ශ්‍රී ලංකාවට පාරිසරික ස්ත්‍රීවාන්දීන්ගේ පිබිදීමක් අවශ්‍යයි! (391)

post-title

“මහපොළව මිනිසා වෙත අසීමිතව පරිත්‍යාග කරයි. ඇය සතු මෙම ත්‍යාගශීලිභාවය සිරකොට මරාදැමීමෙන් වැලකී සිටීමට මිනිස් වර්ගයා ප්‍රවේශම් විය යුතුය.” - ආචාර්ය වන්දනා ශිවා 

1991 කාලයේ පමණ සිට ආචාර්‍ය වන්දනා ශිවා ආරම්භ කරන ඉන්දියානු පාරිසරික විප්ලවය දේශීය ග්‍රාමීය ගොවියාගේ සිට ජාත්‍යන්තරය දක්වා පැතිර යන්නකි. වන්දනා විසින් රචිත “සොරාගත් අස්වැන්න” කෘතියේ ඇය සඳහන් කරන්නේ වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවත්, සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අවශ්‍ය බවත් ය. පසේ සාරවත් බව, බීජ රැක ගැනීම, සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, රසායනික පොහොර නිසා සිදුවන හානිය ආදී එකී නොකී කාරණා ගැන ඇය හඬ නැගුවාය.

වන්දනා ශිවා එසේ ඉන්දියාවේ අරගල කරද්දී ස්වීඩනයේ තරුණ යෞවනියක වන ග්‍රේටා තුන්බර්ග් “අනාගතය ‍වෙනුවෙන් පෙළගැහුණු සිකුරාදාව” නමින් ගෝලීය උණුසුම වැඩි වීමට හේතු සාධක වලට එරෙහිව පාසල් ළමුන් අතර පාරිසරික විප්ලවයක් 2018 වසරේදී ආරම්භ කලාය. ඇයගේ පරිසර සටනේ ගමන ගල් මුල් ප්‍රහාර වලින් ගහන වූවා පමණක් නොවේ, ලොව රාජ්‍ය ප්‍රභල රාජ්‍ය නායකයින් පවා ඇයට දොස් නැගූහ. වරක් රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ඇයට පවසාසිටියේ, “කරුණාවන්ත, නමුත් හරිහැටි නොදන්න ගැටවියක්” ලෙසයි. නමුත් ග්‍රේටා මේවාට නම් ඇයගේ ගමන නතරකොට නැත. ග්‍රේටා ස්වීඩනයේ සිට හඬ නගන්නටත් පෙරම, අප්‍රිකාවේ ආචාර්ය වන්ගාරි මාතායි “ග්‍රීන් බෙල්ට් ව්‍යාපාරය” හරහා පාරිසරික යුක්තිය ගැන කතා කලා පමණක් නොව, ඇයට ඒ සඳහා නොබෙල් ත්‍යාගයද ලැබුණි. එලෙස ලොව පුරා මෙලෙස කාන්තාවන් පාරිසරික යුක්තිය යුදෙසා තනි පුද්ගල ව්‍යාපාර ආරම්භ කරද්දී ඔවුන්ට සහය වීමට නන් දෙසින් පරිසරයට ආදරය කරන්නන් එකතු වූහ. අවසානය වූයේ පාරිසරික යුක්තිය වෙනුවෙන් ගොඩ නැගුණු සමූහ ව්‍යාපාරයකි. මේ හේතුව නිසාවෙන්ම අවසානයේ ඔවුන් බොහෝ දෙනා සාර්ථක වූහ. 

ලෝකය පුරා වෙසෙන පාරිසරික ස්ත්‍රීවාදීන් එසේ තම හඬ ස්වභාව ධර්මය රැක ගැනීමට යොදවද්දී ශ්‍රී ලංකාවේ පරිසර ස්ත්‍රීවාදීන් ඒ තරම්ම නැගී සිටීමක් පෙනෙන්නුම් නොකලත්, සත්ත්ව අයිතීන් ක්‍රියාකාරීනි ඔටාරා ගුණවර්ධන සත්ව අයිතීන් වෙනුවෙනුත්, සාගර විද්‍යාඥ ආශා ද වොස් සාගරය රැක ගැනීම වෙන්වෙනුත් වෙහෙසෙද්දී පර්‍යේෂිකා ගෝතමී වීරකෝන්, සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණතිලක වැනි කාන්තාවන් ලංකාවේ ජෛව සම්පත් රැක ගැනීමට වෙහෙසෙති.

නමුත් මේ කාන්තාවන් සියලු දෙනා සහස්‍රයේ පිරිස් නොවීමත්, සහස්‍රයේ පුද්ගලයින් පරිසර යුක්තිය වෙනුවෙන් මෙවන් කැපවීමක් කරන්නට තරම් උත්සායක් නොගැනීමත් වර්තමානයේ අපි දකින විශාල අභාග්‍යකි. ඒ අභාග්‍ය භාග්‍යක් කිරීමට භාග්‍යා අබේරත්න තරුණිය මෑතකදී ගත් උත්සාහය අගය කල යුතුමය. කෙසේ නමුත් භාග්‍යාගේ නැගී සිටීමේ විශේෂත්වය නම්, මෙතෙක් ආ තනි පුද්ගල පාරිසරික ස්ත්‍රීවාදී ව්‍යාපාර වලට වඩා සාමූහික මැදිහත්වීම් මේ තුළ දැක ගැනීමට හැකි වීමයි. නමුත් භාග්‍යාගේ ගමනත් එසේ මෙසේ පහසු එකක් නම් නොවේ. ශ්‍රී ලංකාවේ එකතරා ජනප්‍රිය මාධ්‍ය නාලිකාවක් ඇයට තම ගැටලුව හඬ නගා කීමට අවකාශය ලබා දුන්නත්, ඇය ඉන් එලියටවිත් ගනුදෙනු කල යුත්තේ පුරුෂාධිපත්‍යය රජයන බලය මූලිකකොට ගත් පක්ෂ දේශපාලනයන් ක්‍රියාත්මක වන සමාජයක බව ඇයට කියා දෙන්නට කවුරුත් නොසිටිය හ. ඉන්පසුත් ඇය සම්බන්ධ සිදුවීම් මාධ්‍ය තුළ දකින්නට ලැබුනේ ඇයගේ කඳුළු පිරිණු මුහුණත්, ඇයව අපහසුතාවට පත් කරන ප්‍රශ්න අසනා මිනිසුනුත් පමණක් ය. භාග්‍යා යනු මුළු රටකට පෙනෙන්නට මාධ්‍ය තුළ කඳුළු සැළිය යුතු තරුණියක් නොවේ. ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩනයට ග්‍රේටා වැනි ශ්‍රී ලංකාවට භාග්‍යා කෙනෙකි

පාරිසරික ස්ත්‍රීවාදීන් ගෙනෙන තර්කයක් නම්, පුරුෂයා සංස්කෘතියට සමබ්න්ධ වෙද්දී කාන්තාව ස්වභාව ධර්මයට සම්බන්ධය. කාන්තාව පරිසරය ආරක්ෂා කිරීමෙන් සිදුවන්නේ පරිසරය ආරක්ෂා වීමම පමණක් නොවේ. පුරුෂයාද ආරක්ෂා වීමයි. ඒ අනුව කාන්තාව ප්‍රාථමික පරිසර කලමනාකරණියකි. ආහාර පාන, ජලය, ගෙවතු වගාව, කසල කලමනාකරණය ආදී බොහෝ ගෘහාශ්‍රිත පරිසරය හා සම්බන්ධ ජීවියා කාන්තාවයි. කාන්තාවට එතරම් පරිසරය හා සමීප සබඳතාවක් තිබුණත් ශ්‍රී ලංකාවේ සාමූහික පරිසර ව්‍යාපාරයක් ඇති නොවීමට හේතු සාධක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මොහොමඩ් මහීස් මහතා දක්වා සිටින්නේ මෙවන් අදහසක්.

“ශ්‍රී ලංකාව තුළ තවම දැවැන්ත පාරිසරික ව්‍යාපාර ඇති වෙලා නෑ. මේවා අපිට ගොඩක් හමුවෙන්නේ ඉන්දියාවෙන්. ලංකාවෙ තවම මෙවැනි ව්‍යාපාර ඇති නොවන්නේ ඇයි යන්න කතා කරනවා නම්, පාරිසරික ව්‍යාපාරයක් කියන්නෙ නව සමාජ ව්‍යාපාරයක්. හැමෝටම පොදුවේ එකතු වෙන්න පුළුවන් සාධකයක් තමයි පරිසර සටන. ජාති ආගම් හෝ දේශපාලන, පන්ති භේදයකින් තොරව. දේවානි මහත්මියගේ හා භාග්‍යාගේ හුදකලා සිදුවීම් ගත්විට ඔවුන් කාන්තාවන් වීම සුවිශේෂ වුවත් එය ව්‍යාපාරයක් ලෙස මතුවන්නේ නෑ. ලංකාවේ පාරිසරික ව්‍යාපාර තිබුනත් ඒවා බිම්මට්ටමේ කුඩා ව්‍යාපාර. නොරොච්චෝලය, උමාඔය, රතුපස්වල, අරුවක්කාඩු ප්‍රදේශය, මේවා දේශපාලනය සම්බන්ධ ඒවා වූවාට ස්ත්‍රීවාදී පෙනුමක් ගන්නේ නෑ. එයට හේතුවක් විදිහට කාන්තාවන්ට අවශ්‍ය පසුබිම සැකසිලා නෑ. රැඩිකල් ස්ත්‍රීවාදීන් සමාජ ප්‍රශ්න වලට මැදිහත් නොවීමත් එයට හේතුවක්. ශ්‍රී ලංකාවේ තවම බිහිවන්නේ කෘතිම පරිසර යුක්ති ව්‍යාපාර පමණයි.”

ආචාර්ය මොහොමඩ් මහීස් එම පෙන්වාදෙන ජාති ආගම් භේද, පක්ෂ දේශපාලය, මේ එකී නොකී හේතු සාධක පසෙකලා සියලු දෙනාටම එක්විය හැකි සාධකය පරිසර විනාශයයි. නමුත් එක් සිදුවීමක් සමාජය තුළ සවාදයක් ගොඩ නගා නිම වෙද්දී තවත් සිදුවීමක් සමාජය තුළ ප්‍රභල ලෙස සාකච්ඡා වීමට තරම් ලාංකික මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හා මානසික මට්ටම් සැකසී හමාරය. සැබෑ ප්‍රශ්නය අමතක වීමට ඉන් පසු එන වෙනත් ප්‍රශ්නයක් ප්‍රමාණවත් ය. කාන්තාවන් හා සම්බන්ධ යම් සිදුවීමක් පැන නගින්නේද මාධ්‍ය තුළ ඇයට සමාජයේ නිදහසේ ජීවත් වීමට බාධා ඇති කරන්නේය.

භාග්‍යා හා දේවානි සම්බන්ධ කර මුහුණු පොතේ පළ වී ඇති විවිධ ආකාරයේ වෛරී ප්‍රකාශ හා අසත්‍ය දෑ දකින පරිසර යුක්තිය වෙනුවෙන් හඬ නැගීමට අපේක්ෂා කරන අනෙක් තරුණියන්ගේ සිතුවිලි අඩපණ කරනවා වෙන්නටද පුළුවන. ශ්‍රී ලංකාවේ පාරිසරික ස්ත්‍රීවාදීන්ට පරිසර සටනක් උදෙසා තම හඬ නැංවීමට අවශ්‍ය නම් ඔවුන්ට සාමුහික ප්‍රයත්නයකට යාම අත්‍යාවශ්‍යමය. එය බහුත්වවාදී අදහස් වලින් යුතු තනි පුද්ගලයා ප්‍රශ්න නොකරන, ක්‍රමයේ වැරැද්ද ප්‍රශ්න කිරීමේ සටනක් වේ නම් එය ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ පිබිදීමකට පවා හේතු වනු ඇත.


References:

Shiva, V. (2000). Stolen harvest: the hijacking of the global food supply. Cambridge, MA: South End Press. Chicago / Turabian

Vladimir Putin criticizes Greta Thunberg's UN speech on climate change - BBC News - https://www.youtube.com/watch?v=1CnyqLogH0Y

කාන්තාව හා පරිසරය වෙබිනාර් වැඩසටහන, මෙරාකි ශ්‍රි ලංකා - https://fb.watch/4-r6EFmRL1/

Top