයි. අම්මා කිරි අම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝවී පැමිණෙයි.’’

‘‘වචන’’ නමැති සංකේතවලට ඒ ඒ වචනයට අනුව විවිධ වටිනාකම් ලබාදෙන්නේ අපි මෙතෙක් වචන පිළිබඳ දැරූ අදහස් සියල්ල අභිභවන නව්‍යමය හැඩයක් ආරෝපණය කරමිනි.

යට තැනෙක සඳහන් කළ ආකාරයට යොවුන් සාහිත්‍ය කෘතියක් තුළින් හුදු වීරත්වය පිළිබිඹු කරනවා වෙනුවට යොවුන් සාහිත්‍ය කෘතිය කියවන යෞවන මානවකයා හෝ මානවිකාව සමාජයේ පවත්නා විවිධ පැතිකඩ පිළිබඳ දැනුවත් කිරීමට කතුවරයා මෙහි දී දක්වා ඇති ප්‍රයත්නය ද පැසසිය යුතු ය. ඒ සඳහා හෙතෙම: ජන කවි මෙන් ම පුරාණ පද්‍ය සාහිත්‍යය උපස්තම්භක කරගැනීම තුළින් යෞවන පාඨක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් කිසියම් උනන්දුවක් දැක්වීම අනිවාර්ය ය. එය වියැකී යන අතීත සාහිත ඉම් පෙත් වෙත යළි යළිත් අපේ යෞවන ප්‍රජාව කැඳවාගෙන යාමකි. 

මේ වන විට ලාංකීය අධ්‍යාපන ව්‍යුහය සැකසෙමින් පවතින්නේ හොද මිනිස්සු බිහි කිරීමට නොව වෘත්තිකයන් බිහිකිරීම උදෙසා ය. නමුදු එකල විසූ අපේ කිරිඅම්මලා කිරිඅත්තලා ආයතනික අධ්‍යාපනයක් නොලැබුව ද බොහෝ වටිනා දෑ දැන සිටි බව නොරහසකි. ඔවුන් එබඳු දැනුම් සම්භාරයකින් සන්නද්ධ වූයේ කෙසේ ද යන්නට ඉතාම සරල සහ පැහැදිලි පිළිතුරක් මෙම කෘතියේ අන්තර්ගත වේ.

{‘‘එක ම අකුරක්වත් නොදැන කිරිඅම්මා කොහොමද ඔය හැම දේ ම ගැන ඔහොම දන්නෙ’’ යි මා ඇසු කල ඇය කියූවේ ‘‘අකුරු නොදන්නව උනාට මයෙ කන් දෙක හොඳට ඇහෙනවනෙ ළමයො...’’ කියා ය. ‘‘ඇරත් ඔය වාගෙ විස්තර හැම එකක් ම රේඩියෝ එකේ කියන්නෙ...’’ යි කියා ද කිරිඅම්මා කිවා ය.}

එකල බොහෝ පිරිස් තම දැනුම ගබඩා කර තිබුණේ මතකයේ ය. ත්‍රිපිටකය මතු නොව සියලු බුද්ධ දේශනා පසු කළෙක ලිඛිත මාධ්‍යයට හැරවුණ ද අතීතයේ මේ සියලු දෑ වනපොත් කර (කඩපාඩමෙන් පැවසීම) ඇති බව පැවසේ. මුතුහරගේ කිරිඅම්මාගේ මතක ශක්තිය එයට කදිම උදාහරණයකි.

සමස්ත කෘතිය පුරාම විදාරණය වන්නේ දැනුම ය; සාමාන්‍ය ජනතාව ද, උගත් යැයි පැවසෙන ජනතාව ද නොදන්නා දැනුම ය. මේ එක් උදාහරණයකි.

‘‘ගස් මුදුනට නැග පොල් වලුවලට තාලයට තට්ටු කරන අයුරු බිමට ඇසෙයි. ඒ තට්ටු කරන විට ඇසෙන සද්දයට අනුව එම වල්ලේ පොල් කඩනවා ද නැද්ද යන්න සිතාගැනීමට පහසු ය. ටික් ටික් සද්දය ඇහුණොත් කඩන්නේ ම නැත. ටොක් ටොක් සද්දය ඇසුණේ නම් පොළේ ගෙනියන්නත් බලාගෙන කඩයි. ටක් ටක් සද්දය ඇසුණු විටෙක ගෙදර කැමට පොල් නැත්නම් පමණක් ගෙඩියක් හෝ දෙකක් කඩයි. රොටිවලට නම් ඒ පොල් හරියට ම හරිය’’

පොල් ගෙඩියේ වයස කොපමණදැයි හදුනාගන්නේ එයට තට්ටු කිරීමෙනි. ඒ ඒ ශබ්දයට අනුව වයස කොපමණ ද යන්න නිර්ණය කෙරෙන අතර එය කොපමණ ද යන්න වඩාත් තීව්‍ර කෙරෙන්නේ ‘‘රොටිවලට නම් ඒ පොල් හරියට ම හරිය’’ යන කොටසෙනි. මෙබඳු දැනුමක් කිසිදු අධ්‍යාපන ආයතනයකින් ලබාගත නොහැකි ය. මෙම කෘතිය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලැබීම එබඳු දැනුම් සම්භාරයක් නූතන පරපුර වෙත දායාද කිරීමට ගත් වටිනා පියවරක් ලෙස සඳහන් කළ යුතු ම ය.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නමැති ප්‍රබන්ධකරුවා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නියුක්තව සිටි රැකියාව වූයේ දෘශ්‍ය මාධ්‍යයයි. එහි සියලු කැමරා කෝණ පිළිබඳව විසල් දැනුමක් ඔහු සතුව පවතී. ඒ දැනුම ද අකුරු තුළින් පාඨක ප්‍රජාවට සමීප කරවන්නට හෙතෙම සමත් වී ඇත. කෘතියේ 72වන පිටුවේ දෙවන ඡේදයේ එන, පොල් ගසක් මුඳුනේ සිට අවට සිසාරා නෙත් යොමද්දී මුතුහරගේ දෑසට හසුවන සියලු දසුන් එයට කදිම නිදසුනකි. නූතනයේ නම් මෙවන් දසුන් කැමරාවට හසු කරගන්නේ නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරා මගිනි. මුතුහර දකින ඒ සියලු දර්ශන කෘතිය කියවන පාඨක පාඨකාවන්නේ මනසේ ද චිත්‍රණය නොවන්නේ නම් එය අරුමයකි. කතුවරයාගේ ලිවීම එතරමට ම සාර්ථක ය.

වෙනත් කැමරා කෝණවලින් ද ස්වභාව සෞන්දර්යයේ අසිරිය මවාපාන්නට කතුවරයා වෙසෙස් දස්කමක් දක්වයි. 78වන සහ 79වන පිටු තුළින් එබඳු මනරම් රූ රටා මවා පෙන්වන්නට කතුවරයා සමත්වන්නේ ඔහුගේ කැමරා ඇස ම නොව්දැයි මට සිතුණි.

අවසන් වශයෙන් සදහන් කළ යුතු වන්නේ ‘‘අපොයියාව’’ යනු විවිධාකාර මනෝ විකාරවලින් අපේ දරුවන්ගේ මනස විකෘති කරන ඊනියා යොවුන් සාහිත්‍ය (ස්වතන්ත්‍ර සහ පරිවර්තන) කෘති පසෙකලා දැයේ සියලු යොවුන් පාඨක ප්‍රජාව අනිවාර්යයෙන් ම කියවිය යුතු කෘතියක් බවයි. සැබැවින් ම එය යෞවන පාඨක ප්‍රජාවට මතු නොව තරුණ, මැදි විය මතු නොව වැඩිහිටි පාඨක ප්‍රජාව ද කියවිය යුතු ම ය. මන් ද එවිට ඔවුන්ට ද ඔවුනොවුන්ගේ වයස් මට්ටම අනුව සිය අතීතය කරා පියඹා යා හැකි මාර්ගයක් මෙම කෘතිය තුළ නිමවා ඇති බැවිනි.

Top