සුගායනීය බසකින් නිමි - ප්‍රදීපාගාරයක ඇස් බැල්ම

post-title

ගේය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය

ස්වර රචනාවක් මත පිහිටා ගැයිය හැකි කාව්‍යය ගේය කාව්‍යය ලෙසින් සරළව නම් කෙරේ. එය ගීතය නමැති සෞන්දර්ය ප්‍රවාහයේ සාහිත්‍ය පාර්ශ්වය වන්නේය. ගේය කාව්‍යයක් ගීයක් බවට පත්වීමට, තනු රචකයෙකු, ගායකයෙකු, වාදන මණ්ඩලයක් එක්ව සාමූහික ප්‍රයත්නයක නියැලිය යුතු වෙයි. එහිදී ගේය කාව්‍ය පෙර කී සාහිත්‍ය ප්‍රබන්ධමය බවින් මිදී ගැයිය හැකි මාධ්‍යයක් බවට හැරෙයි. ගේය කාව්‍යය ගැන කෙරෙන සඳහනේදී පද්‍ය කාව්‍යයෙන් එය වෙන් වන ආකාරයද වටහාගත යුතු වෙයි.

පද්‍ය කාව්‍ය පරිකල්පනය, ශබ්ද සහ අර්ථ අලංකාර, ලය, භාෂාව ඇසුරින් උපදින සාහිත්‍යමය ශානරයක් වෙයි. පද්‍ය කාව්‍ය ගේය කාව්‍යයන් වන අවස්ථා ද වෙයි. එහෙත් මේ දෙක එකිනෙක වෙනස් කලා මාධ්‍ය දෙකක් බව වටහාගත යුතු වන්නේය. පද්‍ය කාව්‍ය සුගායනීය වීමට මෙන්ම නොවීමට ද පුලුවන. රිද්මයක්, ලයක් ඇති පමණින් කවියක් ගීතයක් ලෙස ගැයිය නොහැකි වන්නේය. ගේය කාව්‍යයක් සුගානීය වීම අවශ්‍යය, එය ශ්‍රවණගෝචරවීම අවශ්‍යය, බුද්ධිගෝචර වන්නේ ඉන් අනතුරුවය. පද්‍ය කාව්‍ය කෘතියක් වශයෙන් රසවිඳිය හැකි අතර, ගේය කාව්‍ය කෘතියකින් එහා ගායනයක් දක්වා ගෙන යා හැකිය. එහෙත් ඇතැම් සම්භාව්‍ය පද්‍ය කාව්‍යයන්, විවිධ කවීන්ගේ කවි පවා, ගීත බවට පත්ව ඇති බවද අප සිහිකැඳවා ගත යුතුය.(උදා:ගුත්තිල කාව්‍යයේ සුරඟන වැනුම)

කෙසේවෙතත් ගේය කාව්‍ය වේවා පද්‍ය කාව්‍ය වේවා මේ දෙකෙහිම හරඹ පෑ ප්‍රධාන කවීන් දෙදෙනා මහගමසේකර සහ රත්න ශ්‍රී විජේසිංහ බව සුනිල් ආරියරත්න ('නූතන ගේය කාව්‍ය සංහිතා' කෘතියේ පෙරවදන) පවසයි. මීට අමතරව, චන්ද්‍රරත්න මානවසිංහ, විමල් අභයසුන්දර, ඩෝල්ටන් අල්විස්, මර්සලීන් ජයකොඩි, අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර, යමුනා මාලිනී, මංජුල වෙඩිවර්ධන ආදී තවත් කවිකිවිඳියෝ වෙති. මෑතකාලීනව ගේය කාව්‍ය රචනයට පිළිපන් පිරිසක් ද වෙති. 

ගේය කාව්‍ය රචනයෙහි ආධුනිකයෙකු නොවන, එහි ලා සුබැසි වදන් හසුරුවන රවී සිරිවර්ධන සිය තෙවන කාව්‍ය සංග්‍රහය අප හමුවේ තබා ඇත. ගේය කාව්‍ය ලකුණින් මිදී පද්‍ය කාව්‍ය ලකුණට ඔහු අනුගත වීදැයි යන්නත් එහි සුලකුණුත් සකසා ගත යුතු තැනුත් මෙතැන් පටන් විමසා බැලේ.

විප්‍රයෝගී  කවියෙක්

ප්‍රදීපාගාරයක ඇස් බැල්ම, කාව්‍ය කෘතිය සමස්තය එක මිටට ගත් කළ, කවියේ විශේෂත්වයට වඩා මතුව පෙනෙන්නේ කවි හරහා මතුවන ඒ කවි රචනා කරන්නාගේ ආත්මීය ලක්ෂණයි. කියවූ ඇසිල්ලෙන් මේවා පිරිමි කවි බව පෙනෙන්නට ගනී. එහෙත් ඒ, පුරුෂමූලික සමාජයේ බලය දරන  'ඇල්ෆා' පුරුෂයා (ඇල්ෆා පිරිමියා ලෙසින් හඳුන්වන්නේ, සේපියන්ස් කෘතියේ රචක නෝවා හරි විසින් අර්ථ දත්වන පරිදි, සේපියන්ස්ට සහ වානරයාට අතරමැදි තත්වයේ මිනිසා පරිණාමය වන කාලයේ සිටි රැලේ නායකයාය. ඔහු රැලේ බලය දැරූ අතර සෙසු සාමාජිකයෝ කෙඳිරි ගාමින් ඔහු වෙත නතුවූහ) නොවේ. යුක්තිය සොයන සටන්කරුවා, කේවල පුරුෂයා, හුදෙකලා පෙම්වතා('වැසි මතක','ඔබට' නමැති කවි), වියෝ ස්වාමි පුරුෂයා('ඒ රහස් කුටියේ නිවෙමි','උත්තරා' යන කවි), කම්කරුවා, රස්තියාදුකරුවා, කුළුපඟ මිත්‍රයා, කලාකරුවා මෙහි බොහෝ කවිවල කථකයා වෙයි. එතෙක්දු ඔහු පරාජිත චරිතයක් ලෙසින් පෙනෙන්නේ ද නැත. ශෝකය, වියෝව ම පෙරළා සුඛයක් කරගනු පෙනේ. මෙකී හුදෙකලා බව නොහොත් තමන්ට නැමුණු ස්වභාවය කවියාගේ කවියෙන් එළිපනින්නේ, ඔහු දකින පරිසරය, නගරය, ගම, ඇසුරිනි. සමාජයේ හැදී වැඩී එහි කුදු මහත් සියල්ල අවශෝෂණය කරගත් අයෙකු, අසල්වැසි බාල බොළඳියනට තම අත්දැකීම් ඇසුරින් දිවි තතු පහදන්නාක් වැනි ස්වභාවක්, ඔවා දෙන ආකරයක් කවිවලින් දැකගත හැකි වෙයි.

නිර්වචන ආකෘතිය දරන කවි

රවී සිරිවර්ධනගේ කවිවල දැකිය හැකි පොදු ලක්ෂණය නම්, ඒවා නිර්වචන ආකෘතිය දරන කවි ස්වභාවක් ඉසිලීමයි. එනම්, 'අසවල් දෙය කියන්නෙ මෙහෙම එකක්' යනුවෙන් අර්ථ ගෙනෙන කවි රචනා කර තිබීමයි. 'මෙය නම් මෙවැන්නක් විය යුතුය' යනුවෙන් තිර අදහසක් දක්වමින්, එක් දෙයක් තවත් දෙයකට සම කිරීමයි. කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගන්නේ නම්,

'ජීවිතය කියන්නෙ ම හීනයක්' (උත්තරා: නමැති නිර්මාණය)

'ගසක් කියන්නෙ ම කතාවකි අරුමැසි' (ගසක් කියන්නෙම: නමැති නිර්මාණය)

'ආදරය කියන්නේ... පමා වූ කඳුලක්ද?' (ජිනදාස: නමැති නිර්මාණය)

'ආදරය කියන්නේ සොයා යන එක මිස...' (එනම් නිර්මාණය)

'පස් කියන්නෙ...ගස් රැසක ඉපැරණි සොහොන' (එහෙමත් ගස්: නිර්මාණය)

'මල් පිපෙන තුරු හිසක් කියන්නෙම මුල්වලට වැඩබිමකි නිදිනැති

තුරුපතක් කියන්නෙ ගසකට එක වසන්තෙක තවත් ඇඳුමකි'(එනම් නිර්මාණය)

'තොටුපළක් කියන්නෙ ම කොහොමත් යාම ඊමට මුහුණ දෙන එක' (එනම් නිර්මාණය)

මෙලෙසින් එක් දෙයක් තවත් දෙයකට සම කිරීම, නැතිනම් රූපකමය බවක් ඇඟවීම, නැතිනම් නිර්වචනමය අර්ථ දැක්වීම කාව්‍යයට සුන්දරත්වයක් ගෙනෙන්නක් ලෙස පෙනුනද, මෙයින් සැබවින්ම කෙරෙන්නේ සහෘදයා එක් තැනක් වෙත සීමාකිරීමයි. කවිපොත කියවන සහෘදයා, ආධුනික කවියා, එම කවියේ පරිකල්පනීය ගුණය වෙත යොමු නොවී පෙර කී නිර්වචනය සිත් තබා ගන්නට එතැන් පටන් යොමුවීම වැළැක්විය නොහැකිය. අසවල් දෙය යනු අසවල් දෙයය යනුවෙන් කීමට වඩා කළයුත්තේ, ඒබව ඇඟවීම බව අපගේ අදහසයි. කවියෙන් කීමට අවැසි දෙය එලෙසින්ම කීම වෙනුවට කවිය තුළින් එය මතුවීමට ඉඩහරින්නේ නම්, විසිරී ඇති බව පෙනෙන රවි සිරිවර්ධනගේ කවි මඟ වඩාත් පිරිපහදු වනු ඇත.  

එසේවුවත්, රූපකමය බසින් ප්‍රයෝජන ලබන තැන්ද මෙහි වෙයි.

'කොපුල් මිදුලට' 'දෙතොල් පිල උඩ' (ඒ මිහිරි සීනු නාදය: නිර්මාණයෙනි)

කතාන්දරමය කවි

මෙම කාව්‍ය සංග්‍රහයෙහි කතාන්දරමය ආකාරයක් ගන්නා ආකෘති හමුවේ. එනම්, කවියෙන් කිසියම් කතාවක් කීමය. මේ සඳහා කවියා පාර්ශ්ව දෙකක් යොදාගනී. උදාහරණයක් වශයෙන් ගඟ සහ මුහුද, ගස සහ කුරුල්ලන්, නෞකා සහ ප්‍රදීපාගාරය ලෙසිනි. එහිදී එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය ගැන සිතන ආකාරය, එය අපේක්ෂා කරන දෙය, අපේක්ෂා නොකරන දෙය, මෙවැනි ලකුණු පෙනෙන්නට ගනී. පාර්ශ්ව දෙකක් අතරට වඩා දුරකට විහිද යා හැකි සාර්ථක කවියක්, කෘතියේ ආරම්භයේදීම යොදා තිබේ. එහි මැය 'ගසක පැතුම' යි.

'ගසක පැතුම ම

මලක් එල්ලන් හිනාවීම ද?

කොඳු නවාගෙන ඵල දැරීමද?

කුරුල්ලන් නම් හිතාගෙන ඇති

ඒ තමයි හැම ගහක යුතුකම'

මේ කවියේ පාර්ශ්ව දෙක නම් ගස සහ කුරුල්ලන්ය. ගස කාන්තාව ලෙසද, කුරුල්ලන් පුරුෂයා ලෙසද උපකල්පනය කර නැවත කවිය කියවා බැලූ කළ මෙවැනි අදහසක් ගත හැකිය. 'කාන්තාවන්ගේ ප්‍රාර්ථනය, මල්(සුන්දර දෑ විලාසිතා ආදිය) ගවසාගෙන නිතර සිනහ මුවින් සිටීම විතරද? කොඳු නවාගෙන ජීවිතයේ ගේදොර වැඩ දරාගෙන කිරීමද? ඵල(දරුවන්) වැදීමද?  කුරුල්ලන්(පුරුෂයන්) නම් හිතාවී කාන්තාවන්ගේ යුතුකම එය කියා'. මෙහි 'පැතුම ම' යන්නෙහි අවධාරණාර්ථයේ 'ම'කාරක නිපාතය යෙදීමෙන්, ඔවුන්ගේ පැතුම එය විතරක්ද? ඊට එහා අරමුණු ඇති අය නැද්ද? වැනි අදහසක් මතු කෙරේ. මෙම ම'කාරය බොහෝ ආධුනික කවිකිවිඳියන් ඕනෑවට එපාවට කවියේ අඩු පිරවීමට යොදා ඇති බව ඇස ගැසුණද මෙහි එය යෙදීම සිතා මතා උචිතව යොදා ඇති බව පෙනේ. මෙම අදහස මෙලෙසම තබා, ගස පුරුෂයා ලෙසින්ද, කුරුල්ලන් කාන්තාවන් හෝ සමාජය ලෙසින් උපකල්පනය කර යළි කවිය විමසා බලමු. එවිට, ''පිරිමියාගේ අරමුණු/ප්‍රාර්ථනය මලක්(පෙම්වතියක්) එල්ලාගෙන (තමා සමඟ රඳවාගෙන) හිනාවීමද? කොඳු නවාගෙන(දිවි අරගලය වෙනුවෙන් මුදල් ඉපයීමද) ඵල දැරීමද(දරුවන් හැදීමද?) කුරුල්ලන්(සමාජය) නම් එහෙම හිතාගෙන ඇති' යනුවෙනි.  මේ කුමන අර්ථය වුවද පරිකල්පනය අතින් නිර්මාණාත්මක බව හැඟේ. සමස්ත කවියම විවිධකාරයෙන් රඳවිඳිය හැකිය. මෙම කවියේ අදහස සම්මතයට  නොබියව එදිරිව කවියා තබන අඩියකි.

අප පෙර සඳහන් කළ පුරුෂයා ප්‍රමුඛ කරගන්නා ආකාරය ගන්නා තවත් කවකි, 'ජිනදාස'. ගම්පෙරළියේදී සුලු චරිතයක් බවට පත්ව පසුව මියගොස් කෘතියෙන් ගලවා විසිකරන ජිනදාස ගැන හුදකලා කවියාගෙ සිත නැමෙයි. ජිනදාස සිංහලේ ගොස් විඳි තනිකම එහි මුල් කවි කිහිපයෙන් කූටප්‍රාප්ත කෙරෙයි. එහෙත් එහි අවසානය දියවී ගිය සෙයක් පෙනේ. මෙය කවි කිහිපයකම දක්නට ලැබුණකි. කවිය අවසන් කරන්නේ කෙසේ ද යන්න ගැන නොසිතා, ක්ෂණිකව අවසන් කළ ස්වභාවක් දැකගත හැකිවෙයි. මෙවැනි තැන් යළි සකසා සංස්කරණයට යොමුකළ යුතු බව අපගේ අදහසයි.

ගේය කාව්‍යයක බසක් 

ගායනයට උචිත, කඨොර වදන් නොමැති, ළගන්නාසුලු, මැනවින් උච්චාරණය වන වදන් යෙදීමේදී කවියා සිය ආස්ථානය තහවුරු කරගෙන තිබේ. පොහොසත් බසක් අතරෙහි, කවියකින් මතුවන දීපකයක්, කවියට ම දීප්තිය ගෙන එයි. එබැවින් මේ බස, කාව්‍ය නිර්මාණ එකතුවක් පරයා, ගේය කාව්‍ය එකතුවකට උචිත ආකාරය දරන බසක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. කවියේ රිද්මය, ලය රැකීමට කවියා ආයාසයක් නොදරන්නා සේ පෙනුනද ඇතැම් කවිවල එළිවැට රැකීමට තැත්දරන හැඩ පෙනෙයි. එසේවතුදු, ඇතැම් කවිවල රිද්මය ද බසද සමානුපාත වී ඉබේ ගලා එන්නාක් වැනි ගීතලෝලී ස්වර රටා මැවෙයි.

'රෑ මුදුන් සමයමේ

පොඩි කෙලීගේ දෑස

වැසි සමේ කණදරා වැව වගේ

සොරොව් දොර ඇරෙනවා' (උත්තරා: කවියෙනි)

'කිරි එරුණ හරි තරුණ ගස්වලට

කිරි පිහිය යවා බඳ වට පෙමින

කිරි දෙවූ හැටි දනී මණ්ඩියම' (තාත්තා බලන්න යාම: කවියෙනි)

'කාක්කෙක් හිටෙව් බව ඇත්තය

ඒත් නුඹ බෝ කුලේ ඇත්තොය' (කපුටු බෝගසක සම්‍යක් දෘෂ්ටිය: කවියෙනි)

එතෙකුදු වුවත් මෙම කාව්‍ය සංග්‍රහයෙහි, එකම වදන් නැවත නැවත කවිවල යෙදෙනු ද පෙනේ. 'පපුවෙ ඇනුණ උල/ තුවාලය' කවි කිහිපයකම භාවිතයට ගෙන ඇත. එම වදන් වෙනුවට ආදේශක වදන් වෙත යාහැකි නම් හෝ එම කරුණම වෙනත් ලෙසකට කිව හැකි නම් ඒකාකාරී බව මිදෙනු ඇත.

සම්මත කාව්‍ය පරිකල්පනා බිඳ දමන තැනක් මෙහි දක්වමි. 'කවි ම විතරක් නොවේ වැඩ බිම' කවියෙහි පළමුවෙනි පැදිය('රාත්‍රිය දැන් අහවරයි-හඳේ කුඩුවුණු කෑලිවත් නොපෙනෙයි') කියවන ඇසිල්ලෙන් රත්න ශ්‍රී විජේසිංහගේ 'සමුගැනීම' කාව්‍ය නිර්මාණයේ පළමු පැදිය ('දැන් රාත්‍රී කාලයයි-තාරකා ඇසිපිය නිසල වෙයි') සිහි කැඳවෙයි. රාත්‍රිය පිළිබඳව කාව්‍ය ලෝකයේදී විවිධ කාවයෝක්ති වෙයි. සංදේශ සාහිත්‍යයන්හිදී රාත්‍රිය, සඳ, අඳුර විවිධ උපමා ආදියෙන් උත්කර්ෂයට නැංවිණි. එහෙත් මෙම කවියෙන් ඒ සියලු සුන්දරත්ව පසුපස ඇති සැබෑ ශෝකය, අඳුර ඉදිරියට ගෙනඒමට කවියා සමත් වෙයි. රැයේ සිහින දකිමින් සිටින දනන්ට ඒ සුන්දරත්වයෙන් අන්ධ නොවී, හෙට උදෑසන වැඩ පිනිස සටනට බසින්නැයි එම කවියෙන් කැඳවයි. රත්න ශ්‍රී විජේසිංහගේ කවියත් මෙම කවියත් යන දෙකම, විරාම නොමැති වැඩලොවට, සමානතාව වෙනුවෙන් වන දේශපාලනික අරගලයට දනන් සිත් යොමුකරන අතරම එහිදී තැලෙන සිත් මුවහත් කරන, ඊට ඔසු යොදන, ජීවය පිඹින කාර්යද අනියමාකාරයෙන් ඉටුකරයි.

හංස සන්දේශයේ කෑරගල පද්මාවතී පිරිවෙන වැනුමේදී, මෙවැනි කවියක් වෙයි.

'කෙළනා බිඟුරැවින් බුදු මතුරු දපමින

සිටිනා තුරු වෙහෙර අතු අතිනි මල් ගෙන

යතිනායක එහිමි බුදු බව ලබන දින

සිටිනා වැනිය පිටදෙන ලෙසට පතමින' (166 කවිය: ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි සංස්කරණය) මෙහි දැක්වෙන්නේ, කෑරගල පද්මාවතී පිරිවෙනෙහි යතිනායක හිමි, බුදුවන දිනයේදී පිටදෙන්නාක් ලෙසින් ඒ පිරිවෙනෙ ගස්වැල් සැරසී සිටි බවයි. එනම්, බුදුන්ගේ වදන්, පිරිත් රාවය කරන බඹරුන්ද, වෙහෙරෙහි වූ ගස් තම අතු නමැති අත්වලින් මල් අරගෙන ද සිටි බවය. මෙකවෙහි දෙවන පැදි ආකාරය ගන්නා කවි පැදියක් රවි සිරිවර්ධනගේ කවි පොතෙහි එයි. ඒ මෙලෙසිනි.

'එන අතරමග දන්න හඳුනන

කුරුලු ගී සංගීත සැණකෙළි

අලුත් අතු ඉති අතින් අරගෙන

දෙපස තුරුගොමු පුදයි හසරැළි' (පෙම්බරාණෙනි! මෙහි එන්න දවසක: කවියෙනි)

මෙකවෙහි සිටින තුරුගොමු ද අතු ඉති අතින් අරගෙන සිටී. ඒවා අලුත් අතුය. කුරුල්ලන්ගේ ගීත ඇසෙන්නට ගනී. පෙම්වතා වෙනුවෙන් මග සැරසී සිටින සැටි ය ඒ.

සමාලෝචනය

රවී සිරිවර්ධනගේ 'ප්‍රදීපාගාරයක ඇස්බැල්ම' කාව්‍ය නිර්මාණය විමසීමේදී, ඒවායේ පරිකල්පනය, රිද්මය හෝ බස පිළිබඳව ගැටලු නොමැති බව පොදුවේ දැකගත හැකි ලකුණු බව පැහැදිලිය. උපමාලංකාරයෙන් මිදී රූපක වෙත යොමුවීම ඔහුගේ තවත් ලක්ෂණයකි. කවියට විෂය කරගන්නා වස්තු බීජය, අරමුණ සහ අත්දැකීම සීමිත පරිසරයක්(ගඟ, ගස්, අහස) ඇසුරින් ප්‍රතිනිර්මාණය කරනු දැකිය හැකිය. කෙසේවෙතත් ඔහු අවධාරණය කරගත යුත්තේ, ගේය කාව්‍ය සහ පද්‍ය කාව්‍ය අතරෙහි නිර්මාණය දෝලනය නොකර පවත්වාගැනීමටය. මෙම කාව්‍ය නිර්මාණ කේවල පුරුෂ දෘෂ්ටියෙන් ඉදිරියට පැමිණීම නොවැළැක්විය හැකි වුවත්,  ‍එය වෙනස් කර බැලීමට ඔහුට තැත් කළ හැකිය. මෙම   කාව්‍ය නිර්මාණයන්හි පොදු ආකෘතිය සිව්පද බැවින් ඔහුට වෙනත් ආකෘති අත්හදාබැලීමට යාහැකිය. ඒ අතරතුරදී, කාව්‍යවල  ඇති නිර්වචනමය ස්වභාවය එකඑල්ලේ නොකියා ඇඟවීමට සැලැස්වීමක් වෙත ද යාහැකිය. ඇතැම් කවි නැවත කියවා සංස්කරණය වෙත යොමුවීමට අවශ්‍යදැයි පිරික්සා බලන්නේ නම් යහපත්ය. කවිය පුරා ජීවගුණය පවත්වාගෙන යාම සඳහා අමුතුවෙන් ඔහුට සැරසිලි අවශ්‍ය නොවන්නේ, බසෙහි ඒ ගුණය ඇති බැවිනි. මෙකරුණු කෙරේ සවිඥාණික වන්නේ නම්, ආධුනික කවිකිවිඳියන්ට ඇස්බැල්මකින් වුවද එළිය සපයන ප්‍රදීපාගාරයක් වීමට ඔහුට හැකිවනු ඇත. එය එසේ වේවා!

Top