ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනගේ කතාව (264 වන ලිපිය)

post-title

ගැහැනියක් කියන්නෙම හරි අපූරු තැනැත්තියක්. ඇය තමයි මේ ලෝකයට ජීවය ගෙනෙන්නෙ. ඇය තමයි මේ ලෝකෙ අපූරුවට සිත්තම් කරන්නෙ. එකවිටක ඇය ළදල්ලක්, තව තැනක ඇය යෝධ හස්තයක්. වැලක පැවැත්මක් තියෙන්නෙ ගහක එතුනොත් විතරයි කීවට ගහ මැරිලා ගියත් තනියම ජීවිතේ අරන් යන ලතාවන් වැනි ලියන් මේ ලෝකෙ ඕනි තරම් ඉන්නවා. ගැහැනියක සතු විද දරාගැනීමේ හැකියාව කොතෙක් දැයි මේ ලිපිය ලියන මට ද කිව නොහැකි කාරණාවක්. කවියො හරි ලස්සනට එයාලගෙ කවිය ඇතුළෙ ගැහැනියව වර්ණනා කලාට ගැහැනියකට තියෙන්නේ කවිවල තියෙනවා වගෙ සරල, සුගම, සුන්දර ලෝකයක් නෙවෙයි. ලංකාව වැනි රටක ඇය ජීවත්වෙන්නෙම සංස්කෘතික රාමුවක් ඇතුළෙ. රාමුගත ලෝකෙන් එක පයක් හෝ එළියට තැබුවොත් ඇයට අහන්නට සිද්ධවෙන නානප්‍රකාර කයිකතන්දර ගොඩයි. ඇය බොහෝවිට සමාජෙ ඇතුළෙ කොටුවෙලා ඉන්නෙ පිරිමියගෙ යටත්වැසියෙක් විදියට. කුටුම්භීය සන්දර්භය ඇතුළෙ ඇය ගෘහණියක්, බිරිදක්, මවක්.. හැබැයි ඇය නියමානුකූල පතිනියක් උනත් මේ සමාජෙ ඇතුළෙ ඇයට කතා හදන අය ගොඩයි. හැම වැරැද්දටම ගැහැනියට ඇගිල්ල දිගු කරන මේ සමාජයට නොතේරුණු කාරණයක් තමයි ගැහැනියකගෙ ආවරණිත සළුපිළි එකින් එක ගලවා දමන හස්තය බවට පත්වූයේ ද ඔවුන්ම වග. එක් ඇගිල්ලක් ගැහැනියකට එරෙහිව දිගු කරයිද අතෙහි අනෙක් සිව් අතැගිලි තමා වෙතට එල්ලව ඇති බව සමාජ සන්දර්භීය මිනිස්සු වෙච්ච අපිට අමතකව ගිය කාරණයක්. ඇයව නිර්වස්ත්‍ර කරන විට අපට අහිමිවන්නේ උත්තරීතර මව් පදවියට තියෙන ගරුත්වය කියන එක අපේ රටේ මිනිස්සුන්ට අද අමතක වෙලා ගිහින්. 

සැමියගෙ හව්හරණ නැති වෙනකන් ඉදලා ඇයට නොයෙක් වද හිංසා දිදී පස්සෙන් වැටෙන මත් වෙච්ච බඹරු ලංකාවේ අද කොහෙත් ඉන්නවා .. ටිම්රාන් කියනවා වගේ ඉටි මල් පොකුරෙත් වහන බඹරු තමා අද ලංකාවේ ඉන්නෙ. හැබැයි මෙතන තියෙන දුක හිතෙනම කාරණාව ඒක නෙවෙයි. සල්ලාල පිරිමි ගැහැනියක්ව වෛශ්‍යාවක් කියන තැනට ඇදල දාන්න දගලද්දි ගැහැනියට විරුද්ධව කතන්දර හදල පතුරුවල ගැහැනියකගෙ ආත්ම ගරුත්වය විනාශ කරන්න පළමු අඩිතාලම ගැහැනියක් විසින්ම තනාදීමයි. ගැහැනියක්ම තවත් ගැහැනියකට බැට දෙද්දි මත් වෙච්චි සලෙලුන්ට තමයි ඒකෙත් වාසිය ලැබෙන්නේ.. ඒක හරියට ඌරො කැකුණ තලද්දි හබන් කුකුළන්ට රජ මගුල් කියන්නා වාගෙ වැඩක්. මෙවැනි සමාජෙක ගැහැනු හිත් හරියට කියවන පිරිමි වගේම ගැහැනුත් ඉන්නෙ හරිම අල්පයයි. වෛශ්‍යාවක් උනත් ගැහැනියක් උනු ඇගෙ ජීවිත කතන්දරේ රංබණ්ඩා සෙනෙවිරත්නයන් හරි අපූරුවට පදවැල් අතර ප්‍රතිනිර්මාණය කරන්නේ වැසුණු පැතිකඩක් ලයාන්විතව නිරාවරණය කරමින්.

ළැම පමණක් ලොවට පෙනෙන

ළය නොපෙනෙන ළදුනේ

කුහුඹුවෙකුට වරදක් නැති

වැරදිකාර ළදුනේ ..

ඇය පිරිමින්ගේ කාමාශාවන් තෘප්තකරමින් අතින් අත යන සමනලියක් උනත් ඇයට නිත්‍ය සැමියෙකු ද කිසිදා ලැබෙන්නේ නැත. එක රැයකට පිරිමි කිහිපදෙනකුගේම අත් දඩු වලට යටව ආර්ථිකව කීයක් හෝ උපයාගනු ලැබුවද ඇයගේ හදෙහි වේදනාව මත් උනු බඹරුන්ට කෙසේ නම් හැගෙන්නද? ඇයට අත දීල නැගිටුවනවා වෙනුවට දේපලත් උදුරගෙන කතා හදලා පාගලා නෑකමුත් කුණුකූඩෙ විසිකරන සමාජෙක ඇයට කිනම් හව්හරණක් ද? තම දරුවන්ගෙ බඩවියත රකින්නට ඇය කැකෑරෙන හදවතින් ශරීරය දන් දුන්නද ඇගේ හදවතින් ඇය හැමවිටම පතන්නේ සසර දුකින් එතෙර වීමට මාර්ගයක්. අතීතයේ කිසාගෝතමියගේ පටාචාරාවන්ගෙ දුක නිව්නෙ බුදුහිමියන්ගෙ බණපද වලින්. අදත් ඇගේ දුක නිවෙන්නෙ බුදුහිමියන් පා මුල. ඉතින් කරන්නට දෙයක් නැති කමට සමාජය ඇයව පිටමං කල පාපයට ඇය අභිසරු ලියක් වුවත් ඇයද කිසා ගෝතමියක්. ඒත් අද රටේ මේ සත්‍ය හදුනාගත්තෝ කවුරුන්ද? ඇගේ ළැමේ රස පහස සොයායන සමාජය කවදා හෝ ඇගෙ ළය විනිවිද දකීද? කවුරුන් හෝ එලෙස විනිවිද දකින්නේ නම් ඇගේ සිතෙහි ඇවිලෙන ශෝක ගින්න නොදැක සිටීමට ද කරුණක් නැත.

 ටිම්රාන් කීර්ති විසින් රචනා කරන ලද පොඩ්ඩියේ ගීතය අයියා නංගිගෙන් අහන හැම ප්‍රශ්නයක් ඇතුළෙ තියෙන්නෙම ළදක්, ගැහැනියක් , මවක් , අභිසරුලියක් උනු කාන්තාවක්ගෙ දුක්බර ජිවිත කතාව.. 

තනේ කඩා විසිකර පත්තිනි වී නම් 

අනේ හාමතේ අපි මැරිලා එහෙනම් 

වනේ පාරන්නෙ වන ඵල විස වී නම්

නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන්

මේ පද ටිකෙ තියෙන්නේ සමාජය වෙත එල්ල කරන දරුණු වාග් ප්‍රහාරයක් .. ඇත්තටම අද රටේ ආර්ථික බර උහුලගන්න බැරුව ගෘහ සේවිකාවො විදියට පිටරට යන කාන්තාවො කී දෙනෙක්ට තම හාම්පුතාලගෙ ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වෙන්න උනා කියල අහන්න ලැබෙනවද? අද ලංකාව කියල කිසි වෙනසක් නෑ වහල්කමට බඩවියත රැකගන්න කුලියට ගෙවල්වල මෙහෙකාර සේවයට යන බොහෝ කාන්තාවන්ට මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන එක සුලබ සිදුවීමක් වෙලා. එහෙව් රටේ සතා කියල කතා හැදුවට සියලු මිනිස්සු බෝසත්තු නෙවෙයි කියන එක යථාර්ථයක් කියල ඔප්පු වෙනවා.

මෙම ලිපිය කියවන ඔබට ඇතැම් විට ඇතිවෙන්න පුලුවන් මා අභිසරුලියන් සාධාරණීකරණය කරනවායැයි හැගීමක්. නමුත් සත්‍ය එය නොවෙයි. සමාජයෙ මිනිස්සු උනු අපි ඇයට එල්ල කරන පීඩනය මත තනිකඩ, සැමියෙකු අහිමි බොහෝ කාන්තාවන් ඒ තැනට පත්වූවාට ඔවුන්ගේ හදවතේ ඇතුළු ගැබ මොරදෙන්නේ වෙනත් දුක්ඛිත කතාවක්. කම් සැප ලුහු බදින මිනිස්සුන් මෙලොව නූවානම් මේවාගෙ වෘත්තීන් ලෝකෙ කොහෙවත් ඇතිවෙන්නෙ නෑ. පෘතග්ජන මිනිස්සු උනු අපි කම්සැපට ලොල් වඩන එක කවදාවත් නවත්තනෙත් නෑ. ඒත් ඔබ තරුණියක් නම්, ගැහැනියක් නම්, මවක් නම් තවත් ගැහැනියකට, මවකට නිගා කරන්න පෙර මොහොතක් නිහඬව හිතල බලන්න අපි කවුරුත්ම ඇයට ළංවෙලා ඇගෙ සත්‍ය ජීවන කතන්දරේ අහල බැලුවද කියල. ඔබ තරුණයෙක් නම් පියෙක් නම් ගැහැනියකට, තරුණියකට වරදක් කිරීමට පෙර මොහොතක් හිතන්න තමන් මවකට දාව උපන් දරුවෙකු කියන  වග. ඔබ ඔබේ මවට, බිරිදට, සහෝදරියට, දියණියට ගරු කරන තරමටම රටේ අන් කාන්තාවන්ටත් ගරු කරන්න. ස්ව කැමැත්තෙන් වරදෙහි බැදෙන ගැහැනු සිටියද බහුතරය එවැනි ඉරණමකින් කල් ගෙවනුයේ විශාල ශෝකාග්නියක් සමග බව සිහි තබාගන්න.  ඇයව එතැනට තල්ලු කරන්නේද අපිමයි. ඇයව එතැනින් මිදවිය යුත්තේද අපිමයි. අපට පුලුවන් නම් ඒ වෙනුවෙන් ඉදිරියට එක් පයක් හෝ පෙරට තබන්න එවිට සුශික්ෂිත ලංකාවක් නිර්මාණය වෙනු නොඅනුමාන ය.

Top