තාරකා සහම්පති අබේසේකරගේ "කෝපි රහට කවියක්" පිළිබඳ කෙටි සටහනක් ඇගේ දෙවන කවි පොත එළිදක්වන කලෙක මෙසේ ලියා තබමි. කෝපි රස, කෝපි සුවඳ වූ කලී ආදරයට ඍජු සම්බන්ධයක් දක්වන්නක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. බොහෝ විට ඒවා එක් වීම සම්බන්ධ මතකයන්ට වඩා ළං වන්නේ වෙන් වීම සම්බන්ධ මතකයන්ට බව පෙර සාහිත්‍යය විමසූ විට පෙනේ.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර "මළගිය ඇත්තෝ" නවකතාවෙහි දී දෙවෙන්දරා සං ලවා අප මතකයට නංවන්නේ එවැන්නකි.
"ඔබ නැත්නම් මේසා විශාල තෝකියෝ නගරයේ මා කුමක් කරම් ද? ඔබගෙන් තොර වූ තෝකියෝ නගරයක් මා නො දනිමි. තෝකියෝ වීදි මා ඔබ සමග ගිය වීදි ය, තෝකියෝවේ බොජුන්හල් මා ඔබ හා අනුභව කළ බොජුන්හල් ය, තෝකියෝවේ කෝපිශාලා මම ඔබ හා පැය ගණනක් ගත කළ කෝපිශාලා ය....
ජපානයේ කෑමවර්ග ඔබ මට සියතින් පිසදුන් කෑමවර්ග ය, ඒ නිසා ඔබෙන් තොර වූ තෝකියෝ නගරයක් හෝ ජපානයක් ගැන මම නො දනිමි."
නොරිකෝ සංගේ ඈත් වීම දෙවෙන්දරා සංට කිසිසේත් ම දැරිය හැක්කක් නො වේ. ඔහුගේ මතකය කෝපි රස මතකයකට පැන දුවන්නේ එහෙයින් විය යුතු ය.
"මීළඟ මීවිතේ" දී රුවන් බන්දුජීව පවසන්නේ ද මෙවැනි ම අදහසකි. ඒ ආදර කතාව සරදියෙල් හා මේනකාගේ ආදර කතාව යි.
"තුංග උතුවන් කන්ද පාමුල
කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බං
ඉකි බිඳින හඬ මේනකා..."
ඔහුට ඇත්තේ කෝපි රස මතකයක් නො වේ. ඒ වනාහි කෝපි සුවඳ මතකයෙකි. තාරකා සහම්පතීට ද මෙවැනි කෝපි මතකයක් තිබේ. එය කෝපි රස මතකයකි. ඇය මෙසේ කවි කරන්නී ය.
මහගෙදර පෑල දොරින්
පිළිකන්නට බැහැපු
කෝපි බදින සුවඳ
අපේ මිදුලටත් ඇවිදින්
කොහොමත් තව ටිකකින්
අම්මා එනවා සිකුරුයි!
කෝපි කුඩු මුලත් එක්ක
එක අතක කෙල්ල යි
අනෙක් අතේ කෝපි යි
කාවද වඩා ගන්නේ
ඉස්සෙල්ලා ම මම
එතකොට?
අම්මලා එහෙම ය. මිණිපිරීලාත් බලාගෙන තම දුව ද අමතක නො කර පෙර මෙන් බලා ගන්නී ය. ආදරය දෙන්නී ය.
දුව ද එසේ ය. තමා ද දැන් මවක වුවත්, තම මවගේ දුව ව විසීමේ අදහස ඇය අත්හැර නැත. අත්හැරීමේ අදහසක් ද නැත. ඇය සිටින්නේ දෙලොවක ය. තමා රඟපෑ යුත්තේ මවගේ භූමිකාව ද? නැතහොත් දුවණියගේ භූමිකාව ද? යන දෙලොවෙහි ය.
ආදරේ දීම ද? නැතහොත් ලබා ගැනීම ද? යන දෙගිඩියාවේ සිටිමින් ඈ කාලය ගෙවන්නී ය. මෙය පෘථග්ජන ස්වභාවය ඉස්මතු කිරීමකි. අපූරු දාර්ශනික ඉසව්වක අප මොහොතකට තනි කිරීමකි.
කවිය කූටප්‍රාප්තිය අපූරු ය. ඈ තම දියණියට පවසන කොටස ඊළඟට එයි.
කවදා හරි දවසක
ඔයාට කලියෙන් මම
අහසට ගිය දාට
තරුවක් වෙලා බලන්නම්
තනිය ම කෝපි බොන හැටි
ඒත් ඒ දවසට
පින්න හරි වැඩිවේවි
බංකුවේ ඉන්න එපා
හාන්සි පුටුවට යන්න
තමා නැති දවසක තම දියණියට හාන්සි පුටුවට යන්නයි කියන්නේ පින්න නිසා ලෙඩ වුවහොත් ඇයට තනි රකින්නට ඇගේ මව වන තමා ඇය අසල නැති නිසා ය. මේ කෙතරම් අපූරු සිතිවිල්ලක් ද? මේ කවිය බැලූ බැල්මට මදක් දුරවබෝධ ය. නමුත් හෙමින් ලෙහා ගත් කල අතිශය අපූරු ය.
බැද්දේ පිපුණු මොරමල් සුවඳයි ද? කවිය ද නව්‍ය වස්තු විෂයයක් හා කාව්‍යමය ගුණයකින් යුතු ය.
පිපුණා ම මල් පොකුරු අතු අග හරි හැඩට
ගහ දන්නවා මල ආ හැටි අතු අගට
පැරදී වැටෙන කුරුමිණි උවදුරුවලට
මල දුටු ගහයි වැලපෙන්නේ දරු දුකට
ගහක් මලක් උපද වන්නේ මොන තරම් වෙහෙසක් දැරීමෙන් අනතුරු ව ද? එය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් අප බිහි කරන දරුවන්ට වෙනස් නො වේ. අපට එය නො වැදගත් වුවත් ගසට තම මල හෙවත් තම දරුවා එක සේ වටී. කුරුමිණි උවදුරුවලට පැරදී වැටෙන තම දරුවන් පිළිබඳ ව ගස දුක් වන්නේ එහෙයිනි. එක් අතකට සමාජයේ නොයෙක් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී අකාලයේ විනාශ වන හෝ අපෙන් සදහට ම සමුගන්නා දරුවන් පිළිබඳ ව අප දුක්වන්නේ මෙලෙසින් ම නො වේ ද? මේ කිසියම් ආකාරයකට වාචාර්ථය අභිබවා සිටින ව්‍යංගාර්ථයක් පෙන්වන කවියක් ලෙස හඳුනාගත හැකි ය. එය කවියේ අවසාන කොටස්වලින් තවත් ඉස්මතු වෙයි
බැද්දේ පිපුණු මොරමල් සුවඳයි ද කියා
බැලූ බඹරා මල් රොන් ගෙන දුරට ගියා
අම්මේ මල හැලේ ගෙඩි අතු අගට තියා
සඳ සාවියක් දැක්කා මං නො මග ගියා
උළෙලේනියක් සුළඟට ගතු කීවාට
වන රෑසියන් බඹරිඳු කෝ හෙව්වාට
සමාවෙයන් අම්මේ දැලි ගෑවාට
සුවඳ බෙදුවෙ මලමයි වන බඹරුන්ට
අපට එක්වර ම සිහිපත් වන්නේ එක්තරා ප්‍රසිද්ධ උපදේශාත්මක ජන කවියකි. එහි වස්තු විෂයය ද මින් වෙනස් නො වේ. එය රචනා කරන ආකාරයත් මෙයට අතිශය සමාන ය. හෘදයග්‍රාහී භාෂාවකින් යුක්ත ය.
අඳුරු කළුවරේ පඳුරට මුවා වෙලා
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා
අනුන් ලියන් දැක තම ලියට තල තලා
දුවන මුවන් දැක නො දමන් නෙලූ පලා
මේ වස්තු විෂයය ම ඉන්ද්‍රානි බෝගොඩ මෙසේ ගයන්නී,
විදුලි එළිය දැක ගිනි හුල දියේ හෙළා
මග වැරදිලා දිව්වේ මං මුලා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණ යි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
කලාකරුවාගේ සංවේදජනක ඉරණම පිළිබඳ ව කවියක් ද මෙහි අන්තර්ගත ය. කලාකරුවාගේ ඉරණම කී සැණින් අපට සිහිපත් වන ගීතයක් වන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ලියූ "කිරුළ මුතු ලිහී" ගීතය යි. මෙය ද එකී වස්තු විෂයය ම සංස්ඵර්ෂ කරන නමුත් ඊට වඩා හාත්පසින් ම වෙනස් අත්දැකීමක් පාදක කර ගත්තේ වේ.
සිතක ගුලි කළ මතක පොඩි ඇද
තවත් නම් අපි තැවෙනු කුමට ද
අමරෙ තවමත් බැරි ද අප ගැන
වචනයක් මට දෙන්න හරියට
එකුන් තිස් විය ලැබුවෙ ඊයෙට
නැගෙණි තිදෙනෙක් පසු පසිනි මට
ඉතින් කොහොම ද ඉවසන්නෙ තව
අමරෙ අම්මත් බනින තරමට
වසර ගණනක් පුරා පෙම් කළ
හිතක් නැත මට වෙනත බැලුමට
තවත් තවමත් හිතනවා මම
කවිය රස නම් බඩ පිරේවි ද
බුලත් හෙප්පුව දික් කරන් මම
හෙටත් යනවා මක් කරන්න ද
අමරෙ කවි පොත ගහන දවසක
දුරක හිටියත් එනවමයි මම
ආර්ථිකය මත පදනම් වූ සමාජ ක්‍රමයක ආදරයට කෙසේ වෙතත් විවාහයට ද කිසියම් මිලක් තිබේ. මිල ගෙවිය නො හැකි නම් ආදරය විවාහය පවා අහිමි විය හැකි ඛේදාන්තගත සමාජයක ජීවත් වන අප ගැන අපට ම ඇති වන්නේ දුකකි. ආත්මානුකම්පාවකි. කනගාටුවකි.
"වැව් දිය කැළඹුණත් ආයෙත් පිපෙයි මලක්" කවිය ද මෙකී ආර්ථික ඛේදාන්තය ම ඉස්මතු කරන සුළු ය. නිවසේ සැමියා බීමතිනි. අගහිඟකම් එමට ය. විවාහ දිවිය රස නැත. ඈ සියදිවි නසා ගන්නට තීරණය කරන්නී ය.
විලිකුන් සුරත් පල ලෙස වැනු තොල් සඟලේ
පිපිරුම් පළින් රතු ලේ කැට පැන නැගුණේ
කඳුලක් වෙලා නයනත සැඟවුණු සෙනෙහේ
දියවැල් වෙලා බොර වුනු මුහුදට ගැලුවේ
වියු පොල් පතින් ඉපදුණු සිල්ලර කාසී
තිබුණේ පොඩි කණට ලන්නට බිනර පෙති
රහමෙර කටේ ගාගෙන නුඹ රැඟුවා ඇති සෝමේ කොහොම ඉවසන්න ද මේත් ඇති
බැඳගත් බෙරේ ගැහුවත් මේ තරම් කලක්
ඇද ඇරියැකි ද බලු වලිගේ මටත් ටිකක්
සමාවෙයන් පැටවුන්නේ දුකයි ගොඩක්
වැව් දිය කැළඹුණත් ආයෙත් පිපෙයි මලක්
මේ කවි බස ඉතා පොහොසත් ය. චිරන්තන භාෂා භාවිතයක ලකුණු ඇසුරින් නූතනත්වයට අත දිගු කරන සුළු ය. නමුත් මින් ඉදිරිපත් කරන දෘෂ්ටිවාදය ගැන නම් අපට ඒ තරම් රුචියක් නැත. එහි ඉස්මතු කිරීමට මෙකී ඛේදාන්තය ම රැගත් එක්තරා මවක් පිළිබඳ ව රත්න ශ්‍රී ලියූ පද්‍යයක කොටසක් මෙහි උපුටා දක්වමි.
කැඳ උගුරක්, බත් වේලක්
ඇයට නුදුන්
සුදු හැඳගත් සත්ජන පිරිවර
ඈට ගසන්නට
ඉස්තරම් ම ගල්
අසුලා අසුලා දුන්නා
මෙයින් ඉදිරිපත් වන සමාජ කියවීම අර තරම් දුබල නො වේ. කවියාගේ අදහස පාඨකයාට බලෙන් පටවන්නක් ද නො වේ. "රත්නෙ ණය පොත ගෙව්වේ ඒකෙන්" පද්‍ය ද මේ හා සමගාමී ය. නමුත් එය පෙර කී දුබලතාවෙන් යුක්ත නො වෙයි. එය අවසන් වන්නේ මෙසේ ය.
තරුත් හැංඟුණු දාක රහසින්
ඉගිළුණා නිල් මොණරු අහසින්
දොර ඇරියේ නෑ හිතේ සතුටින්
රත්නෙ ණය පොත ගෙව්වේ ඒකෙන්
ලිංගික ශ්‍රමිකත්වය බිහිවන ආකාරය, අස්වාමික කාන්තාවන් මුහුණ දෙන අභියෝග ආදී නැතක් කම්කටොළු මෙයින් ඉස්මතු වෙයි.
"දහවල් දානයට ජෙලිත් දෙනවලු" යන්න ද අතිශය බුහුටි බසකින් යුතු පද්‍යයක් ලෙස නිර්ලෝභී ව හඳුනාගත හැකි ය.
ඈත අහසේ නයි සරුංගල්
හිතත් ඉහළට නගිනවා
ලොකු සාදු බණ පොත ගෙනාව ම
හෙමින් පහළට බහිනවා
කුඩා ස්වාමීන් වහන්සේ නමකට දැනෙන හැඟීම් කවිකර තිබේ. උන්වහන්සේගේ නිදහස්කාමී සිතුවිලි, ළමා මානසිකත්වය, සෙල්ලම් වයස තනි කවියකට කැටිකර තිබේ.
පිරිවෙනේ ගුරු සාදු මං හරි
හොඳයි කියලා කියනවා
ඒත් අම්මේ ඉඳලා හිටලා
මම හොරෙන් අඹ කඩනවා
මේ කුඩා ස්වාමීන් වහන්සේගේ අහිංසකකම හා අවංකකම ගැන අපේ සිතේ පැහැදීමක් ඇතිවෙයි. එය ස්වාමීන්වහන්සේ නමක නිසා ඇති වූ අවංකකමක් නො වේ. කුඩා දරුවකු නිසා ඇති වූ අවංකකමක් බව දැනේ. එය වෙනත් මානයක සමාජ කියැවීමකි.
හතර වරිගය එතෙර කෙරුමට
නුඹේ හිතේ නෑ දන්නවා
දවල් දානෙට ජෙලිත් දෙනවලු
අපිත් සතුටින් ඉන්නවා
මහණ කිරීමට සිදු වීම මිස මහණ නො වීමේ ඛේදාන්තය මින් ඉස්මතු වේ. මවට මේ කුඩා දරුවා මරණ කිරීමේ කිසිදු අපේක්ෂාවක් නැත. හතර වරිගය නිවන් දැක්වීමට අවශ්‍ය නැති බව කීමෙන් ඉස්මතුවෙයි. අවසාන පාඨයෙන් කුඩා දරුවාගේ හැඟීම් ස්වාමීන් වහන්සේ නම වෙතින් ඉස්මතු වන ආකාරය විද්‍යමාන වන සුළු ය. කාමසුඛල්ලිකානුයෝගය අත්හැර අත්තකිලමතානුයෝගයට පැමිණි අයට සැබෑ මහණ වීම පහසු ය. අත්තකිලමතානුයෝගයේ සිට කාමසුඛල්ලිකානුයෝගයට පැමිණි අයට එය එතරම් පහසු නො වන බව අපගේ කල්පනාව යි.
"අම්මේ උඹ බුදු වේවා ගමේ අම්මලා වගේ ම" කවිය ද අපූරු ය. මව්වරු යනු ළඳු දෙණි කැලෑ බිම්වල තුන් හිරිය පත් වියන්නෝ ම විය යුතු නැත. එය බාහිර ආටෝපයක් නො ව හෘදයංගම ආමන්ත්‍රණයකි. එය තාරකා ප්‍රශ්න කරන්නී,
කවදාවත් අතට වෙරලු ඇහිඳ ගත්තෙ නැති අම්මා
ඉනට පලා නෙලා නො ගෙන පෝච්චි ගොඩුකළ වැව්වා
කරඹ වීර පලු එරමිණි දැකලා වත් නැති හින්දා
පඩි වැටුණ ම රතු ඇපලක් ගෙනත් ප්‍රිජ් එකෙන් දැම්මා
එක් අතකට මෙය වෙනස් වන සමාජය තුළ නො වෙනස් මව් සෙනෙහස ඉස්මතු කරවන නිර්මාණයකි. අනෙක් අතට මෙය මවගේ සංකීර්ණ කාර්යභාරය, සංකීර්ණ සමාජයක් තුළ කොතරම් අපහසු වී ඇද්ද යන්න නිරූපණය කිරීමකි.
"නැන්දම්මේ" පද්‍ය රචනය අව්‍යාජ ගුණයෙන් අනූන ය.
පාරේ එහෙ මෙහෙ වැනි වැනී
සයිකලය වෙරි වී එන්නැතී
ඈත දුර යන බදුලු ලොරියට
මීදුමත් පැටලෙන්නැතී
වැටුණු විට ඔහු පහත හෙළයට
හුළඟ පණ අරගන්නැතී
හිතක් ඇත්තේ උඹට පමණ ද
නැන්දම්මෙ දැන් ඔය ඇතී
සයිකලය වෙරිවීම, බදුලු ලොරියට මීදුම පැටලීම අතිශය රූපකාර්ථවත් භාෂාවක සලකුණු ය. අවෛරයෙන් තොර උපේක්ෂාවෙන් බර ඛේදාන්ත දරා ගැනීම කරුණ රසයෙන් යුක්ත ව ඉදිරිපත් කර තිබේ.
සමස්ත කෘතිය පුරා ම ඉදිරිපත් කරන බහුතරයක් වස්තු විෂයයන් සමාජ විෂමතාව හමුවේ කුටුම්භය මුහුණදෙන අභියෝග ඉදිරිපත් කරයි. සුඛාන්තමය තත්ත්වයන්ට වඩා දුඛාන්තමය තත්ත්වයන් නිරූපණය කිරීමට අභිරුචිකම් දක්වන ප්‍රවණතාවක් දැනේ. ජීවිතයේ සාන්දෘෂ්ටිකවාදී අර්ථය ඉස්මතු කිරීමෙහිලා සමත්කම් දක්වයි.
සමාන ලක්ෂණ දරන සමගාමී වස්තු විෂයන් විශාල ප්‍රමාණයක් එක ළඟ භාවිත කිරීම තුළින් පාඨකයාට කිසියම් අභව්‍ය සිදුවීම් පිළිබඳ හැඟීමක් ජනිත වීමේ ඉඩක් පවතී. කිසියම් ඒකාකාරී බවක් දැනීම නිසා රසයේ හීනතාවක් ඇති විය හැක. ඇතැම් දෘෂ්ටිවාදාත්මක ගැටලු ඇතත් බහුතරයක් අවස්ථාවන්හි දී ආධුනික කාව්‍ය ලක්‍ෂණවලින් මිදී යම් පරිණතභාවයක් අත්පත් කරගත් කාව්‍යමය ලකුණු දක්නට ලැබේ. එනම් මේ කුළුදුල් කාව්‍ය ලක්ෂණ ඉක්මවන්නකි.
අනාගතයේ දි ඇගේ ගමන් මඟෙහි සුවිශේෂී ඉදිරි දර්ශනයක් සහිත සන්ධිස්ථානයක් සලකුණු කරනු ඇතැයි අපේක්ෂා කරමු...
ජය ම වේවා!!