අපේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික නිධියේ සුවිශේෂම පුපුරායෑම සිදුවූයේ 1977 න් පසුව. පැවති ආවෘත පැවැත්ම ඉන් පසු දෙදරා යාමට පරන් ගන්නවා. එය හුදෙක් හුදකලා දේශපාලන තීන්දුවක් ලෙස සලකනවාට වඩා ලොවපුරා ජාතික රාජ්‍ය හා ජාතික ආර්ථික රටාවන් මෙන්ම ස්ව සංස්කෘතික නැමියාවන් දියකර හැරීමේ දියුණු ධනේශ්වර කාර්මික රටවල එකමුතු තීන්දුවක ප්‍රතිඵලයක් ලෙස සැලකීම වටිනවා. එයින් පසු අපේ වැනි පරිධියේ කුඩා රටවල් මුහුණ පාන්නේ නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අර්බුදයකට.
මේ විෂමකාරී වාතාවරණය තුල බිහිවූයේ අපට නුහුරු නුපුරුදු පුද්ගල චරිත. ඔවුන් මේ සන්දර්භය තුලින් ක්‍රමිකව ගොඩනැගෙන චරිත නොව කිසියම් ඕපපාතික ගතිලක්ෂණ වලින් හෙබි චරිත. එවැනි චරිත පදනම් කරගෙන ලියන ලද වෙනස් ආකාරයක කතා එකතුවක් ලෙස "කන්කොටාගේ ප්‍රේමය සහ තවත් කතා" කෘතිය හඳුන්වන්න පුළුවන්. මේ වෙනස් ආරේ කතාගොන්න අපට පවසන්නේ රංගන ශිල්පියෙකු ලෙස අප හඳුනාගෙන සිටින අමිත්ත වීරසිංහ. ඔහුගේ නළුකම පසෙක තබා නවක ලියන්නෙකු ගේ කෘතියක් ලෙස මේ කෘතිය කියවිය යුතු බවයි හැඟෙන්නේ.
අමිත්ත ගේ මේ කතා 09ය විවිධ පඨිත ආකෘතීන් අත්හදා බැලීමට ඔහු ගත් උත්සාහයක් ලෙස විටෙක පෙනීගියද ඒ ආකෘතීන් තුල ඔහු බහාලන කතා අන්තර්ගතය තුල අපට සම්මුඛ වෙන කේන්ද්‍රීය චරිත සියල්ල අර අප සඳහන් කල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික විපර්යාසය විසින් බිහිකරන ලද ඒවා වීම විශේෂයි. රාහුල, මන්ත්‍රී ස්වාමීන්වහන්සේ, සිසිර කුමාර, අර්ජුන්, පරිගණක තාක්ෂණ ඉංජිනේරුවරයා, කුමාර,නිමල් ආදී චරිත නියෝජනය කරන්නේ මේ පශ්චාත් විවෘත ආර්ථික සමය. ඔවුන්ගේ උවමනාවන්, ජීවිත අරමුණු මෙන්ම ඔවුන් බිහිවන හේතුව වන්නේ ද මේ ක්‍රමය විසින් බිහිකරන ලද භූමිය.
අනෙක් අතට අමිත්ත තෝරාගන්නා ආඛ්‍යාන රීතීන් එම චරිතවල ඇති විකාරරූපී උත්ප්‍රාසාත්මක බව මතුකරන්න කදිමට ගැලපෙනවා. ධර්මරාජ්‍යයක් බිහිකරන්න පාර්ලිමේන්තුවට යන්න දඟලන හාමුදුරුවන්ගේ කතාව ඔහු කියන්නේ ජාතක කතාවක ස්වරූපයෙන්. ඒ ජාතක කතාවේදී හමුවන චරිත අපතුලම පූර්වාපර සන්ධි ගැලපීමෙන් නූතන චරිතවලට පෙරලෙන්නේ නිරායාසයෙන්. "තැඹිලි ගස කපා ඉවත් කරන ලදී" කතාවේ ඔහු තැඹිලි ගස සංකේතාර්ථයෙන් ඉතා අපූරු ලෙස භාවිතා කරමින් මේ ඇතිවන විපර්යාසයේ අවලස්සන උත්ප්‍රාසාත්මකව අපට කියනවා. සේතුංග මහත්තයා වැනි සංස්කෘතික කම්පනයකට ( Cultural Shock ) බඳුන් වූ පුද්ගලයන් හුදකලා වෙන ආකාරය අමිත්ත අපට කියන්නේ කිසියම් අපූර්වත්වයක් ජනනය කරමින්.
නව සමාජ දේශපාලන ආර්ථික රටාවන්ගෙන බැට කන තරුණ පරම්පරාව සිය ප්‍රතිවිරෝධය පෙරලා එල්ල කරන්නේ ලෙයින් සහ යකඩින්. දකුණේ ද උතුරේ ද ඇතිවෙන සන්නද්ධ අරගල දෙකම අමිත්ත සිය කතාවල පසුතලය ලෙස ගන්නේ වෙනස් මානයකින් ඒ අර්බුදය දකින්නට ඉඩ හදමින්. "අර්ජුන්" කතාව ඒ අපූර්වත්වය මතුකරනවා. යම් යම් දුර්වලතා තිබුණා වී නමුත් එම කතාව දිගු නවකතාවක් දක්වා වර්ධනය කලහැකි කතා නිමිත්තක් අන්තර්ගත කරගත්තක් බවයි අපට හැඟෙන්නේ.
"අසල්වැසියා ගේ හෘද සාක්ෂිය" වැනි කෙටිකතාව ආකෘතිමය වශයෙන් වෙනස් භාවිතාවක් සහිතව සැකය හා කුතුහලය යන මානව චෛතසිකයන් ඔස්සේ අපව බැඳ තබාගන්නා කතාවක්. ඇත්තටම ඝාතනය සිදුකරන්නේ කවුද? සිසිර කුමාරද? ඔහු අනුදත් දේශපාලන ව්‍යාපාරය විසින්ද? එසේ නම් සිසිර කුමාර ඝාතනය කරන්නේ කවුද ? ඝාතන කල්ලියක් විසින්ද? නැත්නම් ඔහුගේම දේශපාලන ව්‍යාපාරය විසින්ද? යන කාරනා පාඨකයාටම සොයාගතයුතු වෙනවා.
"Feeling awesome with නිරිතදිග මෝසම්" කතාව සම්පූර්ණයෙන් නූතන සන්නිවේදන තාක්ෂණයේ වහලෙකු බවට මිනිසා පත්වීමේ ඛේදවාචකයේ උත්ප්‍රාසාත්මක බව මතුකරන්නක්.
"කන්කොටාගේ ප්‍රේමය" තව බොහෝ වර්ධනය කලහැකිව තිබූ නිමිත්තක්. අමිත්ත එය මගහැරගෙන බවයි හැඟෙන්නේ.
කෙසේ වෙතත්, අප දන්නා අමිත්ත වීරසිංහ නම් වූ රංගන ශිල්පියා තුල සැඟව සිටින ප්‍රබන්ධ කතා රචකයා මේ කතා තුලින් එළියට පැමිණෙනවා. ඔහු ඉතා ශූර ලෙසින් උත්ප්‍රාසාත්මක බව බොහෝ කෙටිකතා සඳහා භාවිතා කිරීම විශේෂයි. එය තියුණු උපහාසයක්. ඇතැම් කෙටිකතාවල යටිපෙළ අවබෝධ වන සැණින් මේ උත්ප්‍රාසය පාඨකයාට දැනෙන්න ගන්නවා.
අනෙක් කාරණය වන්නේ අමිත්ත ගේ බස හැසිරවීම. ඔහු ඒ ඒ අනුභූතියට උචිත ආකාරයට කරන භාෂාත්මක හරඹය මේ ක්ෂේත්‍රය තුලද ඔහු ආධුනිකත්වයෙන් ඉහළට ඔසවා තබන්නක්. "ධර්මරාජ්‍ය ජාතකය" හා "මෙරු ගිර" එයට උදාහරණ. ඉඳුරාම ප්‍රතිවිරුද්ධ අන්ත දෙකකට අදාල භාෂාත්මක ආලේපනයන් මේ කතා දෙකෙහි දකින්නට පුලුවන්.
මේ කතා ඇත්තටම කෙටිකතා දැයි කෙනෙකුට සිතෙන්නට හැකියි. ඇතැම් ඒවා කෙටිකතාවක් මට්ටමට වර්ධනය වී නැතැයි ද චරිත නිරූපනයක් නැතැයි ද හැඟෙන අවස්ථා තිබෙනවා. නමුත් එයින් අමිත්ත ගේ පරිකල්පනීය ප්‍රබන්ධ රචනා හැකියාව නිෂේධනය වෙන්නේ නෑ. ඔහු තුල අපූරු රචකයෙකු සිටින බව මේ කතා තුලින් අවබෝධ කරගන්න පුලුවන්.
තමන් විසින්ම තව තවත් තමන් ම සකසා ගන්නේ නම් අනාගතයේ අමිත්ත වීරසිංහ නම් රංගන ශිල්පියා පසුකර යන අමිත්ත වීරසිංහ නම් ප්‍රබන්ධ රචකයා පාඨකයාට සම්මුඛ කරන්න ඔහුට හැකිවේවි.