රෝස මලේ නටුවෙ කටු වුව ද මල සිඹිනට මග කියන ආකල්ප (262 වන ලිපිය)

post-title

දිනයක් නිමා වී දිනයක් උදා වනවිට ලෝකයේ සංවර්ධනය, අති සීඝ්‍ර ගමනක යෙදෙමින් ගවු ගණනක් දුර ගෙවා ගොස් හමාර ය. ඒ අධිවේගී මාර්ග, අහස සිසාරා ඉදිවන ගොඩනැගිලි, අන්තර්ජාලය, ස්මාර්ට් ජංගම දුරකථන, න්‍යෂ්ටික අවි යනාදී වූ නොයෙක් ක්ෂේත්‍රයන්හි සංවර්ධනයේ ඉහළ ම ඵල නෙලාගැනීම ත් සමඟ ය. මෙකී භෞතික සංවර්ධනයත් සමඟ ම මිනිසා නිතැතින්ම යාන්ත්‍රීකරණයට ලක්වේ. එනමුත් ඒ ඔස්සේ ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්පයන් දියුණු වී ඇත්දැයි යන්න අප තුළ ම ගොඩනැගෙන ප්‍රධාන ප්‍රශ්නයකි. 

සමාජය තුළ අප වටා ජීවත්වන මිනිසුන් විවිධාකාර ය. ඔවුන්ගේ හැඩරුව පමණක් නොව සිතුම් පැතුම්, ආකල්ප සහ ජීවත්වන රටාව ද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. පුද්ගල සමාජය තුළ සිතුම් පැතුම්, ආකල්ප යන්න අතිශයින් ම වැදගත් අංගයකි. ආකල්ප යනු, කිසියම් පුද්ගලයෙකු යමක් පිළිබඳ ව දරණ අදහස ලෙස අපට සරල ව අර්ථකතනය කළ හැකිවේ. ආකල්ප මිනිසා ව මිනිසෙකු ලෙස ජීවත් කරවන අතර ම මිනිස් පෞරුෂය කෙරෙහි ද විවිධාකාරයෙන් බලපෑම් ඇතිකරනු ලබයි. ආකල්ප යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට මුහුණදෙනු ලබන අවස්ථාවන් හා එහි ස්වභාවයන් මෙන්ම සමාජ වටපිටාව මත ද වෙනස් වන්නකි. මෙහිදී අප නොදැනුවත්වම ආකල්පයන් අපගේ ජීවිතය පාලනය කරනු ලබයි. ඒ නිසා ම අපට ආකල්පමය රාමුවක් තුළ සිරවීමට ද සිදුව ඇත.

මෙලොව බිහිවන සෑම පුද්ගලයෙකු ම දුප්පතෙකු වන්නේ ද පොහොසතෙකු වන්නේ ද ඔවුනොවුන් සතුව පවතින ආකල්ප මත ය. ආකල්පයන් ධනාත්මක ආකල්ප හෝ ඍණාත්මක ආකල්ප ලෙස පැවතිය හැකිය. උසස් මනසකින් හෙබි මිනිසා සෑම විට ම කටයුතු කළ යුත්තේ ධනාත්මක ආකල්පවලින් යුතුව තම ජීවිතය හැඩගස්වා ගැනීමට ය. එහිදී තමා යම් කටයුත්තක් ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ ව දැඩි විශ්වාසයක් සහ උනන්දුවක් තමා තුළ පවත්වා ගත යුතුය. එසේ නිවැරදි ව, සැලසුම් සහගත ව ආරම්භ කරනු ලබන ඕනෑම කාර්යයක් සාර්ථකත්වයට පත්වනු ඇත. එබැවින් අප සිතිය යුත්තේ එය වඩාත් නිර්මාණශීලී ව සිදුකරනුයේ කෙසේද යන්න පිළිබඳව ය. සෑම විට ම පුද්ගලයා සාම්ප්‍රදායික රාමුව තුළින් ඉවතට පැමිණ, නිර්මාණශීලී, වෙනස් පුද්ගලයෙකු වීමට උත්සාහ දැරිය යුතු බව වරෙක ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඇපල් සමාගමෙහි අයිතිකරු “ස්ටීව් ජොබ්ස් ” මෙසේ ප්‍රකාශ කරයි. 

ඔබ නැවක කපිතාන්වරයෙකු වීමට වඩා මුහුදු කොල්ලකරුවෙකු වීමට උත්සාහ කරන්න ” 

මිනිසා ආකල්පයන් සංවර්ධනය කළ යුත්තේ දරුවෙකුගේ කුඩා අවධියෙහි සිටම ය. මෙය ශ්‍රීලංකාව වැනි රටක ක්‍රියාවට නැංවෙනවා ද යන්න අද වර්තමානයේ දී පවතින ගැටළුවකි. නමුත් ජපානයෙහි පළමුවන ශේණියේ සිට සියලු ම පාසැල් දරුවන් විසින් ඔවුන් එදිනෙදා භාවිත කරනු ලබන වැසිකිළිය මසකට වරක් හෝ දෙවරක් පිරිසිදු කරනු ලබයි. ඒ සඳහා ඔවුන් සමඟ පන්තිභාර ගුරුවරයා ද සහභාගී වෙයි. මෙය ජපානය වැනි රටක පිරිසිදු කරන්නන් නොමැති නිසා හෝ ගෙවීම් සිදුකිරීම අපහසු නිසා හෝ පාසැල් සිසුන් ලවා සිදුකරනු ලබන කටයුත්තක් නොවන බවත්, එය එම දරුවන්ගේ ආකල්ප වර්ධනය සඳහා කරනු ලබන කටයුත්තක් පමණක් ම වන බවත් ඉඳුරාම පැහැදිලි වේ. බලය, ධනය, රැකියාව මත හෝ උගත්කම මත මිනිසුන් වර්ග කිරීම සිදු නොකළ යුතු බව මේ ඔස්සේ ඔවුන් පොතපතින් පමණක් නොව ප්‍රායෝගිකව ඉගෙනගනු ලබයි. මෙසේ රටක ජීවනාලිය වන ළමා පරපුර පුද්ගල ආකල්ප අතින් සංවර්ධනය කිරීම රටක් වශයෙන් සංවර්ධනය කරා ළඟාවීමේ ඉදිරි පියවරක් වන්නේ ය. 

අප සියලුදෙනා ම කුඩා කාලයේ සිට ම බාහිරින් එකතු වන ආකල්ප සමඟ වැඩෙමින් කාලයත් සමඟ අපට ම අනන්‍ය වූ ආකල්ප අපගේ ජීවිතයට බද්ධ කර ගැනීමට උත්සාහ දරනු ලබයි. එම ආකල්ප අතරින් සමහර ඍණාත්මක ආකල්පයන් විටෙක අපගේ ජීවිතය මන්දගාමී බවට පත්කරනු ලබන අතර ධනාත්මක ආකල්පයන් අපගේ ජීවිතය ජය ටැඹ කරා රැගෙන යාමට ද නිරන්තරයෙන් ම කටයුතු කරනු ලබයි. ජීවිතය දිනන්න විශාල අවශ්‍යතාවයක් අප තුළ තිබුණත් විටෙක සමහර ඍණාත්මක ආකල්පයන් අපට ඒ සඳහා ඉඩ ලබානොදෙනු ඇත. “ මේ තමයි ලබා උපන් හැටි, කරුමය තමයි උරුමය, ඉන්න ටික කාලයට මේ තරම් දේ මොකට ද?, වාසනාව නැතිනම් කිසිදෙයක් හරියන්නේ නැහැ ” යනාදී වූ පරාජිත ආකල්පයන් අප සිත තුළ පවතිනතාක් අපට සිටින පියවරෙන් තවත් එක් පියවරක්වත් ඉදිරියට තැබීමට නොහැකි වනු ඇත. මෙසේ අප තුළ කිඳා බැස ඇති මෙවැනි ආකල්පයන් විටෙක අපගේ දෛවය ද තීරණය කරනු ලබයි. නමුත් උසස් මනසක් හිමි අප මඳක් සිතා බැලිය යුත්තේ එවැනි පරාජිත ආකල්පයන්ට අපගේ දෛවය තීරණය කරන්නට ඉඩ දෙනවා ද නැත් ද යන්න පිළිබඳව ය. 

අප නිරතුරුවම ජයග්‍රාහී ජීවිතයක් පතන්න නම් පරාජිත ආකල්ප ජයග්‍රාහී ආකල්ප බවට පත්කර ගත යුතුය. එමෙන්ම අතෘප්තිමත් ආකල්ප තෘප්තිමත් ආකල්ප බවට පත්කර ගත යුතුය. මෙහිදී ජීවිතය ජයගැනීම යනු, ජීවිතයක් මුදල්වලින් ආඩ්‍ය වීම පමණක් නොව සතුට, ආදරය, සැනසිල්ල, නිරෝගීකම යනාදී සෑම දෙයකින් ම සර්වසම්පූර්ණ වීම යි. කෙනෙකු කෙතරම් ධනවත් වුවත් ආකල්පවලින් දුගී නම් එම පුද්ගලයා නිතැතින්ම අසාර්ථක පුද්ගලයෙකි.

එමෙන්ම නිතරම නැහැ, බැහැ යනාදී වූ ඍණාත්මක ආකල්ප වෙනුවට “ ඔව් මට පුළුවන්, මට ශක්තිය තිබෙනවා ” යනුවෙන් ධනාත්මක ආකල්ප ඇතිකර ගත යුතුය. තමාගේ හුදු ආකල්පයන් වෙනස් කර ගත් පමණින් ම ජීවිතය වෙනස් කර ගත් පුද්ගලයන් පිළිබඳ සාක්ෂි ඕනෑ තරම් අතීතයෙන් මෙන්ම වර්තමානයෙන් ද හමුවේ. මෙහිදී මිනිසාට කිසි දිනෙක ඉගිලෙන්නට බැහැයි යනුවෙන් ආකල්පයක් තිබූ යුගයක රයිට් සොහොයුරන් ගුවන්යානය නිර්මාණය කළේ ඔවුන් තුළ පැවති ආකල්පමය වෙනස නිසාවෙනි. එමෙන්ම හෙන්රි ෆොඩ් මහතා විසින් පළමු ෆොඩ් රථය නිර්මාණය කරන විට ඔහු වටා සිටියවුන්ගේ ආකල්පය වූයේ සතුන්ගේ උදව් නොමැතිව කිසිදිනෙක රථය පදවාගෙන යා නොහැකි බව යි. මෙසේ අතීතයේ දී ලෝකය දිනන්නට හැකිවූයේ ලෝකය මවිත කළ ශ්‍රේෂ්ට නිර්මාණයන්ගේ හිමිකරුවන් නව ආකල්ප දැරූ හිමිකරුවන් වූ නිසාම ය. එමෙන්ම අහිමිවීම්, නොලැබීම් තුළින් පුද්ගලයාට බොහෝ දේ ඉගෙනගන්නට ද ලැබෙයි. පුද්ගලයෙකුට කිසියම් දෙයක් අහිමි වන්නේ, නොලැබෙන්නේ එය එම පුද්ගලයා සතුව පවතින අඩුපාඩුවක්, දුර්වලතාවයක් නිසානම් එහිදී එම පුද්ගලයා සතු වගකීම වනුයේ එම දුර්වලතාවයන් සකසා ගනිමින් ඊළඟ අදියරයට සූදානම් වීම යි. නිකල්ස් ජේම්ස් වුජිසික් (නික් වුජිසික් ) යනු, Tetra Amelia Syndrome නැමැති දුර්ලභ රෝගී තත්ත්වය හේතුවෙන් දෑත්, දෙපා අහිමි ව උපත ලද පුද්ගලයෙකි. අනෙක් පුද්ගලයන්ට දෑත්, දෙපා තිබෙද්දී ත් තමන්ට පමණක් එසේ නොමැත්තේ ඇයි දැයි සිතමින් නිතරම පසුතැවිලි වුණු නික් පසුව එවැනි ඍණාත්මක ආකල්පයන් පසෙකලමින් ධනාත්මක ව සිතන්නට පටන් ගත්තේ සමාන්‍ය මිනිසුන් අතර දෑත්, දෙපා නොමැති තමා සුවිශේෂී කෙනෙක් ය යනුවෙන් තම සිත ධෛර්යයමත් කර ගනිමින් ය. තමන් කලුයි යැයි දුක් වෙමින් ලක්ෂ ගණන් වියදම් කර ඉන්ජෙක්ෂන් ගසාගෙන සම සුදු කර ගැනීමට උත්සාහ දරන්නන්ටත්, ශරීරයේ බර කිලෝග්‍රෑම් දෙකක්, තුනක් වැඩි වූ විට අහස පොළොව ගැටෙන්නට කල්පනා කරමින් දුක් විදින්නන්ටත්, තමන්ගේ ජීවිතයේ කුමන හෝ සුළු අඩුපාඩුවක් නිසා මුළු ජීවිතය ම කලකිරවාගෙන විඳවන්නන්ටත්, නැහැ, බැහැ කියා සෑම දෙය කෙරෙහි ම ඍණාත්මක ව සිතමින් ජීවිතය එකතැන නවත්වාගනිමින් ලත වෙන්නන්ට ත් තම අසාමාන්‍ය ශරීරය වාසනාවක් මිස අඩුපාඩුවක් නොවන බව විශ්වාස කළ නික් වුජිසික්ගේ ජීවිත කතාව මහඟු ආදර්ශයකි. එමෙන්ම රිය අනතුරකින් පසුව, යළි කිසිදිනෙක දෙපාවලින් ඇවිඳින්නටවත්, කිසිදිනෙක මවක් වීමටවත් නොහැකි බව දැනගත් මුනිබා මසාරි නැමැති තරුණිය ද සියල්ල තමාට අහිමි වුවත් කිසිදා තම ජීවිතයේ පසුබෑමකට ලක්වීමට අකමැති වූ, ජීවිතයේ අහිමිවීම් ආශිර්වාදයක් කරගත් ශක්තිමත් කාන්තාව කි. ස්ටීවන් හෝකින් ද එවැනි ම ධෛර්යමත් පුද්ගලයෙකි. එහෙයින් සර්ව සම්පූර්ණ මිනිස් සිරුරක් නම් මෙසේ විය යුතුයැයි නියමයක්, නීතියක් කොතැනකවත් නොමැත. ඔබව අයිති ඔබට ය. අනෙකා ඔබේ රූපයට, ඔබේ පාටට, ඔබේ සිරුරට, ඔබේ අවයවවලට කැමති වුවත්, අකමැති වුවත් ඔබ ඔබේ පවතින ස්වභාවයට ආදරය කරන්න. එමෙන්ම ඔබට ලෝකය වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ම ඔබ ගැන ඔබ සිතන ආකාරය වෙනස් කර පවතින රාමුවට ඔබ්බෙන් සිතන්නට පුරුදු වන්න. 

නොහැකියාව ගැන දුක් නොවී නොහැකියාව ම හැකියාව කර ගන්න.

සෑම නොලැබීමක් තුළ ම ලැබීමක් සැඟ ව ඇත. සෑම අහිමිවීමක් තුළ ම හිමිවීම් බොහෝමයක් ඇත. එමෙන්ම සෑම පරාජයක් තුළ ම ජයග්‍රහණයක් ඇත. නමුත් එය පෙනෙන්නට නම් ඔබ සිතන ආකාරය, දකින ආකාරය වෙනස් කළ යුතුය. මේ අනුව සැමදා ලෝකය වෙනස් කළේ සෑම දෙයම අංගසම්පූර්ණ ව තිබුණු මිනිසුන් නොව සෑම දෙයම සොයාගත් මිනිසුන් ය. “ රෝස මලේ නටුවේ කටූ ” යනුවෙන් පවසමින් රෝස පඳුරේ කටු දකිමින්, “ නටුව නොවේ මල සිඹිමී ” යනුවෙන් පවසමින් එම කටුවලට ඉහළින් පවතින රෝස මල දකින්නට ඔබට හැකිනම් තම ජීවිතයෙහි දියුණුවේ හිනිපෙත්තටම ළඟාවීම ඔබට අපහසු කාර්යයක් නොවන්නේ ය. ඔබට ජීවිතයේ එක් වතාවක් හෝ ආපසු හැරෙන්නට සිතෙන අවස්ථාවක, සෑම දෙයක් ම නැති වී ජීවිතය පිළිබඳ ව කලකිරුණු අවස්ථාවක, බලාපොරොත්තු සුන් වූ අවස්ථාවක ධනාත්මක ආකල්ප තුළින් ජීවිතය ජයගත් පුද්ගලයින් පිළිබඳ ව මොහොතකට සිතමින්, සිතට ධෛර්යය ඇතිකර ගන්න. ඒ තුළින් ඔබ, මරණයට පෙර මිය නොයන්නට කටයුතු කරන්න. ජීවිතය වෙනස් කරන්නට පළමුව ආකල්ප වෙනස් කරන්න. එවිට ලොව පුරා ධනාත්මක ආකල්පවලින් හෙබි පුද්ගලයින්ගේ බිහිවීම නොඅනුමාන ය. 

Top