ගුරු ගීතය සහ අනුවාදකයාගේ ප්‍රතිභාව

post-title

"ගුරු ගීතය" නම් රුසියානු සාහිත්‍ය කෘතිය එදා මෙදා තුර ලංකාවේ පාඨක ජනතාව අතර නොමඳ ජනප්‍රියභාවයට පත් වී ඇති නවකතාවකි. ජනප්‍රියභාවයෙන් ඔබ්බට ගොස් එය අභිවන්දනයක් දක්වා ද මේ වන විට වර්ධනය වී ඇති ආකාරය ලාංකීය පාඨක ප්‍රජාව දෙස විමර්ශනාත්මක දෘෂ්ටියක් හෙළීමේදී අපට මැනවින් පෙනී යයි. එය එතරම්ම තදින් ලංකාවේ පාඨක ජනයාගේ ආකර්ෂණය දිනාගනිමින් සෑම වසරකදීම වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වන කෘතියක් බවට පත් වී ඇත.

දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් මෙලෙස "ගුරු ගීතය" ලෙසින් සිංහල බසට අනුවාදය කරනු ලබන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ "පළමු ගුරුවරයා" (The First Teacher) නම් නවකතාවයි. ලංකාවේ බොහෝ පාඨකයින් චිංගීස් අයිත්මාතව් යන සාහිත්‍යකරුවා හඳුනාගන්නේ මෙකී ගුරු ගීතය හරහා ය. ඒ ඇසුරින් සිනමාපටයක් ද නිර්මාණය වී ඇති අතර ඒ සඳහා සම්මාන ද හිමි වී ඇත. පසුකාලීනව ලංකාවේ පවා නිර්මාණය වූ බොහෝ ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යයන් සඳහා ද මෙකී ගුරු ගීතයේ ආභාසය නොඅඩුව ලැබී ඇති ආකාරය අපට දැකගත හැකිය.

නමුත් ලංකාවේ පාඨක ජනතාව තුළ මෙතරම් ජනප්‍රියත්වයක් සහ ආකර්ෂණයක් හිමිකරගත් ගුරු ගීතය කෘතියට රුසියානු සහ ලෝක සාහිත්‍යය තුළ හිමිවී ඇත්තේ එතරම් ප්‍රබල කැපීපෙනෙන ස්ථානයක් නොවේ. එයට හේතුව සැබැවින්ම මා හට අවබෝධකරගත හැකි වූයේ චින්ගීස් අයිත්මාතව්ගේ අනිකුත් සාහිත්‍ය කෘතීන් සැලකිය යුතු ප්‍රමාණයක් ද කියවීමෙන් අනතුරුව ය.

සැබැවින්ම ගුරු ගීතය සිත්ඇදගන්නාසුළු රසවත් එක හුස්මට කියවාගෙන යා හැකි නවකතාවකි. ඒ පිළිබඳව නැවත කතා දෙකක් නොමැත. නමුත් විශිෂ්ට සාහිත්‍ය කෘතියකට හිමිවන කැපීපෙනෙන ස්ථානයක් විශ්ව සාහිත්‍යය තුළ එයට හිමි නොවූයේ මන්ද?

ගුරු ගීතය රසවත්ව ගලා යන නවකතාවක තත්වයෙන් ඔබ්බට ගොස් විශ්වීය සාහිත්‍ය කෘතියක් බවට පත් නොවීමට බලපා ඇති ලක්ෂණ රාශියක් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී නවකතාව පුරාවටම දැකිය හැකිය. ඉතා හෘදයාංගම සහ සියුම් ලෙස චරිත සහ සිද්ධි ඇසුරින් පාඨක මනස තදින් ග්‍රහණය කරගත්ත ද ඉන් ඔබ්බට ගොස් චරිත, පුද්ගල මනෝභාවයන් හෝ සමාජීය, දේශපාලන තත්වයන් පිළිබඳව ගැඹුරු විනිවිදයාමක් හෝ පරිපූර්ණ කතිකාවතක් ඒ තුළ දැකගත නොහැකි බව මාගේ පුද්ගලික අදහසයි. එහිදී ඉතා ගැඹුරින් පුද්ගල චරිත ලක්ෂණ විවරණයක යෙදීමෙන් වියුක්තව පරමාදර්ශී කොමියුනිස්ට්වාදියා පිළිබඳව චිත්‍රයක් පාඨක මනස තුළ චිත්‍රණය කිරීමට කතුවරයාට අවශ්‍ය වී දැයි හැඟෙන තරමට ඒ තුළ ගැඹුරින් චරිත විනිවිදීමක් හෝ විවරණයක් දැකගත නොහැකි ය. අල්තීනායිගේ චරිතය වුව ද එසේම ය. අල්තීනායිගේ චරිතය දුයිෂෙන්ගේ චරිතයේ ප්‍රභාව වැඩිදියුණු කරනු වස් යොදාගත් මෙවලමක ආකාරයෙන් හසුරවා ඇති අයුරු නවකතාව පුරාවටම දැකගත හැකිය. ඒ හැරුණු විට එහිදී අල්තීනායිගේ චරිතය හෝ මනෝභාවයන් පිළිබඳව ගැඹුරු විවරණයක් ගුරු ගීතය තුළින් දැකගැනීම අසීරු ය. අල්තීනායි සහ දුයිෂෙන් අතර ඇති සබඳතාවය නිරූපණය කිරීම තුළ දී වුව ද එහි අපැහැදිලි තැන් මෙන්ම එවන් සංකීර්ණ මානුෂීය සබඳතාවයක් ගැඹුරු ලෙස විවරණය කිරීමකින් තොරව එය මතුපිට ස්පර්ශ කර බැලීමක් සිදුකර ඇති අවස්ථා දැකගත හැකිය. 

සිද්ධි, අවස්ථා, සංකේත තුළින් අරුත් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ගත් කල ද මෙකී තත්වයන් මෙලෙසින්ම දැකගත හැකිය. නිදසුනක් ලෙස අයිත්මාතව්ගේම තවත් විශිෂ්ට නවකතාවක් වන ජමීලා කෘතිය තුළ දී ද ගුරු ගීතයේ මෙන්ම සිතුවමක් පිළිබඳව කියැවේ. නවකතා දෙකේදීම මෙම සිතුවම යොදාගෙන ඇත්තේ සංකේතයක් වශයෙන් වන අතර නවකතාවට සමගාමීව ඉන් විචිත්‍ර ලෙස අරුත් සම්පාදනය කිරීම එමගින් අරමුණු කෙරේ. නමුත් ගුරු ගීතය කෘතියේ පොප්ලර් ගස් දෙකේ චිත්‍රයට වඩා ජමීලා කෘතියේ එන චිත්‍රය ප්‍රබල සංකේතයක් ලෙස නවකතාව තුළ නිරූපණය වී ඇති ආකාරය මෙන්ම ගුරු ගීතයේ එන චිත්‍රයට වඩා නවකතාව සමග සමගාමීව ඒකත්මික වෙමින් ඉන් ගැඹුරු අරුතක් සම්පාදනය කරන ආකාරය අපට දැකගත හැකිය. චින්ගීස් අයිත්මාතව්ගේ වෙනත් කෘතීන් වන "ජමීලා", "සමුගනිමු ගුල්සාරි", "වේලාසන කොක්කු ඇවිත්", "අම්මා සහ මිහිකත" වැනි කෘතීන් සමග ගත් කල ඔහුගේ "ගුරු ගීතය" කෘතියට රුසියානු සාහිත්‍යය තුළ මෙන්ම විශ්ව සාහිත්‍යය තුළ ද කැපීපෙනෙන ප්‍රභාවක් හිමි නොවන්නට මෙවන් කරුණු බලපාන්නට ඇතැයි මට සිතේ. "ගුරු ගීතය" කෘතියට වඩා ප්‍රබල ලෙස "ජමීලා", "සමුගනිමු ගුල්සාරි".....වැනි කෘතීන් හරහා චින්ගීස් අයිත්මාතව් නම් මහා සාහිත්‍යකරුවා අපට දැකගත හැකි යැයි යන්න මගේ හැඟීමයි. ඒ සඳහා ඔහුගේ එම සාහිත්‍ය කෘතීන්ගෙන් කීපයක් ද අනිවාර්යයෙන්ම ඇසුරුකර බැලිය යුතුම ය.

එසේ නම් ගුරු ගීතයට ලාංකීය පාඨක ජනතාව තුළ මෙතරම් ආකර්ෂණයක් සහ ජනප්‍රියත්වක් හිමිවූයේ කෙසේ ද?

මා සිතනා අන්දමට ඊට කරුණු කීපයක් බලපාන්නට ඇත.

ලාංකීය පාඨක ජනතාව තුළ ගුරු ගීතය අභිනන්දනයට පත්වන්නේ අයිත්මාතව් අරමුණු කළ පරමාදර්ශී කොමියුනිස්ට්වාදියා යන චරිතය හරහා නොවේ. ලාංකීය පාඨක ප්‍රජාව විසින් ගුරු ගීතය සහ දුයිෂෙන්ව වැළඳගනු ලබන්නේ ඒ තුළින් දුටු පරමාදර්ශී ගුරුවරයා යන චරිතය හරහා ය. ඔවුන් අල්‍තීනායි හා දුයිෂෙන්ගේ සබඳතාවය තුළින් දුටු විරාගික නිහඬ ප්‍රේමය හරහා ය. ලාංකීය සංස්කෘතිය සහ සමාජය ගුරු ගීතය තුළින් නිරූපිත එම ලක්ෂණයන්ට පැළපදියම් වී සරුවට වර්ධනය වීමට කදිම තෝතැන්නක් විය. එනිසා ලාංකීය පාඨක ජනතාව ගුරු ගීතය තුළින් ඉස්මතු වන පරමාදර්ශී ගුරුවරයා සහ විරාගික, නිහඬ පරිත්‍යාගශීලී ප්‍රේමය මහත් හෘදයාංගම ලෙස වැළඳගත්තේ ගෞරවපූර්වක සහ භක්තිපූර්වක හැඟීමකින් යුතුව ය. ගුරු ගීතයේ ආභාසය ලබමින් ඒ ඇසුරින් ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ බිහි වූ නිර්මාණයන් පිළිබඳව විමසා බලන කල මෙම කරුණ වඩාත් පැහැදිලිව අපට අවබෝධකරගත හැකිය. ලාංකීය සමාජ සංස්කෘතික පසුබිමේ හැටියට එය එතරම් විස්මයට පත්විය යුතු කරුණක් මෙන්ම දොසක් ද නොවේ. තම මව්බිමෙන් පිටත වෙනස්ම සමාජ සංස්කෘතික පසුබිමක් ඇති දේශයක සිය කෘතියට මෙවන් සුවිශාල පාඨක ආකර්ෂණයක් සහ ජනප්‍රියත්වක් හිමිවනු ඇතැයි චින්ගීස් අයිත්මාතව් පවා නොසිතන්නට ඇත.

 

ගුරු ගීතය ලංකාවේ පාඨක ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වෙමින් විශාල ආකර්ෂණයක් දිනාගැනීමට බලපෑ ප්‍රබලතම හේතුව ලෙස මා දකින්නේ මෙම නවකතාව අනුවාදය කිරීමේදී විශිෂ්ට අනුවාදකයෙකු ලෙස දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් ප්‍රකට කර ඇති අද්විතීය ප්‍රතිභාවයි. මෙම කෘතිය සිංහල බසින් අනුවාදනයේදී ඔහු හරි නිලය නිසි පරිදි සාර්ථක ලෙස ග්‍රහණය කරගෙන ඇති අන්දම විමසිලිමත්ව බැලූ කල නවකතාවේ සිංහල අනුවාදය පුරාවටම දැකගත හැකිය. සිංහල අනුවාදය තුළ දී ඔහු වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කරමින් නිරූපණය කිරීමට වෙරදරන්නේ ලාංකීය පාඨක ජනතාවගේ හදවතේ සියුම් තැන් හෘදයාංගම ලෙස ස්පර්ශ කළ හැකි ගුරු ගීතය තුළින් මතුවන පරමාදර්ශී ගුරුවරයා සහ විරාගී, නිහඬ පරිත්‍යාගශීලී ප්‍රේමය යි. අයිත්මාතව් අරමුණු කළ පරමාදර්ශී කොමියුනිස්ට්වාදියාගේ චරිතයට සිංහල අනුවාදයේදී ප්‍රබල ස්ථානයක් හිමි නොවේ. තමන් අරමුණුකරගන්නා පාඨක ප්‍රජාව පිළිබඳව මනා අවබෝධයකින් යුතු වූ දැදිගම මහතා සිය ප්‍රතිභා ශක්තිය සහ සියුම් ඉව භාවිතාකරමින් "ගුරු ගීතය" නම් කිර්ගීසියානු සාහිත්‍ය කෘතිය ලාංකීය පායකයා අතරට ගෙන එන්නේත්, ඒ තුළින් නිරූපිත පරමාදර්ශී ගුරුවරයා හෙවත් දුයිෂෙන්ගේ චරිතය ලාංකීය සාහිත්‍යය තුළ දැවැන්ත රූපකායක් බවට පත්කරමින් පැළපදියම් කරන්නේත් එපරිද්දෙනි. එමෙන්ම එහිදී ඔහු යොදාගන්නා භාෂාව ද අතිශයින්ම සිත්ඇදගන්නාසුළු ය. ජීවගුණයෙන් යුක්ත ය. "ගුරු ගීතය" නම් කිර්ගීසියානු සාහිත්‍ය කෘතියේ සිංහල අනුවාදය සාහිත්‍ය කෘතියක් ලෙස ලාංකීය පාඨක ජනතාව අතර මෙතරම් ආකර්ෂණයක් සහ ජනප්‍රියත්වයක් දිනාගැනීමට මුල් නවකතාවේ හරය සහ සාහිත්‍යමය ලක්ෂණයන්ට වඩා ප්‍රබල ලෙස අනුවාදකයාගේ ප්‍රතිභාව හේතුවන්නට ඇතැයි මට හැඟෙන්නේත්, ඒ තුළින් අනුවාදකයෙකු ලෙස දැදිගම මහතාගේ අද්විතීය හැකියාව කැපීපෙනෙන ලෙස පිළිබිඹු වන බවක් මට පෙනීයන්නේත් මෙවැනි කරුණු නිසා ය. මේ සියල්ල මට වඩාත් තදින්ම දැනී ගියේ ගුරු ගීතයෙහි මුල් කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනයන් කීපයක්ම කියවීමෙන් පසුව ය. එහි කිර්ගීසියානු බසින් රචිත මුල් කෘතියම කියවා රසවින්දනය කිරීමට ලැබුණේ නම් මේ පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මට හැකිවනු නිසැක ය. නවකතාවක් ප්‍රබල සහ ආකර්ෂණීය නිර්මාණයක් ලෙස සාහිත්‍යය තුළ ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට නවකතාවක සාහිත්‍යමය ලක්ෂණයන්ට වඩා එහි අන්තර්ගතය සහ හරයත්, එය පාඨක මනස වෙත ළඟාවන ආකාරය මෙන්ම එය ඔවුන් වැළඳගන්නා ආකාරයත් බලපාන බවට "ගුරු ගීතය" කදිම නිදසුනකි.

 

මෙය "ගුරු ගීතය" නම් සාහිත්‍ය කෘතියේ දොස් දැකීමක් හෝ නිර්දය විවේචනයක් ලෙස එයට ප්‍රියකරන ලාංකීය පාඨක ජනතාව සහ එහි රසිකයන් වරදවා වටහානොගනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි. මම ද ගුරු ගීතය නවකතාවට ඉතාමත් ප්‍රියකරමි. නමුත් එයට මා තුළ ඇති ප්‍රියතාවය මාගේ ස්වාධීන රසවින්දනයට, සබුද්ධික විචාරයට සහ නිර්මාණය පිළිබඳව මගේ අවංක හැඟීම් ප්‍රකාශනයට කිසිසේත්ම බාධාවක් නොවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එසේ වනවා නම් එය අදාළ නිර්මාණයට සිදුවන බලවත් අසාධාරණයක් වන බව මගේ අදහසයි. සාහිත්‍ය රසවින්දනය යනු අතිශයින්ම සාපේක්ෂ වන්නා වූ දෙයකි.

"ගුරු ගීතය" එක හුස්මට කියවාගෙන යා හැකි ඉතා හෘදයාංගම එමෙන්ම ආකර්ෂණීය අපූරු නවකතාවකි. එය අප හදවතේ සියුම් තැන් හෘදයාංගම ලෙස ස්පර්ශ කරයි. සාහිත්‍ය කෘති කියවීම ආරම්භකරන ඕනෑම පුද්ගලයෙකුට මා නිර්දේශ කරන කෘතීන් අතර ගුරු ගීතයට හිමිවන්නේ මුල් පෙළ ස්ථානයකි. ගුරු ගීතය එතරම්ම ප්‍රබල උත්තේජනයක් සහ පෙළඹවීමක් ඇතිකරලීමට සමත් ජීවගුණයෙන් පිරි නවකතාවකි. නිර්මාණය බිහි වූ මුල් සමාජ, සංස්කෘතික, දේශපාලන පසුබිමෙන් බොහෝ වෙනස් වූ සමාජ, සංස්කෘතික, දේශපාලන පසුබිමක් තුළ බිජුවටක් ලෙස තැන්පත්ව සරුවට වැඩී අක්මුල් විහිදුවාගනිමින් දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස නැගීසිටීම කිසිසේත්ම පහසු කරුණක් නොවේ. එය සාහිත්‍ය කෘතියකට ප්‍රබල අභියෝගයකි. එම ප්‍රබල අභියෝගය සාර්ථකව ජයගත් ගුරු ගීතය තුළ ඇති ජීවගුණය මම සැමදා අගය කරමි. නමුත් එම ජීවගුණය ප්‍රබල ලෙස ඉස්මතුකරලීමේදී අනුවාදකයෙකු ලෙස දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් ප්‍රකට කරන ලද අද්විතීය ප්‍රතිභා ශක්තිය අගය කළ යුතු මෙන්ම එය අර්ථාන්විත කතිකාවතකට ද බඳුන් කළ යුතුම ය. වත්මන් පරිවර්තකයන් සහ අනුවාදකයන්ට දැදිගම මහතාගේ අනුවාදනයන් සහ පරිවර්තනයන් අධ්‍යයනය කිරීමෙන් ලැබිය හැකි පූර්වාදර්ශයන් රාශියකි. ස්වතන්ත්‍ර කෘතීන්ටත් වඩා බහුල ලෙස ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ පරිවර්තන සහ අනුවර්තන කෘතීන් බිහිවන මෙවන් පසුබිමක් තුළ එවන් කතිකාවතක් බිහිවීම ලාංකීය සාහිත්‍යයේ ප්‍රගමනයට ද විශාල රුකුලක් වනු නොඅනුමාන ය.

Top